හිටපු කීප දෙනෙකුට යලි ඇමති පත්වීම් දීම ගැන කනගාටුයි


අලුත් ඇමැති තනතුරු දීම ගැන අපට ජනපති එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ

හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන

  • ජනපතිට දුන්න හැටනව  ලක්ෂය දැන් තියෙනවද නැද්ද මම දන්නෙ නෑ
  • බලාපොරොත්තු  බොහොමයක්  ඉටුකර ගන්න  බැරිවුණා

ජනතාවගේ හඬට සවන් දීමක් ලෙසට කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය. ඒ සඳහා තරුණ හා අලුත් පිරිසක් පත්කරනු ලැබීය. එහෙත් හිටපු ඇමැතිවරුන් කීප දෙනකුට ද යළි ඇමැති තනතුරු හිමි වී ඇත. හිටපු ඇමැතිවරුන් සියලු දෙනා ඉල්ලා අස්වීමෙන් පසු යළි හිටපු අයගෙන් ද කීප දෙනෙක් පත්කිරීම පිළිබඳව යම් හිත් අමාරුවක් පවතින බව හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි. 


ඒ මහතා සමග කළ සාකච්ඡාව මෙසේය. 


ප්‍රශ්නය:- ඔබ ඇමැති තනතුරෙන් ඉවත් වුණේ ඇයි? රටේ ප්‍රශ්න නිසාද? 


පිළිතුර:- ජනාධිපතිතුමා ඇමැති මණ්ඩලය කැඳෙව්වා. කැඳවලා කිව්වේ මහ බැංකුවෙ කළ වෙනස්කම් ගැන ජනතාවගෙ හොඳ ප්‍රතිචාරයක් තියෙන බවයි. ඒ වගේම කැබිනට් මණ්ඩලයෙත් අලුත් දෙයක් කළොත් ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි. ඒකට ඇමැති මණ්ඩලය අවස්ථාව ලබා දෙනවා නම් හොඳයි කියල කිව්වා. ඒ සඳහා මමත් කැමැත්ත ප්‍රකාශ කළා. රටේ ප්‍රශ්න විසඳෙනවා නම් ඇමැති තනතුර විතරක් නෙවෙයි මන්ත්‍රීකම ද‌ාල යන්න වුණත් මම සූද‌ානම්. මේක තනතුරු බල බලා වැඩකරන වෙලාවක් නෙවෙයි. රට ගැන වෙනදටත් වඩා හිතන්න වෙන වෙලාවක්. 


ප්‍රශ්නය:-  ඇමැති තනතුරුවලින් ඉවත් වෙන්න මොනවා හරි ඉල්ලීම් අවශ්‍ය බවක් කිව්වද? 


පිළිතුර:- නැහැ කිසිම දෙයක් නැහැ. කොන්දේසි කිසිවක් නැහැ. අපි සියලු දෙනාම ඇමැති මණ්ඩලයෙන් ඉවත් වෙන්න කැමැත්ත දුන්නා. ඒ අනුව අපි හැමෝම ඉල්ලා අස්වුණා. 

ප්‍රශ්නය:- ඉල්ලා අස්වුණාට පසුව ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාද? 


පිළිතුර:- යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුණා. ඉල්ලා අස්වූ කීප දෙනෙකුට යළි ඇමැති තනතුරු දීම පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් මම ප්‍රාදේශීය සභාව, පළාත් සභාව දෙකම නියෝජනය කළා. දේශපාලනයෙ පහළම තැනින් ආවෙ. උතුරු නැගෙනහිර පළාත් සභාවෙ ඇමැතිවරයෙක් හැටියට වසර හතහමාරක් පමණ හිටියා. කැබිනට් ඇමැතිවරයෙක් හැටියට වසර 13 ක් සේවය කරල තියෙනවා. සිව් වතාවක් මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබල තියෙනවා. ඒක මේ රටේ වාර්තාවක්. හතර වතාවක් දිස්ත්‍රික්කයෙ පළමු ස්ථානයට පත්වුණා. මම අවංක සේවයක් කරන නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයෙ ජනතාව මට ඒ අවස්ථාව ලබා දුන්නා. 


ප්‍රශ්නය:- ඒ කියන්නේ අනෙක් අයට වඩා ඔබ අත්දැකීම්වලින් බහුල පුද්ගලයෙක්. 


පිළිතුර:- දේශපාලනයෙ පහළම තැන ඉඳල ආපු ගමනක්. 


ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩලයෙ හිටිය කීප දෙනෙකුට යළි පත්වීම් ලබාදීම ගැන ඔබට යම් කළකිරීමක් තියෙනවද? 


පිළිතුර:- නැහැ. එහෙම එකක් නැහැ. සියලු දෙනාම ඉල්ලා අස්වෙමු කියල අස්වුණා. නමුත් කීප දෙනකු යළි පත්කළා. මට තියෙන කනගාටුව සියලු දෙනාම ඉවත් වූ පසු කීප දෙනකුට පමණක් යළි පත්වීම් දීම ගැනයි. එහෙම නැතුව ඇමැතිකම් ගැනීම සද‌ාකාලික එකක් නෙවෙයි. 2012 දිත් වනජීවි හා ගොවිජන සේවා ඇමැති විදියට හිටියා. මගේ සහෝදරය උතුරු මැද මහඇමැති ලෙස පත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයො කිව්වා අයියා මහ ඇමැති, මල්ලී කැබිනට් ඇමැති නිසා එකක් තෝරගන්න කියලා. මහ ඇමැති විදියට ඉන්නවද? කැබිනට් ඇමැතිකමේ ඉන්නවද කියල දෙන්න තීරණය කරන්න කිව්වා. ජනතාවගෙ මතයට ඉඩ දීල මම කැමැත්තෙන්ම ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වුණා. ඒක මම මගේ සහෝදරයා වෙනුවෙන් කළ පරිත්‍යාගයක් නොවෙයි. රටේ ජනතාව වෙනුවෙන් කළ පරිත්‍යාගයක්. 

 

ප්‍රශ්නය:- මෙවරත් ඔබ පරිත්‍යාගයක් කළා කියලද කියන්නේ? 


පිළිතුර:- ඔව්. රටට යහපතක් වෙනව නම් මේ අර්බුදයට සහනයක් ලැබෙනවා නම් හදවතින් ගත්ත තීරණයක් මත අයින් වුණා. අපි ඇමැති තනතුරුවල ඉඳගෙන රටට ගැටලුවක් ඇති කළ යුතු නැහැ. මම ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්. වචනයක් කිව්වොත් ඒක ස්ථිරයි වැනෙන්නේ නැහැ. 


ප්‍රශ්නය:- නමුත් ජනාධිපතිවරයගෙ පාර්ශ්වයෙන් කියපු දේ කෙරුණෙ නැහැ. එහෙම නේද? 


පිළිතුර:- ඒ ගැන මට කණගාටුවක් තියෙනවා. ඒ වුණත් යහපත් දෙයක් සිදුවෙනවා නම් මගේ මන්ත්‍රී

තනතුරෙන් වුවත් ඉවත් වෙන්න සූද‌ානම්. මම බොහොම සෘජුව වැඩකරන මිනිහෙක්. 


ප්‍රශ්නය:- අලුත් ඇමැති තනතුරු දීම ගැන ජනාධිපතිවරයා එක්ක කතා කළේ නැද්ද? 


පිළිතුර:- නැහැ. මට කතා කරන්න අවස්ථාවක් ආවෙ නැහැ. 


ප්‍රශ්නය:- ඔබ කළකිරීමෙන්ද? 


පිළිතුර:- නැහැ. ජනාධිපතිතුමාට හැටනව ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා තියෙනවා. දැන් වෙනකොට ලක්ෂ 69 ක් නැහැ කියල ජනතාව කියනවා. දැන් හැටනව ලක්ෂයක් තියෙනවද? නැද්ද කියල මම දන්නෙ නැහැ. සමහරවිට මේ ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රමාණය අඩුවෙලා ඇති. ඒක මම කියන්න දන්නෙ නැහැ. මේ මොහොතේ රට අර්බුදවලින් ගලව ගන්න පුළුවන් නම් ඕනෑම දෙයක් කරන්න මම සූද‌ානම්. රට බොහොම බැරෑරුම් තත්ත්වයකට මුහුණ දීල තියෙන්නේ. මේ අවස්ථාවෙ ඒ සඳහා කළයුතු දෙයක් ඇත්නම් කරනවා විනා වෙනත් දෙයක් නැහැ. 

 

ප්‍රශ්නය:- ඔබ බොහොම දේශපාලන අත්දැකීම් ලබපු කෙනෙක්. කැබිනට් මණ්ඩලය වෙනස් වූ පමණින් රටේ ප්‍රශ්න විසඳේවිද? 


පිළිතුර:- ඇමැතිවරයකු වශයෙන් සිටියදී මට මගේ පැත්තෙන් සතුටුවිය හැකි කරුණු ඉටු කරල තියෙනවා. ඉඩම් ඇමැතිවරයා වශයෙන් සිටියදී, ඉඩම් අයිතිය පවුලේ ලොකු පිරිමි ළමයට පමණක් හිමිවීමේ ක්‍රමවේදය මම වෙනස් කළා. පිරිමි දරුවන් නැති අවස්ථාවෙ ගැහැනු දරුවට ඒ ඉඩම් අයිතිය ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දුන්නා. වසර 82 කට පස්සෙ ඒක සංශෝධනය කරල සාධාරණය ඉටු කළා. මම ලොකු පිනක් කර ගත්තා දේශපාලන ජීවිතයේ ලොකුම පිංකම. පවුල් අතර ඉඩම් බෙදා ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. ඉඩම් කොටස් කර ගැනීමේ ප්‍රශ්න තිබුණා. මම ඒකත් නිරවුල් කළා. තනතුරේ ඉහළ වගකීම ඉටු කරල තියෙනවා. ඉතින් කැබිනට් මණ්ඩලය වෙනස් විය යුතු බව නායකයා තීරණය කළා නම් අපි ඒකට අවනත විය යුතු වෙනවා. රටේ ප්‍රශ්නවලට, ජනතාවගෙ ඉල්ලීම්වලට යම් විසඳුමක් ලැබෙනවා කියල එතුමා හිතන්න ඇති. අපිට තියෙන්නෙ එතුමගෙ තීරණයට උදව් කිරීමයි. අපි ඒක කළා. 

ප්‍රශ්නය:- - දැන් ඇමැති මණ්ඩලයට පත්වී සිටින බහුතරය නවකයො. පුළුවන් ද කරගෙන යන්න? 


පිළිතුර:- මගෙන් සහායක්, උදව්වක් ඉල්ලුවොත් මම බොහොම කැමැත්තෙන් ඒක කරනවා. සෞඛ්‍ය ඇමැති චන්න ජයසුමන ඇමැතිතුමා දිවුරුම් දුන්න හැටියෙම මට කතා කරල උදව් දෙන්න කිව්වා. මම පුළුවන් උපරිමයෙන් උදව් කරන බව කිව්වා. 


ප්‍රශ්නය:-  අද රට පුරා රජයට එරෙහි විරෝධතා ව්‍යාපාර පැවැත්වෙනවා. මේවට රජය වගකිව යුතුද? 


පිළිතුර:- බලාපොරොත්තු බොහොමයක් ඉටුකර ගන්න බැරි වුණා. 


ප්‍රශ්නය:- රටේ බහුතරයක් ජනතාවට ගැටලු තියෙනවා. 


පිළිතුර:- ඔව්. අර්බුද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවට විවිධ කරුණු බලපෑවා. පොහොර ප්‍රශ්නය මුල්ම ගැටලුකාරී ප්‍රශ්නය වුණා. දැන් ජනාධිපතිතුමා ඒ කළ වැරැද්ද පිළිගත්තා. ප්‍රමාද වෙලා හරි වෙනස් වීම බොහොම වටිනවා. ඒ සියල්ල අතර කොරෝනා වසංගතය තුරන් කරන්න ලැබීම ලොකුම ජයග්‍රහණයක්. 


ප්‍රශ්නය:- මේ රජය කළ සියලු දේවල්වලදී ඔබත් කැබිනට් එකේ හිටියා. ඔබට ඒ කිසිවකටවත් සැබෑ තත්ත්වය පෙන්වා දෙන්න පුළුවන් වුණාද? බොහොමයක් දෙනාගෙ මතය වෙලා තියෙන්නේ කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ට කතා කරන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ කියලයි. ඒක ඇත්තද? 


පිළිතුර:- පොහොර ප්‍රශ්නයේදී මම ඇත්ත තත්ත්වය පෙන්වා දුන්නා. මම ගොවි ජනතාව නියෝජනය කරන කෙනෙක්. ගොවියගෙ ප්‍රශ්න මගේ ඇඟට දැනෙනවා. මම කරුණු කිව්වා රසායනික පොහොර ලබා නොදීමෙන් ගොවීන් අසීරුවට පත්වෙන බව කිව්වා. 


ප්‍රශ්නය:- ඔබ කතා කළත් ඇහුම්කන් දුන්නේ නැහැනේ. 


පිළිතුර:- ජනාධිපතිතුමාට වෛද්‍ය සංගමයේ පාදෙණිය මහත්තයල, ස්වාමීන් වහන්සේල කීප නමක්ම කාබනික පොහොර ව්‍යාප්තියේ වැදගත්කම පෙන්වා දුන්නා. ඒක හොඳ තීරණයක් තමයි. නමුත් එකවර ක්‍රියාත්මක කිරීමෙන් ගොවීන් අසීරුවට පත්වුණා. 


ප්‍රශ්නය:- රජයේ වැඩපිළිවෙළ ගැන දැඩි ජනතා අප්‍රසාදයක් තියෙනවා. රට පුරා විරෝධතා මෙහෙම යන්න පුළුවන්ද? 

 

පිළිතුර:- මම අසනීපයෙන් ඉන්නේ. රෝහල් ගතවෙලත් හිටියා. මට විවේක ගන්න කියල වෛද්‍යවරුන් කියල තියෙනවා. මෙහෙම කතා කරන එකත් මට වෙහෙසක්. ඔබතුමිය කතා කළ නිසා මේ ටිකවත් කිව්වේ. අපි පස්සෙ දවසක තවදුරටත් කතා කරමු.

 

 

සාකච්ඡාව
දයාසීලි ලියනගේ