
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉකුත් දිනවල ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණේය. මෙම හදිසි සංචාරය කුමක්ද?
ඉන්දියාව සජිත්ව ගෙන්වූයේ මොකටද? මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහ කෙරෙන්නේ ඒ ගැනය. විපක්ෂ නායකවරයා යනු රටක විකල්ප නායකයාය. සජිත් ඉන්දියාවට ගියේ පෞද්ගලික සංචාරයකට නොව එරට මෝදි අගමැතිවරයාගේ රජයෙන් ලැබුණු නිල ඇරයුමෙනි. එහිදී මෝදිගේ ආණ්ඩුව කරවන ප්‍රධාන බලකණු මුහුණට මුහුණ හමුවී දෙරටටම වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට විපක්ෂනායක සජිත්ට හැකියාව ලැබුණි.
ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, කතානායක ඩ්ම් බිර්ලා සහ ඉන්දීය ප්‍රතිපත්ති හැඩගස්වන්නන් සජිත් හමුවූ ඉන්දීය ප්‍රබලයන් අතර වූහ. ඉන්දියාව ඇත්තටම සජිත් ගෙන්වූවේ ඇයි? බොහෝ දෙනාට ප්‍රශ්නය පැන නැගී ඇත්තේ ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක එම පදවියට පත්වීමෙන් පසු කරන ලද පළමු නිල සංචාරය වන ඉන්දීය සංචාරයේදී එකඟ වූ ව්‍යාපෘති කිසිවක්ම ඉටුවී නොමැති පසුබිමකය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු වන ප්‍රකට ව්‍යාපාරික අදානිට ලබාදී තිබූ මන්නාරම සහ උතුරේ විදුලිබල ව්‍යාපෘති අනුර දිසානායක ජනාධිපතිවරයාගේ රජය යටතේ කුඩම්මාගේ සැලකිල්ලට ලක්විය. අවසානයේ අදානි එම විදුලි බල ව්‍යාපෘතිය අතහැර දැමුවේය. එපමණක් නොව ඉන්දියාව මහත් බලාපොරොත්තුවෙන් සිටි දෙරට යා කරන තමිල්නාඩු හා මන්නාරම මුහුදු පාලමද තවමත් සැලසුමට පමණක් සීමාවූ කඩදාසි කොළයක් පමණකි. එම මාර්ගයේ ඉන්දියානු කොටසෙහි මෝදි අගමැතිවරයා අලුතෙන්ම ඉදිකළ පාලම විවෘත කළේද දැනට මාස දෙක තුනකට ඉහතදීය.
දෙරට යා කරන මෙම පාලම ඉන්දියාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටින ව්‍යාපෘතියක් වන මුත් ලංකාව එම මුහුදු මාර්ගය ගැන කිසිම ඉදිකිරීමකට මේ දක්වා ගොස් නැත. මෝදි අගමැතිවරයා සහ ජනාධිපති අනුර දිසානායක අතර නවදිල්ලියේදී අත්සන් කළ ඉන්දු-ලංකා විදුලිබල පද්ධති අන්තර් සම්බන්ධතා ව්‍යාපෘතියද තවමත් ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘතියකි.
දෙරට නායකයන් අත්සන් කළ ගිවිසුම් ගණනාවක්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් තවමත් ලොකු ඉදිරි පියවරක් නැත. ඉන්දියාවේ තවත් ඉල්ලීමක් වන පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද ශ්‍රී ලංකා රජය තීරණාත්මක පියවරක් ගෙන නැත.
පසුගිය ආණ්ඩු කිහිපයක් විසින්ම අවුල්සහගත මට්ටමට පත් කළ පළාත් සභා මැතිවරණ පනත මේ වනවිට අක්‍රීයව පවතින අතර ඉන්දියාවේ බලාපොරොත්තුව නව රජය යටතේ හෝ එම නීති ගෙනඒමය.
ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, කතානායක ඩ්ම් බිර්ලා සහ ඉන්දීය ප්‍රතිපත්ති හැඩගස්වන්නන් සජිත් හමුවූ ඉන්දීය ප්‍රබලයන් අතර වේ. ඉන්දියාව ඇත්තටම සජිත් ගෙන්වූවේ ඇයි? බොහෝ දෙනාට පැන නැගී ඇත්තේ ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක එම පදවියට පත්වීමෙන් පසු කරන ලද පළමු නිල සංචාරය වන ඉන්දීය සංචාරයේදී එකඟ වූ ව්‍යාපෘති කිසිවක්ම ඉටුවී නොමැති පසුවීමකය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ඉන්දීය නිල සංචාරය වැදගත් වන්නේ එම පසුබිම තුළය. සජිත් සහ ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජයිශංකර් අතර පැවැති සාකච්ඡාවේදී මෙම ප්‍රශ්න කිහිපයක් ගැනම සාකච්ඡා කෙරිණි. වෙළෙඳාම, බලශක්තිය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම ප්‍රධාන මාතෘකාවක් විය. ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ ජාල සම්බන්ධතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. මෙහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා කියා සිටියේ භූතානය සහ නේපාලය සමග ඉන්දියාවේ සාර්ථක හවුල්කාරීත්වය උපයෝගී කර ගනිමින් විදුලිබල හා බලශක්ති අංශවල සහයෝගීතාව ගවේෂණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පහසුකම් සපයන බවය. ඉන්දියාව වසර ගණනාවක සිට දෙරට අතර හවුල් බලශක්ති ජාලයක් බිහිකිරීමට සැලසුම් කරන අතර වත්මන් රජය සමග ඇති කරගත් එකඟතාව තවමත් ඉටු නොවී ඇති පසුබිමක අනාගත ආණ්ඩුව පිහිටුවන නායකයා සමග ඉන්දීය බලධාරීන් සාකච්ඡා කිරීම විශේෂ අවධානයට ලක්විය යුතු අවස්ථවකි.
ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් යථාර්ථවාදී කළේ මුදල් ඇමැති රොනී ද මැල් විසිනි. එලෙසම ඉන්දීය අගමැති මෝදිගේ ආණ්ඩුවේ දැවැන්ත සංවර්ධන සැලසුම් සඳහා මූල්‍ය ප්‍රවාහය සැපයෙන්නේ මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් අතිනි. ඇය සමග පැවැති හමුවේදී ඇය කියා සිටියේ ඉන්දියාව වැනි විශාල වෙළෙඳ පොළකට පිවිසීමෙන් ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බවය. ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත් භාවය වර්ධනය කරගත හැකි බවද ඉන්දීය මුදල් ඇමැතිනිය කියා සිටියාය. නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස විපක්ෂනායක සජිත් ඉන්දීය මුදල් ඇමැතිනියගෙන් ඉල්ලා සිටියේය.
විපක්ෂනායකවරයාගේ මෙම ඉන්දීය සංචාරය වෙනත් නායකයන්ගේ ඉන්දීය සංචාරවලට වඩා විශේෂත්වයක් ගන්නේ දෙරට අතර කළ හැකි සහ කළ යුතු ආයෝජන පිළිබඳවත් දෙරට අතර අන්‍යෝන්‍ය බැඳියාව ගැනත් පැහැදිලිවම සාකච්ඡා කළ නිසාය. ‘‘ඉන්දියාව සහ ලංකාව අතර පවතින සබඳතාව අවස්ථාවක් ලෙස මිස තර්ජනයක් ලෙස නොසැලකිය යුතු බව කී සජිත් ශ්‍රී ලංකාවද නිරතුරුවම ඉන්දියාවේ ජාතික ආරක්ෂක අභිලාෂයන් තහවුරු කිරීමට සහායවීමට වගබලා ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද සඳහන් කළේය. එය මෙරට නායකයකුගෙන් කියැවුණු වැදගත්ම වචනයක් වනුයේ ලංකාව ගන්නා ඇතැම් පියවර ඉන්දියාවට තර්ජනයක් ලෙස ඉන්දියාව නිරතුරුවම සිතන නිසාය.
ඉන්දියාවට සිටින වැදගත්ම අසල්වැසියා ලංකාවය. ලංකාවට සිටින ළඟම අසල්වැසියා ඉන්දියාවය. ඉන්දියාව සහ චීනය නිරතුරුවම සතුරු ඇසකින් බලන යුගයක හම්බන්තොට වරාය චීනයට ලබාදුන් ලංකාව ඉන්දියාව ඉල්ලා සිටි මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා නොදීම රාජ්‍ය තාන්ත්‍රික වරදකි. හම්බන්තොට අතිවිශාල ඛනිජ තෙල් පිරිපහදුවක් සඳහා චීනය සමග ගිවිසුම් ගත වෙද්දී ඉන්දියාව ඉල්ලා සිටි ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් පිරිපහදුව සඳහා අවසර ලබා නොදීමද එවැනිම රාජ්‍ය තාන්ත්‍රික වරදකි. එවැනි අවස්ථාවක රටේ විකල්ප රාජ්‍ය නායකයා ලෙස සැලකෙන විපක්ෂනායකවරයා ඉන්දියාවට කැඳවා එරට ඉහළම බලවතුන් සමග වැදගත් ආර්ථික කරුණු ගැන සාකච්ඡා පැවැත්වීම අනාගත දේශපාලන පෙරැළියක් සඳහා ආරම්භය දැයි යමකුට සිතේනම් එය වැරදි නැත.
ප්‍රේමකීර්ති රණතුංග.

