සර්ව පාක්ෂික ආණ්ඩුවකට සාකච්චා කරනවා


විජේදාස රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ රටේ ජනතාව තුළ යම් බලාපොරොත්තුවක් ගොඩනැගී ඇත. ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසුවෙමි.   

ඒ මහතා කියන්නේ රට ගොඩනැගීමට විශ්වාසය හා අධිෂ්ඨානය ඇති නිසා රටේ වගකීම් බාරගත් බවය.   


ප්‍රශ්නය -සර්ව පාක්ෂික රජයක් මගින් රට ඉදිරියට යා හැකිද?   


පිළිතුර:- පළමුව සර්ව පාක්ෂික ආණ්ඩුවකට සාකච්ඡා කරමින් යනවා. එතෙක් ස්ථිර තීරණයක් එනතුරු පවතින කැබිනට් මණ්ඩලය මගින් සති කීපයක් පවත්වාගෙන යන්න බලාපොරොත්තුව ඉන්නවා. අනිකුත් පක්ෂ එකඟ වෙනවා නම් වහාම සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගන්නවා. ඒ සඳහා ක්‍රමවේදයක් ඇතිකර ගන්නවා.   


ප්‍රශ්නය -විපක්ෂයේ පක්ෂ එක් වෙනවද?   


පිළිතුර:- ගිය අප්‍රේල් මාසයේ සිටම විපක්ෂයට මේ රට බාර ගන්න කියා කිව්වා. එහෙම කියලත් මාසයක් තිස්සේ කල් මරමින් හිටියා. ස්වාධීන කණ්ඩායම් එකතුවෙලා රජය හදමු කිව්වට ඒකත් පිළිගත්තෙ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයට මේක බාර දුන්නෙ ඉන්පසුවයි. දැන්වත් එකතුවෙනවා නම් අප සුහදව හා විවෘතව බලා ඉන්නවා. ලංකාවෙ දේශපාලන පක්ෂ ක්‍රමය මගින් රටට කිසිම සුගතියක් වෙලා නැහැ. ලෝකයේ දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නෙ දේශපාලන පක්ෂ ක්‍රමය නිසයි. ලංකාව තවම ප්‍රජාතන්ත්‍රවාදයට එක්වෙලා නැහැ. අපේ තියෙන්නෙ ගහගන්න, මරා ගන්න, කොටා ගන්නා, මරණයකටවත් යන්න බැරි මහා වෛරී දේශපාලනයක්. ඒක අසාර්ථක බව අපි දැන දැනම ඒකෙ එල්ලීගෙන ඉන්නෙ නැතුව විශේෂයෙන් රට අමාරුවෙ වැටුණු වෙලාවට කළ යුත්තේ සියලු‍ දේශපාලන පක්ෂ එක්වී රට ගොඩනැගීමයි. එහෙම බැරි කෙනෙක් ඉන්නව නම් ඔහු මහජන නියෝජිතයකු ලෙසට පිළිනොගත යුතුයි. 

 
ප්‍රශ්නය -රටේ ජනතාව බරපතළ අර්බුදයකට ලක්වෙලා. ඊට අමතරව අත්‍යවශ්‍ය ගෑස්, ඉන්ධන හිඟය බොහොම බරපතළයි. ඒවා විසඳගන්න නව ජනාධිපතිවරයට වැඩ පිළිවෙළක් තියෙනවද?   


පිළිතුර:- සර්ව පාක්ෂික රජයකට මම පාර්ලිමේන්තුවට යෝජනා කළේ මීට බොහොම කලින්. මම ඒ ප්‍රකාශය කළේ කිසිම කෙනෙක් පාරට බැහැපු වෙලාවක නෙවෙයි. රට යන තත්ත්වයට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ගිය රජය විතරක් නෙවෙයි. මේ බරපතළ තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ සියලු‍ පක්ෂත් වගකීම ගත යුතුයි. මගේ යෝජනාවට මට පහර දුන්නා. කතානායකවරයාට මම ඒ යෝජනාව ලිඛිතව බාර දුන්නා. මම පිළිතුරක් දුන්නේ ව්‍යවස්ථාව අනුව ඒ සඳහා ප්‍රතිපාදන සැලසී නැහැ කියලයි. මට ඒ ගැන කනගාටුයි. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ගැන පක්ෂ නායකයන්ට අවබෝධයක් නැති බව පැහැදිලියි. ව්‍යවස්ථාවට අදාළ නොවුනට ඒ සඳහා අවස්ථාව තියෙනවා. ව්‍යවස්ථාවට ඉඩදීල තියෙනවා.   


ප්‍රශ්නය -මොකක්ද විසඳුම?   


සර්ව පාක්ෂික රජයක් යටතේ ඇමැති මණ්ඩලයක් පත් කෙරෙනවා. එහෙම බැරි වුණොත් පැවැති කැබිනට් මණ්ඩලය යටතේ ඉදිරියේදී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය උපදවා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කරමින් යනවා.   


ප්‍රශ්නය -රටේ මූල්‍ය ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?   


පිළිතුර:- ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් යනවා. තවත් මිත්‍ර රාජ්‍යයන් කීපයක් සමඟත් සාකච්ඡා කරමින් යනවා. ඒ අනුව ඉන්ධන, ගෑස්, පොහොර ටික අපට ලැබෙනවා. මාසෙකට ප්‍රමාණවත් ඉන්ධන මේ සතියේ ලැබෙනවා. දැනටමත් පොහොර ටික ලැබෙනවා. මහ කන්නයට පොහොර ප්‍රශ්නයක් නැහැ. ගෑස් ප්‍රශ්නය මාස 4 කට විසඳලා තියෙනවා. භාණ්ඩාගාරයේ එක රුපියලක් නැතත් අපට විදේශවලට බිලියන 51ක ණය ගෙවන්න තියෙනවා. ලේසි නැහැ. අසීරු කාර්යයක්   


ප්‍රශ්නය -ඩොලර් ලබා ගැනීමේ ප්‍රශ්නය විසඳන මාර්ගය කුමක්ද?   


පිළිතුර:- අරගලකරුවන්ගේ ක්‍රියා කලාපය නිසාත් අරගලකරුවන්ට පහරදීම නිසාත් සංචාරකයන්ගේ පැමිණීම බොහොම සීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා. වෙනදා 8000ක් සංචාරකයො දිනකට මේ රටට ආවා. දැන් ඒ සංඛ්‍යාව 500ටත් අඩුයි. ඒ නිසා අපේ රටේ දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලයකට යෑමට වීසා ගන්න බැරිව තියෙනවා. මැද පෙරදිග රැකියා ලබා ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නූගත් මෝඩ ජනතාවක් සිටින රටක් බවට අප පත්වෙලා. ජනාධිපති මන්දිරය, අගමැති කාර්යාලය විනාශ කර තිබෙන ආකාරය අනුව මෝඩ නූගත් ගෝත්‍රිකයෝ ඉන්න රටක් බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ ප්‍රශ්නවලින් ගොඩඒමට සෑහෙන කාලයක් යාවි. රජයේ ක්‍රියාවලිය මේ විනාශයට එක් හේතුවක්. මේ රටේ අරගලයේ මුවාවෙන් ත්‍රස්තවාදය වපුරපු කණ්ඩායම් නිසා ඒ විනාශය දෙගුණ, තෙගුණ වුණා.   


ප්‍රශ්නය -රටේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටිකවත් ලැබිල නැහැ.   


පිළිතුර:- පොහොර, ගෑස් ප්‍රශ්න විසඳලා. ඉන්ධන ප්‍රශ්නයට තවත් ඩොලර් ලබාගෙන ඉක්මනින් ඒ සඳහාත් කටයුතු කරනවා. ඒ ටික ආව නම් ජීවන වියදම යම් ප්‍රමාණයකට අවම කර ගන්න පුළුවන්. අධිෂ්ඨානය විශ්වාසය තියෙන නිසා අපි මේ වගකීම බාර ගත්තා.   

මේකට පක්ෂ පාට, පුද්ගල අනුබද්ධ දේශපාලනයෙන් ජනතාව මිදෙන්න ඕනෑ. ජනතාව තුළ දේශපාලනඥයන්ට ඇති වහල් භාවය මේ රටේ කඩා වැටීමට බලපෑවා. පළමුව ජනතාව වහල්බවින් මිදෙන්න අවශ්‍යයි. එවිට දේශපාලනඥයන්ට නිවැරැදි තීන්දු ගත හැකියි. ජනතාවට නිවැරැදි පුද්ගලයා තෝරා යවන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසම්පාදනය කිරීම අවශ්‍යයි. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. උගතුන් බුද්ධිමතුන් ගෙන්වා ගැනීමේ බරපතළ ගැටලුවක් තියෙනවා. ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදු කිරීම මේ ප්‍රශ්නවලට දීර්ඝ කාලීන පිළිතුර වේවි.   


ප්‍රශ්නය -විධායක ජනාධිපති ධුරය ඉවත් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තය කැමැති වේවිද?   

පිළිතුර:- රටේ ජනතාව තුළ ඒ සඳහා දැඩි ඉල්ලීමක් නැහැ. ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් මෙපිට ජනාධිපතිවරුන්ගෙ ක්‍රියා කලාපය මතින් ජනතා අප්‍රසාදය ඇති වුණා. චන්ද්‍රිකා මැතිනිය විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට උත්සාහ කළා. තුනෙන් දෙකක බලයක් ගන්න උත්සාහ කළා. ඉදිරිපත් කළ යෝජනාව එදා එක්සත් ජාතික පක්ෂය බාර ගත්තෙ නැහැ. විධායක ජනාධිපති ධුරයක් දැරීමට පරිණත බවකුත් අවශ්‍යයි. වගකීම් අවබෝධ කරගෙන කටයුතු කළේ ජේ.ආර්. හා චන්ද්‍රිකා පමණයි. අනිත් කිසිම කෙනෙකුට මේ විධායක ජනාධිපති ධුරය ඔරොත්තු දුන්නේ නැහැ.  

 

 

සාකච්ඡාව 
දයාසීලි ලියනගේ