‘කොරෝනා නිසා ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා‘


(ඩයනා උදයංගනී)

කෝවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ළමා ශ්‍රමය යොදා ගැනීම මෙන්ම ළමයින් යොදාගෙන මුදල් ඉපයීමේ ජාවාරම් ද සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නීති ගෙන එන බව ද  අමාත්‍යවරයා කීවේය.

ඒ වෙනුවෙන් ළමා හා කම්කරු නීති, අණපනත් සංශෝධනය කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම කාන්තා, තරුණ හා ළමා රැකියා පනත යටතේ ඇති අන්තරාකාරි වෘත්තීය රෙගුලාසි සමාලෝචනය කිරීමට කාලය එළැඹ ඇතැයි   කී ඇමතිවරයා ඒ සඳහා කළ යුතු පනත් සංශෝධන පිළිබඳ යෝජනා තමන්ට ලබාදෙන්නැයි අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවති සාකච්ඡාවකදීය.

ළමා ශ්‍රමයට හේතුව දෙමාපියන්ගේ දුප්පත්කම බවට ඇතැමුන් අර්ථ නිරූපණය කළත්, බාල වයස්කාර දරුවන් රැකියාවෙහි යෙදවීම හා මුදල් ඉපයීමට යොදා ගැනීම නීති විරෝධී බවත්, මත්වලට ඇබ්බැහි වූ දෙමව්පියන් වැඩි වශයෙන් මෙම වරද සිදුකරන බවත් ඇමතිවරයා පැවසීය.

මුදල් ඉපයීමේ කටයුතුවලට ළමයින් යොදා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කළ යුතු බව කී ඇමැතිවරයා වීදි වල සැරිසරන මෙම ළමුන් පිළිබඳව නිරන්තර වැටලීම් සහ විමර්ශන කළ යුතු බව ද අවධාරණය කළේය.