64 වියැති වෙළෙඳ කාන්තාවකගේ කණට ගැසූ ආදායම් නිලධාරියාට පොලිස් ඇප


ඌරුබොක්ක සතිපොලේ දී හැට හතර හැවිරිදි වෙළඳ කාන්තාවකට කණේ පහරදුන් බවට ඉරිදා (19) සැකපිට අත්අඩංගුවට ගත් පස්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ආදායම් නිලධාරියා පසුව පොලිස් ඇප මත මුදාහල බව ඌරුබොක්ක පොලීසිය පැවසුවේ ය.

සතිපොලේ කොන්ත‍්‍රාත්කරු පැමිණ දිනට නියමිත බදු මුදල් රුපියල් දෙසිය දහය අයකරගෙන ගිය පසු සැකකාර ආදායම් නිලධාරියා පස්වරු එකයි තිහට පමණ පැමිණ පහර කෑම ලක්වූ කාන්තාවට රුපියල් දෙසිය දහයක් නොව තුන්සියය ගණනේ ගෙවිය යුතු බව පවසා තිබේ.

වසර ගණනක් තිස්සේ තම පුතාත්, තමාත් සතිපොලේ කඩ කාමර දෙකක් රුපියල් දෙසිය දහයකට බදුගෙන වෙළඳාම් කරන බවත් අදාළ බදු මුදල් පොළ ටෙන්ඩර්කරුට හිඟයකින් තොරව ගෙවා තිබිය දී, බදු මුදල වැඩිකරන්නෙ කෙසේ දැයි කාන්තාව සැකකාර ආදායම් නිලධාරියාගෙන් ප‍්‍රශ්න කරද්දී ඇයට කණේ පහර දී ඇතැයි පහර කෑමට ලක්වූ කාන්තාවගේ පුතා වූ තේමින්ද කුමාර යන අය ඌරුබොක්ක පොලීසියට පැමිණිලි කර තිබුණි.

පැමිණිල්ලට අනුව සැකකාර ආදායම් නිලධාරියා අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.