​බොහෝ තීරණ අපි දන්නෙත් නෑ අපිට කියන්නේත් නැහැ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් 
පාර්ලිමේන්තු  

මන්ත්‍රී  චන්දිම වීරක්කොඩි 

  • රට කරවන අය හා මහජන නියෝජිතයන් අතර විශාල පරතරයක් තියෙනවා
  • ඇමැතිකමක් ලබා නොදීම මට පෞද්ගලිකව කළ උදව්වක් කියා දැන් හිතෙනවා   

 

රටේ උණුසුම් දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- මේ මොහොතේ රටේ දේශපාලනය ඔබට දැනෙන්නේ කොහොම ද? 

 
පිළිතුර:- රටේ තත්ත්වය නම් බොහොම සංකීර්ණයි   


ප්‍රශ්නය:- ඒ කියන්නේ සුගතියක් නෑ?   


පිළිතුර:- එහෙම නොවෙයි. රට තුළ වෙන්නේ මොකක්ද කියන එක රට හැටියටත් ලෝකය හැටියටත් අපට බලන්න වෙනවා. අපි මේ ගත කරන්නේ අභියෝගාත්මක මොහොතක්. අපේ රටට විදේශ විනිමය ලැබෙන සෑම මාර්ගයක්ම ඇහිරිලා තියෙන්නේ. රටක් ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම අන්තර්ජාතිකව මුදල් සංප්‍රේක්ෂණය වන ක්‍රම තියෙන්න ඕනෑ. එතැන දී ප්‍රධානම අංශය වන සංචාරක කර්මාන්තය බිඳ වැටිලා. විදෙස් ශ්‍රමිකයන්ගේ සංප්‍රේක්ෂණ බිංදුවට වැටිලා. ඒ වගේම විදෙස් ආයෝජන නැත්තටම නැතිවෙන තත්ත්වයට පත්වෙලා. ඔය අතරට කෘෂි නිෂ්පාදන අපනයනයත් විශාල අභියෝගයට මුහුණ දීලා තියෙනවා. පොහොර හිඟයත් එක්ක. ඉතින් මේ තත්ත්වය යටතේ රටේ තත්ත්වය සතුටුද‌ායකයි කියලා කියන්න අමාරුයි. අභියෝගයක් තියෙන්නේ ඒ අභියෝගවලින් ගොඩ එන්න ක්ෂණික වැඩපිළිවෙලක් මෙන්ම මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලක් තදින් දැනෙනවා.   


ප්‍රශ්නය:-  ‘වැඩපිළිවෙලක් තදින් දැනෙනවා.’ කියන්නේ එහෙම වැඩපිළිවෙලක් ඇත්තෙම නෑ කියන එකයි? 

 
පිළිතුර:- මෙහෙමයි. ජනතාව තුළ එබඳු හැඟීමක් ජනිත වෙලා තියෙනවා. රජය හැටියට ඒ ඉලක්ක කරා යාමට යම් උත්සාහයකුත් දරනවා එහෙම නැහැයි කියන්න බෑ. ඒත් ඒ වැඩපිළිවෙල ජනතා සංවේදී වැඩපිළිවෙලක් ද කියන එක ජනතාව හා මහජන නියෝජිතයනුත් රජය කරවන අය අතරත් පරතරයක් විශාල වශයෙන් ඇතිවෙලා තියෙන බවක් නම් අපට දැනෙනවා.   


ප්‍රශ්නය:- මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවුද?   


ජනාධිපතිවරයා ද? එහෙම නැත්නම් අගමැතිවරයා ද? 

 
පිළිතුර:- ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එක වගකිව යුතුයි බොහෝ දුරට. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අප එක්ක රට කරවන අයගේ සම්බන්ධය පලුදු වීමක් අපි දකිනවා. බොහෝ තීරණ අපි දන්නේ නෑ. අපිට කියන්නේ නෑ. අපේ නායකයන් එක්ක අපට කතා කරන්න. ‘පෝර්ට්’ එකක් නෑ. එහෙම වුණාම අපි ඡන්දෙන් පත්වෙච්ච මහජන නියෝජිතයෝ. අප නියෝජනය කරන්නේ මේ රටේ ජනතාව. මම හතරවැනි වතාවට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. ජනතාව අප කෙරෙහි යම් විශ්වාසයක් තියෙන නිසයි අපව පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ. 

 
ප්‍රශ්නය:-  ඔබලාට ඒ විශ්වාසය රැකලා දෙන්න බැරි වෙලා ?   


පිළිතුර:- ඔව්, ඒ කාර්යභාරය ජනතාව අපේක්ෂා කරන ආකාරයට ඉටු කිරීමට අපට හැකියාවක් තියෙනව ද? කියන ප්‍රශ්නය පළමුවතාවට අප තුළ ඇතිවෙලා කියලා කියන්න වෙනවා.   


ප්‍රශ්නය:-  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පවා ඔය විවේචනය මතු කරනවා ?   


පිළිතුර :- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සම සමාජ - කොමියුනිස්ට් පක්ෂය ද විමල්ගේ පක්ෂය ද ගම්මන්පිලගේ පක්ෂය ද වාසුගේ පක්ෂය ද අනෙකුත් පක්ෂ ද කියන එක නොවෙයි. රටේ ජනතාව ඡන්දෙ දුන්නේ මේ සන්ධානයට. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙල කෙරෙහි විශ්වාසය කියලයි. ඒ වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කරයි කියන දැඩි බලාපොරොත්තුවෙන්. එතකොට ජනතාව අපට බලය දුන්නට පස්සේ එක එක්කෙනාට එක එක හැඳිවලින් බෙදලා එක කණ්ඩායමක දේශපාලනය විනාශ කිරීම තවත් කණ්ඩායමක් පිම්බීම මේ විදියට හැසිරෙන එක මම හිතන්නේ ජනතාවාදීත් නෑ. ජනතාව එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. රට හැටියට අපි මේ මොහොතේ ඉටුකළ යුතු දේත් නොවෙයි. ඔබ දන්නවා රට තියෙන්නේ ඉතාම අභියෝගයක. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තත්ත්වය ඉහළට තේරෙයි කියලා. 

 
ප්‍රශ්නය:-  ඔබ කියන්නේ සන්ධානය ඇතුළේ සාකච්ඡාවක් නැහැ කියලද? 

 
පිළිතුර:- එහෙම පෝර්ට් එකක් නෑ. රට කරවන අය හා මහජන නියෝජිතයන් අතර විශාල පරතරයක් තියෙනවා. ඒක රටට හොඳ නෑ. මේ තත්ත්වය සමනය කරගත යුතුයි. ජනතාවගේ ප්‍රසාදය අත්‍යවශ්‍යයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හැටියට. රටේ හැටනව ලක්ෂයක් ජනතාව දැඩි ලෙස විශ්වාසය තැබූ ආණ්ඩුවක් හැටියට අපි කටයුතු කළ යුතුයි කියන එක අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි. 

 
ප්‍රශ්නය:-  ඔබ හිටපු කැබිනට් ඇමැතිවරයෙක්. නමුත් ඔබට මෙවර රාජ්‍ය ඇමැතිධුරයක්වත් නෑ. ඇයි ඔබට මෙහෙම වුණේ?   


පිළිතුර:- ඒක ඉතින් අහන්න ඕනෑ එහෙම කරපු අයගෙන්.   


ප්‍රශ්නය:-  නමුත් ඔබට හිතෙන දේ ?   


පිළිතුර:- මට ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය දුන්නා. මට ඡන්දය දෙන්න එපා කියලා කිව්වත්.   


ප්‍රශ්නය:- ඇත්තටම කවුද එහෙම කිව්වේ? දැන් නම් ගම් කියන්න බැරිකමක් නෑනේ?   


පිළිතුර:- ඒක මුළු රටම දන්නවා. මට ඡන්දය දෙන්න එපා කියලා කිව්වා. ඒ විදියේ විශාල බලවේගයක් ක්‍රියාත්මක වුණා. හැම මට්ටමෙන්ම ඒක ක්‍රියාත්මක වුණා. නමුත් ගාලු දිස්ත්‍රික්කයේ අසූපන් ද‌ාහකට වැඩි ජනතාවක් මට ඡන්දය දීලා මාව පාර්ලිමේන්තුවට එව්වා. නමුත් එතැනින් එහාට මගෙන් ප්‍රයෝජනයක් ගන්නව ද කියන එක තීරණය කරන්න එ් ඡන්දය දීපු ජනතාවට බැහැ.   


ප්‍රශ්නය:-  මගේ ප්‍රශ්නය වුණේ ඔබට මෙහෙම වුණේ ඇයි කියන එකයි?   


පිළිතුර:- ඉතිහාසය ගත්තොත් අපට බාර දීපු වගකීම් අපි ඉතාම ඉහළින් ඉටු කළා කියන එක කවුරුත් පිළිගන්නවා. අපට චෝදනා නෑ. නඩු නැහැ. ඒ කිසිම දෙයක් අපට නෑ. ඒ තත්ත්වයත් එක්ක අපෙන් ප්‍රයෝජන ගන්නේ නැත්තේ ඇයි කියලා අපෙන් අහලා වැඩක් නෑ.   


ප්‍රශ්නය:-  ඔබ ආණ්ඩුව ගැන විවේචනාත්මකව කතා කරන්නේ ඇමැතිකමක් නොදුන්න නිසයි ?   


පිළිතුර:- මෙහෙමයි, මුලදී මට ඒ ගැන කනගාටුවක්, කම්පනයක් තිබුණා. නමුත් දැන්නම් හිතෙනවා එහෙම ඇමැතිකමක් ලබා නොදීම මට පෞද්ගලිකව කරපු උදව්වක් කියලා ඒ වගේම මට ඒක යම් ආකාරයක වෙස්වෙලා ගත් ආශිර්වාදයක් කියල දැන්නම් හිතෙනවා. 

 
ප්‍රශ්නය:-  ඔබට ඒ තරම්ම කලකිරීමක් ?   


පිළිතුර:- කලකිරීමක් නොවෙයි. ඒක තමයි යථාර්ථය රටේ ප්‍රශ්න තියෙනවනේ. ඒවා හංගන්න බැහැනේ. 

 
ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආවා. මුදල් ඇමැතිත් වුණා. දැන් ඉතින් රටේ ප්‍රශ්න විසඳෙයි? පොහොට්ටුව හිතන්නේ එහෙමයි?  


පිළිතුර:- අපි අද තේරුම් ගන්න ඕනෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රජයට බලය දීලා තියෙන්නේ අවුරුදු පහකට. ඒ කාලයෙත් ජනාධිපතිතුමාගේ කාලයෙත් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඉවරයි.

පාර්ලිමේන්තුවට අවුරුද්දක් පිරෙනවා ලබන මාසෙට.  


ප්‍රශ්නය:- නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ? එහෙම ද?  


පිළිතුර:- එහෙම නොවෙයි. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම තියෙන්නේ මේ රජයට. ඒ වගකීම ඉටු කිරීම සඳහා මොන මොන කණ්ඩායම් හෝ ගෙනැල්ලා ඒ වගකීම ඉටු කරනවා නම් හොඳයි.  


ප්‍රශ්නය:-  බැසිල්ව ගේන්නේ ගෝඨාභයත්, මහින්දත් දෙන්නම ෆේල් නිසා?  


පිළිතුර:- නෑ ඒක වැරදියි. ඒ නිසා නොවෙයි. ක්‍රිකට් මැච් එකකට ගියාමත් පිටින් බෝලර්ස්ලා, බැට්ස්මන්ලා ගේනවා. ඒක කරන්නේ තරගයේ ස්වභාවය අනුවයි.  


ප්‍රශ්නය:- බැසිල් ගෙන්වන්නෙත් ඒ විදියට ?  


පිළිතුර:- එතුමා දක්ෂයෙක් කියන එක මුළු රටම පිළිගන්නවා. එතුමා පාර්ලිමේන්තුවට එන්න කලින් මේ ආණ්ඩුවේ විශාල වගකීමක් දැරුවා. එතුමා තමයි පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා. ඉතින් අපි විශ්වාස කරනවා. රට ගොඩනැගීමේ මෙහෙයුමට තමයි එතුමාව ගෙනත් තියෙන්නේ. එතුමා ඒ කාර්ය ඉතාම හොඳින් කරයි කියලා අපි විශ්වාස කරනවා. හැමදේටම වඩා අපට ප්‍රධාන වෙන්නේ රට. අපි රට හැටියට කවුරු මැදිහත්වෙලා හරි කරනවා නම් හොඳයි කියලා හිතන අය. එතුමට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා​ හෝ ඕනෑම කෙනෙක් තව ඉන්නවා නම් ගෙනල්ලා ජනතාවා දී වැඩපිළිවෙල ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා නම් අපි ඒක අගය කරනවා. ජනතා බලාපොරොත්තු ඉටු කිරීම සඳහා කිසිදු බේදයකින් තොරව එතුමාට ශක්තිය දිය යුතුයි.  


ප්‍රශ්නය:- රටේ හැමතැනම උද්ඝෝෂණ? ජනතාවගේ අසහනය නේද මේ පුපුරන්නේ?  


පිළිතුර:- මෙහෙමයි. මම මුලිනුත් කිව්වා වගේම ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක යුගයක් තමයි අපි මේ පසු කරන්නේ. මේ කොවිඩ් වගේ වසංගතයට අත්දැකීම් අපට මීට පෙර ලැබිලා නෑ. අලුත්ම තත්ත්වයක් තමයි රටේත් පොදුවේ ලෝකයේත් තියෙන්නේ. එහෙම පසුබිමක පරණ පුරුදු විදියට අපට වැඩ කරන්න බෑ. ඒ පරණ ජීවිතය අපට ලබා ගන්න බෑ.  


ප්‍රශ්නය:-  ජනතාව උද්ඝෝෂණය කිරීම ගැනයි මගේ ප්‍රශ්නය වුණේ ?  


පිළිතුර:- උද්ඝෝෂණ කරනවා වගේම කරවන්නත් පුළුවන්. ජනතාව ප්‍රශ්නය තමන්ට දැනෙන විදියට තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න විදියට ප්‍රතිචාර දක්වනවා. රජයක් විදියට අපි ඒකට මුහුණ දෙන විදියේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. මේ තත්ත්වයට මුහුණ දෙන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි.  


ප්‍රශ්නය:-  ජනතාව නම් කියන්නේ තම තමන්ගේ ප්‍රශ්න විසඳ‌ා ගන්නවා. ඒත් රටේ ප්‍රශ්න නම් විසඳන්නේ නැහැ කියලයි?  


පිළිතුර:- මම මහජන නියෝජිතයෙක්. මහජන නියේජිතයා කියන්නේ ජනතා සිතුම් පැතුම්වල කැඩපතක්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය හැටියට අපි තේරුම් ගන්නේ. ඉතින් ජනතාව හිතන විදිය ඔය ඔබ කියන විදියට නම් ඒ හිතන විදිය වෙනස් කරලා ඔවුන් තුළ යහපත් විශ්වාසයක් ගොඩනගන එක ආණ්ඩුව හැටියට අපේ වගකීමයි.  

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකේන්