සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපට තවම ආරාධනාවක් නැහැ


සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ

ලක්ෂ්මන් කිරිඇල්ල 

 

රටේ අලුත් දේශපාලන තත්ත්වයකි. ඉදිරියේදී කුමක් වෙයිද? සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ මේ සංවාදය ඒ සම්බන්ධයෙනි.

 

?අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් රටට අවශ්‍යයි කියනවා. නමුත් සජබෙ පස්ස ගහනවා. ඇයි ඒ?   


එහෙම නිල ආරාධනයක් නෑනේ. අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න නම් ඉස්සෙල්ලාම පක්ෂයට නිල වශයෙන් ආරාධනා කරන්න ඕනැ. ඒ වගේම එහෙම යෝජනාවකට පක්ෂයේ කැමැත්ත තියෙන්න ඕනැ. එහෙමයි ඔය කියන විදියේ ආණ්ඩුවක් හදන්න ඕනැ. දෙවැනි ලෝක යුද්ධය කාලේ එංගලන්තයෙ සියලු පක්ෂ එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා. ඒ ඒ පක්ෂවලට ආරාධනා කළා. පක්ෂ ඒ ආරාධනාව පිළිගත්තා. ඒ පක්ෂවලින් කැබිනට් මණ්ඩලයක් හැදුවා. නමුත් අපට තාම ආරාධනාවකුත් නෑ. ඒ වගේම ආරාධනාව එක්ක වැඩපිළිවෙලකුත් අවශ්‍යයි. අපි අන්තර්කාලීන ආණ්ඩුවකට ගියාම මොකක්ද වැඩපිළිවෙළ?   


?කොහොම වුණත් සජිත් ප්‍රේමදාස කැමැති වෙයිද ජනාධිපති රනිල් යටතේ වැඩ කරන්න?   


එතුමාගේ කැමැත්ත නොවෙයි වැදගත් වෙන්නේ. එතුමාට ආරාධනාව ආවට පස්සේ ඒක පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දාලා අනුමත කරගන්න ඕනැ. ඊට පස්සෙ තමයි ඊළඟ පියවරට යන්න ඕනැ. එහෙමයි. දේශපාලන පක්ෂයක් වැඩ කරන්නේ. එහෙම නැතිව තනි පුද්ගලයෙකු නොවෙයි.   


?ඔබේ ගණන් හිලව්වලට අනුව තනි තනිව කී දෙනෙක් සජබෙන් ආණ්ඩුවට යැයිද?   


මට පේන විදියට එක්කෙනෙක්වත් යන එකක් නෑ. ඇමැතිකම් දෙනවා කිව්වට කවුරුවත්ම යන එකක් නෑ. මොකද අපේ පක්ෂයේ කවුරුත් දන්නවා බිම් මට්ටමේ තත්ත්වය. බිම් මට්ටමේ මතය සම්පූර්ණයෙන්ම වෙනස්. ගොඩක් දෙනෙක් හිතුවනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාම ඩොලර් ගලාගෙන එයි කියලා. එහෙම තත්ත්වයක් නෑනේ. එහෙම එළියක්වත් නෑ. අනිත් එක මැදපෙරදිගින් එන සල්ලිත් ජූනි මාසයට වඩා ජූලි මාසයෙදි අඩුවෙලා. අනිත් එක ජනාධිපති වුණා විතරයි සාමකාමි අරගලකරුවන්ට මහ පාන්දර පහර දුන්නා. ‘යනවා’ කියලා තියෙද්දි එ් පහරදීම කළේ. ඒක ජාත්‍යන්තරයෙ පිළිකුලට ලක්වෙලා තියෙනවා. හදිසි නීතිය දැම්මා. පාස්කු ප්‍රහාරයට හදිසි නීතිය දාලා 2019 දි ඉවත් කළාට පස්සෙ ඔය දැම්මමයි. හදිසි නීතිය අවුරුදු දෙකකට විතර පස්සෙ තමයි ආවේ.   


?ඔබලා හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන්නා? ප්‍රචණ්ඩත්වය මැඩ පවත්වන්න හදිසි නීතිය අවශ්‍යයි?   


කවුද ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ. ප්‍රචණ්ඩත්වය ඉස්සෙල්ලාම පටන් ගත්තේ අරලියගහ මන්දිරයෙන්. අරලියගහ මන්දිරයට එන්න කියලා රටේම ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඔවුන්ගෙ අතට පොලු දීලා යැව්වා අරගලයට ගහන්න. එහෙමනේ පටන් ගත්තේ. අපි ඒක පිළිගන්න එපැයි. ඒ සිද්ධිය වෙනකම් අරගලය බොහොම සාමකාමියිනේ. පංති බේදයකින් තරාතිරම් බේදයකින් තොරව ජනතාව අරගලයට ගියා. පොහොට්ටුවේ මැරයන් ගැහුවේ ඒ සාමකාමී අරගලයට. එතැනින්නේ ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ. 

 
?ඔබ අරගලය සාමකාමියි කිව්වට අන්තිමට ජනාධිපති මන්දිරය. ජනාධිපති කාර්යාලය, අරලියගහ මැදුර ඇල්ලුවා. ඉතින් ඒවා සාමකාමිද? 

 
ගැහුවට පස්සෙ කොල්ලො නිකම් ඉදියිද? අනිත් එක අපි ආණ්ඩුවේ නොවෙයි ඉන්නේ විපක්ෂයේ. රටේ තියෙන ප්‍රචණ්ඩත්වය පාලනය කරන්න ඕනැ ආණ්ඩුවයි. ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය තමයි තත්ත්වය පාලනය කළ යුත්තේ. නමුත් ඔවුන්ට ඒක කරගන්න බැරි වුණානේ. ඒකට අපි මොකද කරන්නේ.   


?හදිසි නීතිය අවශ්‍ය නැද්ද මේ තත්ත්වය පාලනය කරන්න?   


දැන් සමස්තයක් වශයෙන් රට සමකාමියිනේ. අපි රටක් වශයෙන් ඉන්නේ ඉතාම නරක තැනකනේ. සාමකාමී අරගලකරුවන්ට පහර දීලා හදිසි නීතිය දැම්මාට රට අස්ථාවරයි කියලා පේනවනේ. අපේ රට අස්ථාවරයි කියලා මුළු ලෝකයටම දැන් පෙන්වලා තියෙන්නේ. මෙහෙම වුණාම සංචාරකයො එන්නෙත් නෑ.

ආයෝජකයෝ එන්නෙත් නෑ. අනික අපට ණය දෙන්න බලාගෙන ඉන්න රටවල්වලට අපිට මේ ණය ගෙවන්න පුළුවන් ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. අපට ආධාර කරන්න ඉන්න රටවල්වලට ඒක ලොකු ප්‍රශ්නයක්. අරගලකරුවන්ට පහරදීම සරළ සිදුවීමක් නොවෙයි. ඒකෙන් වුණේ මුළු රටම අනතුරේ දැමීමක්.   


?හදිසි නීතියට ඡන්දය නොදුන්නේ ඒ නිසා?   


ඇත්ත වශයෙන්ම ඔව්. හදිසි නීතිය දැම්මම වරෙන්තුවක් නැතිව ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. වහල තියෙන ගොඩනැගිල්ලක දොර කඩලා ඇතුළට ගන්න පුළුවන්. ලොක් කරලා තියෙන වාහනයක අගුල් කඩලා ඒ වාහනය අරගෙන යන්න පුළුවන්. ඒ විදිහෙ ඉතාම භයානක හා මර්දනකාරී පරිසරයක් මේ හරහා ඇතිවෙනවා. ආණ්ඩුවට ඒක ඕනැ. මොකද අයිඑම්එෆ් එක ලෝක බැංකුව දාන කොන්දේසිවලට යටත්වෙන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා. එතකොට ජනතාව ආපහු පාරට බහිනවා. ඒ පාරට බහින ජනතාව මර්දනය කරන්න හදිසි නීතිය අවශ්‍යයි. අපි ඒ නිසයි හදිසි නීතියට විරුද්ධ.   


සජබෙන් කවුරුවත්ම ආණ්ඩුවට යන්නේ නෑ කිව්වට සජබෙ ඉදිරිපෙළ නායකයන්ගෙ නම් ගම් කියැවෙනවා.   
ඔය සමාජ මාධ්‍යවල මොනවද දාන්න බැරි? මම දන්න විදියට කවුරුවත්ම යන්නේ නෑ. අපි පහුගිය බද‌ාදත් කට්ටිය හමුවුණා. එහෙම යන පාටක් පේන්න තිබුණේ නෑ. බිම් මට්ටමේ ඇත්ත තත්ත්වය ගැන අපේ කට්ටියට හොඳ අවබෝධයක් තියෙනවා.    


?ජනපති තෝරන පාර්ලිමේන්තු ඡන්දෙදි සජබෙ උදව් කළේ ඩලස්ට. නමුත් සජබෙ ඡන්ද කීපයක් හරි රනිල්ට ගියා?   


නෑ. එක ඡන්දයක් ගියේ නෑ. බැසිල් රාජපක්ෂ කියලා තිබුණනේ පොහොට්ටුවෙන් 125 ක් ම ඡන්දය දුන්නා කියලා. ඉතිරි ගාන ගියේ ටීඑන්ඒ එකෙනුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුයි. මට නම් ගම් කියන්න පුළුවන්. ඔවුන් ප්‍රසිද්ධියෙ කිව්වා ‘අපි ඡන්දෙ දෙන්නේ රනිල්ට’ කියලා. අපෙන් කවුරුවත්ම දුන්නේ නෑ.   


?විපක්ෂයේ කාර්යභාරය විවේචනය ද? රට ගොඩගන්න වැඩපිළිවෙළක් යෝජනා නොකර විවේචනය කර කර ඉන්න එක සාධාරණද? 

 
විපක්ෂය මොකටද වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරන්නේ. ඒක කරන්න ඕනැ ආණ්ඩුව. දැන් අලුත් ජනාධිපති කෙනෙක් පත්වෙලා ඉන්නවා. ඔහු තමයි වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුත්තේ. රට ගොඩගන්න අපි සහයෝගය දෙනවා. මොකද අපි කවුරුත් ඉන්නේ මේ රටේනේ. රට අරාජික වෙලා විනාශ වෙනවට අපි කැමැති නෑ. හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළොත් අපි අවශ්‍ය සහයෝගය දෙනවා.   


?නමුත් විපක්ෂය හිතනවා රට අර්බුදයට යන්න යන්න ඒකේ වාසිය විපක්ෂයට ලැබෙයි කියලා?   


නෑ නෑ අපි එහෙම හිතන්නේ නෑ. අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ‘හුස්ම’ වැඩසටහන යටතේ කොච්චර බෙහෙත් අරන් දීලා තියෙනවාද මිලියන 100 කට වැඩියෙන් බෙහෙත් දීලා තියෙනවා රජයට. අපි ඉන්නේ මේ රටේ අපේ දරුවො ඉන්නෙත් මේ රටේ. අපට ද්විත්ව පුරවැසිකම් නෑ. රට ගොඩගන්න ඕනැ. රටක් නැත්නම් දේශපාලනය කරන්නෙ කොහොමද?   


?සජබෙ ඉල්ලන්නේ මැතිවරණයක්?   


ඔව්. ඒකට හේතුව ගෝඨාභය රාජපක්ෂට ජනවරමක් ලැබුණා. පොහොට්ටුවට ජන වරමක් ලැබුණා. ඒ ජනවරම් දෙකම දැන් අහෝසියි. ගෝඨාභය දාලා ගියා. මහින්ද දාලා ගියා. කැබිනට් එක දාලා ගියා. එහෙම දාලා ගියාම ජනවරම අහෝසියිනේ. දැන් මේක පිළුණු වෙච්ච ආණ්ඩුවක්. මම දැක්කා පාර්ලිමේන්තුවේදි ආණ්ඩු පක්ෂයෙ මන්ත්‍රීවරුන් ඉන්නේ ඩිම් වෙලා කිසිම ගතියක් නෑ. ගැම්මක් නෑ. ඇත්ත වශයෙන්ම දැන් ආණ්ඩුවක් නෑනේ. රටේ පාර්ලිමේන්තුවේ බහුතරය පාවිච්චි කරලා අලුත් ජනාධිපති කෙනෙක් පත්කර ගැනීම නීත්‍යානුකූලයි. නමුත් ජන වරමක් නෑ. දේශීය වශයෙන් පිළිගැනීමක් හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නෑ. මම කියන්නේ රටට ඕනැ අලුත් ආණ්ඩුවක්. මැතිවරණයක් තියලා අලුත් ආණ්ඩුවක් බලයට පත් වුණොත් මිනිස්සු ඒ ආණ්ඩුවට කල් දෙනවා. අලුත් ආණ්ඩුවක්නේ. ඒ වගේම ජාත්‍යන්තරය කැමැතියි අලුත් ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න. ඒක තමයි ඇත්ත.  


?අලුත් ජනපතිවරයෙක්, අලුත් අගමැතිවරයෙක් වගේම අලුත් කැබ්නෙට්ටුවක් තියෙන්නේ. ඔබ කියන අලුත් පෙනුම එතැන නැද්ද?  


නෑ, කොහෙද අලුත් පෙනුමක් තියෙන්නේ. පාර්ලිමේන්තුව තමයි සියලු දේ පාලනය කරන්නේ.

පාර්ලිමේන්තුවේ සියයට 99 යි දශම 9 ක්ම ඉන්නේ පොහොට්ටුවේ අය. අපට තානාපතිවරු හමුවෙනවනේ. ඔවුන් කියන පළමුවැනි දේ තමයි අයිඑම්එෆ් එකේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනැ. ඒ වගේම ජනතාව ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණ දෙන්න ඕනෑ. ඒවා කිසිම දෙයක් වෙලා නැහැනේ. ආර්ථික ප්‍රතිසංස්කරණ මුකුත්ම වෙලා නෑ. පරණ විදියටම ඔහේ යනවනේ.  


?තවම කල් මදියි නේද ඕවා ඉල්ලන්න?  


අපි විශ්වාස කරනවා ඉදිරියේදී රාජසභා කතාවකට මාන බලනවනේ. ඉතාම ඉක්මනින් ඒක කරයි කියලා හිතනවා. අපි බලමු එතැනදි ප්‍රතිපත්තිය මොකක්ද කියලා. හැබැයි අලුත් ආණ්ඩුව පටන් ගත්තේ ඉතාම අසුබ විදියට. සාමකාමී අරගලකරුවන්ට පහර දුන්නා. හදිසි නීතිය දැම්මා. මේ සිදුවීම් දෙක ඉතා බරපතළයි. 


?ඔබ අධිනීතිඥවරයෙක්. ‘උඹලගෙ ගෙවල් තියෙන තැන් අපි දන්නවා’ කියලා අරගලකරුවන් තර්ජනය කරනවා. රට මේ කොතැනටද යන්නේ?  


ගෙවල් ගිනි තැබීම මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. මම විතරයි එකම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි කියපු එකම මන්ත්‍රීවරයා අතුකෝරල මන්ත්‍රීතුමාගේ මරණය වුණා. එතුමාට වන්දියක් දිය යුතුයි. දේපළ හානි වෙච්ච අයටත් වන්දියක් දිය යුතුයි කියලා. මම ඒක පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට මතක් කළා. මොකද එතුමා කිව්වා ඒ ගැන කතා කරන්න අපේ දිව නැමෙන්නේ නෑ කියලා. නමුත් වන්දි ගෙවන්න ඕනැ කියලා කියපු එකම මන්ත්‍රීවරයා මමයි.  


?ආණ්ඩුවට එන්න කියලා ඔබට ආරාධනාවක් ආවොත් ඔබ යනවද?  


මට එහෙම ආරාධනාවක් නෑ. නමුත් මම දන්නවා මේ අලුත් රජයට ප්‍රශ්නවලට උත්තර නෑ. පටන් ගත්ත විදියෙන් තේරුම් ගන්න පුළුවන් රට යන්නෙ කොතැනටද කියලා. උත්තර නැති ආණ්ඩුවක් එක්ක එකතුවෙන්න මම කැමැති නෑ කොහොමත්. අපි ඔක්කොම අය පාර්ලිමේන්තුවට ආවේ සජබයෙන්. සජබෙ දාලා යන්නේ නෑ කොහෙත්ම. කවුරු ගියත් මම යන්නේ නෑ.  


?පක්ෂය තීරණයක් ගත්තොත් ආණ්ඩුවට යන්න?  


පක්ෂය තීරණය කළත් මම යන්නේ නෑ. මම විපක්ෂයේ ඉන්නේ. අපට ඇමැතිකම් ගන්න ජනවරමක් නෑනේ. ඇමැතිකම් ගන්නවා නම් අපි ගන්න ඕනෑ ජනවරමකින්.

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්