අපනයන කෘෂිකර්ම වාර්ෂික පර්යේෂණ සමුළුව 18 සහ 19 ගන්නෝරුවේදී


(මොහොමඩ් ආසික්)

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදක්වන අපනයන කෘෂි බෝග පිළිබඳ වාර්ෂික පර්යේෂණ සමුළුව (ඒසිඇක් 2018) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී මේ මස 18 සහ 19 යන දිනවල පැවැත්වෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා පවසයි.

මෙම සමුළුව හා ප්‍රදර්ශනය සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 18 වන දින පෙ.ව. 9.00  ට ආරම්භ කෙරේ. මෙය සංවිධානය කරනු ලබන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මඟිනි. මෙවර එහි තේමාව වන්නේ "තිරසර භෝග කළමණාකරණය මඟින් උසස් ගුණාත්මයක් සහිත නිෂ්පාදන" යන්නයි.

මෙම අපනයන කෘෂිබෝග පිළිබඳ වාර්ෂික පර්යේෂණ සමුළුව ( ASEAC - 2018 )  පස් වැනි වරට පැවැත්වෙන අතර මෙහි දී එළි දක්වනු ලබන පර්යේෂණ ප්‍රතිඵල කුළුබඩු වගාවේ ව්‍යාපාරයෙ සහ අපනයන ක්ෂේත්‍රයේ නියැලී සිටින ගොවි මහත්වරුන්, අපනයනකරුවන්, සැකසුම්කරුවන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලී සිටින පර්යේෂකයන්ට, විද්‍යාඥයන්ට හා විශ්ව විද්‍යාල ප්‍රජාවට වැදගත් වන බව ආචාර්ය හීන්කෙන්ද මහතා පවසයි.

සමුළුවේ දී එළිදක්වන නව දැනුම හා තාක්ෂණය තුළින් අපනයන කෘෂි කර්මාන්තය යාවත්කාලීන කිරීම මෙහි එක් අරමුණකි. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ බැංගලෝර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වී. ආර්. රාමක්‍රිෂ්ණා පරමා මහතා විසිනි.

ASEAC-  2018 සමුළුවට සමගාමීව පවත්වනු ලබන කෘෂිකාර්මික ප්‍රදර්ශනය කුටි 50 කින් සමන්විතය. ප්‍රදර්ශනය මඟින් වැඩි දියුණු කළ පැළ හා රෝපණ ද්‍රව්‍ය, කුළුබඩු සකස් කිරීමේ හා වියළීමේ යන්ත්‍ර සුත්‍ර, ප්‍රවීණ සුපවේදීන් විසින් මෙහෙයවනු ලබන කුළුබඩු ආශ්‍රිත ආහාර සැකසීම, තාක්ෂණික පොත් හා පත්‍රිකා, ව්‍යාපාර උපදේශන සේවා  ඇතුළු සුවිශේෂි අංග රැසකින් යුක්ත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් බන්දුල වික්‍රමආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට හා වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ පර්යේෂකයන්, වගාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.