
වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා ඝාතනය පාතාලයටත් වඩා ශ්‍රී ලංකාවේ දේශපාලනය කැලඹීමට ලක් කළ සිදුවීමක් විය. එයට හේතුව වූයේ ඔහු ප්‍රාදේශීය සභා සභාපති පුටුවේ දීම ඝාතනය වීමය. මේ නිසාම මෙය බරපතළ ඝාතනයක් ලෙස හුවා දැක්වීමට විපක්ෂයේ බලමුළු උත්සාහ කළහ. එහෙත් මේ අද ඊයේ සිදුවීම් නම් නොවේය. මීට පෙරද මෙවැනිම ඝාතන මේ රටේ සිදුවුණේ එක්කෝ පාතාලය නිසාය. නැත්නම් මත්ද්‍රව්‍ය නිසාය. ඊට හොඳම උදාහරණය වෙන්නේ 2011 ඔක්තෝබර් 08 දා මුල්ලේරියාවේ භාරත ලක්ෂ්මන් ඝාතනයයි.
ඊට වැරදිකරු වී මරණ දඬුවම ලැබුවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වාය. ප්‍රබල පාතාල සාමාජිකයකු වන දෙමටගොඩ චමින්ද ඔහුත් සමඟ එකට සිට මරණීය දණ්ඩනය ලැබුවේය. එපමණක් නොව 2013 වසරේ දී කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී හසිත මඩවල නිවස ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කෙරිණ. රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් සහ පෑලියගොඩ නාගරික මන්ත්‍රී සාමෙල් සඳරුවන් 2014දී වෙඩි තබා ඝාතනය කරන ලදි. මේ ඝාතනවලට වගකිව යුත්තේ ආණ්ඩු නොව ඔවුන්මය. ඒ වෙනින් දෙයක් නිසා නොව ඔවුන්ගේ කල්ක්‍රියාව සහ ඔවුන් වැපිරූ දෑය. එහෙත් ඒ න්‍යාය වැලිගම ලසාට ද වලංගු වේ යැයි කීමට වර්තමාන දේශපාලනඥයන් සූදානම් නැත.
වැලිගම ලසා වැනි ලියාපදිංචි අපරාධකරුවකු, විවිධ චෝදනාවලට ලක්වූවකු මේ දේශපාලනයට තල්ලු කිරීම ගැන කවුරුත් වගකීම ගන්නේ නැත. ඒ නිසා නැවත නැවතත් අප කියන්නේ මේ දේශපාලනය සඳහා විවිධ අපරාධකරුවන් ගෙනත් අත ඇරීම තව දුරටත් සිදු නොකළ යුතු බව ය.
මෙලෙස කතාව පටන් ගත්තේම පසුගියදා වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්තගේ ඝාතන සැකකරුවන් විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීම නිසාය. එය ඉතාම දක්ෂ සහ සුවිශේෂ මෙහෙයුමක් විය.
ලසා ඝාතනය වීමත් සමඟ දකුණේ පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, රාජ්‍ය බුද්ධි අංශය සහ විශේෂ කාර්ය බළකාය එක ලෙස සැකකරුවන් සොයාගැනීම සඳහා විශාල වෙහෙසක් දැරූහ. කෙසේ වෙතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහාය වුණේම සීසීටීවි දර්ශන ය. ඔවුන් ඝාතනයෙන් පසුව පැන යාමත්, තවත් සැකකරුවකු වෙනත් යතුරු පැදියකට මාරුවී දෙදෙනා වෙන වෙනම යාමත් යන කාරණා හොඳින් නිරීක්ෂණය කිරීමත් සමඟ පැමිණි අයකුගෙන් එක් සැකකරුවකු අම්බලන්තොට ප්‍රදේශයේ බව පොලිසිය හඳුනා ගත්තේය. ඒ අනුව සැකකරුගේ නිවසට ගියත් ඔහු එම නිවසේ සිටියේ නැත. එහෙත් සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය විසින් සොයා ගැනිණ. එපමණක් නොව සැකකරුවකු තම බිරිඳ සමඟ අම්බලන්තොට ප්‍රදේශයේ දුරකථන අලෙවි සලකට පැමිණ රුපියල් 24000 කට දුරකථනයක් මිලදී ගන්නා ආකාරයේ සීසීටීවී වීඩියෝ පටයක් ද සොයා ගැනීමට හැකි විය. එහිදී සැකකරු නිවැරදි ලෙසම හඳුනා ගැනීමට හැකිවිය. ඒ අනුව සැකකරුවන් සොයා යාම විධිමත් ආකාරයෙන් සිදුවිය.
වට්ස්ඇප් සමූහය සහ ඔත්තුව
මේ ආකාරයෙන් සොයා යන විට දිනක් බරපතළ මූල්‍ය වංචා විමර්ශන නිලධාරීන්ට මෙම සැකකරුවන් පිරිස කැකිරාව පොතාන ප්‍රදේශයේ පාළු වත්තක නිවසේ සැඟව සිටින බවට තොරතුරක් ලැබිණ. සැබැවින්ම එම තොරතුර ලැබුණේ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතය. ඒ අනුව මෙම මෙහෙයුම සඳහා පොලිසියේ ලොකු ලොක්කන්ගේ සිට මෙහෙයුමට සම්බන්ධ වෙන පොඩ්ඩන් ද එකතු වූ වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කරන ලදි. එම සමූහය වෙත සියලු තොරතුරු ලැබෙන සැණින් සියලු දෙනාම එක් කළහ. එම තොරතුරු නරඹමින් පොලිසියේ ලොක්කෝ මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

ඒ අනුව පසුගිය 25දා සෙනසුරාදා බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, රහස් පොලිසිය, රාජ්‍ය බුද්ධි අංශය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව කැකිරාව, පොතාන ප්‍රදේශයේ අදාළ මෙහෙයුම සිදු කළේය. ඒ අනුව රාත්‍රියේ නිවස වැටලීම සිදුකළ අතර එම පාළු නිවසේ දී ලසා ඝාතනයට පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලහිරු සහ වෙඩික්කරු වූ නුවන් තාරක යන අයගේ බිරිය අත්අඩංගුවට පත්වූහ. සැකකරු මේ මොහොතේ ආහාර ගෙන ඒම සඳහා ගොස් සිටි අතර ඔහු පැමිණි පසුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙන විට පොලිස් නිලධාරින් සමඟ පොර බදා කැලයට පැන ගත්තේය. ඒ අනුව මෙහෙයුම අසාර්ථක විය. එහෙත් වැඩේ අත්හැරීමක් සිදු නොවීය.
කැකිරාවෙන් බොරැල්ලට, බොරැල්ලෙන් නාවින්නට ඒ.අයි. සමග
සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ ආවත් පැනගිය වෙඩික්කරුගේ විමර්ශනය දිගටම සිදුවිය. ඒ අනුව අනෙක් සැකකරුවන්ගේ සහායෙන් දුරකථන අංකය සොයාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරිණ. එහිදී අනාවරණය වුණේ සැකකරු කැකිරාවේ සිට බොරැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවයි. ඒ අනුව පොලිස් කණ්ඩායමක් බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණය වටකර පරීක්ෂා කරන අතර වෙඩික්කරු තම මිත්‍රයකුගේ නිවසට පැමිණ ඇති බව එහිදී අනාවරණය විය. එසේ පැමිණි සැකකරු තමන්ගේ ජංගම දුරකථනය ආරෝපණය කරන්නට දී ඒ අසල සැලුන් එකකට ගොස් සම්පූර්ණ පෙනුම වෙනස් කරගෙන ඇත. ඒ රැවුල සහ කොණ්ඩය කපාගෙනය. මෙම තොරතුර ලැබුණු සැණින් පොලිසිය මේ සඳහා නව තාක්ෂණය යොදා ගත්තේය. එනම් සැකකරුගේ ඡායාරූපය යොදා විවිධ ආකාරයේ මුහුණුවරින් ඒ.අයි. හරහා රූප වීඩියෝ සකස් කර පරීක්ෂණ කණ්ඩායම් වෙත මුදා හැරීමයි.
මේ අතර පොලිසිය සැකකරුගේ ජංගම දුරකථනය තව තවත් පරීක්ෂා කිරීමේ දී සැකකරු රාජගිරිය ප්‍රදේශයටත් ඉන් පසුව මහරගම නාවින්න ප්‍රදේශයටත් ගොස් ඇති බව හෙළි විය. ඒ අනුව වහාම 26 දා සවස නාවින්න ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණ. සවස 6.30ට පමණ සැකකරු ත්‍රිරෝද රථයක නැගී ගමන් කරන අයුරු පොලිසියට දැකගත හැකි විය. වහාම පොලිස් නිලධාරිහු සැකකරු හඹා ගියහ. සැකකරු කොළඹ පැත්තට දුවමින් බේරෙන්නට උත්සාහ කළත් අවසානයේ ගරාජයක කොටුවීම නිසා එම ගරාජයේ අය සමග වැලිගම ලසා ඝාතනයේ වෙඩික්කරු නුවන් තාරක කොටු විය. එම අවස්ථාවේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් අවසානයේ සමාජ මාධ්‍යයට තොරතුරු නිදහස් විය. එහෙත් එය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් බව කිව යුතුමය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වුණේ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිහි සිටින බව පවසන ඩුබායි ලොක්කා විසි ලබාදුන් බව ය. මේ ඩුබායි ලොක්කා කවුද යන්න ඒ වනවිට කවුරුත් දැන සිටියේ නැත. අනාවරණය වුණේ මේ ඩුබායි ලොක්කා යනු වැලිගම වෑකඩ ප්‍රදේශයේ පදිංචි කරුවකු වූ චතුර කුමාර නමැති අය බවය. මොහු මිදිගම රුවන්ගේ සමීප ගෝලයකු වන අතර කාලයක් ලසාගේ ද මිත්‍රයකු බව
සඳහන් විය.
අහලා නැති නමක් “ඩුබායි ලොක්කා”
ඩුබායි ලොක්කා ලබා දුන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 20ක් බව සැකකරු පැවසීය. එම ලක්ෂ 20න් 12ක් ඝාතනය සිදුවූ 22 දා ලබා දී ඇත. 25 දා කැකිරාව ප්‍රදේශයෙන් පලා එන අවස්ථාවේ ඩුබායි ලොක්කා පවසා ඇත්තේ තවත් ලක්ෂ එක හමාරක් නාවින්නට පැමිණ ලබාගන්නා ලෙසය. ඒ අනුව තමන් නාවින්න ප්‍රදේශයට ගිය බවත් එහි දී නාවින්න බස් නැවතුම්පළ අසල කුණු බක්කියක් තුළ අදාළ ලක්ෂ එකහමාර දමා තිබූ බවත් එය ලබාගෙන එමින් සිටිය දී අත්අඩංගුවට පත් වූ බවත් සැකකරු මෙහිදී පාපොච්චාරණය කළේය. යතුරු පැදිකරු සහ ගිනි අවිය යන සියල්ල ලබා දුන්නේ ඩුබායි ලොක්කා බව සැකකරු මෙහිදී පාපොච්චාරණය කළේය.
ඝාතනයට හේතුව
අත්අඩංගුවට ගත් සැකකරුගේ පාපොච්චාරණය වූයේ මෙම ඝාතනය තමා දන්නා තරමින් කුඩු ආරවුලක් නිසා සිදුවු දෙයක් බවය. එහෙත් ඔහු හරියටම නොදන්නා බවත් එය දන්නේ ලොක්කා බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් එහි ඇත්තක් ද ඇත. එනම් මිදිගම රුවන් අත්අඩංගුවට පත් වූ මොහොතේ මිදිගම චූටි විසින් රුවන්ගේ හෙරොයින් කිලෝ 50ක් සොරාගෙන ඇත. ඒ සොරකම සිදුකර ඇත්තේ ලසා මාර්ගයෙන් බවට ප්‍රසිද්ධ රහසක් ඇත. එහෙත් පසුව මිදිගම චූටිට ලැබී ඇත්තේ ඒ කිලෝ 50ක් 25ක් පමණි. මේ සම්බන්ධයෙන් ලසා පවසා ඇත්තේ එය සොරකම් කළ උන් විසින් සොරාගෙන ඇති බවයි. මෙම සොරකම සම්බන්ධයෙන් රුවන්ගේ කන වැකී ඇති අතර මේ සිදුවීම ලසා සමඟ වෛරය බඳින තැනකට ආවේය. මේ නිසා රුවන් නිතරම ලසාට තර්ජන එල්ල කළේය.
ඩුබායි ලොක්කා ලබා දුන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 20ක් බව සැකකරු පැවසීය. එම ලක්ෂ 20න් 12ක් ඝාතනය සිදුවූ 22 දා ලබා දී ඇත. 25 දා කැකිරාව ප්‍රදේශයෙන් පලා එන අවස්ථාවේ ඩුබායි ලොක්කා පවසා ඇත්තේ තවත් ලක්ෂ එක හමාරක් නාවින්නට පැමිණ ලබාගන්නා ලෙසය. ඒ අනුව තමන් නාවින්න ප්‍රදේශයට ගිය බවත් එහි දී නාවින්න බස් නැවතුම්පළ අසල කුණු බක්කියක් තුළ අදාළ ලක්ෂ එකහමාර දමා තිබූ බවත් එය ගෙන එමින් සිටිය දී අත්අඩංගුවට පත් වූ බවත් සැකකරු මෙහිදී පාපෝච්චාරණය කළේය.
මේ අතර පසුගිය සැප්තැම්බර් 24 දා ඉබ්බාවල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් ටී56 ගිනි අවි හතරක් සොයා ගැනිණ. ඒ උණ්ඩ සමඟය. එම ගිනි අවි මිදිගම රුවන්ගේය. මෙම වැටලීම ලසා විසින් දුන් ඔත්තුවක් මත සිදු වූ බව රුවන්ගේ සැකය විය. ඊටත් වඩා රුවන්ගේ කෝපය ඇවිස්සුණේ එම වැටලීමේ දී තම නැන්දාගේ දියණිය අත් අඩංගුවට ගැනීම නිසාය. ඒ නැඟණිය රුවන්ට බන්ධනාගාරයට කෑම බීමගෙන එන එකම තැනැත්තිය වූවාය. මේ නිසා රුවන් තව තව වෛර බැඳ ගත්තේය. කෙසේ වෙතත් මේ නිසාම ලසා පොලිස්පතිවරයාට තම ජීවිත තර්ජන ගැන දන්වා ලිපියක්ද යොමු කර තිබුණි.

වෙඩික්කරු සහ බිරිඳ
මෙම අවුල නිසා අවසානයේ රුවන්ගේ කීම මත ඩුබායි ලොක්කා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බව පොලිසිය සැකකරයි. ඒ ඩුබායි ලොක්කා රුවන්ට පණ හා සමානව ඉන්නා නිසාය. මිදිගම ලසාගේ ඝාතනය අනාවරණය වූයේ එලෙසය.
සංජීවට වැඩේ දෙන්න උදව් කළ ලෝයර් නෝනා
රටේ වෙනත් ඝාතන සම්බන්ධයෙන් විමර්ශන සිදුකරණ විට රහස් පොලිස් භාරයේ සිටින කෙහෙල් බද්දර පද්මේ තවත් අපුරු අනාවරණයක් සිදු කළේය. ඒ සංජීව ඝාතනය සඳහා අමාරුම දෑ බොහොමයක් සිදුකර දුන් කාන්තාවක් ගැනය. මෙම කාන්තාව සුළුපටු තැනැත්තියක් නොවූ අතර ඇය කඩවත ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක වූ තමරා ය. ඇයට එල්ල වූ සියලු චෝදනා පද්මේ විසින් වැමෑරෑ ඒවා විය. එනම් පෙබරවාරි 19 දා ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු වූ කොමාන්ඩෝ සමිඳු සහ සෙව්වන්දිට නීතිඥ වෙස් ගැනීමට උදව් උපකාර කර ඇත්තේ ඇය බවය.
එමෙන්ම සමිඳු හට සකසා දුන් නීතිඥ හැඳුනුම්පත ව්‍යාජ එකක් බවත් එම ව්‍යාජ හැඳුනුම්පතේ අත්සන් ගසා ඇත්තේ ඇය බවත් පරීක්ෂණවල දී අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළේය. එපමණක් නොව සංජීව ඝාතනය සඳහා රිවෝල්වරය රැගෙන යාමට භාවිත කළ අපරාධ නඩු විධාන සංග්‍රය ලබා දී ඇත්තේද ඇය විසිනි. තමන් අදහන නීතියේ පිළිගත් ලේඛනයක් තමන්ගේ ශුද්ධ භූමිය හා සමාන වූ අධිකරණ ශාලාවක ඝාතනයක් කිරීම සඳහා ලබාදීමම පුදුම සගත වීමට ද වඩා බියකරුය. එනම් ඔවුන් එක අපරාධයක් පමණක් ද සිදුකර ඇත්තේ යන සැකය ඇතිවේ. එපමණක් නොව ටයි පටි දෙකක්, ලෝගුව පවා ලබා දී ඇත්තේ ඇය බව මෙහිදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මෙම චෝදනා පොලිසිය ඔප්පු කළ යුතුය. එසේ ඔප්පු කර ඇය වැරදිකාරිය වුවොත් උපරිම දඬුවම් ලබාදිය යුතුව ඇත.
කෙසේ වෙතත් මෙවැනි දෙයක් කිරීම සඳහා නීතිඥවරිය වන ඇය මැදිහත් වුණේ කෙසේද යන ප්‍රශ්නයක් ඇති වේ. එහිදී අනාවරණය වූයේ මෙම කාන්තාව මීට පෙර පද්මේගේ නඩුවලට පෙනී සිට ඇති බවය. එපමණක් නොව ඇය වෙනත් පාතාල සාමාජිකයන්ගේ නඩුවලට පවා පෙනී සිට ඇත. එය අපට කමක් නැත. ඇයගේ වෘත්තිය අනුව ඕනෑම අයකු වෙනුවෙන් පෙනී සිටිය හැක. එහෙත් මෙවැනි ගේම්ම අනුමත කළ හැකිද? කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් පසුව ඇය ඩුබායි රාජ්‍යයට ගොස් ඇති අතර එහිදී පද්මේ හමුවුණාද? නැද්ද? යන ප්‍රශ්නය ද තිබේ.
මෙම නීතිඥවරිය සමග තවත් සබඳතා පැවැත් වූ සහ මේ සඳහා උදව් උපකාර කළ පොලිස් නිලධාරීන් කීප දෙනෙකු සම්බන්ධයෙන් ද රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම පරීක්ෂණවලට අනුව තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. මේ සියල්ලට වඩා අපට ඇත්තේ එක පුදුමයකි. නීතිය රැකිය යුතු, ආරක්ෂා කළ යුතු අය නීතියේ දෙවොල ලේ විලක් කිරීමට උදව් උපකාර කළේ කෙසේ ද යන්න අදටත් ප්‍රශ්නයකි. ඇය මෙලෙස බියක් නොමැතිව මෙවැනි දෑ සිදු කළේ කවුරුන් හෝ තමා බේරගනීවි යන විශ්වාසය නිසාද? නැත්තන් තමන්ට බේරෙන්නට පුළුවන් යැයි විශ්වාසය නිසාද? ඒ ගැන ඇයටත් පිළිතුරක් තිබිය යුතුය.
ගයාන් ගාල්ලගේ

