හම්බන්තොට චීන පිරිපහදුවට දොර වැසුණේ ඇයි


හම්බන්තොට යෝජිත චීන සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවලංගු කර ඒ වෙනුවට රජය සතු සපුගස්කන්ද පිරිපහදුව පුළුල් කර නවීකරණය කිරීමට රජය මගින් පත් කළ කමිටුවක් නිර්දේශ කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙම කමිටුවේද ප්‍රධානියාය.

සයිනොපෙක් පිරිපහදුව පිළිබඳ යෝජිත ගිවිසුමේ අඩංගු දැඩි කොන්දේසි ඉදිරි දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවලට අහිතකර ලෙස බලපාන බව ද එම කමිටු නිර්දේශවල සඳහන් වෙයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු තෙල් පිරිපහදු දෙකක් අලුතෙන් ඉදිකිරීමට යෝජනා විය. සයිනොපෙක් සමාගම සමග ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු එකඟ වූ හම්බන්තොට තෙල් පිරිපහදුව සහ දැනට පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ විශාල ප්‍රමාණයේ නව ඉදිකිරීමකි. ඩොලර් බිලියන තුනයි දශම හතක (3.7) හම්බන්තොට තෙල් පිරිපහදුව ලංකාවට ලැබෙන ලොකුම විදේශීය ආයෝජනය බවද එකල මහත් ඉහළින් ප්‍රචාරය කෙරිණි. දැන් අවලංගු කිරීමට තීරණය කර ඇත්තේ එම සයිනොපෙක් සමාගම සමග පැවැති ගිවිසුමය. සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය සඳහා ද සයිනොපෙක් සමාගම තම අභිලාශය ප්‍රකාශ කළ අතර, ඉන්දියානු සහ ඇමරිකා ආණ්ඩු ද ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. මේ වන විට චීන සමාගම පිරිපහදුව ඉදිකරන භූමියේ සහ පිරිපහදුවේ හිමිකාරිත්වයෙන් සියයට හතළිහකට වැඩි ප්‍රමාණයක් ඉල්ලා ඇති බව ප්‍රචාරය වුවද, සැබෑ හේතුව එය නොව ඉන්දියාව සහ ඇමරිකාව චීනයට එරෙහි වීමය. වසර අනූනවයක බදු කාලයකට චීනය හම්බන්තොට වරාය පාලනය ලබාගැනීමෙන් පසු ඉන්දියාව මත්තල ගුවන්තොටුපොළ එවැනිම කාලයකට ඉල්ලා සිටියත්, එය නොලැබුණු පසුබිම මත 2020 බල පෙරළියට පාර කැපුණු බව ද අප මතකයේ තබා ගැනීම වටී.

චීනය ආරම්භ කර ඇති ‘‘බෙල්ට්රෝඩ්’’ ව්‍යාපෘතියට එකතුවීමෙන් ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ලබාගත හැකි ආධාරය සුළු පටු නොවේ. චීනය අධිරාජ්‍යයක්ව පැවැති සමයේ ක්‍රියාත්මක වූ පැරණි සේද මාවත අනුව යමින් 2013 වසරේදී ආරම්භ වූ මුහුදු සේද මාවතේ එක් මධ්‍යස්ථානයක් වන්නේ ලංකාවය. ලංකාවේ හම්බන්තොට වරාය ඉදිවුණේ එහි එක් පියවරක් හැටියටය. ජාත්‍යන්තර නාවික මාර්ගයට මුහුදු කිලෝමීටර් හතරක් ඔබ්බෙන් පිහිටුවා ඇති හම්බන්තොට වරාය නෞකා සඳහා පහසුකම් සැපයීම අරමුණු කරගත්තේය. විවිධ ආණ්ඩු අතර ගැටුම් කිහිපයකින් පසු හම්බන්තොට වරාය අනූනව අවුරුදු බද්දක් යටතේ චීනයේ පරිපාලනයට පැවරී තිබෙන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන නිල සංචාරයේදී එහි තෙල් පිරිපහදුවක් පිහිටුවීම සඳහා සයිනොපෙක් සමාගම සමග ගිවිසුම් ගත විය. ලංකා ඉතිහාසයේ සුවිශාලම විදේශ ආයෝජනය වන ඩොලර් බිලියන 3.5ක මෙම ආයෝජනය නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ලංකාව ආර්ථික වශයෙන් ගොඩනැගීමේදී සුවිශාල දායකත්වයක් එමගින් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු සහගතව සිටියහ. රජය දැන් කියන්නේ එම පිරිපහදුව චීනය යටතේ ඉදිනොවන බවය. 

මේ වන විට ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් සඳහා චීනයෙන් ණය ලැබී තිබේ. මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය, පොලොන්නරුව වකුගඩු රෝහල, කුරුණෑගල හා කටාන ජල සැපයුම් ව්‍යාපෘති, කොළඹ ළමා රෝහලේ ගොඩනැගිල්ල, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, නෙළුම්කුළුණ, කොළඹ වරායේ නව පර්යන්තය, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය චීන ආධාර මත ආරම්භ වූ ව්‍යාපෘති වේ. කටුනායක අධිවේගී මාර්ගය ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටස් කිහිපයක් සඳහා ද චීන ණය පහසුකම් ලැබී ඇත.

එක් දහස් නවසිය පනස් ගණන් වන විට ලංකාවේ විදේශීය තෙල් සමාගම් ගණනාවක්ම තිබුණේය. එයින් වඩාත් ප්‍රබල වූයේ ෂෙල් කොම්පැනියය. 1956දී ලංකාවේ තෙල් අලෙවියෙන් සියයට හැටක් සිදු කළේ ෂෙල් සමාගමය. ලංකා ෂෙල් සමාගම 1903 වසරේ මෙරටට ආ බහුජාතික සමාගමකි.

සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් 1961දී ජනසතු කළ ලංකාවේ ඛනිජතෙල් ව්‍යාපාරය 1962 සිට අලුතෙන් පිහිටවූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරයට යටත් කිරීමෙන් රජය බලාපොරොත්තු වූයේ ජනාතවට සාධාරණ මිලක් යටතේ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීමය. ඒ අනුව එවකට වෙළෙඳපොළ ආධිපත්‍යය හිමිකරගෙන තිබූ කැල්ටෙක්ස්, ෂෙල් සහ එසෝ ඇතුළු බහුජාතික සමාගම් 13ක තෙල් ඒකාධිකාරය වන්දි ගෙවා රජයේ පාලනයට මුළුමනින්ම නතු කෙරිණි. සපුගස්කන්දේ නව පිරිපහදුවක්ද ආරම්භ විය. මුලදී සෝවියට් දේශයේ බොර තෙල් ආනයනය කර එහි පිරිපහදු කළ අතර, ඉන්පසු දේශපාලන වෙනස්කම් අනුව මෙරට විවිධ ආණ්ඩු සෝවියට් දේශයේ තෙල් අතහැර මැදපෙරදිගට යොමුවිය. කාලයක් ඉරානයේ බොර තෙල් ගෙන ආවද ඇමරිකානු සම්බන්ධ මත ඉරාන බොරතෙල් ආනයනයට බාධා ඇති විය. තෙල් සංස්ථාවට දේශපාලන හිතවත්කම් මත තමන්ගේ ගෝල බාලයන් පත් කිරීම ද දිගටම සිදුවිය. එය දිගින් දිගටම පාඩු ලබන්නට පටන් ගත්තේය.

මහින්ද රාජපක්ෂ පාලනයට පක්ෂව චීනය ලබාදුන් අතිවිශාල තෑගි මුදලක් පිළිබඳව හෙළිදරව් වූයේ 2015 ජනාධිපතිරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයගත් පසුවය. චයිනා හාබර් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමකින් රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 76 ලක්ෂයක් ලබාදී ඇති බව එහිදී හෙළිදරව් විය. රාජපක්ෂලාට පක්ෂ ඡන්දදායකයන් වෙනුවෙන් ටීෂර්ට්, සාරි ආදිය මිලදී ගැනීම සඳහා එම මුදල් යොදවා තිබුණි. 

හරි විදිහට කරන්නේ නම් ඛනිජ තෙල් කර්මාන්තය යනු රටක ආර්ථික දියුණුව ළඟාකර ගැනීමේ ප්‍රධානතම අවස්ථා කීපයෙන් එකකි. හොඳම උදාහරණය සිංගප්පූරුවය. සිංගප්පූරුවේ එකම තෙල් ළිඳක් හෝ නැතත්, පිරිපහදු කරන ලද ඉන්ධන විකුණන රටවල් අතර තුන්වැනි තැනට පත්ව ඇත්තේ සිංගප්පූරුවය. රට වටා ඉදිකර ඇති තෙල් ටැංකිවලට බොරතෙල් රැගෙනවිත් පිරිපහදු කර විකිණීමෙන් සිංගප්පූරුව සුවිශාල ආර්ථික වර්ධනයක් ලබා ගත්තේය. ත්‍රිමලය වරායත්, හම්බන්තොටට මුහුදු කිලෝමීටර් හතරක් දුරින් ඇදී යන ජාත්‍යන්තර නෞකා මාර්ගයත් ආර්ථික දියුණුව කරා ළඟාවීමට අපට හැකියාව ඇතත්, එය ඉටු නොවන සිහිනයකි.

මහින්ද රාජපක්ෂ පාලනයට පක්ෂව චීනය ලබාදුන් අතිවිශාල තෑගි මුදලක් පිළිබඳව හෙළිදරව් වූයේ 2015 ජනාධිපතිරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයගත් පසුවය. චයිනා හාබර් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමකින් රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 76 ලක්ෂයක් ලබාදී ඇති බව එහිදී හෙළිදරව් විය. රාජපක්ෂලාට පක්ෂ ඡන්දදායකයන් වෙනුවෙන් ටීෂර්ට්, සාරි ආදිය මිලදී ගැනීම සඳහා එම මුදල් යොදවා තිබුණි. එම රජය බලයට පත්වූ පසු බටහිර ජනමාධ්‍ය මගින් රාජපක්ෂ රජය සහ චීනය අතර තිබූ අසීමිත සම්බන්ධතා පිළිබඳව විවිධ හෙළිදරව් කිරීම් සිදු කළේය. මේ හැම හෙළිදරව්වකින්ම උත්සාහ කළේ ‘‘චයිනා හාබර්’’ වැනි විශාල ප්‍රමාණයේ චීන සමාගම් තම ව්‍යාපෘති සිදුකරන රාජ්‍යවල පාලකයන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බව පෙන්වා සිටීමටය. මාස කිහිපයක එවැනි විවිධ ප්‍රචාරවලින් පසු 2015 පිහිට වූ යහපාලන රජයේ මැති ඇමැතිවරුන් ද ‘‘චයිනා හාබර්’’ සමාගම සමග දැඩි හිතවත්කමක් ඇතිකර ගත් බව දැකිය හැකි විය. විවිධ ප්‍රචාර තිබුණත් චයිනා හාබර් මෙරට කළ ආයෝජනවලින් ලාංකිකයන්ට රැකියා අවස්ථා සිය ගණනක් ලැබුණු බව ද අප අමතක නොකළ යුතුය.

සති කිහිපයක් තුළ චීන ආයෝජන සඳහා දොර වැසී ගිය දෙවැනි අවස්ථාව මෙයයි. මෙයට පෙර කොළඹ වරායේ ප්‍රමුඛ පෙළේ චීන ආයෝජනයක් නතර කළේ ආයෝජනය සඳහා තැන්පත් කර තිබූ මුදලින් කොටසක් වන්දි ලෙස ද ආපසු අයකර ගනිමිනි. මෙම චීන සමාගම කොළඹ වරායේ ස්ථාපනය කිරීමට ගිවිසුම් ගතවී තිබූ ඉදිකිරීමට මෙරට රජයේ අවසර ලැබී තිබුණේ 2023 වසරේදීය. ඇමරිකා ඩොලර් මිලියන 390කට ආසන්න ආයෝජනයක් වූ එමගින් දකුණු ආසියාවේ විශාලතම සැපයුම් සංකීර්ණය වීමට නියමිතව තිබිණි. තට්ටු පහකින් යුතු එම දැවැන්ත සැපයුම් සංකීර්ණය කොළඹ වරායේ වැඩිදියුණුව සඳහා අත්‍යවශ්‍ය අංගයක් විය. ශ්‍රී ලංකා රජය පවසන්නේ වසර 4ක් ගතවුණත් එම ඉදිකිරීම් සිදු නොවූ නිසා රජය ගිවිසුමට සහාය නොදක්වන බවය. එවැනි නව ඉදිකිරීමකට ආයෝජන කැඳවන බව ද රජය කියයි. රජය එසේ කීවත් මෙම ඉදිකිරීම ප්‍රමාද වූයේ නව රජය සමග මිතුරු වූ වෙනත් ආයෝජකයකුට ඉඩ ප්‍රස්තාව ලබාදීමට රජය කැමැත්තෙන් සිටීම නිසා බව කියති.

දැනට සති කිහිපයකට පෙර අලුතෙන් මෙරටට පත්වූ ඇමරිකානු නව තානාපතිවරයා කොළඹ වරායේ මෙවැනි ලොජිස්ටික් ඒකකයක් සඳහා අරමුදල් පරිත්‍යාගයක් සිදු කළ අතර, ඒ අනුව චීනය ඉවත්ව ගියේ රජය ඇමරිකාව සමග එකඟතාවකට පැමිණ තිබූ නිසා බව සැලකිය හැකිය.

විදේශීය රටක් සමග පවතින ආයෝජන ගිවිසුමකදී රටට අහිතකර වගන්ති පවතී නම් එම ගිවිසුම අවලංගු කිරීමේ වැරැද්දක් නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ අලුත් මිතුරන් නිසා පැරණිම මිතුරා අයින් කිරීමට රජය කටයුතු කළා ද යන්නය. නොබැඳි හා මධ්‍යස්ථ රටක් වන ශ්‍රී ලංකාව අනුන්ගේ අමනාප තමන්ගේ කරගැනීමේ අලුත් ප්‍රතිපත්තියකට යමින් සිටින බව ඉන් පෙනෙයි.

ප්‍රේමකීර්ති රණතුංග