​මේ තත්ත්වයෙන් රට බේරා ගන්න රජයට උදව් කරන්න අපි ලෑස්තියි


සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක   

 

 

රටේ නව දේශපාලන පෙළ ගැසීම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - අද රටේ තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ?   


පිළිතුර - අද රට ඉතාම අමාරු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. කොරෝනා උවදුර හැම තැනම පැතිරිලා ඉවරයි. ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරීම තුළ ජනතාව ඉතාම පීඩාවට පත් වෙලා ඉන්නේ. රෝහල් පිරිලා. දැඩි සත්කාර ඒකක පිරිලා. විශේෂයෙන්ම රජය නිවැරැදි දත්ත හෙළි කරන්නේ නෑ. දවසකට මියයන සංඛ්‍යාව ආසාදිතයන් බවට පත් වන සංඛ්‍යාව රට දන්නේ නෑ. අපි වගකිවයුතු විපක්ෂයක් හැටියට ප්‍රකාශ කළා ඇඳිරි නීතිය හරියට දාලා ‘ලොක් ඩවුන්’ එකකට යන්න කියලා. පහුවෙලා හරි ආණ්ඩුව එතැනට ආවා. 


ප්‍රශ්නය -  ලොක් ඩවුන් කළාම ප්‍රශ්නය විසඳෙනවද?   


පිළිතුර - පැතිරෙන එක පාලනය වෙනවා. ජනතාව තුළ තියෙන බිය නැති වෙනවා. අඩුම තරමින් ජනතාව හිතනවා, දැන්වත් ආණ්ඩුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව වැඩ කරනවා කියලා. දැන් බලන්න ආර්ථිකය. අද මිනිස්සු තුන් වේලා කාපු මිනිස්සු දෙවේල කාල ඉන්නේ. බඩු මිල දිහා බැලුවාම, ගෑස් මිල, ඉන්ධන මිල. ගෑස් මිල ඉහළ දැමීමත් සමග ආහාරවල මිල ඉහළ යනවා. හාල් ඇටයේ සිට සියල්ලෙහිම මිල ඉහළ ගිහින්. මේ බර දරා ගන්න ජනතාවට පුළුවන්ද? මේකට නිශ්චිත දියුණු ආර්ථික වැඩපිළිවෙළක්, විද්‍යාත්මක සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. අද රටේ තරුණ තරුණියන් රැකියා විරහිතව ඉන්නේ. මේ රට දාලා පිටරට යන්න ලක්ෂ හය හමාරක විතර තරුණ පිරිසක් ඉල්ලුම් පත්‍ර දාලා තියෙන්නේ. මේ ආණ්ඩුව බලයට ආවේ බිම් අඟලක් නොරටුන්ට විකුණන්නේ නැතිව තරුණ තරුණියන්ට රැකියා සුලභ කරනවා කියලා, දූෂණයට එරෙහිව වැට බඳිනවා කිව්වා. ඒ සටන් පාඨ පාවිච්චි කරලා තමයි මේ අය බලයට පත් වුණේ. දැන් මේ පාර්ලිමේන්තුවට අවුරුද්දක් වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා අවුරුදු දෙකකට කිට්ටුයි. මේ තත්ත්වයට රට පත් වෙයි කියලා ඇත්තෙන්ම අපි හිතුවේ නෑ. ඉතාම භයානක තත්ත්වයක රට තියන්නේ. මේ තත්ත්වයෙන් රට බේරා ගන්න වගකිවයුතු විපක්ෂයක් හැටියට රජයට උදව් කරන්න අපි ලෑස්තියි. නමුත් උද්ධච්ඡ රජය ඒ කිසිවකුට ඇහුම්කන් නොදෙමින් රට ප්‍රපාතයකට ඇදගෙන යනවා.   


ප්‍රශ්නය -  ලෝක වසංගතයත් එක්කමයි මේ ආණ්ඩුව පටන් ගත්තේ. ඒ ව්‍යසනයට මුහුණ දෙන්නට ආණ්ඩුවට සිදු වුණා. ඒ නිසා ආණ්ඩුවට යම් සහන කාලයක් දෙන්න ඔබලා සූදානම් නැද්ද?   


පිළිතුර - අපි අවුරුදු එක හමාරක් තුළ සහන කාලයක් තමයි මේ දීලා තියෙන්නේ. මේ ලෝක වසංගතය ලංකාවට විතරක් නොවෙයිනේ. ලෝකයේ හැම රටක්ම මේකට බිලි වුණා. හැබැයි අපි දකිනවා ඒ රටවල් එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ජනතාවගේ ආර්ථිකයත් ශක්තිමත් කරමින් නිවැරැදි වැඩපිළිවෙළක් හරහා රටවල් යථා තත්ත්වයට පත් කර ගනිමින් ඉන්නවා. එංගලන්තය, ඇමෙරිකාව බැලුවාම ඒ ගොල්ලන්ගේ ආර්ථිකය කඩා නොවැටෙන්න ඒ අය කටයුතු කරලා තියෙනවා. ලෝක වසංගතයෙන් බේරෙන්න ඒ රටවල් කටයුතු කරනවා. අපේ පාලකයන් මොනවද කළේ. තමන්ගේ ගජ මිතුරන්ට බදු සහන දුන්නා. ඒකෙන් ආර්ථිකය වැටුණා. ඒ විපාකය තමයි මේ ගොල්ලෝ ගෙවන්නේ. හරි ප්‍රතිපත්තියක් නැතිව හිතුමතේ එක පුද්ගලයකුගේ කට වචනයට නිකුත් කරන චක්‍රලේඛන මත පදනම්ව කටයුතු කරනවා නම් මේ රටේ ජනතාව ගෙවන්නේ ඒ වන්දියයි. අපට හරිම කණගාටුයි. රට ගැන ජනතාව ගැන. අපේ රටේ ඉරණම මේකද කියලා අපි කල්පනා කරනවා. හැබැයි ආණ්ඩුවට තව දුරටත් මෙහෙම කටයුතු කරන්න ඉඩ නොදිය යුතුයි.   


ප්‍රශ්නය - ඔබ විසඳුම හැටියට යෝජනා කරන්නේ.   


පිළිතුර - මේ ආණ්ඩුවට කරන්න බැරි නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායමට රට බාර දීලා ගෙදර යා යුතුයි.   


ප්‍රශ්නය - එන්නත්කරණය සාර්ථකව රට පුරා ක්‍රියාත්මකයි. ඉදිරි කාලයේදී රට යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතන්නේ නැද්ද?   


පිළිතුර - පරක්කු වැඩියි. ඒකයි මම කියන්නේ. එන්නත්කරණය පටන් ගන්න තිබුණේ මීට මාස හයකට විතර කලින්. අපි ගිය අවුරුද්දෙ ඉඳන් කිව්වා එන්නත්කරණය පටන් ගන්න කියලා. 

 
අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගන්න කිව්වා. ආර්ථික විශේෂඥයන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න කියලා. ඒ විතරක් නොවෙයි. මේ රටේ පරිසරයට මේ ගොල්ලෝ කරපු හානිය බලන්න.   


ප්‍රශ්නය - ආණ්ඩුව කිව්වා පරිසර විනාශය ගැන ආණ්ඩුවට චෝදනා කරන්නේ මඩ ගහන්න කියලා?   


පිළිතුර - ඔබ එන්න මාත් එක්ක යන්න. මම ඔබට පෙන්වන්නම්. මේ අවුරුදු එක හමාර දෙක තුළ මේ රටේ ඉතිහාසය දිහා බැලුවම මේ තරම් පරිසර විනාශයක් කරපු ආණ්ඩුවක් නෑ. ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඒ ගොල්ලන් ඉන්න දිස්ත්‍රික්ක වල කැමැති කැමති විදියට කැලෑ කපනවා. එක රටක් එක නීතියක්... කියලා කිව්වට එහෙම එකක් මේ රටේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක නීතියක්. ගජ මිතුරු කල්ලි වලට එක නීතියක්. හරිම වේදනාවයි. මම ඇත්තෙන්ම හීනයකින්වත් හිතුවේ නෑ මේ රට මෙහෙම විනාශ කරයි කියලා. අත්දැකීම් අඩු කල්පනා කරන්න බැරි සැලැස්මක් නැති පාලකයන්ට මේ රටට කරන්න පුළුවන් විනාශය තමයි මේ.   


ප්‍රශ්නය -  විපක්ෂය කියනවා රට වහන්න කියලා. එමගින් බලාපොරොත්තු වෙන්නේ නැති අර්බුද පොකුරකට රට මැදි කිරීමයි.   


පිළිතුර - අපි කියන්නේ එක පාරටම රට වහලා දාන්න කියලා නොවෙයි. අපි කියන්නේ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙම ලබාගෙන ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන වේගය නැති කරන්න. මිනිස්සු හැම තැනම මැරෙනවා. රට වහන්න කියන සරල දේ විතරක් නොවෙයි අපි කියන්නේ. ක්‍රමවේදයක් හදලා සැලසුම් හදලා විධිමත්ව මේකට මුහුණ දෙන්න කියලයි. ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැතිව මේ විදියට යන එක රටට ඉතාම බරපතළයි.   


ප්‍රශ්නය - ඔබලා නායකත්වය දුන් ගොවි සටන් වලට ගුරු සටන් වලට දහස් ගණනින් පිරිස් සහභාගී වුණා.

එයින් තමයි කොරෝනාව මෙහෙම පැතිරුණේ කියලා කියනවා. මේ තත්ත්වයට ඔබලත් වගකිව යුතුයි.   
පිළිතුර - ඇත්තෙන්ම ඔය කරපු උද්ඝෝෂණ ගොවීන් තුළින් ගුරුවරුන් තුළින් ස්වාභාවික ලෙස මතු වෙච්ච ඒවා. ඔවුන් රටේ ප්‍රධාන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැතිව තවත් ප්‍රශ්න නිර්මාණය කර ගත්තා. කේ.ඩී.යූ. පනත මේ වෙලාවේ ගේන්න ඕනෑ එකක් නොවෙයි. හැබැයි ඒක ගෙනාවා. ඒ විදියට අලුතෙන් ප්‍රශ්න හදා ගත්තා. ඇත්තෙන්ම ආණ්ඩුවම තමයි මේ සටන් වලට අවශ්‍ය උත්තේජනය ලබා දුන්නේ. දෙවියන්ට බාරයි කියන එකත් කැබිනට් එකෙන්ම මතු වෙච්ච අදහසක්. කැබිනට් මණ්ඩලයටත් තේරුම් ගිහිල්ලා ඇති මේ විදියට යන්න බෑ කියලා. අපි යෝජනා කළා පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දේශපාලන පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික කමිටුවක් හරහා හෝ මේකට විසඳුම් හොයමු කියලා. නමුත් ඒක කරන්නේ නෑ. ඒකට අගමැතිතුමා කතා නායක තුමා විපක්ෂ නායක තුමා අනෙක් දේශපාලන පක්ෂ වල නායකයන් ස්වාමීන් වහන්සේලා මේ සියලු දෙනාම ඒකරාශී කරලා රටක් විදියට අපි දේශපාලනය කරන්නේ නැතිව රටක් විදියට මුහුණ දෙන්නයි අපේ යෝජනාව. නමුත් ඒක කරන්නේ නෑ. තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා වැඩ කරගෙන යනවා.   


ප්‍රශ්නය -  කොරෝනා මර්දන මෙහෙයුම අඩපණ වෙන විදියට විපක්ෂය දේශපාලන ප්‍රහාර එල්ල කරනවා කියලා මම යෝජනා කළොත්?   


පිළිතුර - ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපිත් දේශපාලනයට පෙර කල්පනා කරන්නේ රටේ ජනතාව ගැනයි. අපිට රටක් ඉතිරිවෙලා තියෙන්න ඕනෑ දේශපාලනය කරන්න. අපේ තරුණ තරුණියන්ගේ අනාගතය බාර ගන්න පුළුවන්, ඔවුන් ප්‍රාර්ථනා කරන රටක් ඉතිරි කරන්න ඕනෑ කියලා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නවා. එතුමාට තියෙන කැක්කුම නිසා තමයි එතුමා පාර්ලිමේන්තුවේ කරන කතා වලින් මේ තත්ත්වය ගැන පැහැදිලි කිරීම් කරන්නේ. අපට රටක් ඉතිරි වෙලා තියෙන්​න ඕනෑ. අපි නිසා කොරෝනා ව්‍යාප්ත වුණා කියන එක අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි රට ගැන හිතලා හැම දේම කරන්නේ.   


ප්‍රශ්නය - එජාපයෙන් ඡන්දය ඉල්ලපු ඔබේ සොහොයුරා නවීන් දිසානායක ගෙදර. ඔබ පාර්ලිමේන්තුවේ දුකක් නැද්ද?   


පිළිතුර - පෞද්ගලිකව මගේ අයියා ගැන මට ඉතා විශාල කණගාටුවක් තියෙනවා. මොකද මම නිතරම හිතන්නේ එතුමා පාර්ලිමේන්තුවේ හිටියේ අපිත් එක්ක. නමුත් අයියා මහ මැතිවරණයේදි ගත්ත තීන්දුව ගැන මම දෙපාරක් තුන් පාරක් කතා කරලා කිව්වා. අයියේ සජිත් ප්‍රේ‍මදාස සමග එකතු වෙලා මේ දේශපාලන ගමන යමු කියලා. අයියා මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එතුමා එතුමාගේ දේශපාලන ප්‍රතිපත්තියට අනුව ඒ තීරණය අරගෙන තියෙනවා. මම කල්පනා කරන විදියට නම් අයියා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක්. ඒක නිසා හරිම කණගාටුයි. අයියා වගේම කරූ ජයසූරිය මැතිතුමත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කියලා මම හිතනවා.   


ප්‍රශ්නය -  කරූ ජයසූරිය කියන්නේ ඔබේ මාමණ්ඩි.   


පිළිතුර - ඒ නිසාම නොවෙයි. එතුමා රටට ආදරය කරන පුද්ගලයෙක්. ජනතා මතයත් ඒකයි. පාර්ලිමේන්තුවේ අත්දැකීම් බහුල නායකයෙක්. අපේ අයියා ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ උගුලට අහුවුණා. 

 

ප්‍රශ්නය - නවීන් දිසානායක අයියත් එක්ක තියෙන සම්බන්ධය කොහොමද දැන්? 

 
පිළිතුර - අනිවාර්යයෙන්ම අපේ සහෝදරත්වය කුමන හේතුවක් නිසාවත් අපි නැති කර ගන්නේ නෑ. මොනව වුණත් අපි සහෝදරයෝ. දේශපාලනික වශයෙන් අපි පැති දෙකක හිටියට අපි සහෝදරයෝ. සමහරවිට අපි දේශපාලනය කතා කළේ නැති වුණාට පෞද්ගලිකව අපි කතා කරනවා. මගේ අප්පච්චි ගාමිණී දිසානායක මැතිතුමත් අම්මා ශ්‍රීමා දිසානායක මැතිනියත් අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා.  

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්