හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත් සමගම මෙරට දේශපාලනයේ අලුත් තත්ත්වයක් නිර්මාණය විය. ඒ සමගම සිදුවිය හැකි දේ කුමක්ද හා ඉදිරි ක්‍රියාමාර්ග විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග කළ සාකච්ඡාවකි.
Q ඔබත් දැන් තිගැස්සිලා ඇත්තේ ?
පිළිතුර:- ඒ මොකටද මම තිගැස්සෙන්නේ.
Q ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන.
පිළිතුර:- ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඒක තිගැස්සෙන්න හේතුවකුත් නොවෙයි. අපි අපේ දේශපාලන ගමන යනවා. ඒ යන ගමන පළිගැනීම් හරහා නතර කරන්න උත්සාහ කරනවා. රාජපක්ෂ දේශපාලනය මර්දනයෙන්, පළිගැනීමෙන් නතර කරන්න උත්සාහ කළේ අද ඊයේ නොවෙයි. අපිව මර්දනය කරන්න හදන්නේ දැන් අවුරුදු කීයක ඉඳන් ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රේමදාස ආණ්ඩුව එක්ක හැප්පුණා. ජේවීපී එකේ තරුණයන් මරණයෙන් බේරාගන්න. ඒ තමයි අපේ යුක්තිය. අද ජේවීපී එක ප්‍රමුඛ ආණ්ඩුව යූ.එන්.පී. එක මර්දනය කරනවා. ඒ අයුක්තියට එරෙහිව අපි අද පෙනී ඉන්නවා. අන්න ඒ යුක්තියෙ ගමන මර්දනයෙන් නතර කරන්න බෑ.
Q හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කළා. ඔබ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ පුත්‍රයා. ඔබේ පියාටත් රනිල් ඉරණම කැරකෙයි කියලා හිතෙන්නේ නැද්ද?
පිළිතුර :- මගේ පියාවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මාස හයක් හිරේ දැම්මනේ. ඒ නිසා ඒවා එතුමාගේ දේශපාලනයට අලුත් දෙයක් නොවෙයි. අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න බලාගෙන තමයි දේශපාලනිකව හැප්පෙන්නේ. අපි හිතුවා එක පරම්පරාවකින් මේ දේශපාලන වෛරය නතර වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නෑ. ඒක පරම්පරා දෙක තුනකට යනවා. ඒක තමයි ස්වභාවය.
Q දවස් දෙකකට රුපියල් කෝටි එක හමාරක් වියදම් කළා. කියලයි හිටපු ජනාධිපති රනිල්ට චෝදනා කරන්නේ. රටේ ආර්ථික අර්බුදයක් තිබියදී එහෙම වියදම් කිරීම සාධාරණයි කියලා ඔබ හිතනව ද?
පිළිතුර:- ඒක චෝදනාවක් විතරයිනේ. ඒක නාටකයක්ද එහෙම නැත්නම් ඒ චෝදනාවේ පදනම මොකක් ද කියලා තවම පැහැදිලි නෑනේ. ඒක අධිකරණයේදිනෙ තීරණය වෙන්නේ. රටක රාජ්‍ය නායකයකුට ආරාධනාවක් ලැබුණම ඒක මේ වර්තමාන ජනාධිපතිවරයාට වෙන්න පුළුවන්.
දැන් මේ අනුර දිසානායක ජනාධිපතිවරයා ජර්මනියේ නිල සංචාරයක යෙදුණා. දැන් මම දැක්කා. ඒ සංචාරයෙන් රටට මොනව ද ගෙනාවේ කියලා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම සාධාරණයිනේ. රාජ්‍ය නායකයෙක් වුණාට ඔහු නියෝජනය කරන්නෙ රට. ඒ වගේම තමයි රට නියෝජනය කරනකොට ඒ ඒ රටවල්වල ආරක්ෂක අංශ විදේශ අමාත්‍යාංශ ඒ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොයෙක් උපදෙස් දෙනවා. ඒ උපදෙස් පිළිපදින්න අපි බැඳිලා ඉන්නවා. එහෙම නැත්නම් යම් හානියක් වුණොත් ඒකෙ වගකීම බාරගන්නේ කවුද? රාජ්‍ය නායකයෙක් යම් තැනකට යනවානම් ඔහු රාජ්‍ය නායකයෙක් කියන එක අපිට අමතක කරන්න බෑ. ඒක වර්තමාන ජනාධිපතිවරයාටත් පොදුයි.
Q මාලිමා ආණ්ඩුව ඒමට පෙර මේ රටේ තිබුණ බොහෝ ආණ්ඩු මහජන ධනය නාස්ති කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවට ලක් කළ හැකියි කියලා ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර: වර්තමාන ආණ්ඩුව තමයි මහජන මුදල් නාස්ති කිරීම කෙසේ වෙතත් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ.
Q “විනාශ කළා’’ කියලා කියන්නේ?
පිළිතුර: විනාශ කළා කියන වචනය පාවිච්චි කරන්න වෙනවා. මොකද ඔවුන් ට්‍රාන්ස්ෆෝමර ගිනි තිබ්බා, බස් ගිනි තිබ්බා, ගොවි ජන මධ්‍යස්ථාන ගිනි තිබ්බා, පාලම්, බෝක්කු විනාශ කළා, ගෙවල් ගිනි තිබ්බා ඒවා මහජන ධනය නොවෙයි ද?
Q හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගත්තාම විපක්ෂය එක විටම එකතු වුණා. ඒකේ ඇත්ත අරමුණ පැහැදිලි කළොත්.
පිළිතුර: මර්දනයට විරුද්ධවයි එහෙම එකතු වුණේ.
Q දැන් රණවිරු දඩයමක් තියෙන බවකුත් කියනවා. නමුත් ඒ වෙනුවෙන් එකතු වීමක් නෑ.
පිළිතුර: මම ඔබ සමග එකඟයි. රණවිරු දඩයමට විරුද්ධවත් එකතු විය යුතුයි. ඒක මම මුල ඉඳලම කියපු දෙයක්. ඒ වගේම ඒ ගැන පක්ෂ නායකයන් දැනුවත් කළා. පොදුජන පෙරමුණ හැටියට රණවිරු දඩයමට එරෙහිව අපි සටන් කරනවා.
Q ජාතික ආපදාවන්වලදී මෙහෙම එක්සත් කමක් අපි දැක්කේ නෑ. ආණ්ඩුව නම් කියන්නේ හොරු රකින්න-හොරු එකතු වෙනවා කියලයි.
පිළිතුර: අපි දැක්කනේ ත්‍රස්තවාදය අවසන් කරන්න එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණ අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ ඒ ආණ්ඩුවට එන්නේ නැතිව ඉන්න කොට එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය මැතිතුමා ඇතුළු කණ්ඩායමක් අපිත් එක්ක එකතු වුණා. කොවිඩ් වසංගතය වෙලාවෙත් සියලු පක්ෂ එකතු වෙලා තීන්දු තීරණ ගත්තා. ඒ වගේම අර්බුදයක් ආපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත් කරන්නත් බොහෝ පක්ෂ එකතු වුණා. ඔබ මොන අර්ථයෙන් කිව්වත් ජාතික ආපදාවලදී බොහෝ පක්ෂ අඩු වැඩි වශයෙන් එකතු වෙලා තියෙනවා.
Q ඔබේ සොහොයුරා රෝහිත රාජපක්ෂගේ රොකට්ටුව ගැන අගමැති හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කළ කතාව ඔබලාට වෙස්වළා ගත් ආශීර්වාදයක්?
පිළිතුර: ඒක දැන් මාලිමා ආණ්ඩුවේ අභ්‍යන්තරයේ දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙවා. ඒ නිසා වෙනත් පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්නයක් ගැන මං කතා කරන එක සාධාරණ නෑ.
Q මම අහන්නේ අගමැතිනියගේ ප්‍රකාශයෙන් චිචී නිදහස් වුණා කියලා ඔබ හිතනව ද කියලයි.
පිළිතුර: නෑ. චිචී නිර්දෝෂි වෙලා හිටියේ දිගටම. වැරැද්දක් වෙලා නෑ කියලා අපි දිගින් දිගටම ප්‍රකාශ කළා. අගමැතිනිය කරපු ප්‍රකාශයෙන් ඒ බව තවදුරටත් තහවුරු වුණා එච්චරයි.
Q වසන්ත සමරසිංහ අැමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා මුළු රාජපක්ෂ පවුලටම නඩු තියෙනවා කියලා. මේ ගැන මොකද කියන්නේ?
පිළිතුර: එහෙම කියපු වසන්ත සමරසිංහ ඇමතිවරයාටත් ගල්කිස්ස උසාවියේ නඩුවක් තියනවනේ.
Q රාජපක්ෂලාට එරෙහි නඩු වැටෙන්නේ අහම්බෙන් නොවෙයි. හේතු සාධක මත නේද?
පිළිතුර: දේශපාලනයේදී නොයෙක් චෝදනා එල්ල වෙන්න පුළුවන්. අපිට තියෙන නඩුවලදී ගොඩක් වෙලාවට පැමිණිලිකරුවෝ වෙන්නෙත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්. සාක්ෂි දෙන්නෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්. ඒ වගේම ජවිපෙ සමග බිස්නස් කරන අය එෆ්සීඅයිඩී කියලා එකක් යහපාලන ආණ්ඩුව කාලේ දැම්මා. ඒකේ ප්‍රධානියා වුණෙත් අද ඉන්න ඇමැතිවරයෙක්. ඒක එහෙම්පිටින්ම දේශපාලන දඩබිමක්. ඒ දේශපාලන දඩබිමෙන් නොයෙක් චෝදනා අපට ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණය තුළදී අපේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න අපි අපේ කරුණු ඉදිරිපත් කරනවා.
Q විපක්ෂයේ සමගිය මේ නඩුවලට මුහුණදීම සඳහා කියලා මම කිව්වොත්.?
පිළිතුර: නෑ. විපක්ෂයේ සමගිය හෝ බෙදීම තීරණය වෙන්නේ දේශපාලන කාරණා මතයි. ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වෙන්න පුළුවන්ද බැරිද කියන කාරණයයි. මං හිතනවා මේ වෙලාවේ රාජ්‍යය ආරක්ෂා කරන්න අපට වගකීමක් තියෙනවා. ඒ පොදු මතයෙ බොහෝ පක්ෂ ඉන්නවා.
Q දැන් තරගය තියෙන්නේ විපක්ෂ නායකකමකට නේද! සජිත් සහ ඔබ අතර තරගයක් තියෙනවා වගේම තවත් අය ‘සූට්’ මහමින් ඉන්නවා.!
පිළිතුර: පක්ෂයක් හැටියට කිසිම තනතුරකට අපි තරග කරන්නේ නෑ. මේ රටේ කම්කරු පංතිය වෙනුවෙන් රණවිරුවන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ගොවියා, ධීවරයා, කම්කරුවා වෙනුවෙන් පෙනී ඉන්නවා මිසක් තනතුරු පොරයක් මට නෑ. අවංක චේතනාවෙන් ඒ කාරණය අපි ඉෂ්ට කරනවා. ඒ නිසා තමයි මාව තුන් පාරක් රිමාන්ඩ් කරපු හිටපු ජනාධිපතිවරයාට අසාධාරණයක් වෙනකොට මම ඒ වෙනුවෙන් පෙනී හිටියේ. නැත්නම් මට කියන්න තිබුණනේ ‘‘මාවත් ඇතුළට දැම්මා ඒ නිසා මම එන්නේ නෑ’’කියලා. නමුත් මම එහෙම නොවෙයි. අපට අසාධාරණයක් වෙනකොට ඒක වැරැදි නම් ඒක තවත් කෙනෙකුට වෙනවා නම් ඒකත් වැරැදියි.
Q ආණ්ඩුව යන ගමන් මග සම්බන්ධයෙන් ඔබේ විග්‍රහය?
පිළිතුර: ආණ්ඩුව සංවර්ධනය වෙනුවට පළිගැනීම කේන්ද්‍රගත කරමින් යන්නේ. ඒක මහා දැවැන්ත වෙනසක්. රාජ්‍ය බලය අයුතු විදියට යොදවලා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේ ගමනක තමයි ආණ්ඩුව යන්නේ.
Q මහජනයාට බරක් නොවුණ මහජන මතය ආරක්ෂා කරන දේශපාලන සංස්කෘතියක් මාලිමා ආණ්ඩුවෙන් නිර්මාණය කරලා තියෙනවා කියලා මම යෝජනා කළොත්.
පිළිතුර: මහජන මුදල් ආරක්ෂා කරනවා කියන්නේ අමාත්‍යාංශවලට වෙන් කරන වැය ශීර්ෂ වියදම් නොකර ඉතිරි කරන එක නොවෙයිනේ. ආණ්ඩුවම කියනවා තියෙන මුදල්වලින් සියයට 8යි 10යි ආයෝජනය වෙලා තියෙන්නේ කියලා. ආයෝජනය නාස්තියක් හැටියට දැකලා අපි ආයෝජනය කරන්නේ නෑ කියලා ඒ මුදල් බැංකුවේ තියාගෙන ඉන්නවා නම් එහෙම රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. අද ආණ්ඩුව මහජන මුදල් ආරක්ෂා කරනවා කියන මුවාවෙන් මහජන මුදල් නාස්ති කරනවා. පටන් ගත්ත සංවර්ධන යෝජනා අතරමග නතර වෙලා. ඒවා විනාශ වෙන්න ඇරලා. ආයෝජකයෝ හරවලා යවනවා. ෆැක්ටරි වහනවා. යටිතල පහසුකම් හැදෙන්නේ නෑ.
පන්සලක්, පල්ලියක්, කෝවිලක් හදන්නේ නෑ. එවැනි තැනකදී මහජන මුදල් ආරක්ෂා කරනවා කියන්නේ බොරුවක් විතරයි. ඒ වගේම තමන්ගේ අමාත්‍යාංශයට ලැබෙන වැය ශීර්ෂය වියදම් කරගන්න මේ ඇමතිවරුන්ට තේරෙන්නේ නෑ.
Q රටේ අනාගතය භාරගන්න ඉන්න නායකයෙක් හැටියට මේ මාලිමා ආණ්ඩුවෙන් ඔබ ගන්න ආදර්ශ මොනවාද?
පිළිතුර: මාලිමා ආණ්ඩුවෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි දේශපාලනයේදී බොරු කියන්න නොඳ නෑ කියන එක. කරන්න පුළුවන් දේ ජනතාවට අවංකව කියන්න ඕනෑ. බැරි දේ බැහැයි කියලා කියන්න ඕනෑ සහ නොයෙකුත් පුද්ගලයන්ට බොරු චෝදනා අවලාද නගමින් මඩ ගහන්න හොඳ නෑ කියන එක තමයි මේ ආණ්ඩුවෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය.
Q ජවිපෙ විරෝධීන් ජවිපෙ නායකයන්ට කිව්වෙ ‘‘“රතු අලි පැටව් ’’ කියලා. ජවිපෙ හා රනිල් අතර ඩීල් තියෙනවා කියලත් කිව්වා. දැන් එහෙම කියන්න බෑ නේද?
පිළිතුර: නෑ මේක ඇතුළේ ගත යුතු හොඳම දේ තමයි අපේ තාත්තලාගේ දේශපාලනයේදී සදාකාලික මිතුරොත් නෑ-හතුරොත් නෑ කියලා විශ්වාස කළා. අපේ පරම්පරාවට විශ්වාස කරන්න වෙලා තියෙන්නේ දේශපාලනයේදී හතුරා කවුද? මිතුරා කවුද? කියලා හඳුනාගන්න විදියක් නෑ කියලා.
Q ජාතික ආරක්ෂාව අනතුරේ කියලා ඔබලා බෙරිහන් දෙනවා. නමුත් ඉන්දුනීසියාවටම ගිහින් කෙහෙල්බද්දර පද්මෙලා කුදලා ගෙන එන්න සී.අයි.ඩීය සමත් වෙනවා. එහෙම නම් මේ ආණ්ඩුවෙන් ජාතික ආරක්ෂාව ගැන ‘%ටියුෂන්’ ගන්න පුළුවන් නේද?
පිළිතුර: පසුගිය අවුරුදුවලදී නිකුත් කරපු රතු නිවේදන හරහා තමයි ඔය අය අත්අඩංගුවට අරන් තියෙන්නේ. එහෙම නැතිව මේ ආණ්ඩුව යටතේ කරපු දෙයක් නොවෙයි. රජයක් බැඳී සිටිනවා පුරවැසියා ආරක්ෂා කරන්න. ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාත්මක වෙලා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මේ ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවෙයි. මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් නම් රටේ තැන් තැන්වල වෙඩි තියන එකත් ආණ්ඩුව නතර කරන්න ඕන. තැන් තැන්වල වෙඩි තියන එක ජාත්‍යන්තර පොලිසියට නතර කරන්න බෑ.
Q සමහරු කියනවා මේ ආණ්ඩුවට දිගටම යන්න දෙන්න ඕනෑ කියලා. සමහරු කියනවා ආණ්ඩුව ගන්න ඕන කියලා. ඔබ ඉන්නේ මොන මතයෙද?’
පිළිතුර: ඒක ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය විය යුතු දෙයක්. ගෙවල් දොරවල් ගිනි තියල ප්‍රචණ්ඩත්වය වැපිරීම අපේ දේශපාලනය නොවෙයි.
Q ඔබට චෝදනාවක් තියෙනවා. ‘ඔබේ දේශපාලන අනාගත සිහින වෙනුවෙන් වියපත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාවිච්චි කරනවා කියලා.
පිළිතුර: ඒක චෝදනාවක්. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව දිගින් දිගටම නැගූ චෝදනාවක්. එදා චෝදනා කල ”මහින්ද රාජපක්ෂගේ සාටකේ එල්ලිලා පක්ෂ ගොඩ යන්න හදනවා’’ කියලා. ඊට පස්සේ කිව්වා ඔහුගේ සහෝදරයෝ සාටකයේ එල්ලිලා ගොඩ යන්න හදනවා කියලා. දැන් කියනවා ‘දරුවෝ සාටකයෙ එල්ලිලා ගොඩ යන්න හදනවා’’ කියලා. එහෙම කිසි කෙනෙක්ව කිසි කෙනෙක්ට මේ දේශපාලනයෙදි පාවිච්චි කරන්න බෑ. තමන් විසිනුයි තමන් ගොඩයන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන් යම් ආභාෂයක් හා අවවාද අනුශාසනා මම ලබා ගන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මට දීපු අවස්ථාවලින් මම ප්‍රයෝජන ගන්නවා මිසක් මං හිතන්නේ නෑ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන් කියලා නාමල් රාජපක්ෂ චරිතයක් කරන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා එළියට බහින්නේ නැතිව ගෙදරට වෙලා ඉන්නකොට දැන් එතුමා වයසයි ලෙඩින් ඉන්නේ කියලා ගෙදරට ජනතාව ඇවිත් එතුමා බලලා යනකොට එතුමා එළියට බහින කොට කියනවා ‘ඔන්න නාමල්ව උස්සනවා’ කියලා. ඉතින් මේ දෙකෙන් මොකක්ද තීරණ කළ යුත්තේ?
Q ඔබේ පියා ඔබ ගැන තබා ඇති දේශපාලන බලාපොරොත්තුව ඔබ ඔබේ පුත්‍රයා වෙනුවෙන් තබා ගෙනද ඉන්නේ.
පිළිතුර: ඒක තීරණය වෙන්නේ මගේ දරුවා යම්කිසි දවසක දේශපාලනය කරනවාද නැද්ද කියල තීරණය කරපු දවසකයි. මගේ වගකීම යුතුකම තමයි මේ රටේ ඕනෑම තරුණයකුට දෙමාපියකුගේ දරුවකුට යම්කිසි දවසක මේ රටේ දේශපාලනය කරන්න අවශ්‍ය නම් ඒ පරිසරය රට තුළ නිර්මාණ කිරීමයි.