වැඩ බැරි ආණ්ඩුවට ගිරවුන්ට වගේ ඕනෑ පැත්තකට කියවන්න පුළුවන්


සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‍ඩාර ජයමහ

  • වෙනත් රටවල් එන්නත් ඕඩර් කරද්දී මේ ආණ්‍ඩුව පැණි පස්සේ ගියා

සමගි ජන බලවේගය, ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාරදුන්නේය. ඒ අතරවාරයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේය. කුමක් වෙයි ද? මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‍ඩාර ජයමහ මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- ඇමැති ගම්මන්පිලට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට මොකක් වෙයි ද?


පිළිතුර:- අපි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ විශේෂයෙන්ම කොවිඩ් උවදුර නිසාත්, ඒ වගේම ආර්ථික කඩාවැටීම නිසාත් රටේ ජනතාව විශාල අසහනයකින් ඉන්න වෙලාවක. ඒ වගේ වෙලාවක ඉන්ධන මිල වැඩි කරනවා කියන්නේ ඒ ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමක්. ඉතින් ඒ නිසා තමයි අපි ඛනිජ තෙල් ඇමැතිවරයට විරුද්ධව ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ.


ප්‍රශ්නය:- විශ්‍වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවලා ඇමැති ගම්මන්පිල ගෙදර යවන්න පුළුවන් වෙයි ද?


පිළිතුර:- අපට පාර්ලිමේන්තුවේ බහුතර බලය නෑ. නමුත් අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් මේ වෙලාවේ තමන් නියෝජනය කරන මහජනතාව වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව වැඩ කරයි කියලා.


ප්‍රශ්නය:-ආණ්‍ඩුවෙනුත් සහයෝගයක් ලැබෙයි ද?


පිළිතුර:- ඔව්. අපි දැක්කා තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවෙනුත් ලොකු විරෝධයක් එල්ල වුණා. ඒ විරෝධය සැබෑ විරෝධයක් ද නැද්ද කියන එක අපට බලාගන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේක. ඒ නිසාම තමයි අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ. මේ හරහා රජයට බලපෑමක් කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒ හරහා ඉන්ධන මිල අඩු කරගැනීම තමයි අපේ බලාපොරොත්තුව. විශ්වාසභංග යෝජනාවේ ජය පරාජය තීන්දු කරන්නේ අපි නොවෙයි. ඒක තීන්දු කරන්නේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන මන්ත්‍රීවරුන්.


ප්‍රශ්නය:-‘ආණ්‍ඩුව හොඳයි, ඇමැති ගම්මන්පිල නරකයි’ ඔබලාගේ විශ්වාසභංග යෝජනාවෙන් කියවෙන්නේ ඒක?


පිළිතුර:- නෑ නෑ... ආණ්ඩුව හොඳ නෑ. නමුත් පන්දු ඕවරයකට බෝල හයක් තියෙනවා. බෝල් හයම එක විදියටම දාන්නේ නැහැනේ. පළමු බෝලයට වඩා වෙනස් විදියට තමයි දෙවැනි බෝලය දාන්නේ. ඉතින් අපි දාන පළමුවැනි බෝලය මේක. ඊළඟ බෝල කොහාට ද දාන්නෙ කියලා ඒ වෙලාවෙ බලාගනිමු. අපේ අවසාන ඉලක්කය තමයි ඕවරය ඉවර වෙනකොට ආණ්ඩුව අවුට් කිරීම.


ප්‍රශ්නය:-තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබනවා, මෙහෙම ගියොත් මේ රාජ්‍ය ආයතනය කඩාවැටෙනවා, තෙල් මිල ඉහළ දැම්මේ ඒ නිසා කියලා ආණ්‍ඩුව කියනවා. ඒ තර්කය ප්‍රබලයි?


පිළිතුර:- රාජ්‍ය ආයතන කඩාවැටීමත්, තෙල් මිල ඉහළ දැමීමත් දෙකක්. ඔය කියන විදිහට ගිය වසරෙ අප්‍රේල් මාසයේ ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 18ට අඩු වුණා. මැයි මාසයේ ඩොලර් 26යි. එහෙම නම් ඒ වෙලාවේ ඉන්ධන මිල ගොඩාක් අඩු කරන්න ඕනෑ. එහෙම නැත්නම් තෙල් සංස්ථාව ලාභ ලබන්න ඕනෑ. ඔය දෙකෙන් එකක්වත් වුණේ නෑ. ඉන්ධන මිලෙන් වැඩි ගාණක් ආණ්‍ඩුව බදු වශයෙන් ගන්නවා. නමුත් අපට පේන්නේ නෑ ආණ්ඩුව ජනතාවගේ පැත්තෙන් හිතලා තීන්දු ගන්නවා කියලා. අපි 2015 දී බලයට පත්වුණාම ඔබතුමාට මතක ඇති අපි තෙල් මිල විශාල වශයෙන් අඩු කළා. ඒක ජනතාවට ලොකු සහනයක් වුණා. ආර්ථිකයට ලොකු සහනයක් වුණා. හැබැයි මේ ආණ්‍ඩුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වෙලා තියෙද්දී මෙහේ තෙල් මිල අඩු කළේත් නෑ. ඒ වෙලාවේ කිව්වේ තෙල්වලට ස්ථායිකරණ අරමුදලක් හදලා, තෙල් මිල ඉහළ යනකොට ජනතාව මත ඒ බර පටවන්නේ නැතිව ඒ අරමුදලෙන් තෙල් මිල පවත්වාගෙන යනවා කියලා. හැබැයි අද ඒ අරමුදලට වෙච්ච දෙයකුත් නෑ, ඒ අරමුදල ගැන කතා කරන්නෙත් නෑ. ඒ වෙනුවට ඉන්ධන මිල වැඩි කරලා තියෙනවා විශාල ප්‍රමාණයකින්. ඒ නිසා අපට පේන්නේ නෑ මේ ආණ්‍ඩුව ජනතාව ගැන හිතලා තීණ්දු තීරණ ගන්න ආණ්ඩුවක් කියලා.


ප්‍රශ්නය:-මීට වසර එක හමාරකට එහාට ගියොත් එදා කොවිඩ් තිබුණේ නෑ. නමුත් අද මාරක වසංගතය මුළු ලෝකයම ගිලගෙන. ඒ පසුබිම තුළ කලින් කියපු විදිහේ වැඩ කරන්නත් බෑ?


පිළිතුර:- මම ඒකයි කිව්වේ මේ ආණ්ඩුව ජනතාව ගැන හිතනවා නම් 2020 දී තෙල් මිල අඩු කරන්න ඕනෑ. එහෙම නැත්නම් ඒ වෙලාවේ ලබපු අධික ලාභය පදනම් කරගෙන මේ වෙලාවේ තෙල් මිල වැඩි නොකර ඉන්න ඕනෑ. තෙල් මිල ලෝක වෙළෙඳපොළේ අඩු වුණාම අඩු කළේත් නෑ. ඒ වෙලාවේ දුන්න පොරොන්දුව අනුව මිල වැඩි වුණාම මෙහෙ මිල වැඩි නොකර හිටියෙත් නෑ. මේගොල්ලො කළේ තෙල් මිල වැඩි කිරීමයි. ජනතාව මහ දවාලේ රවට්ටන ආණ්ඩුවක් මේක. අපි ඉන්ධන මිලට මිල සූත්‍රයක් ඉදිරිපත් කළා. දැන් රාජපක්ෂ මහත්මයාගේ ආණ්‍ඩුවේ ඛනිජ තෙල් ඇමැතිවරයා ඇතුළු හැමදෙනාම කියනවා මිල සූත්‍රය තිබුණා නම් තෙල් මිල මීටත් වඩා ඉහළ යනවා කියලා.


ප්‍රශ්නය:-ඒක බොරුවක් නොවෙයිනේ?


පිළිතුර:- බොරුවක් නොවෙන්නේ කොහොම ද? ඒක පට්ටපල් බොරුවක්. එහෙම නම් අපට කියන්න පුළුවන් මිල සූත්‍රය තිබුණා නම් 2020 දී ඉන්ධන මිල සියයට 50කට වඩා අඩු කරන්න පුළුවන් කියලා. අපි හදලා බැලුවාම දැන් වුණත් මිල සූත්‍රයට ආදේශ කරලා බැලුවාම මේ තරම් මිලක් වෙන්නේ නෑ. ඒකයි ඇත්ත කතාව. ඒ නිසා වැඩ බැරි ආණ්‍ඩුවට අර ගිරවුන්ට වගේ ඕනෑ පැත්තකට කියවන්න පුළුවන්. දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියන්න පුළුවන්. නමුත් රටේ ජනතාව ඉන්නේ බරපතළ පීඩනයක. රට තියෙන්නේ ආර්ථික ප්‍රපාතයක. ඒක නිසා මේ ආණ්‍ඩුවේ අසමත්භාවය පෙන්නුම් කරන නොයෙක් දර්ශක අතර එක දර්ශකයක් විතරයි මෙම ඉන්ධන මිල ඉහළ දැමීම. ඒ නිසා අපට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව අසමත් නොවෙයි ඉතා අසමත්, දුර්වල නොවෙයි ඉතා දුර්වල ආණ්ඩුවක් කියලයි.


ප්‍රශ්නය:- මාරක වසංගතයක් එක්ක රට යන්නේ. දේශපාලනය පැත්තකින් තියලා මේ ජාතික උවදුරේදී රට​ වෙනුවෙන් වගකීමෙන් වැඩ කිරීමේ යුතුකමක් විපක්ෂයට තියෙනවා?


පිළිතුර:- මේ අනතුර ඉතාම හොඳින් හඳුනාගෙන තමයි මේගොල්ලන්ට මුල ඉඳලම අපි උපදෙස් දුන්නේ. හැබැයි විපක්ෂයක් හැටියට අපි කිව්ව කිසිම දෙයක් මේගොල්ලෝ ඇහුවේ නෑ. අපි කියපු ඒවා සමච්චලයට ලක් කළා. අපි විතරක් නොවෙයි නොයෙක් විද්වතුන් කියපු දේවල් ඇහුවෙත් නෑ. ඒ නිසා අද කොරෝනා උවදුර වේගයෙන් පැතිරිලා විතරක් නොවෙයි රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා දාලා ඉවරයි. වෙනත් රටවල් තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ගමන් වසංගතයත් පාලනය කළා. නමුත් මේ ආණ්‍ඩුවට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ හරහා අද ජීවන වියදම වැඩි වෙලා. කෘෂිකර්මයේ නියැළෙන ගොවීන්ට පොහොර ටික නෑ. පාරිභෝගිකයාට සහන මිලට බඩු නෑ. බඩු මිල අහස උසට නැගලා. ඔය අස්සේ ඉන්ධන මිලත් ඉහළ දාපුවාම නිෂ්පාදන සේවා සියල්ලෙහිම මිල ඉහළ යන එකයි වෙන්නේ.


ප්‍රශ්නය:-සමගි ජන බලවේගය දවසින් දවස එක එක මාතෘකා සමග ‘එදා වේල ටුවර්ස්’ දේශපාලනයක් නේද කරන්නේ?


පිළිතුර:- විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනෑ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ දක්වපු අදහස් පෙළගස්වලා බැලුවොත් එතුමා බො​හොම කල් ඇතිව මේ කොරෝනා උවදුරට සූදානම් වෙන්න කියලා කිව්වා. වැක්ෂින් ඕඩර් කරන්න කිව්වා. හැබැයි ආණ්‍ඩුව ඒ එකකටවත් ඇහුන්කන් දුන්නේ නෑ. ඒ වෙනුවට තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව තමයි වැඩ කරගෙන යන්නේ. ලෝකයේ වෙනත් රටවල් වැක්ෂින් ඕඩර් කරද්දී අපේ කට්ටිය පැණි පස්සෙ ගියා. මුට්ටි ග​ඟේ දැම්මා. දැන් අපි වැක්ෂින් එක ඕඩර් කරද්දී අපි ඉන්නේ පිටිපස්සේ. අපි විපක්ෂයක් හැටියට හරි වෙලාවෙ හරි විදියට පෙනී ඉඳලා තියෙනවා. රටේ අවදානම ගැන කතා කරලා තියෙනවා. නමුත් බිහිරි අලින්ට වීණා වාදනය කරනවා වගේ ආණ්‍ඩුව කටයුතු කරනවා. ඒ හරහා රට තුන්බිය ඇති රටක් බවට පත් කරලා තියෙනවා.


ප්‍රශ්නය:- විපක්ෂයේ ඔබලාගේ සටන් පාඨවලට ජනතාවගේ සහයෝගය ලැබෙනවා කියලා හිතනවා ද?


පිළිතුර:- බොහොම හොඳින් ඉහළින් අපට ඒ සහයෝගයත්, ආශිර්වාදයත් ලැබෙනවා. අපට ජනතාව ඒකරාශි කරන්න බැරි වෙලා තියෙනවා මේ මාරක වසංගතයත් එක්ක. ජනතාව අපට කතා කරනවා. ජනතාව ඉන්නේ පීඩනයෙන්. රටේ නීතියට ගරු කරලා අපි ජනතාව ඒකරාශි කරවන්නේ නෑ. නමුත් හැම තැනම ජනතා සටන් ඇවිළී යනවා. ගොවියා ඉන්නේ අසහනයෙන්. නැවේ ගින්න නිසා මහා පරිසර විනාශයක් වෙලා තියෙනවා. ධීවර ජනතාවට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ජනතාව අපටත් කලින් අවදි වෙලා තමන්ගේ විරෝධය පෙන්නුවා. හැබැයි ආණ්‍ඩුව මේ නිරෝධායන නීතිවලට මුවා වෙලා ජන සටන් මර්දනය කරනවා. මේ ආණ්‍ඩුව බලයට ගේන්න විශාල දායකත්වයක් දුන් සමාජ ජාලාවල තරුණයෝ, වෙබ් අඩවිවල තරුණයෝ දැන් සැප ද කියලා අහලා පෝස්ට් එකක් ෂෙයාර් කළා කියලා තරුණයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ තරම්ම පහළට වැටිලා. ඒකෙන්ම ආණ්ඩුවේ අසාර්ථකත්වය පේනවා.


ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා. ඔබ සුබ පැතුවා ද?


පිළිතුර:- ඔව්. ඉතින් අපට කිසිම ප්‍රශ්නයක් නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධයෙන්. අපි එතුමාට සුබ පතනවා. අපි බලනවා එතුමාගේ කාර්යභාරය පිළිබඳව. මෙතැන වැදගත් වෙන්නේ කාර්යභාරය. මොකද එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට අසුන් ගත්තා. ඉතින් අපි බලනවා එතුමා විපක්ෂයේ කාර්යභාරය ද ඉෂ්ඨ කරන්නේ, ආණ්‍ඩුවේ කාර්යභාරය ද ඉෂ්ඨ කරන්නේ කියලා. අපට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතුමාගේ ක්‍රියාකලාපය අනුව ඒ ප්‍රශ්නයට උත්තර ලැබෙයි. අපි හිතනවා එතුමා විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ඨ කරයි කියලා.


ප්‍රශ්නය:- මන්ත්‍රී රනිල් දිහා ඔය විදියට දෙගිඩියාවෙන් බලන්න මොනවා හරි හේතුවක් තියෙනවා ද?


පිළිතුර:- මට පොඩි සැකයක් ඇති වුණා එතුමා පාර්ලිමේන්තුවට ආපු දවසෙම කරපු කතාව ඇහුවාට පස්සේ. මොකද අපි දකිනවා මේ වෙලාවේ හමුදාපතිවරයාට විරුද්ධව රාජපක්ෂ පවුලේ ලොකු විරෝධයක් කුමන්ත්‍රණයක් දියත් වෙනවා. හමුදාපතිවරයාට යම්කිසි ආකාරයකින් වක්‍රව නොයෙක් නොයෙක් ප්‍රහාර, චෝදනා එල්ල වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතාවේදී ඒකට අවශ්‍ය ශක්තියක් පිටුබලයක් දුන්නා කියලා මට සැකයක් ඇති වුණා. අපි බලමු ඉදිරියේදී කෙරෙන කටයුතුත් එක්ක මොනවා ද වෙන්නේ කියලා. මම බොහොම ආදරයෙන් එතුමාට ආරාධනා කරනවා විපක්ෂයේ සියලු දෙනා සමග එකතු වෙලා විපක්ෂයේ කාර්යභාරය වෙනුවෙන් පෙනී ඉන්න කියලා.


ප්‍රශ්නය:- මන්ත්‍රී රනිල් වටා ඔබේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 15ක් 20ක් විතර එකතු වෙනවා කියලා රාවයක් තියෙනවා?


පිළිතුර:- ඒක ඉතින් ආණ්‍ඩුව යවන රාවයක්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සුළු පිරිසක් කරගෙන යන ප්‍රචාර. නමුත් සමගි ජන බලවේගය එකා වගේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග විපක්ෂයක් හැටියට කටයුතු කරන විදිය මුළු රටම දකිනවා. නමුත් සමහරුන්ට සුන්දර හීන පේනවා. එහෙම හීන දකින අයට පේනවා ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටා මන්ත්‍රීවරු එකතු වෙනවා, එතුමා වටා ජනතාව එකතු වෙනවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊළඟ ජනාධිපති වෙනවා. එහෙම සුන්දර හීන දකින අයට නොයෙක් නොයෙක් දේවල් හිතෙන්න පුළුවන්. නමුත් මේ පොළොවේ යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය තමයි මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්න පුළුවන් ප්‍රධාන බලවේගය සමගි ජන බලවේගය කියලා. සමගි ජන බලවේගයත් සමග ඒකරාශි වීම තමයි විපක්ෂයේ කුඩා පක්ෂවල වගකීම. ඒ හරහා තමයි දැවැන්ත පොදු විපක්ෂයක්​ පොදු වේදිකාවක් ගොඩනැගෙන්නේ. ඒකට අපි සියලු දෙනාම ආරාධනා කරනවා.


ප්‍රශ්නය:- සමගි ජන බලවේගය තුළ ඉන්න හවුල්කාර පක්ෂවල නායකයන් විපක්ෂ නායක සජිත්ගේ නායකත්වය විවේචනය කරන්න පටන් අරගෙන?


පිළිතුර:- නෑ. ඒවා බොරු ප්‍රචාර. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කිලිනොච්චිය රෝහලට සෞඛ්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කළා. ඒකට උතුරේ සියලුම දෙමළ මන්ත්‍රීවරුන් සහභාගි වුණා. ඒ වගේම රවුෆ් හකීම් මැතිතුමා, රිෂාද් බදියුදීන් මැතිතුමා, මනෝ ගනේෂන් මැතිතුමා අජිත් එක්ක ඉන්නේ. ඒ නිසා සුළු පක්ෂ අපිත් සමග නෑ කියන කතාව බොරුවක්. ඒ සුළු පක්ෂ සමග බොහොම ගෞරවයෙන් ගරුත්වයෙන් අපි කටයුතු කරනවා. අපි කිසි විටෙකත් සුළු පක්ෂ හෑල්ලු වෙන්න ඉඩ තියලා නෑ. ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන විදියට තමයි අපි සුළු පක්ෂත් සමග කටයුතු කරන්නේ.


ප්‍රශ්නය:- රනිල් ආවාම සජිත්ට අභියෝගයක් බව කියැවුණා. මන්ත්‍රී චම්පික රණවක සජිත්ට අභියෝගයක් බව කියැවෙනවා. සජිත්ට මොකක් වෙයි ද?


පිළිතුර:- මෙහෙමයි, දේශපාලනයේ අභියෝග තියෙනවා. අභියෝග තියෙන තරමට තමයි පන්නරය ලබන්නේ. සමගි ජන බලවේගය නියෝජනය කරන චම්පික රණවක මැතිතුමා අපිත් එක්ක ඉන්න ප්‍රධාන සගයෙක්. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කා එක්ක ද යන්නේ කියලා එතුමා තීරණය කරයි. රටේ ජනතාව එතුමාට යම් පණිවිඩයක් දුන්නා. එයත් තේරුම් ගෙන එතුමා දේශපාලන කටයුතු තීන්දු කළ යුතුයි.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්