අගුණකොළපැලැස්ස අධිකරණයේ නීතිඥවරු සතියක් ලෙඩ නිවාඩු



චන්ද්‍රසේන ගමගේ
 
අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරුන් බහුතරයක් පසුගිය සදුදා (26) සිට අසනීප බව පවසමින් අධිකරණයට නොපැමිණීම නිසා නඩු කටයුතු වලට බාධා පැමිණ ඇතැයි අගුණකොලපෑලැස්ස අධිකරණයේ ප්‍රකාශකයකු පැවසීය.

අගුණකොළපැලැස්ස අධිකරණයේ විභාග කරන නඩු වලට පෙනී සිටීම සඳහා නීතිඥවරුන් 7 ක් පෙනී සිටින බවත් ඉන් 5 ක්ම අසනීප බව දන්වා අධිකරණ නඩු කටයුතු වලින් බැහැර වි සිටින බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අසනීප වී ඇති බව සඳහන් නීතිඥවරු මීට ප්‍රථම අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරිය තම වෘත්තීය ගරුත්වයට හානි කරන බව පවසමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බව අගවිනිසුරුවරයාට මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබූ බවත් නීතිඥ සංගම් සභාපතිවරයා ඇති වි තිබෙන ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා මැදිහත් වෙන බව පැවසූ බවත් ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ග වලට නොගිය බවත් මේ වන විට අධිකරණයේ නඩු කටයුතු වලට පෙනී නොසිටිනා නීතිඥවරු පවසති.

විනිසුරුවරියට ස්ථාන මාරුවක් ලැබෙන තෙක් අසනීප බව දන්වා අධිකරණයේ නඩු කටයුතු වලට පෙනී නොසිටිනා නීතිඥවරු සේවයට වාර්තා නොකිරීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.