(තලවකැලේ - ශාන්ත චන්ද්‍රසිරි)
සුරාසැල් වසා තැබෙන වෙසක් පෝය දිනවල වැඩි මිලට අළෙවි කිරීමට නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබු මත්පැන් තොගයක් ලිඳුල, නෝනාවත්ත ප්‍රදේශයේදි අද (28) තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අරක්කු බෝතල් 48 ක් හා බියර් ටින් 24 ක් මෙසේ ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා පැවසීය.
වෙසක් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා තැබෙන හෙට (29) හා අනිද්දා (30) යන දිනවලදී හොර රහසේ මෙම මත්පැන් බෝතල් ඉතා ඉහළ මිල ගණන් යටතේ විකිණීම සඳහා රැගෙන යමින් සිටි බවද ඒ මහතා පැවැසීය.
එක් සැකකරුවෙකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මත්පැන් ප්‍රවාහනය කරන ලද ත්‍රී රෝද රථය හා මත්පැන් තොගය නීතිමය කටයුතු සිදු කිරීම සඳහා ලිඳුල පොලීසියට බාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.
මහනුවර කලාප භාර අණදෙන නිලධාරී, සහකාර පොලිස් අධිකාරී අසිත රණසුරීය මහතාගේ උපදෙස් අනුව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර, පොලිස් පරීක්ෂක වීරක්කොඩි, පොලිස් පරීක්ෂක රණසිංහ, පොලිස් කොස්තාපල් 8895 රණසිංහ, 83313 අජිත් සහ පොලිස් රියදුරු 13937 මනම්පේරී යන නිලධාරී මහතුන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.