සිංහල ජනතාවගේ කැමැත්ත ඇතිව උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් අවශ්‍යයි


දෙමළ ජාතික සන්ධානයේ නායක 

එස්. ශ්‍රීධරන්

  • මේ රටේ දෙමළ ජනතාවගේ නිජබිම උතුරු හා නැගෙනහිරයි. ඔවුන් බොහෝ කාලයක සිට ඒ ප්‍රදේශවලයි ජීවත්වන්නේ. මේ දෙමළ ජනතාව හා සිංහල ජාතීන් අතර සහයෝගීතාව ඇති කිරීම තමයි දෙමළ ජාතික සන්ධානයෙ අපේක්ෂාව. මම ඉදිරියේදි සිංහල දේශපාලනඥයන් සමඟ එකතුවෙලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

දෙමළ ජාතික සන්ධානය තුළ කිසිදු අර්බුදකාරී තත්ත්වයක් මෙතෙක් මතුවී නැතැයි එම සන්ධානයේ නව නායක එස්. ශ්‍රීධරන් මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වය සඳහා පසුගිය දා පැවැති ඡන්ද විමසීමකදී ශ්‍රීධරන් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. නව නායකත්වයට තේරී පත්වීමෙන් පසු ‘ඉරිදා ලංකාදීප’ය සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

 

 

ප්‍ර:දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වයට ඔබ පත්වුණා. සන්ධානයෙ ඉදිරි වැඩපිළිවෙළ කුමක්ද?


පිළිතුර- උතුරු-නැගෙනහිර ප්‍රදේශවල විශාල ජනගහනයක් සිටිනවා. මේ රටේ බහුතරයක් සිටින සිංහල ජනතාවගේ කැමැත්ත අනුව දේශපාලන විසඳුමක් උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවටද ලබාදිය යුතුයි. ජාතින් අතර සාමය හා සහජීවනය ඇති කිරීම සඳහා අපි ක්‍රියා කරනවා. ඒ මතය අනුව තමයි අපේ ඉදිරි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.


ප්‍ර:සන්ධානයේ නායකත්වය සඳහා එකම පක්ෂයෙන් තුන් දෙනකු ඉදිරිපත් වුණා. සන්ධානය තුළ අර්බුදයක් පැනනැඟුණා නේද?


පිළිතුර- පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නැහැ. සන්ධානයේ නායකත්වය සඳහා තුන් දෙනෙක් තරග කළා. ශ්‍රීධරන්, සුමන්තිරන් සහ යෝගේෂ්වරම් යන  මන්ත්‍රීවරු අපි තුන්දෙනා නායකත්වයට ඉල්ලීමක් කරපු එක අභියෝගයක් නොවෙයි. මෙයින් පක්ෂය තුළ අර්බුදයක් හටගත්තේ නැහැ. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ක්‍රියාත්මක කරපු නිසා තමයි අපේක්ෂකයන් තුන්දෙනාම තරග කළේ. ඒ අනුව සන්ධානයට සම්බන්ධ සියලු පක්ෂ නියෝජිතයන්ගේ ඡන්දයෙන් තමයි මම නායකත්වයට පත්වුණේ.


ප්‍ර:කොපමණ ඡන්ද සංඛ්‍යාවක් ඔබට ලැබුණාද?


පිළිතුර- මෙම ඡන්ද විමසීමට 321 දෙනකු සහභාගි වුණා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය අනුවයි ඡන්දය පැවැත්වුණේ. ඒ අනුව මම ඡන්ද 184ක් ලබාගත්තා. සුමන්තිරන් මන්ත්‍රීවරයාට ලැබුණේ ඡන්ද 134ක් පමණයි. අවසාන මොහොතේ යොගේස්වරම් මන්ත්‍රීවරයා ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව තමයි මම නායකත්වයට තේරී පත්වුණේ.


 ප්‍ර:දෙමළ ජාතික සන්ධානයේ ඉදිරි බලාපොරොත්තුව කුමක්ද?


පිළිතුර- මේ රටේ දෙමළ ජනතාවගේ නිජබිම උතුරු හා නැගෙනහිරයි. ඔවුන් බොහෝ කාලයක සිට ඒ ප්‍රදේශවලයි ජීවත්වන්නේ. මේ දෙමළ ජනතාව හා සිංහල ජාතීන් අතර සහයෝගීතාව ඇති කිරීම තමයි දෙමළ ජාතික සන්ධානයෙ අපේක්ෂාව. මම ඉදිරියේදි සිංහල දේශපාලනඥයන් සමඟ එකතුවෙලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්නවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාදීමටයි මම ඉදිරියේ බලාපොරොත්තු වන්නේ. ඒ අනුව සිංහල දේශපාලනඥයන්ගේ සහය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. සිංහල ජනතාව එකතුකර ගෙන සියලු ජනතාව අතර සංහිඳියාව ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මතයේ ඉඳලා තමයි අපි ඉදිරි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.


ප්‍ර:දෙමළ සන්ධානයට සම්බන්ධ අනෙක් පක්ෂවල සහය ලැබෙන්නේ කොහොමද?


පිළිතුර- දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ පක්ෂවල සහය ලැබෙනවද නැද්ද කියලා අපට සැක කරන්න බැහැ. අපි ඒ පක්ෂ සමඟ සාකච්ඡා කරන්න ඕනෑ. ඒ පක්ෂවල නායකයන් සමඟ සාකච්ඡා කර ඒකමතික තීරණයකට අප යා යුතුයි. සිංහල ජනතාවගේ සහය ලැබෙනවාද කියලා අපිට කියන්න බැහැ. අපි සාකච්ඡා කරලා සියලු දෙනා එකතුවෙලා නිවැරැදි තීරණයකට එන්න ඕනෑ. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා දෙමළ ජාතික සන්ධානය ඉදිරියට ගෙන යන්න ඒ තුළින් හැකියාව ලැබෙයි කියලා. අපි දැනට ඉන්නේ සාකච්ඡා මට්ටමේ. අපි බලාපොරොත්තු වෙනවා සුබදායක පිළිතුරක් ඒ පක්ෂවලින් ලැබෙයි කියලා අපි මේ පිළිබඳව සිංහල ජනතාව හා සිංහල දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරනවා ඉදිරියට. 


ප්‍ර:දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් විපක්ෂනායක ධුරයට ආර්. සම්බන්දන් මහතා තේරීපත් වුණා. නමුත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබුණේ නැහැ කියලා දෙමළ ජනතාව චෝදනා කරනවා?


පිළිතුර- සම්බන්දන් මහතාගේ කාලයේදී ප්‍රධාන වශයෙන් වුවමනා වුණේ දෙමළ ජනතාවගේ නොවිසඳුණ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබාදීම. ඒ කාලයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ කාලය තුළ විශාල ප්‍රශ්න ගොඩක් ඇතිවුණා. සම්බන්දන් මහතා දේශපාලන විසඳුමක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින කොට තමයි වෙන වෙන ප්‍රශ්න ඇතිවුණේ. එතනදි සාකච්ඡා ඇණහිටියා. නමුත් අපි ඒ තීරණයේ තමයි දැනුත් ඉන්නේ. සම්බන්දන් මහතාගේ සංකල්පය දිගටම ගෙනයන්න තමයි අපි කටයුතු කරන්නේ. මේ සම්බන්ධව සිංහල දේශපාලනඥයන් සමඟ අප ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.


ප්‍ර:ඉදිරියටත් සම්බන්දන් මහතාගේ සහය බලාපොරොත්තු වෙනවද?


පිළිතුර- සම්බන්දන් මහතා සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්. ඔවුන්ගේ පරිණත දැනුම අනුව අපි ක්‍රියා කරනවා. ඔවුන්ගේ සහය අපි ඉදිරියටත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ උපදෙස් අනුවයි අපි ක්‍රියා කරන්නේ. අපි දේශපාලනය දිගටම ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ සහයෝගය ඇතිවයි.


ප්‍ර:දෙමළ ජාතික සන්ධානයට දෙමළ ඩයස්පෝරාවෙන් බලපෑම් එල්ල වෙනවාද?


පිළිතුර- ඒ වගේ බලපෑමක් අපට එල්ලවෙලා නැහැ. ඩයස්පෝරාව කියන්නෙත් දෙමළ ජනතාවම තමයි. මේ රටේ දෙමළ ජනතාවගේ මතය ඔවුන් පිළිගන්නවා. අපිත් ඒ මතයේ ඉන්නේ. අපි සියලු දෙනා කතාබහ කළ යුතුයි. ඔවුන් නව යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවලිය ගරුතර මහා සංඝරත්නයටත් සියලු දේශපාලන පක්ෂ නායකයන්ටත් ඉදිරිපත් කළා. ජනාධිපති-අගමැති හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් ඉදිරිපත් කළා. ඒ සියලු දෙනා සමඟ අපි සාකච්ඡා කළා. ඒ අනුව ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා යම් විසඳුමක් උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවට ලැබෙයි කියලා.


ප්‍ර:ඒ යෝජනාවලින් සිංහල හෝ දෙමළ ජනතාවට බලපෑමක් තිබෙනවාද?


පිළිතුර- ඔවුන් ලංකාවේ කෙසේද ජාතික සමගිය පිළිබඳ ඉදිරි වැඩ පිළිවෙළ, දෙමළ සන්ධානයේ ගැටලු විසඳන්නේ කොහොමද කියලා ඒ යෝජනාවලියේ තිබෙනවා. ඒ ගැන අපේ සබඳතාවක් නැහැ. සිංහල ජනතාව අතර මතයක් තිබෙනවා ඩයස්පෝරාව කියන්නේ සතුරු කොට්ඨාසයක් කියලා. දෙමළ ඩයස්පෝරාව ලංකාවේ දෙමළ ජනතාවට සහය පළ කරන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා මාර්ගයේ විසඳුම් ලබාදීමට තමයි ඔවුන් යෝජනා කරන්නේ.


ප්‍ර:ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. දෙමළ සන්ධානය කොහොමද ඊට මුහුණ දෙන්නේ?


පිළිතුර- ඉදිරියට ජනාධිපතිවරණයක් තමයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. මැතිවරණයක් පැවැත්වෙන බව ආණ්ඩුව දැනුම් දෙන්න ඕනෑ. ඒ අනුව තමයි අපේ මතය ප්‍රකාශ කරන්නේ.


ප්‍ර:දෙමළ සන්ධානය නියෝජනය කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? 


පිළිතුර- අප ඒ පිළිබඳව තවම තීරණයක් අරගෙන නැහැ. එවැනි මතයක් ඉදිරියට ආවොත් අපේ සන්ධානයේ දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කරන්න ඕනෑ. ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරලා අපි හොඳ විසඳුමක් ගන්නවා.


 ප්‍ර:උතුරේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරම් මහතා පවසනවා තමන්ට යෝජනාවක් ආවොත් ජනාධිපති අපේක්ෂක ධුරයට ඉදිරිපත් වෙනවා කියලා. දෙමළ ජාතික සන්ධානය ඊට සහයෝගය ලබාදෙනවාද?


පිළිතුර- මේ වනතුරුත් අපි කිසිම සාකච්ඡාවක් ආරම්භ කරලා නැහැ. ඒ වගේ මතයක් ඉදිරිපත් වුණොත් අපි එකතුවෙලා සාකච්ඡා කරලා හොඳ තීරණයකට එළඹෙනවා.


ප්‍ර: දෙමළ සන්ධානයට මන්ත්‍රීධුර 22ක් හිමිවුණා. පසුව එය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා මන්ත්‍රීධුර 10ක් දක්වා පහත වැටුණා. මොකක්ද ඒකට හේතුව?


පිළිතුර- ඒකට හේතුව ගොඩක් ප්‍රශ්න බලපෑවා. පක්ෂය අතඇරලා කිහිප දෙනෙක් ගියා. 2015 සිට 1019 වෙනකම් අපි දේශපාලන විසඳුමක් ගත්තේ නැහැ. අපේ ජනතාව ඊට විරුද්ධ වුණා. ඒ හින්දා තමයි ඒ පසුබෑමට හේතුවුණා කියලා මම විශ්වාස කරන්නේ. ඉදිරියේදී ඒ ප්‍රශ්න විසඳලා අප හොඳ ස්ථාවරයකට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


ප්‍ර:දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට දක්වන සහයෝගය කොහොමද?


පිළිතුර- දෙමළ ජනතාවගේ ගැටලුවලට ආණ්ඩුව හොඳ සහයෝගයක් ලබා දුන්නොත් අපි ආණ්ඩුවට සහය දෙනවා. අනික මේ රටේ යුද්ධයක් පැවතුණා. දෙමළ මෙන්ම සිංහල ජාතික හමුදා සෙබළුන් මිය ගියා. බොහෝ දෙමළ ජාතිකයන් අවතැන් වුණා. තවත් පිරිසක් අතුරුදන් වුණා. නමුත් ඒ අතුරුදන් වූ අය ගැන තවම කිසිදු පියවරක් ගන්න ආණ්ඩුව ක්‍රියා කළේ නැහැ. දැනටමත් ආණ්ඩුව ඒ පිළිබඳව විසමක් අරගෙන නැහැ. ආණ්ඩුව ඒ පිළිබඳ හොඳ පිළිතුරක් ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එම වැඩ පිළිවෙළට ආණ්ඩුව ක්‍රියා කළහොත් අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා. ඒ වගේ වැඩ පිළිවෙළකට පමණයි අපි අපේ සහයෝගය ලබා දෙන්නේ.


අනික රටේ ආර්ථිකය පිළිබඳ විශාල ප්‍රශ්න තොගයක් තිබෙනවා. ඒකට හොඳ විසඳුමක් ලබා දුන්නොත් අපි සහයෝගය ආණ්ඩුවට ලබා දෙනවා. එසේ නොකළහොත් අපි ආණ්ඩුවට සහය ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නවා.


ප්‍ර: 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔබ සන්ධානයේ අදහස කුමක්ද?


පිළිතුර- 13 වැනි සංශෝධනය බලාත්මක කරන්න ඕනෑ කියලා ජනාධිපතිවරයා ස්ථිර ප්‍රකාශයක් කළේ නැහැ. මහ මැතිවරණයකින් පස්සේ තමයි 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා දරන මතය අපට විශ්වාස කරන්න බැහැ.


ප්‍ර: දෙමළ ජනතාවගෙන් ලැබෙන චෝදනාවක් තමයි දෙමළ දේශපාලනඥයින් මැතිවරණයක් ආසන්න වූවාම පමණයි උතුරු නැගෙනහිර ජනතාව හමුවන්නේ කියලා. ඒ වගේ චෝදනාවක් තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ඒ ගැන මොකක්ද කියන්නේ?


පිළිතුර- ඒ චෝදනාව මම පිළිගන්නේ නැහැ. මම අවුරුදු 14ක් මගේ ප්‍රදේශයේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට උත්සහ කළා. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට දෙමළ දේශපාලනඥයන් ඒ ඒ ප්‍රදේශවලට යනවා. ඔවුන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. ඒ ගැන සාකච්ඡා කරලා ඒවාට විසඳුම් ලබාදීමට ඔවුන් ක්‍රියා කරනවා. දෙමළ ජනතාව නගන චෝදනාව දේශපාලන මඩ ගැසීමක් විතරයි. ඒ නගන චෝදනා ඇත්තක් නොවෙයි. එම චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා.


ප්‍ර:දෙමළ ජනතාවගේ ඉඩම් හමුදාව පරිහරණය කරනවා කියලා තවත් චෝදනාවක් එල්ල වෙනවා. දෙමළ ජාතික සන්ධානය ඒ පිළිබඳ ආණ්ඩුවට බලපෑමක් කරන් නැද්ද?


පිළිතුර- ඒ ගැන අපි සාකච්ඡා කරනවා. ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරලා තිබෙනවා. ඒ පිළිබඳ අධිකරණයේ නඩු පවරලා තිබෙනවා. අප මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අදාළ අංශත් සමඟ සාකච්ඡා කරලා හොඳ විසඳුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.


ප්‍ර: දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරන්න ජාත්‍යන්තරයේ සහය බලාපොරොත්තු වෙනවාද?


පිළිතුර- අපි ඒ පිළිබඳ අවධානය මීට පෙරත් යෝජනා කරලා තිබෙන්නේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන ජාත්‍යන්තරයේ අවධානය යොමු කරලා තිබෙන්නේ. ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් අවශ්‍ය නම් ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍යයි. ඒ මතයේ තමයි අපිත් ඉන්නේ. ලංකාව තුළ මේ පිළිබඳ සාකච්ඡා කළාට මේ පිළිබඳ කිසිඳු විසඳුමක් ලැබිලා නැහැ. ඒ නිසා දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට නම් ජාත්‍යන්තරයේ මැදිහත් වීම අවශ්‍ය බව තමයි අපිත් සඳහන් කරන්නේ. දෙමළ ජාතික සන්ධානයේ මතයත් එයයි.


 ප්‍ර:උතුරු නැගෙනහිර පළාත්වලින් බොහෝ දේශපාලන පක්ෂ බිහිවෙනවා. ඔවුන් සියලු දෙනා ඒකරාශි කරගෙන ඉදිරියට ගෙනයන්න අපේක්ෂා කරනවාද?


පිළිතුර- ඒ ගැන අපි අවධානය යොමු කරලයි තිබෙන්නේ. ඒ ගැන සුබදායක පිළිතුරක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා.


ප්‍ර: දෙමළ ජාතික සන්ධානය උතුරේ මෙන්ම දකුණේ ජනතාවට සහනයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවද?


පිළිතුර- උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනකොට දකුණේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලටත් විසඳුම් ලබාදිය යුතුයි. උදාහරණයක් හැටියට මලයාසියාවේ තිබෙන්නේ එවැනි ක්‍රියාවලියක්. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේදී එය ආර්ථික වශයෙන්ද බලපානවා.


ප්‍ර: දෙමළ ජනතාවගේ ආර්ථිකය නංවාලීම සඳහා දෙමළ ජාතික සන්ධානය මොන වගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්නේ?


පිළිතුර- දැන් ආණ්ඩුව ක්‍රියාත්මක කරපු වැට් බදු ඉහළ නැංවීමේ ක්‍රමවේදය නිසා රටේ බහුතර ජනතාවකට බලපා තිබෙනවා. ඉදිරියෙදි එයට විසඳුමක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපත් සාකච්ඡා කරනවා. ඒ ගැන හොඳ පිළිතුරක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ මෙන්ම නැගෙනහිර දෙමළ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව යම් සාධාරණ තීන්දු ගත යුතුයි.


 ප්‍ර:මේ පිළිබඳ ආණ්ඩුවට බලපෑමක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?


පිළිතුර- මේ ආර්ථික බලපෑම රටේ සියලු ජනතාවම මුහුණ දීලා තිබෙන්නේ. ඒ නිසා අපිට පමණක් තනිවම මේක කරන්න බැහැ. දකුණේ සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කලා මේකට විසඳුමක් ලබාදිය යුතුයි කියන මතයේ තමයි අපිත් ඉන්නේ. රටක් විදිහට මෙම ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා කුමක්ද ගත යුතු පියවර පිළිබඳ අපි සාකච්ඡා කරලා තමයි අපි මේ පිළිබඳව ආණ්ඩුවට බලපෑම් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 

සාකච්ඡා සටහන 
නිශාන්ත කුමාර බණ්ඩාර