‘පුරවැසියන්ගේ අයිතිවාසිකම් දුර්වල කර දේශපාලඥයන් ශක්තිමත් කිරීම අරමුණයි’


(නිමල කොඩිතුවක්කු)       
 
රටට එරෙහි පිරිස් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය අහෝසි කරමු යන මාතෘකාව යටතේ පෙළ ගැසෙමින් සිටින බවත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් දුර්වල කර  දේශපාලඥයන්  ශක්තිමත් කිරීම මේ අයගේ අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා අද (7) පැවැසීය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය අහෝසි කරන බවට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ප‍්‍රකාශ කිරිමත් ජනාධිපතිවරයා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙනුත් මේ බව තහවුරු වන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. 

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා මෙසේ ද කීවේය.

 ‘‘රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදය පස්වැනි  සතියත් ඉක්මවලා ඉදිරියට යමින් තියෙනවා. විවිධ උපාය මාර්ග අසාර්ථක වුණාට පස්සේ ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂත් ඔහුට සහාය දක්වන කණ්ඩායමත්  දේශපාලනික වශයෙන් අලූත් තත්වයන්  නිර්මාණය කරමින් අවධානය වෙනතකට  යොමු කිරීමට  උත්සාහ ගනිමින් සිටිනවා. මින් රට තුළ ඇති අර්බුදය තවත් වර්ධනය වනවා.
දැන් ජනාධිපතිවරයා  නිවේදනයක් නිකුත්  කරමින් පවසනවා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනයේ ඇති අඩුපාඩු සකස් කිරිමට එතුමන් සූදානම් කියලා.

මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමත් ප‍්‍රවෘත්ති සාකච්ඡා  කියමින් කියනවා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය අපි අහෝසි කරනවා කියලා. 

18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය මගින් රටේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් යටපත් කරමින් පුරවැසියාගේ අයිතිවාසිකම් යටපත් කරලා ඒකාධිපතිත්වයක්  ගොඩනගන්න කරපු උත්සාහය මේ රටේ ජනතාව ප‍්‍රතික්ෂේප කරපු නිසා තමයි අපි තුනෙන් දෙකකටත් වඩා වැඩි ඡන්දයෙන් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය රටට අරන් ආවේ.

(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)