’දැවැන්ත පරිවර්තනයක් රට ඉල්ලා සිටිනවා


සමගි ජන බලවේගයේ හාලිඇළ ප්‍රධාන සංවිධායක ආචාර්ය 

 ප්‍රදීප් එන්. වීරසිංහ

  • මම මෙතැන ඉන්නේ පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් එක්ක. විශේෂයෙන්ම සිදුවිය යුතු සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තය කුමන ආකාරයක් ගත යුතුද කියලා මට දැක්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා. ඒ දැක්ම හා වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කරලා ඒ ගැන මහජනතාගේ අදහස් උදහස් අරගෙන තමයි මම කටයුතු කරන්නේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහතා සමගි ජන බලවේගයේ හාලිඇළ ප්‍රධාන සංවිධායක ලෙස ඉකුත්දා පත්විය. මේ ගමනේ අරමුණ කුමක්ද? ඒ මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධයෙනි


?කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන ඔබ ඇයි හදිසියේම  දේශපාලනයට පිවිසුණේ? 


හදිසියේම නොවෙයි. 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ ඊට කලින් රට තුළ ඇතිවෙලා තිබුණ තත්ත්වයත් සමග තමයි මම ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ. 


ඒ කාලයේදී රාජ්‍ය පාලනය ගැන දැඩි  විවේචනයක් ඇතිවෙලා තිබුණා. යහපාලනයක්, විනිවිද භාවයක් සහ වගවීමක් සහිත ආණ්ඩුකරණයක් ගැන මහජන චරිතයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ වෙලාවේ තමයි මම එක්සත් ජාතික පක්ෂයේ  මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ. 


?ඔබ ඉන්නේ කොළඹ. නමුත් ඡන්දෙ ඉල්ලන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළෙන්? 


ඔව්. කොළඹ වෘත්තීය ජීවිතය ගක කළාට මගේ මුල් තියෙන්නේ ගමේ. 


විශේෂයෙන්ම කිවයුතු කාරණයක් තියෙන්නේ පසුගිය දශක දෙක තුනක කාලය ගත්තොත් බදුල්ල දිස්ත්‍රික්කය කියෙන්නේ කොළඹ යටත් විජිතයක්. ඒ විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. 


උදාහරණයක් කිව්වොත් කොළඹ මූල්‍ය සමාගම් අතර දිස්ත්‍රික්කයේ පහළ මධ්‍යම පන්තිය සහ පීඩිත ජනයා ණය උගුලක  හිර කරලා තියෙන්නේ. ඔවුන් ඒ ජනයාව සූරාකනවා. අපේ ගොවි ජනතාව දුක් විඳලා වගාවන් කළාට ආදායම යන්නේ කොළඹට අපේ ජනතාව අතට පත්වෙන්නේ සොච්චමක්. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. කොළඹ  යටත් විජිතයෙන් බදුල්ල දිස්ත්‍රික්කය මුදාගත යුතුයි. 


?ඔබ දේශපාලනයට ආවේ එජාපයෙන්. නමුත් දැන් ඉන්නේ සජබේ. මේ වෙනස වුණේ කොහොම ද? 


සජබය තමයි ලංකාවේ අද පවතින වාතාවරණය තුළ මේ තියෙන සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදය හමුවේ වැඩියෙන්ම පීඩාවට පත්වෙලා ඉන්න පහළ මධ්‍යම පන්තිකයන් සහ දුගී දුප්පත් ජනතාවගේ ජීවන ඉරණමට වඩාත්ම සංවේදී දේශපාලන පක්ෂය. 


බිම් මට්ටමේ ජීවත් වන ජනතාවගේ ඒවගේම මේ රටේ අපේක්ෂාභංගත්වයට පත්වෙලා ඉන්න තරුණ පරපුරේ උවමනාවන් ගැන වඩාත්ම සංවේදී ලෙස ආමන්ත්‍රණය කරන්න දීර්ඝ කාලීන ගැඹුරු ප්‍රතිපත්ති රාමුවක් තියෙන, ඒ වෙනුවෙන් පෙනී සිටින, ප්‍රධානම දේශපාලන දහරාව තමයි සමගි ජන බලවේගය. 


ඒ එක්කම ඊටත් වඩා මම අවධානය යොමු කරන කාරණයක් තමයි, ප්‍රජාතන්ත්‍රවාදී අදහස්. ප්‍රජාතන්ත්‍රවාදය  කියන එක රටක ව්‍යවස්ථාව  තුළ පමණක් නොව දේශපාලන පක්ෂ ඇතුළෙත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තියෙන්න ඕනෑ. 


පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පක්ෂයේ සාමාජිකයන්ට සියලුම ක්‍රියාකාරිත්ව ඒ පක්ෂයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව සහභාගි වීමට යන්ත්‍රණයක් තියෙන්න ඕනෑ. ඒ එක්කම රටේ තමන්ගේ දේශපාලන පක්ෂයේ නායකයන් විවේචනය කරන්න. යෝජනා ඉදිරිපත් කරන්න බිම් මට්ටමේ සිට ඉහළම ප්‍රතිපත්ති සම්පාදනය කරන්න පක්ෂයේ සාමාජිකයන්ට අවස්ථාවන් තියෙන්න ඕනෑ. 


අපේ රටේ තියෙන අනෙකුත් සියලුම  දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් දකින්න ලැබෙන්නෙ නෑ. ඒවා නායකයාගේ ඒකාධිපති පාලනය මෙන් දේශපාලන පක්ෂ ඒ වගේම කොළඹ කේන්ද්‍රීයව නායකයා වටා ඉන්න කුඩා කණ්ඩායමක් සමස්ත දේශපාලන ක්‍රියාවලිය  සම්බන්ධයෙන් තීරණ ගන්න තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නෙ. ඒවා ඉතාම රහසිගතයි, ගුප්තයි. 


නමුත් සජබ කියෙන්නේ එහෙම පක්ෂයක් නොවෙයි. බිම් මට්ටමේ සිට සියලුම දේශපාලන  ක්‍රියාකාරීන්ට පක්ෂයේ සහ රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීය ලෙස සහභාගිවීමට පුළුවන් යාන්ත්‍රණයක් තියෙනවා. 


ඒ වගේම ඔවුන්ගේ අදහස් උදහස්වලට සවන් දෙන නායකත්වයක් ඒකත් එක හේතුවක්, මට සජබ තෝර ගන්න. 


?විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වුණ ඔබේ මේ මජර දේශපාලනයට ඒම අවදානමක් බාර ගැනීමක් නොවෙයි ද? 


ඔව්. මේක සම්පූර්ණයෙන්ම අවදානමක්. මගේ  වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යොමුවන අවස්ථාවක්. හැබැයි දැන් අපේ රටේ තියෙන දේශපාලන ක්‍රමය ඔබට මතක ඇති අරගලය අවස්ථාවේ තිබුණ ප්‍රධානම සටන් පාඨය තමයි සිස්ටම් චේන්ජ් එකක් කියන එක.


අපේ රටේ සමස්ත දේශපාලන දහරාව සම්පූර්ණයෙන්ම ජරාජීර්ණ වෙලා. ඕජස් ගලමින් නැවත ගොඩගන්න බැරි තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා 225ම ගෙදර යා යුතුයි කියන සටන් පාඨය ආවා. ජනතාව දේශපාලකයන් එපා කියනවා. මේ ක්‍රමය දැඩි ලෙස විවේචනය කරනවා. නමුත් අපි එහෙම විවේචනය කරමින්ම ඉඳලා හරියන්නෙ නෑ. මේ පවතින ජරා ජීර්ණ දේශපාලන  ක්‍රමය වෙනස් කිරීම සඳහා අපි තනි පුද්ගලයන් වයෙන් හෝ දායක විය යුතුයි. එහෙම නැතිව විවේචනය කර කර ඉන්න එක හැමෝටම පහසුයි. 


නමුත් රටට විශාල සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනයට පුද්ගලයෙක් වශයෙන් මගේ අත්දැකීම් සහ විවිධ ක්ෂේත්‍රවල මගේ තියෙන විශේෂඥභාවය හරහා යම් මැදිහත්වීමක් කළ හැකියි. 


මේක අවදානම්ය සහගතයි තමයි. දේශපාලන පක්ෂ හෙවත් ජාවාරම්කාරයන්ට සින්න වුණ පවුල් දේශපාලනයක් තියෙන්නේ. ඒක තුළ මම බාරගත්තේ විශාල අභියෝගයක්. නමුත් මම ඒ අභියෝගය බාර ගන්නවා. මොකද කවුරු හරි මේ කැපවීම කරලා මේ සමාජය ඉල්ලන  පරිවර්තනය නොකළොත් අපේ අනාගත පරම්පරාවට අපට වඩා විශාල වශයෙන් දුක් විඳින්න වෙනවා. ඒ නිසා ඒ පීඩාකාරී ඉරණමෙන් ජනයා මුදවාගැනීමේ අරමුණෙන් මම මේ අවදානම බාර ගන්නවා. 


?වියත් මග වැනි සංවිධාන බිහිවුණා. උගතුන් වියතුන් දේශපාලනයට ඇවිත් මොනවද කළේ කියලා ඇහුවොත්? 


ඒ ආපු කණ්ඩායම මම දන්නේ නැහැ. තමන් ආපු අරමුණ වෙනුවෙන්  කොයිතරම් දුරට අවංකව මැදිහත් වුණාද කියලා. උගතුන් වියතුන් දේශපාලනඥයන් මේ හැම කෙනෙක්ම අද පවතින අයහපත් තත්ත්වයට වග කියන්න ඕනෑ. ඒ ආපු කණ්ඩායම ආවේ අවංකවම ද කියන ප්‍රශ්නය මටත් තියෙනවා. 


මම මෙතැන ඉන්නේ පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් එක්ක. විශේෂයෙන්ම සිදුවිය යුතු සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තය කුමන ආකාරයක් ගත යුතුද කියලා මට දැක්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා. ඒ දැක්ම හා වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කරලා ඒ ගැන මහජනතාගේ අදහස් උදහස් අරගෙන තමයි මම කටයුතු කරන්නේ. නමුත් මම හිතන්නේ නෑ අර ඔබ කියපු කලින් ආපු කණ්ඩායම එහෙම මැද කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ඇතුව ආවා කියලා. 


ජනප්‍රිය සටන්පාඨවලට ඒගොල්ලො නායකත්වය දුන්නා මිසක් ශක්තිමක් හා නිවැරදි වැඩපිළිවෙළක් ඔවුන් ඉදිරිපත් කළේ නෑ. ඒ නිසාම තමයි අද අපි මුහුණදීලා ඉන්න තත්ත්වයට රට පත්වෙලා තියෙන්නේ. 


නමුත් මම ඉන්නේ වියයුතු පරිවර්තනය කුමක්ද? ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මොකක්ද? ඒ වගේම ඒකට ක්‍රියාකාරී සැලසුමක් ඇතිවයි. ඒ අරමුණ වෙනුවෙන් මම යනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. 


?මැතිවරණ දෙකක් ආගිය අතක් නෑ. ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් එන පාටයි. ඔබ කොහොමද මේ තත්ත්වය දකින්නේ? 


ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියාට පස්සේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ ඉතාම අනතුරක. ගෝඨාභයගෙන් පසුව ආපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තේරී පත් වුණේම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් නොවෙයි. අඩුම තරමින් ඔහු ජනාධිපති වුණාට පස්සේ මොනවද කරන්නේ කියලවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. 


ඔබ දන්නවා ... රටක නායකත්වයට පත්වෙන කොට තමන් බලයට පත් වුණාට පස්සේ ක්‍රියාවට නංවන ප්‍රතිපත්ති මොනවද කියලා මහජනතාව හමුවේ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රතිපත්තිවලට තමයි අනුමැතිය ගත්තේ. මෙතැනදී අඩුම තරමින් පාර්ලිමේන්තුව තුළදී එහෙම ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන්නේ නැතිව ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමකගේ සහයෝගයෙන් තමයි එතුමා මේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය අරගෙන යන්නේ. 


ඒ නිසා එතුමාට ගන්න සිද්ධ වෙන හැම තීරණයකදීම එතුමාට හිතන්න වෙලා තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නමුත් පාර්ලිමේන්තුව තුළ සිටින දුෂ්ට කණ්ඩායමේ සතුට ගැනයි . ඒනිසා ඔහු නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන බව පේනවා. මොකද ඔහු රටේ ජනප්‍රිය නායකයෙක් නොවෙයි. ජනතාවගේ සිතුම් පැතුම් ඔහු හඳුනන්නේ නෑ. 


ඒ වගේම ඔහුට මේ රට එක අඟලක් එහාට ගෙනියන්න බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි. ඉහළ ප්‍රභූ පත්නිය හා ජාවාරම්කාර පන්තිය සතුටු වෙන විදියට තමයි ඔහු කටයුතු කරන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අනතුරක්. අතීතයේ ඔහුට තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම නැති වෙමින් තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම විරෝධය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයකට යමින් සිටින ගමන වැළැක්වීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන හැම දෙනාගෙම වගකීමක් . 


අන්තර්ජාලය  පාලනය කිරීමේ පනතක් ගෙනත් තියෙනවා. ඡන්ද අතුරුදන් කරලා තියෙනවා. 


වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කිසිම මාර්ගයක් අරගෙන නෑ. ඒ නිසා මහ මැතිවරණය දිනාගැනීමේ අරගලයට සියලුම දෙනා අත්වැල් බැඳගත යුතුයි. 

 

 


සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්