(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දිවයින පුරා පිහිටි වෙලද ව්‍යාපාරික ආයතන වලට ගොස් ගණුදෙනු කර විශ්වාසයක් ඇති වු පසු ගිණුමේ මුදල් නොමැති ව්‍යාජ චෙක් පත් දී රුපියල් ලක්ෂ ගණනින් භාණ්ඩ ලබා ගෙන විකිණීමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයින් තිදෙනෙකු මාතර ගොඩගම ප්‍රදේශයේ නිවසකදී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ඔවුන් අදාල නිවස රුපියල් පනස් දහසක් මාසික කුලී පදනම මත ලබා ගෙන ව්‍යාපාරික කටයුතු මෙහෙයවන ස්ථානයක් මුවාවෙන් මහා පරිමාණයෙන් මෙම ජාවාරම කර ගෙන ගොස් ඇත.
නිවස පරීක්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනකු තාප්පයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේ දී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් සැකකරුවකුට රුපියල් කෝටි 21 ක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් නඩු තුනක් පවතින බව පොලීසිය කියයි.
වැල්ලම්පිටිය සේදවත්තේ පදිංචි සැකකරුට වරෙන්තු 18 ක් විවෘත වරෙන්තු 11 හා මුදල් වංචා පැමිණිලි 51 ක්ද හෙයියන්තුඩුවේ පදිංචි සැකකරුට වරෙන්තු 12 ක්ද ලංකාවේ විවිධ ප්‍රදේශ වල උසාවි හා පොලීසි වල පවතින බවද පොලීසිය සඳහන් කළේය.
විදෙස්ගතව සිටින පුද්ගලයෙකුගේ බැංකු ගිණුමක් උපයෝගී කර ගෙන අත්සන් යොදා එම සැකකරුවන් මෙම ජාවාරම කර ගෙන ගොස් තිබේ. ඒ ආකාරයට මාතර දිස්ත්‍රික්කයේ වෙලද ආයතන රැසකින් ද ඔවුන් ව්‍යාජ චෙක්පත් දී රුපියල් ලක්ෂ ගණනින් වටිනා භාණ්ඩ ලබා ගෙන වංචා කර තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.
ලංකාවේ පොලිස් ස්ථාන රැසකට අවශ්‍යව සිටි බව කියන සැකකරුවන් තිදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.