විපක්ෂයෙ හැමෝම ජනාධිපති පුටුව පස්සෙ දුවනවා


සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න

  • රජය පී.සී.ආර්. පරීක්ෂණ ඕනෑ නෑ කියන්නේ පරීක්ෂණ කට්ටල හිඟ නිසයි.
  • මේ ආණ්ඩුව මුල ඉඳලම වරද්ද ගත්තනේ

 

 රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.   

 

හැම මරණයක්ම පී.සී.ආර්. කළ යුතු නෑ කියලා ආණ්ඩුව අලුත් තීරණයක් අරගෙන තියෙනවා ඔබ මොකද කියන්නේ?   


පී.සී.ආර්. කරන්න බැරි දැනට පී.සී.ආර්. කිට් ඇත්තේ නෑ. පහුගිය දවස්වල ජාතික රෝහලේ තිබුණේ කිට් හතරයි. අනික් රෝහල්වල ඇත්තෙම නෑ. ඒ නිසා ඇන්ටිජන් පරීක්ෂණ කරන්න බෑ. දැන් මේ ගොල්ලෝ දන්නවා තව ටික දවසක් යනකොට පී.සී.ආර්. කට්ටලත් නෑ. ඒ නිසා දැන් කියනවා පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නෑ කියලා. 

 

ප්‍රශ්නය:- ඔබ හිතන විදියට දැන් කොවිඩ් පාලනය වෙලාද? වැඩි වෙලාද?   


මෙහෙමයි. ලෝකයේ සියයට 19 ක් දැනට මේ වෙනකොට කොවිඩ් රෝගීන්ගෙ අඩුවීමක් තියෙනවා. නමුත් මරණ ස්ථාවරව තියෙනවා. මරණවල අඩුවීමක් නෑ. ලෝකයේ බටහිර යුරෝපයේ එහෙම කොවිඩ් වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසා තවම හරියටම කියන්න බෑ තත්ත්වය මොකක්ද කියලා. ලෝක සෞඛය සංවිධානය කියන්නෙත් කොයි වෙලාවකදිවත් කිසිම රටක් මේකෙ දැන් තර්ජනයක් නෑ කියලා හිතන්න එපා කියලයි. මොකද අපි දන්නවා කොවිඩ් රැල්ල උඩ යනවා. පහළට යනවා. තව රැල්ලක් එනවා. ඇල්ෆා රැල්ල ආවා. ඊට පස්සේ බීටා එක ආවා. ඊට පස්සෙ ඩෙල්ටා එක ආවා. දැන් කොවිඩ් ඔමික්‍රෝන් එක. අපිට තව කාලයක් ඉන්න වෙනවා ඔමික්‍රෝන් එකෙන් පස්සේ තත්ත්වය හරියටම තක්සේරු කරන්න.   


ආණ්ඩුව නා ගනී කියලා විපක්ෂය බලාගෙන හිටියත් ආණ්ඩුව තත්ත්වය හොඳින් පාලනය කළා නේද?   


නෑ ආණ්ඩුව මුල ඉඳලම වරද්ද ගත්තනේ. අවශ්‍ය වෙලාවේ රට වැහුවේ නෑ. රට ලොක්ඩවුන් කරන්න කිව්වම ඇඳිරි නීතිය දැම්මා. අපි කිව්වා ‘එන්නත් ඇණවුම් කරන්න’ කියලා. අවශ්‍ය වෙලාවේ ඒක කළේ නෑ. එන්නත හරි වෙලාවේ ගෙනාව නම් මේ මැරුණු පහළොස්ද‌ාහකගේ ජීවිත බේරගන්න තිබුණා. මේ අය මුට්ටි පස්සෙ ගියා. පැණි පස්සෙ ගියා. ඉදිරියේ යම් තත්ත්වයක් ආවොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා දැක්මක් නෑ. මේ රජයට කිසිම දෙයක් පිළිබඳව. සෞඛ්‍ය පිළිබඳව ද ආර්ථිකය පිළිබඳව ද කෘෂිකර්මය පිළිබඳව ද නිවැරැදි දැක්මක් නෑ. දකින දේ විද්‍යාත්මක නෑ. අවිද්‍යාවෙන් රටක් මේ 21 වැනි සියවසේ ගෙනියන්න බෑ.   


විපක්ෂයට එහෙම දැක්මක් තියෙනවද? ‘එද‌ා වේල සටන්’ තමයි අපි දකින්නේ.   


ඔව්. ඒකේ යම් සත්‍යයක් තියෙනවා. පළමුවැනි දේ මේ ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ ව්‍යාපාරයක් බිහිකරන්න මේ කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නෑ. හැමෝම ජනාධිපතිධුරය පිටිපස්සේ දුවනවා මිසක් ඉන්න ජනාධිපතිවරයව පලවා හරින්නේ කෙසේ ද කියන වැඩපිළිවෙලකට ඇවිත් නෑ. ඒක තමයි මෙතන තියෙන පළමු වැරැද්ද.   


ඔබේ ඔය චෝදනාව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමද‌ාසටත් අද‌ාළයි.   


අපට වෙලා තියෙන්නේ අපේ පක්ෂය අලුත්ම පක්ෂයක්. අපේ පක්ෂය ගිය මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ බෝඩ් ලෑල්ලක් සහිතව පමණයි. ඒ වගේම සජිත්ගේ නමයි. මේ දෙකෙන් තමයි අපි මන්ත්‍රී ආසන 52 ක් ජයග්‍රහණය කළේ. ඒ නිසා ඇත්තටම අපිට මේ පක්ෂය ගොඩ නැගීමේ වැඩපිළිවෙළ තියෙනවා. අපි මේ දවස්වල රටපුරා ශාඛා සමිති හද‌ාගෙන බල මණ්ඩල පිහිටුවා ගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ සංවිධාන කටයුතුත් එක්ක තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අනිත් ඔක්කොම පක්ෂ කරන්නේ තමන් සුදුසුයි කියන එක ප්‍රවර්ධනය කිරීමයි. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීම අඩුයි.   


සජිත් ප්‍රේමද‌ාසට අද‌ාළව මම අහපු ප්‍රශ්නය ඔබ මග ඇරියා?   


නෑ. ඔබ කියපු තත්ත්වය තිබුණා. නමුත් දැන් ඒක අඩුවෙලා යනවා. සජිත් ලංකාව පුරා දුව යමින් තමන්ගෙ වැඩකටයුතු කරගෙන යනවා. ඔහු මේ තියෙන විවේචන ගැන කන් යොමුකරන්නේ නැතිව ඔහු කරන්නේ ලංකාව පුරා යෑමයි. ගිය සතිය පුරාම ඔහු කොළඹින් පිට ඉන්නේ ඒ වැඩපිළිවෙළ නිසා. ආණ්ඩු විරෝධී ජනතාවට යම් මධ්‍යස්ථානයක් තියෙන්න ඕනැ රැස්වෙන්න. ඕනෑම කෙනෙකුට පේනවා දැන් ඒ ජනතාව රැස්වෙන්නේ සමගි ජන බලවේගය සමග කියලා විකල්ප ආණ්ඩුවක් හදන්න පුළුවන් වැඩිම හැකියාව තියෙන්නේ අපිටයි. ඒ නිසා ජනතාව සජිත් සමග එකතු වෙනවා.   


ඇයි චම්පික රණවක වෙනම ගමනක් යන්න හදන්නේ?   


ඔව්, මේ සියලු දෙනා එකාබද්ධ වෙලා එක් මධ්‍යස්ථානයකට එන්න ඕනා. කවුද දිනන්නේ කියන ඒකට නොවෙයි රාජපක්ෂලාව පළමුව පරාජය කළ යුතුයි. ඒ වැඩපිළිවෙළයි ගේන්න ඕනැ. ඒකෙන් පස්සේ මොකක්ද අපි ඉදිරිපත් කරන ඒකාබද්ධ වැඩපිළිවෙළ. මේවාට තමයි අපි අවධානය යොමු කළ යුත්තේ. චම්පිකත් අපිත් එක්ක ඉන්නවා ඔය 43 සේනාංකය වෙනම හද‌ාගත්තත් චම්පිකගෙන් ඇහුවාමත් කියන්නේ ‘ඔව් මම සජබත් එක්ක තමයි ඉන්නේ’ කියලා.   


ඔහුට වෙනම ගමනක් යන්න වුණේ සජිත්ගේ නායකත්වයෙ ප්‍රශ්නයක් නිසා?   


නෑ මෙහෙමනේ. මෙතන නායකත්වය පිළිබඳ තියෙන ප්‍රශ්නයට වඩා තමන් නායකයා වෙන්න බලාගෙන තමයි හැමෝම යන්නේ.   


මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියනවා ‘සජිත් ගාව ඉන්න න්‍යායාචාර්යවරු මට ගහනවා’ කියලා.   


මට තේරෙන්නේ නෑ මේ මොනවද කියලා. මටත් ඕවා බල බලා හිටියොත් දේශපාලන තීන්දු ගන්නකොට අපිට ගහපු ඒවයි. බැනපු ඒවයි. ඒ වගේ පෞද්ගලික ප්‍රශ්න එක්ක දේශපාලන බලවේග ගොඩනගන්න බෑ.

දේශපාලන ව්‍යාපාරයකට තියෙන්නේ ප්‍රතිපත්ති ගොඩ නැගීමයි. ඒ ප්‍රතිපත්ති එක්ක ඉන්නව ද නැද්ද කියලා විතරයි පුද්ගලයෝ තීරණය කරන්න ඕනැ. එතැනදී ඒ කඳවුරේ ඉන්න අය හැමෝම ඒකට ඉන්න ඕනෑ. සමාන ලෙසම හිතන අය නෑ. ඒත් ඒ ප්‍රශ්න පක්ෂ ඇතුළේ කතා කරන්න ඕනැ. එහෙම නැතිව ඒ ප්‍රශ්න මහජනයාට කිව්වට වැඩක් නෑ. මහජනයාට ඔය එකක්වත් වැඩක් නෑ. මහජනයාට ඔයිට වැඩිය ලොකු ප්‍රශ්න තියෙනවා. දැන් මිනිසුන්ට තුන්වේල කන්න බෑ. කිරිපිටි ගන්න පෝලිම්වල හිටියත් ගන්න නෑ. ගෑස් නෑ, විදුලිය නෑ. හෙට අනිද්ද‌ා වෙනකොට ඉන්ධන නෑ. රෝහල්වල බෙහෙත් නෑ. මිනිසුන්ට ජීවිත ආරක්ෂාවක් නෑ. මෙහෙම පීඩාවෙන් ඉන්න මිනිසුන්ට අපි අපේ ප්‍රශ්න මට අරයා ගහනවා මෙයා ගහනවා කියලා කිව්වට මිනිසුන්ට ඇහෙන්නෙවත් නෑ. මිනිස්සු ඉන්නේ මහා පීඩාවකින්.   

ආණ්ඩුව අනුරාධපුරයෙන් රැලි මාලාව පටන් ගත්තා. ඒ ගැන ඔබේ අදහස?  


කිසිම බලයක් නැති චණ්ඩි ඉන්නේ හන්දි ගානේ. සරම උස්සගෙන කෑගහලා කුණුහරුප කියාගෙන ඉන්න චණ්ඩි ඉන්නේ. අන්න ඒ වගේ චණ්ඩිපාට් එකක් තමයි මේ පෙන්නන්නේ. තමන්ගේ බැරිකම වහගන්න හදනවා මේ වගේ දේවල් වලින්. එහෙම වහගන්න ගිහිල්ලා තවත් බැරිකම පෙන්වලා තියෙනවා. කවදද මහින්ද රාජපක්ෂ කතා කරන කොට මිනිස්සු කෑගහලා යම් යම් දේවල් ඉල්ලුවේ. විසිල් ගහලා අත්පුඩි ගහලා ඔල්වරසන් නගලා රටේ ඉන්න ශ්‍රේෂ්ඨම නායකයා හැටියටනේ මහින්ද රාජපක්ෂ පිළිගත්තේ. අද එයාට කතා කරන්න නොදී ‘පොහොර දියව්’ කියලා ඉල්ලනව නම් එතැනින්ම පේනවනේ අර්බුදය මොකක්ද කියලා. බලන්න 2019 රැලියට ආපු සෙනඟයි මේ 2022 දී රාජ්‍ය බලය පාවිච්චි කරලා බස් ද‌ාලා, කොළඹින් හාල් කන්ටේනර් යවලා ඒවා බෙදලා ඇමැතිවරයෙක්ගෙ කොම්පැණියේ කසිප්පු බෙදලා. මේ ඔක්කොම කරලත්නේ ඔය ටික ගෙනාවෙත්.  


මැතිවරණයකට යන්න ආණ්ඩුවේ සූද‌ානමක් තිබෙන බව කියනවා. ඒ ගැන ඔබේ මැනීම?  


මැතිවරණ ගත්තොත් පළාත් පාලන මැතිවරණය තිබ්බොත් ඒගොල්ලෝ පරාදයි. පළාත් සභා මැතිවරණය තිබ්බත් විශාල පරාජයකට ලක්වෙනවා. එතකොට ඒගොල්ලන්ට වාසිද‌ායක ඡන්දය තමයි මට නම් තේරෙන්නේ මහ මැතිවරණය. ඒක තිබ්බත් පරාදයි. එහෙම පැරදුණත් තමන්ගේ ජනාධිපතිවරය ඉන්නවා. අපි රජයක් පිහිටෙව්වත් අපට අවුරුදු දෙකක් මේ ජනාධිපතිවරයා එක්ක අපට වැඩ කරන්න වෙනවා. ජනාධිපතිවරයා අපේ කකුලෙන් ඇද්දොත් අර පැරණි චන්ද්‍රිකා, රනිල් ආණ්ඩුව බවට පත්වෙනවා. එහෙම නැතිව ජනාධිපතිවරයා කිව්වොත් එහෙම මම ලෑස්තියි ඔයගොල්ලෝ එක්ක වැඩ කරන්න’ කියලා අවුරුදු දෙකක් ඔහු සමඟ දීග කෑවට පස්සේ අපට කවද‌ාවත් ඒ අවුරුදු දෙකේදී ඒ අය කරපු වැරදි ගැන විමර්ශනයක් කරන්න වෙන්නේ නෑ. එතකොට ඒ අයගේ පරමාර්ථය හරි. මොකද අවුරුදු දෙක යනකොට රටේ වෙන ප්‍රශ්න ඇවිත් වෙන වෙන මාතෘකා ඇවිත් මේවා යට යනවා. ඒ ගොල්ලෝ බලයට ආවෙම ඒගොල්ලන්ගේ නඩු ටික අවසන් කරගන්නයි පුළුවන් ඉක්මනට හම්බ කර ගන්නයි. ඒ දෙකම දැන් ජයටම කෙරෙනවා. ඉතින් ඒ නිසා ඒ අය කැමැතියි පැරදිලා විපක්ෂයට යන්න. එහෙම බැලුවම මහ මැතිවරණයක් එයි.

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්