‘දේශපාලන අර්බුදයෙන් ආර්ථිකයේ දිගුකාලීන ප්‍රතිවිපාකවලට මුහුණදෙන්න වෙනවා’


හර්ෂණ තුෂාර සිල්වා

 
ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට දිගුකාලීනව දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කොළඹදී පැවැසීය.
 
වත්මන් දේශපාලන අර්බුදය නුදුරේදී විසඳා ගත්ත ද එම නිසා ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම දිගුකාලීනව පවතින බවත් එය ගණනය කළ නොහැකි තරම් විශාල යැයි ද මහාචාර්ය අබේරත්න මහතා කීය.
 
කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් මහාචාර්යවරයා එම කරුණු කීවේය. 
 
දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට බලපාන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මෙසේ ද කීය.
 
“ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු වූ දේශපාලන අර්බුදය ආර්ථිකයට කිසිසේත් හිතකර නැහැ. අපිට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. දේශපාලන අර්බුදය ඉදිරි දිනකදී විසඳා ගත්තත් එයින් ආර්ථිකයට සිදුවන බලපෑම නවතින්නේ නැහැ. එය දීර්ඝකාලීනව ආර්ථිකයට බලපෑම් එල්ල කරනවා. 
 
දේශාපලන අර්බුදය කම්පනය දිනයකින් දෙකකින්, සතියකින්, මාසයකින් නවතින්නේ නැහැ. එහි බලපෑම තවත් අවුරුදු ගණනාවක් තියෙනවා. ආයෝජකයන් ලංකාව පිළිබඳව සුළු හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් එයත් දැන් නැතිව යනවා”. 
 
 ඡායාරූප චතුර එස්. කොඩිකාර