අනවසරයෙන් මී දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට


 (හිඟුරක්ගොඩ - ඩබ්. ඒ. පියතිලක)

 රුපියල් ලක්ෂ 10කට වඩා වටිනාකමකින් යුත් සොමාවතිය ජාතික උද්‍යානයේ ඉතා  දුර්ලභ ශාක විශේෂයක් වන මී ගස්  අනවසරයෙන් කපා සුංගාවිල දෙසට ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින්  සිටියදි අද (11) පොලොන්නරුව කොට්ඨාශ දූෂණ මර්ධන අංශය විසින් පුද්ගලයින් දෙදෙනෙකු සමග ලී තොගය අත්අඩංගුවට ගත් බව කියයි.

ලංකාව තුල අධි ආරක්ෂිත ශාකයක් වන මී ශාකය මෙසේ සෝමාවතිය ජාතික උද්‍යානයේ සිට කපා ප්‍රවාහනය කරමින් සිටියදී  මුස්ලිම් ජාතික පුද්ගලයින් දෙදෙනෙක් සහ කපා කොටස් කරන ලද රුපියල් ලක්ෂ 10ක පමණ වටිනා දැව තොගය ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටර් රථය  අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියයි.  දින කීපයකට පෙර කපන ලද බව හඳුනා නොගැනීම සඳහා ලී තොගයේ මඩ තවරා ඇත්තේ  පරණ බව  පෙන්විම සඳහා බව සැකකරුවන් පවසා තිබේ.

මෙම ලී තොගය සෝමාවතිය ජාතික උද්‍යානයේ සිට සුංගාවිල නගරය දෙසට ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව රැයක් පහන් වනතුරු පොලොන්නරුව කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් උද්‍යානය තුළ රැකසිට මෙම වැටලීම සිදුකර තිබේ. පොලොන්නරුව කොට්ඨාශය භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ඒ. පි . ධමිමික  වීරසේකර  මහතාගේ  නියෝග පරිදි  පොලොන්නරුව කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටී. ඒ. ඒ. ගුණතිලක, පුලස්තිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.පී.පී. පතිරණ ඇතුළු පොලිස් සැරයන් 33324 උපාලි,  57428 ගාමිණි,  පොලිස් කොස්තාපල් 35698 කුමාර, 73141  අමරසිංහ,  71680 රාජපක්ෂ, 81872 සමන්, 91603 කැකුළන්දර , 27028 කුලතුංග යන නිලධාරින් එක්ව මෙම වැටලිම සිදු කර තිබේ.


 අත්අඩංගුවට ගත් දැව තොගය සහ ට්‍රැක්ටරය ඇතුළු සැකකරුවන් දෙදෙනා අද (11) දින පොලොන්නරුව අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව කොට්ඨාශ දුෂණ මර්ධන අංශය කියයි.