වසර 12 කට පසු ජනගහනයට මොකද වුණේ


 
2024 දී පැවති ජන හා නිවාස සංගණනයට අදාළව නිවාස පිළිබඳ තොරතුරු මෙන් ම ස්ත්‍රී පුරුෂ, වයස් කාණ්ඩ සහ ජනවර්ග ආශ්‍රිත තොරතුරු කාණ්ඩගත කොට එළිදැක්වීම පසුගිය 30ද බ්‍රහස්පතින්දා සිදු විය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල හා එක් ව මෙය සිදු කරන ලදි.මෙහි පළවෙන්නේ එම තොරතුරු ඇතුළත් විමර්ශනයකි.
 
සංගණන සිතියම් සකස් කිරීම, ගොඩනැගිලි සහ සංගණන ඒකක ලැයිස්තුගත කිරීම, ගණන් ගැනීම සහ සංගණන මොහොත ලෙස අදියර හතරකින් මෙය පැවැත්විණ. 2016 සිට මෙම සිතියම්ගත කිරීමේ කටයුතු ආරම්භ වූ අතර සංගණන මොහොත ලෙස නම් කර තිබුණේ 2024 දෙසැම්බර් 19 දා පැය 00:00 ය.
 
ජන හා නිවාස සංගණනය යනු රටක සෑම කටයුත්තක් සඳහා ම යෝජනා සකස් කිරීමේ දී මුඛ්‍ය වශයෙන් සැලකිල්ලට ගැනෙන දත්ත එක් රැස් කිරීමේ ක්‍රියාවලියකි. මෙරට පළමු සංගණනය 1871 වර්ෂයේදී පැවැත්විණ. 2024 වර්ෂයේ පැවැත්වුණේ මෙරට 15 වන සංගණනයයි. 2022 වර්ෂයේ පැවැත්වීමට තිබූ මෙම සංගණනය කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය ආදිය හේතුවෙන් 2024 වර්ෂයේ දී පැවැත්වීමට සිදු විය. මෙරට පළමු වරට ටැබ්ලට් යන්ත්‍ර හා සුහුරැ ජංගම දුරකථන භාවිතයෙන් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන, නිරවද්‍යතාව හැකි තාක් දුරට සුරක්ෂිත කරමින් සිදු කර ඇති මෙම සංගණනයේ අරමුණ වී ඇත්තේ එක් පුද්ගලයෙකුවත් මඟ නො හැර, එක ම අයෙක් දෙවරක් ගණන් නොගැනෙන පරිදි සංගණන කටයුතු සිදු කිරීමයි.
 
 
නිවාස පිළිබඳ තොරතුරු 
 
මෙහි දී නිවාස ඒකකයක් ලෙස අර්ථ දක්වන ලද්දේ මිනිසුන්ගේ වාසය සඳහා වූ, අනෙකුත් වාසස්ථානවලින් වෙන් ව පිහිටි, ඊට ආවේණික වූ ප්‍රවේශයක් සහිත ඒකකයකි. දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම නිවාස පිළිබඳ තොරතුරු, දත්ත විශ්ලේෂණය සිදු කර ඇත. මීට පෙර අවසන් වරට පැවති 2012 සංගණනයේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක් වාර්තා වී ඇති අතර 2024 සංගණනයේ දී වාර්තා වන ප්‍රා.ලේ. කොට්ඨාස ගණන 340කි. නිවාස ඒකක අර්ථ දැක්වීමට අනුව ශ්‍රී ලංකාවේ පදිංචි නිවාස ඒකක සංඛ්‍යාව 6,030,541කි. වැඩි ම නිවාස ඒකක සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් සීයට27කි. එනම් 1,686,506කි. වැඩි ම නිවාස සංඛ්‍යාවක් වාර්තා වෙන දිස්ත්‍රික්කය ගම්පහ ය. අඩු ම නිවාස ඒකක සංඛ්‍යාවක් වාර්තා වන උතුරු පළාතේ එම ප්‍රතිශතය සියයට 5.1කි. එනම් 307,459කි. අඩුම නිවාස සංඛ්‍යාව වාර්තා වන්නේ මන්නාරමෙනි.
 
2012 වර්ෂය සමඟ සංසන්දනය කිරීමේ දී 2024 වර්ෂයේ පදිංචි නිවාස ඒකක සංඛ්‍යාව 822,801කින් වැඩි වී ඇත. නිවාස ඒකක සංඛ්‍යාවේ උපරිම වැඩිවීම පෙන්නුම් කරනුයේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රතිශතය සියයට 39.2කි. නිවාස ඒකකවල ව්‍යුහය සැලකීමේ දී 2024 සංගණන දත්ත අනුව මෙරට නිවාස වැඩි සංඛ්‍යාවක වහල සඳහා යොදා ඇත්තේ ඇස්බැස්ටෝස් ය. එම ප්‍රතිශතය සියයට 53.2කි. බිත්ති බැඳීම සඳහා සියයට 46.9ක් සිමෙන්ති හෝ ගල් ද, සියයට 46.4ක් ගඩොල් ද යොදා ගෙන ඇත. ගෙබිම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගෙන ඇත්තේ සිමෙන්ති ය. එම ප්‍රතිශතය සියයට 61.5කි.
 
 
එසේ ම ශ්‍රී ලංකාවේ වැඩි ම ගෘහ කාණ්ඩ සංඛ්‍යාවක් බීමට ජලය ලබාගන්නා මාර්ගය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයයි. එම සංඛ්‍යාව සියයට 38.9කි. නළ ජලය ලබාගන්නා පිරිස අතරින් සියයට 84.4ක් වූ වැඩි ම පිරිසක් අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටය. මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 55.3ක් ආහාර පිසීම සඳහා යොදාගන්නා ප්‍රධාන ඉන්ධන වර්ගය වනුයේ දර ය. එසේ ම ගෘහ කාණ්ඩ සීයට98ක් ආලෝකය ලබා ගන්නේ විදුලියෙනි. භූමිතෙල් ලාම්පු භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය සියයට 1.6ක් ද, සූර්ය බල ශක්තිය භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය සියයට 0.2ක් ද ලෙස වාර්තා වේ.
 
ජනගහනය 
 
ජනගහන සංකලනයේදී නීති ප්‍රකාරව සහ තත්ත්ව ආකාර ලෙස කොටස් දෙකක් යටතේ ගණනය කරනු ලැබේ.එහිදී පළමු ජන සංගණනය  1871 සිදු කරන ලද අතර ඉන්පසුව පිළිවෙළින් 1881, 1891, 1901, 1911, 1921, 1931, 1953, 1963, 1971, 1981, 2001, 2012 වර්ෂවලින් පසුව මෑත කාලීනව සිදුකරන ලද්දේ 2024 වසරේදීය.
 
මෙම වසරවලට සාපේක්ෂව 1871 වර්ෂයේ සිට 1925 වර්ෂය දක්වා වසර 54ක කාල සීමාවෙහි ජනගහන වර්ධනය වේගය මිලියන2.4 සිට 4.8 දක්වා දෙගුණයකින් වර්ධනය විය.නැවතත් 1925 සිට 1960 දක්වා වසර  35ක කාලයෙහි ජනගහන වර්ධන වේගය නැවත වතාවක් දෙගුණයකින් වැඩි විය.එය සංඛ්‍යාත්මක ලෙස මිලියන 4.8  සිට 9.6  දක්වාය.
 
නැවත වතාවක් 1960 සිට 2003 යන වසර 43ක කාල පරාසයෙහි ජනගහන වර්ධන වේගය දැක්වූයේ මිලියන9.6 සිට මිලියන 19.2 ක් ලෙසය.මෙම සියලු වර්ධන වේගයන් දෙස බැලීමේදී පෙනී යන්නේ සෑම වසර කාල පරාසයකම ජනගහන වර්ධන වේගය දෙගුණයකින් වැඩි වී ඇති බවය.මෙම වර්ධන වේගය අවුරුදු ගණනාවකින් නැවත වතාවක් දෙගුණයකින් වැඩි වුවහොත් එය රටෙහි සමස්ත ඉහිලුම් ධාරිතාවට වඩා ඉහළ යාමක් සිදුවිය හැකි බවත් මෙය රටට දරා ගත නොහැකි මට්ටමක් වන බැවින් කිසිදු මොහොතක එවැන්නක් සිදු නොවන බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
 
වාර්ෂික ජනගහන ඇස්තමේන්තුව මත පදනම්ව 2015 සිට 2024 දක්වා කාල සීමාවෙහි ජනගහනය වෙනස් වීම පිළිබඳව සලකා බැලීමේදී  2024 වර්ෂයේ දී එය උච්චතම අවස්ථාවට පැමිණියේය.එය සංඛ්‍යාත්මක ලෙස මිලියන 22.18ක අගයක් ගනී. නමුත් එය 2024 වර්ෂය වන විට මිලියන 21.92 ක් වූයේ  0.26 අඩුවීමක් ලෙස අර්ථ දක්වමිනි.
 
ස්ත්‍රී පුරුෂ සංඛ්‍යාව
 
2012 ජන හා නිවාස සංගණනයේ දී නාගරික, ග්‍රාමීය හා වතු යනුවෙන් අංශ තුනකින් දත්ත රැස් කළ අතර 2024 සංගණනයේ දී එය පුළුල් කරමින් නාගරික, ග්‍රාමීය, වතු නාගරික හා වතු ග්‍රාමීය ලෙස අංශ හතරකට බෙදා ඇත. මෙවර සංගණනයේ දී වාර්තා වෙන 21,781,800ක සමස්ත ජනගහනයෙන් සියයට 51.7ක් කාන්තාවන් වන අතර සියයට 48.3ක් පුරුෂයන්ය. අවසන් වරට ස්ත්‍රීන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාවට වඩා අඩු අගයක් ගෙන ඇත්තේ 1981 සංගණනයේදී ය. 2001 සංගණනයේ සිට අඛණ්ඩ ව මෙවරත් ස්ත්‍රී ජනගහනය පුරුෂ ජනගහනයට වඩා වැඩි අගයක් ගනී. මෙවර සංගණනයේ දී වාර්තා වන ස්ත්‍රීන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි ය. 2024 සංගණනයේ වැඩි ම ස්ත්‍රී ප්‍රතිශතයක් වාර්තා වන්නේ නාගරික අංශයෙනි. එම ප්‍රතිශතය සියයට 51.9කි.  2012 සංගණනයේ දී කාන්තාවන් 100කට වාර්තා වී ඇති පුරුෂ ප්‍රතිශතය සියයට 93.8ක් වන අතර 2024 සංගණනයේ දී වාර්තා වන පුරුෂ ප්‍රතිශතය සීයට93.3කි.
 
 
මෙසේ කාන්තාවන්ට වඩා පුරුෂයන් අඩු වීමට හේතු ලෙස පුරුෂයන්ගේ අයහපත් සෞඛ්‍ය පුරුදු, මත්ද්‍රව්‍ය භාවිතය, මාතෘ මරණ අඩු වීම, පුරුෂයන් වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක් වීම ආදිය දැක්වෙයි.
 
වයස් කාණ්ඩ අනුව ජනගහන වර්ධනය 
 
මුළු ජනගහනයෙන් ඉන් සියයට 51.7 ක් ස්ත්‍රීන් ද සියයට 48.3 ක් පුරුෂයෝ ද වෙති. රටෙහි වයස අවුරැදු 15 ට අඩු ජනගහනය, 2012 - 2024 සංගණන කාල පරිච්ඡේදයේදී සියයට 25.2 සිට 20.7 දක්වා ප්‍රතිශත ඒකක 4.5 කින් අඩු වී ඇත. එසේම මෙම කාල පරිච්ඡේදයෙහි වයස 65 හා ඊට වැඩි ජනගහනය සියයට 7.9 සිට 12.6 දක්වා ප්‍රතිශත ඒකක 4.7 කින් වැඩි වී ඇත. 2024 දී වයස අවුරුදු 15-64 වයස් කාණ්ඩයේ ජනගහනය මුළු ජනගහනයෙන් සියයට 66.7 ක් වන අතර, 2012 දී එම ප්‍රතිශතය සියයට 66.9 කි. ඒ අනුව, එහි 15 - 64 වයස් කාණ්ඩ ජනගහන ප්‍රතිශතය 2012 -2024 සංගණන කාල පරිච්දඡේදයේදී ප්‍රතිශත ඒකක 0.2 ක අඩු වීමක් පෙන්නුම් කරයි.
 
පසුගිය වසරවලට සාපේක්ෂව 2024 වසර වනවිට ළමා  අනුපාතිකය පහළ ගොස් ඇති අතර වයස්ගත අයගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇත. ඒ  අනුව අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන් වන අතර එසේ වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ඉහළ ආයු අපේක්ෂාව සහ අඩු මරණ අනුපාතිකයයි.2024 වර්ෂයේ සංගණනයට අනුව වයස අවුරුදු 60 පමණ වන අයගෙන් බොහොමයක් කාන්තාවන් වන අතර එය සියයට 58-60 අතර ප්‍රතිශත අගයක් ගනී.
2012 වසරේදී සියයට  11.7ක් වුූ ස්වාභාවික වර්ධනය වසරක් පාසා ක්‍රමිකව අඩුව ගොස් 2024 වසරේදී සියයට 2.1ක් ලෙස සඳහන් විය.
 
මෙවර සංගණනයේ තොරතුරුවලට අනුව වාර්තා වූ 21,781,800 යන සමස්ත ජනගහනයෙන් සියයට 74.1 ක් එනම්, ජනගහනයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූයේ සිංහල ජනගහනය ලෙසය.   12.3 ක් ශ්‍රී ලංකා දෙමළ ද, සියයට 10.5 ක් ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් ද, සියයට 2.8 ක් ඉන්දියානු දෙමළ / මලෛයහ දෙමළ ද වන අතර, තවත් සියයට 0.3 ක ජනගහන ප්‍රතිශතයක් බර්ගර්, මැලේ, ශ්‍රී ලංකා වෙට්ටි, භාරත සහ වැදි ඇතුළු වෙනත් ජන වර්ගවලට අයත් වූවෝය. අවසාන වරට පැවැත්වූ 2012 ජන සංගණනයට අනුව සිංහල ජනගහන ප්‍රතිශතය   වාර්තා වූයේ  සියයට 74.9 ක් ලෙසය. 
 
 
එය 2024 හා සසඳා බලන විට සියයට  0.8 ක අඩුවීමක් ලෙස හඳුනා ගත හැකිය.එමෙන්ම 2012 දී ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් ජනගහන ප්‍රතිශතය  සියයට 9.3 ක් වූ අතර එය 2024 වන විට සියයට 10.5 දක්වා වැඩි වී තිබුණේ  සියයට  1.2  ප්‍රතිශතයකිනි.  
 
 
වාර්තාවට අනුව 2024 දී  ශ්‍රී ලංකාවේ සමස්ත දෙමළ ජනගහන ප්‍රතිශතය සියයට 12.3 කි. එය   2012 දී වාර්තා වූ සියයට 11.1 ක ප්‍රතිශතයට සාපේක්ෂව ප්‍රතිශත ඒකක 1.2 ක වැඩිවීමකි.නමුත් 2024දී  ඉන්දියානු දෙමළ / මලෛයහ දෙමළ ජනගහන ප්‍රතිශතය සියයට 2.8 ක් වූ අතර 2012 දී වාර්තා වූයේ සියයට 4.1ක් ලෙසය. එමගින් පැහැදිලි වෙන්නේ එකී ජනගහන ප්‍රතිශතය ඒකක 1.3 කින් අඩු වී ඇති බවය. මේ හැරැණු විට අනිකුත් ජන වර්ගවලට අයත් ජනගහනය ද 2012 දී සියයට 0.5 ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. එය 2024 දී සියයට 0.3 ක් ලෙස වාර්තා වූයේ 2012ට සාපේක්ෂව අඩු වීමක් ලෙසය. 
2012-2024 සංගණන කාල පරිච්ඡේදයෙහි ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය පිළිබඳව සලකා බැලීමේදී  ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් යන ජනවර්ගවල වර්ධන වේගය 1.5ක් වූ අතර එය රටෙහි මුළු ජනගහනයෙහි වර්ධන වේගය මෙන් තුන් ගුණයකි. ඉන් අනතුරැව වැඩි වර්ධන වේගයක් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකා දෙමළ ජනගහනයෙහිය. 
 
2012-2024 කාලයෙහි එහි සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 1.3 ක් වූ අතර එම කාලයෙහිදීම  සිංහල ජනගහනයෙහි සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.4 කි. මෙම සියලු වර්ධන වේගයන්ට සාපේක්ෂව  ඉන්දියානු දෙමළ / මලෛයහ දෙමළ ජනගහනය සියයට 2.6 ක සෘණ වර්ධන වේගයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ අනිකුත් ජනවර්ග සියල්ල එක්ව ගත් කල මෙම කාලයෙහි ඍණ ජනගහන වර්ධනයක් පෙන්නුම් කරයි .එම වර්ධන වේගය සංඛ්‍යාත්මක ලෙස දැක්වූයේ    සියයට -3.1 ක් ලෙසය.
 
මෙම කරුණු අනාවරණය කරමින් ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ඉන්දියානු දමිළ හෝ මලෛයහ දමිළ ජනවර්ගයට අයත් ජනයා ලංකාවේ පරම්පරා දෙකක කාලයක සිට ජීවත් වන්නේ නම් ඔවුන්ට ලාංකීය දමිළ ලෙස නෛතිකව ජීවත් වීමට බලය ලැබෙන බවය.
 
 
2012 සහ 2024 කාල සීමාවෙහි දිස්ත්‍රික්ක මට්ටමින්ද ජනගහනය වර්ගීකරණය කර තිබුණි. උතුරු හා නැගෙනහිර පළාත්වල සියලුම දිස්ත්‍රික්කයන්හි  සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය හැරුණු විට අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල වැඩියෙන් වාර්තා වන්නේ සිංහල ජනගහනයයි. ඉන් වැඩිම ප්‍රතිශතය එනම් 97.0 ක් වාර්තා 
 
 
වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. සමස්තය සලකා බැලීමේදී සියලුම ජනවර්ග සහිතව රටේ වැඩිම ජන කොටසක් අයත් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයටය.
 
ආගම් අනුව වර්ගීකරණය 
 
මේ ජන සංගණනයට අනුව මුළු ජනගහනයෙන් බෞද්ධයන්  සියයට 69.8 ක්, හින්දු  සියයට 12.6 ක්, ඉස්ලාම් සියයට 10.7ක්,  රෝමානු කතෝලික සියයට 5.6 ක් සහ සියයට 1.3 ක් වෙනත් ක්‍රිස්තියානි ලෙස වාර්තා වීය. මෙම ආගම් කිසිවකට අයත් නොවන පිරිස දැක්වූයේ සියයට 0.02 ක් ලෙසය.
 
2012 සංගණනයේ දී සහ මෙවර සංගණනයේ ආගම් අනුව සංයුතිය සසඳා බැලීමේදී අනුව, ඉස්ලාම් ජනගහන ප්‍රතිශතයේ ඒකක 1.0 ක වැඩිවීමක් දක්නට ලැබූ නමුත් හින්දු ජනගහන ප්‍රතිශතයේ වෙනසක් දක්නට නොලැබිණ. රෝමානු කතෝලික, බෞද්ධ හා වෙනත් ක්‍රිස්තියානි ආගම්වලට අයත් ජනගහන ප්‍රතිශතයන් පිළිවෙලින් ප්‍රතිශත ඒකක 0.6 කින්, 0.3 කින් හා ප්‍රතිශත ඒකක 0.1 කින් පහත වැටී ඇත.
 
ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක සහ නුවරළිය සහ පුත්තලම දිස්ත්‍රික්ක හැරුණු විට ඉතිරි සියලුම දිස්ත්‍රික්කවල ජනගහනයෙන් සියයට හැත්තෑවකට වඩා වැඩි පිරිසක් බෞද්ධයන්ය. එම පිරිස වාර්තා වූයේද හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.එය 2012 වසරට සාපේක්ෂව දශම එකක ප්‍රතිශතාත්මක වැඩි වීමක් ලෙස දැක්විය හැකිය.
 
 
ජන සංක්‍රමණ
 
සංගණනයේ දී සාමාන්‍ය පදිංචි ස්ථානය ලෙස සලකා ඇත්තේ මාස 6කට වැඩි කාලයක් පදිංචි ව සිටි හෝ සිටීමට නියමිත ස්ථානයයි. ඒ අනුව වෙනත් රටක හෝ දිස්ත්‍රික්කයක සිට වෙනත් දිස්ත්‍රික්කයකට සංක්‍රමණය වූ ජනතාව සංක්‍රමණික ජනගහනය ලෙස දක්වා ඇත. සමස්ත සංක්‍රමණික ජනගහනය 3,167,263කි. ප්‍රතිශතය සියයට 14.5කි. ඉන් සියයට 40.6ක් සංක්‍රමණය වී ඇත්තේ විවාහය හේතුකොට ගෙන ය. වැඩි සංක්‍රමණිකයන් ප්‍රතිශතයක් වාර්තා වන්නේ උතුරු පළාතේ කිලිනොච්චි (සියයට 39.4), වවුනියා (සියයට 33) සහ මුලතිවු (සියයට 25.4) යනාදී වශයෙනි. මෙම සංක්‍රමණ සඳහා උතුරේ පැවති යුද්ධය අවසන් වීම නිසා එම ප්‍රදේශවලින් යුද සමයේ ඉවත් ව සිටි ජනතාව නැවත පදිංචි වීමද හේතු වන්නට ඇත.
 
ලවංගා මාධවී දෑරංගල මදූශා දිල්ශානි