සමහර ඇමැතිවරු ඒ අයගේ බලය හරියට පාවිච්චි කරන්නේ නෑ


සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ  

ආණ්ඩුව පැත්තේ ඉන්න සජබ මන්ත්‍රීනි ඩයනා කියන කතාව  

  • ජනාධිපතිතුමාට විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවටත් වැඩිපුර අවුරුදු දෙකක් දෙන්න ඕනැ

 

ජනාධිපතිතුමාට විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවටත් වැඩිපුර අවුරුදු දෙකක් දෙන්න ඕනැ

 

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඩයනා ගමගේ මහත්මිය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් ආණ්ඩුවට සහාය දැක්වූවාය. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.  


ප්‍රශ්නය:- සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට ආපු ඔබ දැන් ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඒ ගත්තු තීරණය ගැන දැනුත් සතුටුද?  


පිළිතුර:- ඔව්. මම කවද‌ාවත් ගත්ත තීරණයක් ගැන පසුතැවෙන්නේ නෑ. මොකද මම තීන්දු ගන්නේ හොඳට හිතලා බලලා.  


ප්‍රශ්නය:- ඔබ කිව්වා ‘ගෑස් ගන්න ගෑස් ලොරියක් පස්සෙ පැන්නුවා කියලා. එහෙම ආණ්ඩුවක ඔබ ඉන්නේ?  


පිළිතුර:- මෙහෙමයි. ඒකෙ වරද ආණ්ඩුවකයි කියලා කියන්න බෑ. ලෝකෙ හැම රටක්ම ලොකු ව්‍යසනයකටනේ මුහුණපාලා තියෙන්නේ. මේ තත්ත්වය අපට බලපාපු එකක් විතරක් නොවෙයි. අපිට මේ බලපෑම වැඩියෙන් දැනිලා තියෙන්නේ අපි අනික් රටවල්වලින් යැපෙන රටක්නේ. හැමදේම අපි පිටරටින් ගෙන්වන්නේ. ගෑස් වුණත් ගෙන්වනවනේ. අපි දේශීය දේවල් නිපදවා ගන්නේ නැහැනේ. අවුරුදු 74 ක් වෙනවා නිදහස ලබලා. ඒ හේතුව නිසා තමයි අපට මේ සියලු දේට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:-  කොහොම වුණත් අද රටේ තියෙන ගොඩක් ප්‍රශ්න කොවිඩ් නිසා නොවෙයි?  


පිළිතුර:- ඔව්. ඩොලර් ප්‍රශ්නයකුත් ආවනේ. ඒ වගේම පහුගිය කාලයේ තිබ්බ හැම ආණ්ඩුවක්ම මේවා හරියට කළමනාකරණය කරගත්තේ නැහැනේ. අපේ රට තුළ තියෙන දේවල් සංවර්ධනය කෙරුණේ නෑ. ඒ සඳහා යම් උත්සාහයක් ගත්තත් රටේ ඉන්න සමහර කොටස් ඒ සාධනීය දේවල්වලට ඉඩ දෙන්නේ නෑ. හැමදේම කඩාකප්පල්කරලා ද‌ානවා. එතකොට රටක් වශයෙන් අපිට ඉදිරියට යන්න බෑ. ඒ නිසා මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉස්සර කිව්වේ ‘මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්’ කියලා. අද කියන්නේ ‘දුප්පත් රටක්’ කියලයි. අපි ඒ තරම්ම ණය බරකින් මිරිකිලා ඉන්නේ. අපට හැම තැනින්ම ණය ඉල්ලන්න වෙලා. ඒවගේ රටක් නිසා මේ ලෝක වසංගතය වැඩියෙන් දැනෙනවා. ගොඩාක් රටවල් කාටවත් ණය නෑ. ඉන්දියාව වගේ රටක් කාටවත් ණය නැහැනේ. කොවිඩ් වගේ දෙයක් ආවත් ඒක පාලනය කරගන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් ඒ රටවල්වලට තියෙනවා. ඩොලර් බිලියන 18 ක් 20 ක් අපට නැතිවුණා මේ අවුරුදු දෙකට. විදෙස් ශ්‍රමිකයන්ගෙන් එන ඩොලර් සංචාරක ව්‍යාපාරයෙන් එන ඩොලර් අපට නැති වුණා. මේ නැතිවෙච්ච සල්ලි අපි හොයන්න ඕනැ. 

 
ප්‍රශ්නය:- කිසිම ප්‍රශ්නයකට ආණ්ඩුවට නිසි විසඳුමක් නැහැනේ. ප්‍රශ්න පැටවු ගහන්නේ ඒ නිසයි?  


පිළිතුර:- විසඳුමක් නැතිකම නොවෙයි. මෙතැන වෙලා තියෙන්නේ මොන විසඳුමක් දෙන්න උත්සාහ කළත් මේකෙ ඇතුළත ඉන්නේ වෙන කණ්ඩායමක්. හැම ප්‍රශ්නයකම ඇතුළට ගිහින් බැලුවම ඇතුළේ ඉන්නවා කඩාකප්පල්කාරීන් පිරිසක්.  


ප්‍රශ්නය:- ඒ අය කවුද කියලා ඔබට කෙළින්ම කියන්න පුළුවන්ද?  


පිළිතුර:- ඒ අය කවුද කියලා තමයි හොයාගන්න ඕනැ. ප්‍රශ්නවලට විසඳුම දෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි.  


ප්‍රශ්නය:- සංස්ථා සභාපතිවරු, අධ්‍යක්ෂවරු අස්කරනවා. ඉල්ලා අස්වෙනවා. රට සම්පූර්ණයෙන්ම විහිළුවක් වෙලා?  


පිළිතුර:- විහිළුවක් වෙලා තමයි. සංස්ථා සභාපතිවරු අස් කරනවා. ඉල්ලා අස්වෙනවා. ඒකෙන්ම පේන්නේ මෙතන තියෙන්නේ කළමනාකරණ ප්‍රශ්නයක් බවනේ. අපි සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. රට ඉදිරියට යන්න බෑ එහෙම නොකර. තමන්ට බාර දීලා තියෙනවා නම් වැඩ කොටසක් තමන් ඒ වැඩ කොටස හරියට කරන්න ඕනැ. ඇමැති කෙනෙකුට බලයක් තියෙනවනේ. ඒ බලය පාවිච්චි කරලා හරි දේ හරියට කළ යුතුයි.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඇමැතිවරු වැඩ කරන්නේ නැහැ කියලද?  


පිළිතුර:- වැඩ කරන්නනේ බලය දීලා තියෙන්නේ. එහෙම නොවුණාම, කවුරුත් ගහන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාට මේ ඔක්කොම තනියම කරන්න පුළුවන් නම් ඇමැතිලා පත් කරන්න ඕන නැහැනේ. මෙතැන වෙලා තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මේක වටහා ගන්නකෝ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇමැතිකම් දුන්නේ නෑ කාටවත්. එතුමා දුන්නේ වැඩපිළිවෙළවල්. ගාමිණී දිසානායක මැතිතුමාට දුන්නා මහවැලි වැඩපිළිවෙළ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දුන්නා තරුණයන් සවිබල ගන්වන වැඩපිළිවෙළ. ඒවා ඇමැතිකම් තමයි. නමුත් එතැන තිබුණේ වැඩපිළිවෙළවල්. අද තියෙන්නේ ඇමැතිකම්නේ.  


ප්‍රශ්නය:- ඔබේ පිළිතුරෙන් පේන්නේ මෙතැන අසාර්ථක ජනාධිපතිවරයා බවයි?  


පිළිතුර:- ජනාධිපතිතුමා මේ ඇමැතිකම මෙතුමට මේ ඇමැතිකම එතුමට කියලා දීලා තියෙනවා. ඒ ඒ ඇමැතිවරුන්ට ඒ විදියට වැඩපිළිවෙළවල් දීලා තියෙනවා. එතකොට ඒ අමාත්‍යතුමන්ලා තමන්ට ලැබිලා තියෙන ඒ බලය පාවිච්චි කරලා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අතරතුර යහපාලන ආණ්ඩුවේ හිටපු නිලධාරීන් කොටසකුත් ඉන්නවා. ඒ අය වැඩපිළිවෙළ අවුල් කිරීමේ ප්‍රශ්නයකුත් තියෙනවා. හැමෝම දේශපාලනඥයන්ට දොස් කියනවා. හැබැයි නිලධාරීන්ට දොස් කියන්න නැහැනේ. හැම නිලධාරියාම නොවෙයි. හොඳින් වැඩ කරන නිලධාරීන් ඉන්නවා. හැබැයි කොටසක් ඉන්නවා වැඩ අවුල් කරන. ඒ අය ගැන ඇමැතිවරු දැනගන්න ඕනැ.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඇමැතිවරුන් අසමත්?  


පිළිතුර:- මෙහෙමයි. ඇමැතිවරු ඔක්කොම නොවෙයි. සමහරක් ඇමැතිවරුන් ඒ අයගේ බලය හරියට පාවිච්චි කරන්නේ නෑ. ඒ අයගේ බලය යටතේ තීන්දු තීරණ ගන්නේ නෑ වගේ පේනවා. ඒ අය ඒ අයට දීලා තියෙන බලය පාවිච්චි කළ යුතුයි. එහෙම පාවිච්චි කරලා හරි කළමනාකරණයක් කළ යුතුයි. අපි හැම දෙයක්ම අධ්‍යයනය කළ යුතුයි. ආයතනයක් බාර දුන්නාම අපි ඒක හොඳට අධ්‍යයනය කළ යුතුයි.  


ප්‍රශ්නය:- ඇත්තටම ඔබ සමගි ජන බලවේගයෙන් එළියට ආවේ ඇයි?  


පිළිතුර:- මම සමගි ජන බලවේගයෙන් එළියට ආවේ නෑ. එහෙම එළියට ආවයි කියලා කියන්න බෑ. මම අදටත් තාමත් කියනවා මේ පක්ෂය අයිති අපිට කියලා. මමත් මගේ මහත්තයත් මේ පක්ෂයේ අයිතිකරුවෝ. අපි යාවජීව සාමාජිකයෝ. අපි මේ පක්ෂයට පත් කළා නායකයෙක් හා එයට කැමැති ලේකම් කෙනෙක්. එහෙම පත් කරලා අපි මහ මැතිවරණයට ගිහින් මේ ඉන්න තැනට ආවා. විපක්ෂනායකකමත් ගත්තා.  


ප්‍රශ්නය:- ඔච්චර ඉක්මනට පක්ෂය එපා වුණේ?  


පිළිතුර:- එක තැනකදී තීන්දුවක් ගත යුතුව තිබුණා. රටේ තියෙනවා ව්‍යවස්ථාවක්. ඒක පක්ෂ දේශපාලනයට එහා ගිය දෙයක්. ඒ ව්‍යවස්ථාවට අවශ්‍ය කරන සංශෝධනයකදී තමයි මම මේ තීරණය ගත්තේ. 20 වැනි සංශෝධනයට මම පක්ෂ වුණේ ඒක හරි නිසයි. මේ වගේ රටක අනිවාර්යයෙන්ම ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඒ ජනාධිපතිට මේ බලතල තිබිය යුතුයි කියන ස්ථාවරයෙ මම ඉන්නවා. ඒ ස්ථාවරයෙ එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. මේ ජනාධිපතිධුරය ගෝඨාභය රාජපක්ෂ කියල ද මහින්ද රාජපක්ෂ ද සජිත් ප්‍රේමද‌ාස ද රනිල් වික්‍රමසිංහ කියන එක නොවෙයි. මේ තනතුරයි වැදගත්. ඒ තනතුරටයි ඒ බලය දෙන්නේ. ඊළඟ පාර එන ජනාධිපතිවරයෙක් අනේ මේ බලය ඕනෑ නෑ කියලා කියන්නේ නැහැ.  


ප්‍රශ්නය:- සමගි ජන බලවේගය නම් කියන්නේ ඔබ පක්ෂයෙන් නෙරපා හැරලයි තියෙන්නේ කියලා?  


පිළිතුර:- ඒක අපි බලාගමු නඩුවෙදි. මාව නෙරපුව එකට සුප්‍රිම් උසාවියෙ නඩුවක් යනවනේ. එතැනදි අපි බලාගමු. ඒගොල්ලෝ කොහොමද මාව පක්ෂයෙන් නෙරපන්නේ කියලා. අපි බලාගමුකෝ අන්තිමට නෙරපෙන්නේ කවුද කියලා.  


ප්‍රශ්නය:-  ඔබ 20 ට අත ඉස්සුවේ රාජ්‍ය ඇමැති ධුරයක් දෙන බවට පොරොන්දු වෙච්ච නිසයි?  


පිළිතුර:- නෑ එහෙම කිසිම පොරොන්දුවක් පිට නොවෙයි. මාව සල්ලිවලට අල්ලස්වලට ගන්න පුළුවන් චරිතයක් නොවෙයි. මොකද මම ඒ කිසිම දෙයක් අවශ්‍ය කෙනෙක් නොවෙයි. මට ‘රාජ්‍ය ඇමැතිකමක් දෙනවා 20 ට අත උස්සන්න’ කියලා කවුරුවත් මට කිව්වේ නෑ.  


ප්‍රශ්නය:- නමුත් ඔබ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘දුන්නොත් බාර ගන්නවා’ කියලා?  


පිළිතුර:- මගේ තියෙන දක්ෂතාවයට මගේ තියෙන හැකියාවට ඒගොල්ලෝ හිතුවොත් මේ දේ මෙයාට කරන්න පුළුවන් කියලා හිතලා මට දුන්නොත් අනිවාර්යයෙන්ම මම බාර නොගෙන ඉන්නේ නෑ. රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මේ රට ගොඩද‌ාන්න ඕනැ කියන තැන මම ඉන්නවා. අන්න ඒ වෙනුවෙන් මට බාර දෙන වගකීමක් මම බාර ගන්නවා.  


ප්‍රශ්නය:- ඔබ කරන්නේ කාගේ ‘ඩීල්’ එකක්ද?  


පිළිතුර:- කාගේ ඩීල් ද? මොකක්ද ඩීල් එක. අපි ඩීල් කරන අය නොවෙයි. අපි කා එක්කවත් ඩීල් ද‌ාන්නේ නෑ. එහෙම අවශ්‍යතාවක් නෑ.  


ප්‍රශ්නය:- ඔබ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘පහුගිය වසර දෙකේදී ජනාධිපතිවරයට වැඩක් කරන්න බැරි වුණා. ඒ නිසා වසර දෙකකින් කාලය දික් කරන්න ඕනැ’ කියලා. ඒක ඩීල් එකක් නොවෙයිද?  


පිළිතුර:- නෑ ඩීල් එකක් නොවෙයි. ඒක මගේ පෞද්ගලික අදහස. අපේ රට ගත්තොත් අවුරුදු පහෙන් පහට මෙහෙම වෙනස් කරලා හදන්නේ කොහොමද? ඒ අවුරුදු පහට ඡන්ද කීයක් පවත්වනවාද? මහජනතාවගේ මුදලින් ඡන්ද කීයක් පවත්වනවද? ප්‍රාදේශීය සභා කියයි. පළාත් සභා කියයි. පාර්ලිමේන්තු කියයි. ජනාධිපතිවරණය කියයි. මොන සල්ලියක්ද කියන්න. රට මේ පත්වෙලා තියෙන තත්ත්වයත් එක්ක ඡන්දවලට මෙහෙම කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන්න පුළුවන්ද? මේ රට කවද‌ාද අපි ගොඩ ද‌ාන්නේ. මේ රටේ තරුණ පරපුර ඊළඟට කොහේද යන්නේ. අපි හෙට මේ රට සජිත් හරි රනිල් හරි ගත්තොත් ඒ අයට විසඳුම් තියෙනවද කියන්න මේ ඩොලර් ප්‍රශ්නයට. ඒ අයගේ ගස්වල ඩොලර් වැවෙනවද? අහසින් ඩොලර් වැටෙනවද කියන්නකෝ. එහෙම වෙන්නේ නෑ. ඒවට ක්‍රම හදන්න ඕනැ. ඒවට ආයෝජකයන් ගෙන්වන්න ඕනැ. අපි ව්‍යාපෘති හදන්න ඕනැ. දේශීය දේවල් අපි හදන්න ඕන.  


ප්‍රශ්නය:- ඔය ටික කරන්නද වැඩිපුර අවුරුදු දෙකක් ඉල්ලන්නේ?  


පිළිතුර:- අපිට අවුරුදු දෙකක් නැති වුණා? පාර්ලිමේන්තුවේ තියෙන හැන්සාඩ් අරගෙන කියවන්න. වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ කොවිඩ් ගැන. එකම මාතෘකාවක් තමයි කතා කරල තියෙන්නේ. ඊට අමතරව පාස්කු ප්‍රහාරය. රට ගොඩනැගීම ගැන කතා කරල නෑ. ශිෂ්‍යත්වයට ගිය ළමයි පැය භාගයක් මදි වුණා කියලා ඒ දරුවන් අඬපු හැටි බලන්න. ඒ පැය භාගය අහිමි කරලා ප්‍රතිඵල දුන්නම හරිද? මම කියන්නේ ජනාධිපතිතුමාට විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවටත් ඒ අවුරුදු දෙක දෙන්න ඕනැ. සිරිමාවෝ මැතිනිය අවුරුදු දෙකක් වැඩිපුර ගත්තේ.  


ප්‍රශ්නය:- ඡන්ද නොතියන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් ගැන ද ඔබ කියන්නේ.  


පිළිතුර:- අවුරුදු 74 ක් ප්‍රජාතන්ත්‍රවාදය තියාගෙන ගියේ කොහාටද? අපි හිඟමනට වැටිලා ඉන්නේ. පොඩි පොඩි ලෝන් ඉල්ලන තත්ත්වයට අපි පත්වෙලා. අපිට ණයක් දෙන්න කැමැතිද? එහෙව් තත්ත්වයකට මේ රට පත්වෙලා තියෙන්නේ. අපි මේක කොහොම හරි ගොඩද‌ාන්න ඕනැ. ඒ වෙනුවෙන් සියලු දෙනා කැපවෙමු කියලයි මම කියන්නේ.  

 

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්