’’විජේ’’ කච්චතිව් අපේ


යාපනයේදී ජනපතිගේ අත අල්ලන්න ආ අමුත්තා

යාපනය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ දින දෙකක නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සඳුදා කොළඹින් පිටත් විය. ජනාධිපතිවරයා සමග මැති ඇමැතිවරුන් ගණනාවක්ද ගමනට එකතු වූ අතර වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බිමල් රත්නායක මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක, නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල, උතුරේ ආණ්ඩුකාරවරයා, ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්, උපාලි සමරසිංහ යන මැති ඇමැතිවරු පිරිසක් ඒ අතර වූහ.

යාපනය පාස්පෝට් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව එදින මුලින්ම සිදුවිය. ‘මේක ලොකු දෙයක්. උතුරේ ජනතාවට තිබුණු ලොකුම ප්‍රශ්නයක්. ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් කීවේ එහි සිටි ඇමැති සුනිල් වටගල සමගය. ‘අපේ අමාත්‍යාංශය මේ තීන්දුව ගත්තෙ මෙහෙ ජනතාව කොළඹ ගිහින් රස්තියාදු වෙන එක වළක්වන්න. වවුනියාවේ කාර්යාලයයි, යාපනයේ කාර්යාලයයි දෙකක්ම උතුරේ ජනතාවට දැන් තියෙන නිසා පහසුවක් වෙයි....’ නියෝජ්‍ය ඇමැති වටගල කීවේය.

යාපනය නිල සංචාරයේ දී ජනාධිපතිතුමා කච්චතිව් දූපතට යාමට තීරණය කළේ හදිසියේය. එම ගමන නිල සංචාරයට ඇතුළත්ව තිබුණේ නැත. එහෙත් උතුරට ගිය පසු උතුරේ ධීවර ප්‍රජාව ඇතුළු මහජනතාව ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ කච්චදූව ලංකාවට අහිමි වේද? තමන්ට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිතර වීමට නොහැකි වේද? වැනි ප්‍රශ්නය. කිසිදා රටට අයත් භූමි ප්‍රදේශ අහිමි වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇති අතර කච්චතිව් නැරඹීමට තමාට යා යුතු බව ද පවසා ඇත. ඒ අනුව ගමන සූදානම් විය. නාවික හමුදා යාත්‍රාවකින් පැය දෙකක ගමනකින් පසු කච්චදූවට ගොඩ බට ජනාධිපතිවරයා දූපතේ සියලු පිහිටීම ඇවිද දැක බලා ගත්තේය. ඉන්දු - ලංකා මුහුදු දේශ සීමාව වැටී ඇත්තේ එම දූපතට ඔබ්බෙනි. මෑත කාලයේ එතරම් දුරක් ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු ගමන් කළ පළමු අවස්ථාව ද මෙය විය. කචච් දූව නරඹා යළි යාපනයට ආ ජනාධිපතිවරයා පැවසුවේ කච්චදූව කුමන ක්‍රමයකින්වත් අතහැරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බවය. ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

විශේෂයෙන්ම ධීවර ජනතාවට වැදගත් තැනක් තමා කච්චතිව් දූපත. අද විශාල සංවාදයක කච්චතිව් කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී තිබෙනවා. අපේ මුහුද ගොඩබිම අපේ අහස ආරක්ෂා කරන්න. අපි කිසිදු බල පෑමකට යටත් නොවන බව ඔබට කියන්න කැමැතියි....’ යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

මයිලඩි ධීවර වරායේ සංවර්ධන කටයුතු, යාපනය පුස්තකාලයේ ඩිජිටල් අංශයෙන් සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තැබීම, යාපනය ආගමන විගමන කාර්යාලය විවෘත කිරීම සඳුදා දිනයේ ජනාධිපතිවරයා අතින් සිදුවිය.

උතුරු පොල් ත්‍රිකෝණයේ බීජ ගොවිපොළක් පලෙයි ප්‍රදේශයේ දී ආරම්භ කිරීම පසුදිනයේ පළමු කටයුත්ත ලෙස සිදු කෙරිණි. අක්කර දහසය දහසක පොල් වගා කරන ව්‍යාපෘතියේ පොල් පැළ බෙදා දීම ඇතුළු කටයුතු සිදුවූයේද ජනාධිපතිවරයා අතින් පුදුකුඩිරිප්පුවේදීය. එහිදී වයෝවෘද්ධ පුද්ගලයකු වේදිකාවට පැමිණ ජනාධිපතිවරයාගේ අතින් අල්ලා ගත්තේය.

‘මම මේ උත්සවයට ආවෙ මට මොකුත් ගන්න නෙවෙයි. මේ රටේ ජනාධිපතිතුමා මෙතෙන්ට එනව කියල ආරංචි වුණා. මට ඕනෑ වුණේ ජනාධිපතිතුමාව දැක බලාගෙන එතුමාගේ අතින් අල්ලලා යන්න...’ එසේ කියමින් එම වැඩිහිටියා ජනාධිපතිවරයාගේ අතින් අල්ලාගෙන කියද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හැඟීම්බරව බලා සිටියේය.

ජනාධිපතිතුමනි, අපේ ආර්ථිකයට ශක්තියක් වෙන්න දෙදාස් තිහ වෙනකොට පොල්වලින් ඩොලර් බිලියන එකහමාරක් ඉපැයීමයි අපේ ඉලක්කය. මේ වෙනකොට වාර්ෂික අපනයන ආදායම ඩොලර් මිලියන අටසිය පනහයි. බිලියන එක හමාරේ ඉලක්කයට යන්න උතුරු පොල් ත්‍රිකෝණය අපට ශක්තියක් වෙයි කියල හිතනවා.....’ වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න එම උත්සවයේ දී සඳහන් කළේය.

දින දෙකේ දීර්ඝ නිල සංචාරයේ දී ජනාධිපතිවරයා හෙලිකොප්ටරයක් පාවිච්චි නොකිරීම විශේෂත්වයක් විය. කොළඹ සිට යාපනය දක්වා මුළු ගමනම සිදුවූයේ ජනාධිපතිවරයාගේ නිල මෝටර් රථයේය.

ජවිපෙ - පෙරටු ගැටුම

පෙරටුගාමී සමාජවාදි පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගිය පක්ෂයකි. යක්කල පෙරටුගාමී කාර්යාලයට ජවිපෙ හිතවාදීන් පිරිසක් පැමිණ පහරදුන් බව කියන සිද්ධියක් ඉකුත් සතියේ වාර්තා විය.

දෙපරිසම අයිතිවාසිකම් කීවේ කණ්ඩායම් දෙකම එක පක්ෂයේ සිටියදී භාවිත කළ කාර්යාලය පිළිබඳවය. මේ පිළිබඳ උසාවි නියෝගයකින් පසු තමන් එම ස්ථානයෙන් ඉවත්ව යාමට සිටියදී පහර දුන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි.

මොකක්ද පුබුදු සහෝදරයා යක්කල සිද්ධ වුණේ.....’ පෙරටුගාමීන්ගේ පක්ෂයට අනුබද්ධ ගොවි අරගල සංවිධානයේ සාමාජිකයක් පුබුදු ජයගොඩගෙන් විමසුවේය.

‘ඔය කාර්යාලයේ හිටියා වින්සන්ට් අප්පුහාමි කියල සහෝදරයෙක්. එයාට දැන් වයස අවුරුදු අසූවක් විතර. ඒ සහෝදරයා 71 අරගලයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ලොකු කාර්ය භාරයක් කරපු කෙනෙක්. අසූ නවයේදිත් ලොකු කාර්යභාරයක් කළා. විජේවීර සහෝදරයත් එක්ක රැස්වීම්වල කතා කළ කෙනෙක්. අනූහතරේ අපි පක්ෂය අලුතෙන් පටන් ගනිද්දි පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුලින්ම වැඩට බැහැපු කෙනෙක්. එයාව නොදන්න කෙනෙක් නෑ. මේ සහෝදරයා අපි පක්ෂය කැඩිල එද්දී අපිත් එක්ක ආවා. එයයි එයාගෙ බිරිඳවයි ඔය කාර්යාලයෙ තියාගෙන තමයි අපි බලා ගත්තෙ. මේ ආපු පිරිස ඒ සහෝදරයව අත්දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලල පද්දල එළියට වීසි කරලා....’ පුබුදු ජයගොඩ කියා සිටියේය.

පක්ෂයට විශාල සේවයක් කළ සහෝදරයෙක් කියලාවත් ඒ වයසක සහෝදරයා ගැන එයාල හිතපු නැති එකනෙ පුදුමෙ.....’ ගොවි අරගල නියෝජිතයා කීවේය.

‘ඒක තමයි මෙයාලගෙ අලුත් දේශපාලනය.... මෙයා අපේ පක්ෂයේ සංකේතය වගේ සහෝදරයෙක්. එතන අපි දාපු පුස්තකාලෙ පාවිච්චි කරපු ළමයි වගයක් පාඩම් කරමින් හිටියා. ඒ ලෙවල් ළමයි වගයකුත් හිටියා. ඒ ළමයින්ට හොඳටම ගහලා. ඒ ළමයි රෝහලේ. එයාලගෙ නෝට්ස් ඉරලා. මෙයාල අපිට ගැහුව එකෙන් රටට දෙන පණිවිඩය තමයි විරුද්ධ මත දරණ අයට පහරදෙනවා කියන එක....’ පුබුදු ජයගොඩ තවදුරටත් කියා සිටියේය.

සිදුවූ අසාධාරණයට විරුද්ධව තමන් අධිකරණයට යන බවද පුබුදු ජයකොඩි ගොවි අරගල නියෝජිතයාට පැහැදිලි කළේය. අනූව දශකයේ මුල ජවිපෙ යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීමේදී භාවිතයට ගත් මෙම කාර්යාලය පිහිටි ඉඩම පක්ෂය දෙකට කැඩීයාමෙන් පසු මතභේදයට තුඩු දුන්නේය. කෙසේ වෙතත් කැඩී යාමෙන් පසු පෙරටුගාමීන්ගේ කාර්යාලය ලෙස වසර දහතුනක කාලයක් මෙම ස්ථානය ඔවුන්ගේ භාරයේ තිබිණි.

විශ්‍රාමික මන්ත්‍රීන් ගැන කරු ජනපතිට ලියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගන්නා උත්සාහයට එරෙහිව හිටපු කතානායක කරු ජයසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඉකුත්දා ලිපියක් යැවීය. කරු ජයසූරිය එම ලිපියෙන් පෙන්වා දුන්නේ ජීවත්ව සිටින හිටපු මන්ත්‍රීවරුන්ගෙන් සියයට අනූවකට වඩා ඉතා දුක සේ ජීවත්වන බවය. ඒ බොහෝ දෙනා හොරු ලෙස ප්‍රචාරය වූ පිරිස පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පෙර මැතිසබය නියෝජනය කළ අය නිසා ඔවුන් ගැන සානුකම්පිතව බලන්නැයි කරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

රණවිරු දඩයමක් ගැන පොහොට්ටුව කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සී.බී. රත්නායක ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ සාකච්ඡාවක දී මතු වූ ප්‍රශ්නයක් වූයේ ආණ්ඩුව රණවිරු දඩයමකට සැරසෙන බවය. හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න සිරගතකර සිටීම ගැන මෙහිදී අවධානය යොමුවිය.

‘කොටින්ට ගෙනාපු කාලතුවක්කු උණ්ඩ ඇතුළු අවි විශාල තොගයක්  ගෙන ආ නැව් තුනකට නේවි එකෙන් ගහපු මෙහෙයුමට අණ දුන්නෙ නිශාන්ත උළුගෙතැන්න. මට මතකයි මම එදා ලයිව් වැඩසටහනක හිටියෙ. ගහල එද්දි අපි එයාව වැඩසටහනටත් ලයිව් සම්බන්ධකර ගත්තා. එහෙම රණවිරුවෙක් තමයි දැන් හිරේදාල ඉන්නෙ.....’ සංජීව එදිරිමාන්න හිටපු මන්ත්‍රීවරයා කීවේය.

‘ඒක තමයි ප්‍රශ්නෙ. රටට වැඩ කරපු රණවිරුවො විවිධ හේතු දාලා සිරගත කරන දඩයම පටන් අරන්. හිටපු නේවි කමාන්ඩර් මේ වෙනකොට ඉන්නේ හිරේ කියල රටේ ජනගහණයෙන් සියයට දෙකක්වත් දන්නවද දන්නෙ නෑ....’ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.

අපි මේ ගැන මොකද කරන්නෙ.... මොනව හරි කරන්න ඕනෑ...’ සාගර සහ සංජීව කියා සිටියහ.
‘මේ ගැන අතිගරු මහනායක හාමුදුරුවරුන් දැනුවත් කරමු. ඒකට වැඩ පිළිවෙළක් යොදා ගන්න....’ නාමල් රාජපක්ෂ කීවේය.

ඒ අනුව නාමල්, සාගර, සංජීව සහ සී.බී. රත්නායකට මහනුවර ගොස් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමේ කටයුතු භාර විය. මහලේකම් සාගර මේ පිළිබඳ නිවේදනයක් ද සැකසුවේ රණවිරු දඩයමට රජය ගෙන ඇති පියවර විස්තර කරමිනි.

නාමල්, මහලේකම් සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න සහ සී.බී. රත්නායක ඉකුත් සතියේ මහනුවරට ගොස් පළමුව දළදා වහන්සේ වැඳ පුදාගෙන මහනායක හිමිවරුන් බැහැදැකීමට ගියහ. සාගර කාරියවසම් තමා සකසාගෙන ගිය නිවේදනය උන්වහන්සේලාට පිළිගැන්වීය.

නාමල් ඇතුළු මන්ත්‍රීවරුන් මහනායක හිමිවරුන් සහ අනුනායක හිමිවරුන් හතර නම බැහැදැක හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සිරගත කර තිබෙන බව සහ තවත් රණවිරුවන් පිරිසක් සිරගත කිරීමට රජය උත්සාහ කරන බවටත් පැමිණිලි කළහ. හිටපු නාවික හමුදාපතිවරයා මේ වන විට සිරගතව සිටින බව උන්වහන්සේලා ඒ වනතුරුත් දැනුවත්ව නොසිටි බව මන්ත්‍රීවරුන්ට පෙනී  ගියේය. ඉන්පසුව ගැටඹේ රජමහා විහාරයටද පැමිණ නායක හිමියන් බැහැදුටු පිරිස උන්වහන්සේටද රණවිරු දඩයම ගැන විස්තර කළහ. මහනායකහිමිවරුන් බැහැදැකීමට ගිය සෑම අවස්ථාවකම උන්වහන්සේලා මුලින්ම විමසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳවය. ‘මහින්ද මහත්තයා සනීපෙන් ද....?’ උන්වහන්සේලා විමසූහ.

එහෙයි. නොවැම්බර් 18 උපන් දිනේට ආශීර්වාද ගන්න ඔබ වහන්සේලා බැහැ දකින්න මහින්ද මහත්තයා නුවර එනවා....’ හිටපු මන්ත්‍රීවරු කියා සිටියහ.

එම වැඩකටයුතු අවසන් කර පිරිස ආපසු එද්දී ගලගෙදර දී දූරියන් කඩයක් ළඟ නතර කළේ නාමල්ට දූරියන් කෑමේ ආශාවක් මතුවූ නිසාය. ඒ අවස්ථාවේ පිරිස එහි සිටින ආකාරය දුටු පාසල්වෑන් රථයක දරුවන්ට සෙල්ෆියක් ගැනීමේ වුවමනාවක් ඇතැයි පාසල්වෑන් රථ රියැදුරු වාහනය නවතා පැමිණ කියා සිටියේය. පාසල් දරුවන් සමග ඡායාරූපයකටද පෙනී සිටි නාමල් ඇතුළු කණ්ඩායම ආපසු එද්දී ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූයේ පෙරටුගාමී කාර්යාලයකට පිරිසක් පහරදී ඇති පුවතය.

සංජීව ඒ පක්ෂයේ කාගෙන් හරි අහල බලන්න මොකක්ද සිද්ධිය කියලා....’ නාමල් රාජපක්ෂ කීවේය.

සංජීව පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව අමතා ‘‘%අයියෙ මොකක්ද ප්‍රශ්නය?’ යැයි විමසීය.

බලන්න මල්ලී. අපේ කණ්ඩායමක් හිටිය කාර්යාලයකට පහරදීලා. හැත්තෑ එකේ කැරැල්ලෙත් හිටිය පැරණිම සාමාජිකයෙක්. මම යන්නෙ නෑ මෙතැනින් කියලා ඒ ස්ථානයේ වාඩිවෙලා... එතකොට ඒ ආපු අය මෙයාවට අත්වලින් කකුල්වලින් අල්ලල එළියට වීසි කරලා....’ දුමින්ද නාගමුව කියාගෙන ගියේය.

“අපි හෙට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරලා මේ ගැන විරෝධය පළකරමු. මේ කරපු වැඩේ වැරදියි....” නාමල් රාජපක්ෂ කියා සිටියේය.

නාමල් ඇතුළු මන්ත්‍රී පිරිස කොළඹට එනතුරුම කතා කරමින් ආවේ එකම පක්ෂයේ සිටි කණ්ඩායමක් දෙකට බෙදී විරසක වී සිටින ආකාරය ගැනය.
අපරාධකරුවන් රඳවන්න නව පනතක්

පාතාල අපරාධකරුවන් ලංකාවට ගෙන ඒම ඉකුත් සතියේ සිදුවිය. එම ක්‍රියාවලිය සිදුවීමත් සමග රජයේ අවධානය යොමු වී ඇත්තේ බරපතළ අපරාධකරුවන් රඳවා තබාගැනීමට ප්‍රතිපාදනන ලැබෙන පනත් නොමැති වීම ගැනය.

එකම ප්‍රතිපාදනය ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය තීන්දුකර ඇති නිසා එම පනත අහෝසි කිරීමෙන් මෙම අපරාධකරුවන් නිදහස ලබනු ඇතැයි මත පළවී තිබිණ. මේ නිසා රජය තීන්දු කර ඇත්තේ අපරාධකරුවන් ඇතුළු සැකකරුවන් රඳවා තබාගැනීම සඳහා නව පනත් කිහිපයක් සැකසීමටය. ඒ අනුව ඉතා කඩිනමින් එම පනත් සැකසෙන අතර නොවැම්බරයේ අයවැය යෝජනාවලියට පෙර එම පනත් සම්මත කරගැනීම රජයේ ඉලක්කයයි.

මන්ත්‍රීන් විස්සක් ඉන්දියාවේ සංචාරයක

පාර්ලිමේන්තු​වේ සිටින ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඉකුත් දිනවල ඉන්දීය සංචාරයක යෙදුණේ ඉන්දීය රජයේ නිල ආරාධනයක් පරිදිය. ඉන්දියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරු මෙම ගමනට සහභාගි වූහ. කණ්ඩායමේ නායකයා වූයේ මිත්‍රත්ව සංගමයේ සභාපති ඇමැති නලින්ද ජයතිස්සය. රවුප් හකීම්, රවි කරුණානායක, ගජේන්ද්‍ර පොන්නම්බලම්, ශ්‍රීදරන්, ජේ.සී. අලවතුවල, කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු පිරිසකගෙන් කණ්ඩායම සමන්විත විය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී සුහද කතාබහක නිරතවීමට ද කණ්ඩායමට අවස්ථාව ලැබී තිබිණ. දෙරටේම අනාගත සංවර්ධන කටයුතු ගැන මන්ත්‍රීවරු මෙහිදී අදහස් හුවමාරු කරගත්හ. මෙම ගමනේ අරමුණ වූයේ ඉන්දියාව සහ ලංකාව එකට වැඩ කිරීම සඳහා අඩිතාලමක් සැකසීමය. “කෝ තවම ලංකාව අපිත් එක්ක කිසිම වැඩසටහනකට එකතුවෙලා නෑනෙ. අපේ ආයෝජකයන්ට පැහැදිලි අවස්ථාවක් ලැබිල නෑනෙ....’ එහිදී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රවි කරුණානායක මන්ත්‍රීවරයාගෙන් විමසද්දී ​ රවි පිළිතුරු නොදී වෙනත් කතාබහකට මාරු විය. මෙම ගමන තුළ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ බෙදීමකින් තොරව ආණ්ඩුවේ කණ්ඩායම හැසිරුණු   අතර      රවි කරුණානායක හිටපු  ඇමැතිවරයාගෙන්     විමසුවේ අතීතයේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවූ ආකාරය ගැනය. සභාව පාවත්වාගෙන යාම සඳහා එම අත්දැකීම් ඉගෙනගැනීමට මන්ත්‍රී කණ්ඩායමට අවශ්‍ය වී තිබිණ.

විපක්ෂනායක සජිත් මහවැලි ප්‍රදේශයේ

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේ සිවිල් සංවිධාන එකමුතුව හමුවූයේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේදීය. ඉන්පසුව පොළොන්නරුව අනුරාධපුර හා මහවැලි කලාපවල ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට එම ප්‍රදේශවල සංචාරයක යෙදුණේය.

අගෝස්තු 30 වැනිදා පොලොන්නරුව ගොවීන් පිරිසක් සජිත් හමුවීමට කැඳවා තිබුණේ පොළොන්නරුව දුන්හිඳ හෝටලයේදීය. ඉන්පසුව පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවී ඔවුන් සමග ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවල සේවය කිරීමේ දී ඇති ගැටලු අඩුපාඩු හා කළයුතු සේවය ගැන සාකච්ඡා කළේය. ගමන අතරතුරදී එජාපය සමග දිගු කලක් තිස්සේ සමීපව කටයුතු කරන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට යාමට ද කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීමට ද කටයුතු කළේය.

එජාප සංවත්සරය කල්යයි

නායක රනිල් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිය දී එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස්වූයේ වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමටය. 

“සර් තාමත් සම්පූර්ණ සුවය ලබල නැති නිසා අප මේ සංවත්සරය ඉක්මනින් තියන්න කලබල වෙන්නේ මොකටද” යැයි මහලේකම් තලතා එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

“සර් බලන වෛද්‍යවරු එක්ක මම කතා කළා. ඒ අය කියන්නේ තව ටික කාලයක් විවේක ගත්තොත් හොඳයි කියලා. මේ වෙලාවේ රැස්වීම්වලට ගිහිල්ලා මහන්සි වෙන්නේ මොකට ද”‍ වජිරද  කීවේය .

නමුත් රනිල් ගේ ස්ථාවරයේ වූයේ කතිකා කර ගත් පරිදි සැප්තැම්බර් 6 වැනිදා එජාප සංවත්සරය පැවැත්විය යුතු බවයි. ඒ වන විට ආරාධනා පත්‍ර ද මුද්‍රණය කර අවසන් කර තිබිණි. නමුත් කළමනාකරණ කමිටුවේ දැඩි ඉල්ලීමට අනුව සංවත්සර උත්සවය කල් දැමීමටත්, එය මේ මාසේ 21 වැනිදා අනිවාර්යයෙන් පැවැත්වීමටත් කතිකා කෙරිණි.

වෛද්‍යවරුන් ඉඩ ලබා දෙනවා නම් - රනිල් සංවත්සරය උත්සවය සඳහා සහභාගී වීමට කැමැත්තෙන් සිටි නමුත්, ඊට වෛද්‍ය අනුමැතිය ලැබුණේ නැත. වෛද්‍ය නිර්දේශය වූයේ අවසරයකින් තොරව මහජන හමු ආදියට සහභාගී විය යුතු නැති බවයි.රනිල්ට සිරිකොත පක්ෂ මූලස්ථානයට යාමට පවා තවම වෛද්‍ය අවසරය ලැබී නැත.සහභාගී විය යුතුම රැස්වීම් හමු ආදිය සූම් තාක්ෂණයෙන් පැවැත්විය යුතු බව වෛද්‍ය උපදේශයයි. සංවත්සර උත්සවය ඇමතිය යුතුම නම් විනාඩි දහයක් පමණ අවසර දිය හැකි නමුත්, හෙට අනිද්දා වන විට ඒ අවසරය දිය නොහැකි බව වෛද්‍යවරුන් තදින්ම කියා තිබේ.

මේ අනුව කළමනාකරණ කමිටුවේ ඒකමතික අදහස වූයේද සංවත්සරයේ කල් තබා පසුව පැවැත්වීම සුදුසු බවයි.

විපක්ෂයේ එකමුතුව

විසිරී තිබූ විපක්ෂයේ බලය රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග යළි ඒකරාශී විය.

“දැන් විපක්ෂයේ මූලික අරමුණ වෙන්න ඕන සියලු‍ දෙනා එක්ව මේ අර්බුද සඳහා මුහුණ දීම. එක්සත් ජාතික පක්ෂයේ වගේම සජබ ඔක්කොටම එක්ව වැඩ කිරීමේ පදනම දැන් වැටිලා තියෙනවා.නාමල් ලා වෙනම හිටියත් ප්‍රධාන ප්‍රශ්නවල දී සාකච්ඡා කර එක මේසයකට පැමිණීමට නියමිතයි”‍රනිල් එජාප නිලධාරීන් හමුවේ කීය.

“නාමල්ටත් පක්ෂ සංවත්සරයට ආරාධනා කරලා තියෙන්නේ. විපක්ෂයේ සියලු‍ම පක්ෂ වලට අපි ආරාධනා කරනවා”‍ වජිර කීවේය.

විපක්ෂයේ සියලු‍ පක්ෂ සමග ඒකාබද්ධ එකඟතාවයකට එන්නට බැරි වුණත් පොදු කරුණුවලදී ඒකරාශී වී ක්‍රියා කරන බව නාමල් පවසා තිබිණි. විපක්ෂයේ අනෙක් පක්ෂ ද ඒ කාරණය පිළිගත්තේය.නමුත් එක්සත් ජාතික පක්ෂයට සහ පොහොට්ටුවට එක්ව වැඩ කිරීමේ ගැටලු‍වක් ඇති බව නොපෙනිණි. ඒ ආර්ථික අර්බුද සමයේ දීත් පොහොට්ටුවේ උදවිය රනිල්ට ශක්තියක් වෙමින් උපකාර කළ හෙයිනි.මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු‍ පක්ෂ එක්ව බලමුළු ගැන්වීමට නියමිතව තිබේ.

“නඩු නම් දැන් ඉවක් බවක් නැතුව පටවලා තියෙනවා තමයි. හැබැයි මේවා ඇත්ත කියලා ඔප්පු කරන්න ඕන”‍ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැමගේ ඒකමතික මතය එය විය.

සමාජ මාධ්‍ය සහ රනිල් 

හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත්, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කැඳවූ රනිල් පැවසූයේ තමා අර්බුදයට පත්වූ අවස්ථාවේ ඇත්තටම සහය දුන් යූ ටියුබ් කරුවන් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ස්තුති කළ යුතු බවයි. 

මේ අනුව රනිල් ස්තුති කිරීමේ ඉතා කෙටි වීඩියෝවක් නිකුත් කළේය.වර්තමානයේ සිටින අයුරින් ඉතා චාම් අන්දමින් එහි පෙනී සිටිය යුතු බව රනිල් කීවේය. අදාළ ස්තුති කිරීමේ වීඩියෝව මාධ්‍යයට මුදා හැරුණේ ඒ අනුවයි.

අනතුරුව රනිල් අසීරු අවස්ථාවේ සහය දුන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට දිනිත් ගේ සහ ශානුක ගේ ජංගම දුරකථනවලින් අමතමින් පෞද්ගලිකවම ස්තුති පළ කළේය.ඉතා ඉක්මනින් ඔවුන් හමුවීමට අදහස් කරන බවද රනිල් පැවසීය.

වජිර කිරි උතුරවයි  

එජාප සභාපති  වජිර පවුලේ උදවිය සමග අනුරාධපුරයට ගියේ තවත් සුවිශේෂ කටයුත්තකට සම්බන්ධ වීමටය. ඒ අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියස සූදානම් කර තිබු සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ පූජාවට සම්බන්ධ වීම සඳහායි. නායක රනිල්ට නීරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ පින්කමේ මූලික අරමුණ විය.වජිරගේ උපන් දිනයේ යෙදී තිබුණේත් එදිනටමය.වජිරට මෙන්ම පවුලේ අයටත් ඒ කාරණය සුවිශේෂී වූයේ ඒ නිසාය. ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්නට පැමිණි ජනතාවත් ඒ පින්කමට සහභාගී වූහ.

අනතුරුව වජිර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ද හමු විය.

රාජ දූත