හදිසි නීතිය දික් කරන්නේ ආණ්ඩු විරෝධය මර්දනයටයි - කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර


රට තුළ පවතින උණුසුම් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සමග කළ සාකච්ඡාවකි.

ජනාධිපති අරමුදලෙන් ඔබ මුදල් ගත්තා හෝ ඔබට මුදල් දුන්නා හෝ කියලා කිය වුණා. දැන් ඔබ වෙන අයට චෝදනා කරනවා?

පිළිතුර:- අනේ මම එහෙම චෝදනා කරන්නේ නෑ. මට රුපියල් ලක්ෂ 5ක් ලැබුණ තමයි. මම ඒක නිවැරැදිව වියදම් කරලා තියෙනවා. එහෙම නැතිව මම සල්ලි හොරකම් කරලා හෝ ජනතාවගේ මුදල් විනාශ කරලා හෝ නෑ. ජනාධිපති අරමුදලෙන් ලංකාවේ ඕනෑම කෙනෙකුට සල්ලි ඉල්ලන්න පුළුවන්. එයා මන්ත්‍රීවරයෙක්ද, කෝටිපතියෙක් ද, නිර්ධනයෙක් ද කියලා ප්‍රශ්නයක් නෑ.

ඔබට එහෙම මුදල් ප්‍රශ්නයක් තිබුණ ද?

පිළිතුර:- ඇත්තෙන්ම මට තිබුණේ රුපියල් ලක්ෂ 8 ක් යන වැඩක්. ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 5ක් දුන්නා. මගේ අතින් ලක්ෂ 3ක් ගියා. ආණ්ඩුව මේක ප්‍රකාශ කළේ මම ජනාධිපති අරමුදලේ සල්ලි වංචා කරලා තියෙනවා කියලා ඒක පහත් චෝදනාවක්. 

ඔබේ නම විතරක් නොවෙයි තවත් නම්  කියැවුණා?

පිළිතුර:- ඔව්. ඔවුන් නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ නම් ලැයිස්තුව ඉදිරිපත් කරනකොට හිතාමතාම නම් වගයක් හැංගුවා.

ඔබ කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න අය ද?

පිළිතුර:- මේ ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණ 2004 දි ශ්‍රී ලංකා එකත් එක්ක ආණ්ඩුවක් හැදුවනේ. ඇමැති මණ්ඩලයෙත් හිටියා. ඒ ආණ්ඩුවේ වැඩ කරපු අය හැටියට ඇයි ජනාධිපති අරමුදලෙන් මුදල් ගන්න ඒ අයගේ නම් ඉදිරිපත් නොකළේ? ඒ නිසා තමයි මම අනික් පැත්තට ප්‍රශ්න කළේ ඒ නම් නොකියන්නේ ඇයි කියලා.

තොරතුරු දැනගැනීමේ පනත හරහා ඔබට විස්තර ඉල්ලන්න පුළුවන්නේ?

පිළිතුර:- 2024 දෙසැම්බර් මාසේ මම ඒවා ඉල්ලුවා. දැන් අවුරුද්දයි මාස දෙකක් වෙනවා මේ වන තුරු ඒ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නෑ. තොරතුරු දීම කල් දමමින් අදිමදි කරමින් ඉන්නවා. ඒ අය නිවැරැදි නම් ඒ තොරතුරු දෙන්න භය වෙන්න ඕනෑ නෑ. දැන් කියනවා ඒ තොරතුරු හොයාගන්න බෑ කියලා.

ඔබට මුදල් පොත ඉල්ලන්න පුළුවන්?

පිළිතුර:- ඔව් මම මුදල් පොත ඉල්ලුවා. මොකද මුදල් පොත කාටවත් විනාශ කරන්න බෑ. මුදල් පොතේ සියලු විස්තර තියෙන්න ඕනැ. බලමු ඒ ඉල්ලීමට මොකද වෙන්නේ කියලා. තොරතුරු කොමිෂන් සභාවත් දැන් වැඩ කරන්නේ නෑ. පහුගිය 12 වැනිදා මට එන්න කියලා තිබුණා. ආපහු කිව්වා වෙනත් දවසක් දෙන්නම් කියලා. මේ විදියට තොරතුරු දැනගැනීමේ කොමිසමත් සම්පූර්ණයෙන්ම අක්‍රිය කරලා තියෙන්නේ.

දිට්වා සුළි කුණාටුව අවසන් වෙලා, දැන් තියෙන්නේ නැවත පිළිසකර කිරීමේ ක්‍රියාවලිය. ඒකට ඇයි හදිසි නීතිය අවශ්‍ය වෙන්නේ? මම ගිය සතියේ පාර්ලිමේන්තුවට පෙන්වලා දුන්න මේ හදිසි නීතිය තුළ 12 වැනි වගන්තිය, 19 වැනි වගන්තිය ගත්තොත් ඒ වගන්තිවල තියෙන්නේ මාධ්‍ය මර්දනය කිරීමේ ක්‍රියාවලියයි කිසියම් පුවතක් පළ කළාම ඒක අරගෙන ඕනෑ නම් අවුරුදු ගානක් හිරේ දාන්න පුළුවන්.

ඔබ හිතනව ද ජවිපෙ ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ජනාධිපති අමුදලෙන් මුදල් ගත්තා කියලා?

පිළිතුර:- ඒ තොරතුරු හරියටම ලබා ගන්න කම් මට හරියටම වචනයක් කියන්න බෑ. මට තියෙන ආරංචිවල හැටියට එවැනි මුදල් ලබාගත්ත අය ඉන්නවා. බලමු, ඒ තොරතුරු නිශ්චිතව ලබා ගත් හැටියේ මම ඔබට රටට කියන්නම්.

ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔබටත් මේ තොරතුරු ලබාගන්න අපහසු නම් සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ?

පිළිතුර:- ඇත්ත වශයෙන්ම ඒක තමයි ප්‍රශ්නය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියලා විශේෂයක් කරන්න ඕනෑ නෑ. මේ රටේ ඕනෑම කෙනෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිය තිබිය යුතුයි. තොරතුරු දැනගැනීමේ පොතේ කාර්යභාරය ඒක. දෙවැනි කාරණය තමයි සාමාන්‍යයෙන් ඔබ දන්නවා දූෂණයට එරෙහි වන්න නම් තොරතුරු දැනගැනීමේ පහසුකම තියෙන්න ඕනෑ. එවැනි තත්ත්වයක් තුළ තොරතුරු ලබා දෙන්නේ නැත්නම් අවසානයේ ද ඒක දූෂණ වසාගැනීමේ උපායක් බවට පත්වෙනවා. මේ ආණ්ඩුව කිව්වෙම ‘අපි දූෂණය නැති කරන්න ආපු ආණ්ඩුවක්’ කියලා. නමුත් දූෂණයට සම්බන්ධ කිසිම තොරතුරක් අපට ලබා දෙන්නේ නෑ. ඒ නිසා දූෂණය ආරක්ෂා කරන්නේ කවුද කියන එක දැන් මේ රටේ ජනතාවට බොහොම පැහැදිළිව පේන්න තියෙනවා.

විශේෂ කාරණය තමයි මේ මොහොතෙත් රටේ හදිසි නීතිය ක්‍රියාත්මකයි. හදිසි නීතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් ඔබ දකිනව ද?

පිළිතුර:- ඇත්ත වශයෙන්ම හදිසි නීතිය පැනවීමේ කිසිදු අවශ්‍යතාවක් දැන් නෑ. දිට්වා සුළි කුණාටුව අවසානයි. දිට්වා සුළි කුණාටුව අවසන් වෙලා, දැන් තියෙන්නේ නැවත පිළිසකර කිරීමේ ක්‍රියාවලිය. ඒකට ඇයි හදිසි නීතිය අවශ්‍ය වෙන්නේ? මම ගිය සතියේ පාර්ලිමේන්තුවට පෙන්වලා දුන්න මේ හදිසි නීතිය තුළ 12 වැනි වගන්තිය, 19 වැනි වගන්තිය ගත්තොත් ඒ වගන්තිවල තියෙන්නේ මාධ්‍ය මර්දනය කිරීමේ ක්‍රියාවලියයි කිසියම් පුවතක් පළ කළාම ඒක අරගෙන ඕනෑ නම් අවුරුදු ගානක් හිරේ දාන්න පුළුවන්. ඊළඟට යම් ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම වහලා දාන්න පුළුවන්. ඒ කියන්නේ උද්ඝෝෂණ මර්දනය කරන්න ඒ හරහා පුළුවන්. පෝස්ටර් ගැසීම, දැන්වීම් පත්‍රිකා බෙදීම වගේ දේවල් කරන්න බැරි වෙනවා. ඒවා නීති විරෝධී දේවල් බවට පත්වෙනවා. මේ විදියට අර්බුද ගණනාවක් හදිසි නීතිය පවත්වාගෙන යාම තුළ මතුවෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අනවශ්‍ය වෙලාවක මේ නීති ගෙනාවේ මර්දනය සඳහා ද කියන එක අපට දැන් හිතන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය අපි ඉතාම බැරෑරුම්ව ගත යුතුයි. මේ වෙලාවේ හදිසි නීතිය පනවන්න කිසිම අවශ්‍යතාවක් නෑ. ආණ්ඩුවට එරෙහිව ග්‍රාමීය මට්ටමෙන් පවා දැන් විශාල විරෝධයක් මතුවෙලා තියෙනවා. ඒ තුළ උද්ඝෝෂණ, පෝස්ටර් ගැසීම්, ආදිය වැළැක්වීම සඳහා තමයි මේක පාවිච්චි කරන්න හදන්නේ.

මර්දනය සම්බන්ධයෙන් බියකරුම අත්දැකීම් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. ඔවුනුත් සිටින ආණ්ඩුවක් මර්දනය අවියක් ලෙස පාවිච්චි කරයි කියල ඔබ හිතනව ද?

පිළිතුර:- අපි එහෙම තමයි හිතුවේ. නමුත් දැන් ඒගොල්ලෝ කියන කතා ලාල්කාන්ත ඇමැතිවරයා කෙළින්ම කියනවනේ ‘ඇඳුම ප්‍රශ්නයක් නෑ. ජාතික ඇඳුම ද කළු කෝට් ද සිවුරු අදාළ නෑ. කුඩුවෙන්න ගහනවා.’ කියලා. ඔහු මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබලම ඇමැතිවරයෙක් සුනිල් වටගල ඇමැතිවරයත් කියනවා ‘අපි ගහනවා. අපි ඒකට කලබල වෙන්නේ නෑ’ කියලා. ඒකෙන්ම තේරෙන්නේ ඔවුන් මර්දනය ගේන්න සූදානම් කියලා. සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා කෙළින්ම කියනවා ‘ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අය වහාම අත්අඩංගුවට ගන්නවා කියලා. ඒක මේ හදිසි නීතිය පැනෙව්වට පස්සේ කරපු ප්‍රකාශයක්. මේ එන්නේ මර්දනයට බව ඉතාම පැහැදිළියි.

ඔය ඔබ කියන මර්දනයට සුන්බුන් විපක්ෂයට මුහුණ දෙන්න පුළුවන් ද?

පිළිතුර:- විපක්ෂය සුන්බුන් වෙලා නෑ කියන එක අනාගතයේදී දැකගන්න පුළුවන්. දැනට වුණත් දැන් තියන සමුපකාර ඡන්ද වලින් බහුතරය දිනන්නේ විපක්ෂය. ගමේ මතය එළියට එන්නේ සමුපකාර ඡන්දයෙන්. ඒ නිසා විපක්ෂයේ බලය අනාගතයේදී බලාගන්න පුළුවන්.

එජාපය හා සජබය එකතු වුණොත් ඔබ යන්නේ එජාපයටද? සජබයට ද?

පිළිතුර:- මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම වෙන කොහේ යන්න ද?

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්