රට කාබාසිනියා කළ රාජපක්ෂලාට ආයෙ මිනිස්සු රවටන්න බෑ


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  

 විජිත හේරත් 

  • මිනිස්සු විශාල පීඩනයකින් ඉන්නෙ. මේ පාලනය කෙරෙහි ලොකු විරෝධයක් තියෙනව. නමුත් ඒක පිටකර ගන්න ක්‍රමයක් නෑ. ජනතා පීඩනය පිටකර ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි ඡන්දෙ. රනිල් ඒක දන්න නිසා ඡන්ද කල් දානව. ඡන්ද තිව්වොත් රනිල් දන්නව මොකද්ද වෙන්නෙ කියල. පළාත් පාලන ඡන්දෙ කල් දැම්ම. පළාත් සභා කල් දැම්ම. දැන් ජනාධිපතිවරණය කල් දාන්න ක්‍රම හොයනව. ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනමත විචාරණයක් ගැන කියවනව. මේ ඔක්කොම එන්නෙ ඡන්දවලට බයේ. මේ ආණ්ඩුවට ජනමතයක් නෑ. අපි පැහැදිලිව එකක් කියනව. රනිල් වික්‍රමසිංහල මොන උපක්‍රම යෙදුවත් අපි ජනාධිපතිවරණය අකුළන්න ඉඩ දෙන්නෙ නෑ.

දේශපාලන කරළියේ විවිධ මාතෘකා ගැන මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සමගිනි.


?ජේ.වී.පී.එක කියන්නෙම රනිල් අසමත් කියලනේ. හැබැයි බැලු‍වම ජනාධිපති ලංකාවට වැඩිය ඉන්නෙම රට. වැඩ බැරි නම් මෙහෙම ජාත්‍යන්තර ගනුදෙනු කරන්න පුළුවන්ද?


රනිල් ආවම එයාගෙ ඇමරිකාවෙ, ඉන්දියාවෙ, චීනෙ ජාත්‍යන්තරයෙ යාළුවන්ගෙ උදව්වෙන් රට ගොඩ දානව කියල තමයි කිව්වේ. අපේ ණය කපා හරිනව කියලත් කිව්ව. නමුත් රට බංකොලොත්වෙලා අවුරුදු එකහමාරක් වෙනව. එන්න එන්නම තත්ත්වය නරක අතට යන්නෙ. තාමත් එක ඩොලර් එකක් ණය කපාගන්න බැරි වුණාම අපි කියන කිසි දෙයක් මූල්‍ය අරමුදල ඇහුවෙ නෑ.  එයාලගෙ නීති අපට දැම්ම. අන්තිමට වුණේ ජනතාව පිට බදු බරයි බඩු මිලයි පැටවුණු එක. ගිය අවුරුද්දෙ සීයට70 ට උද්ධමනය තියෙද්දි රුපියල් පහළොවට විස්සට කාපු බිත්තරේ දැන් උද්ධමනය සීයට 1.6 කියද්දි රුපියල් පනහයි. ඉන්ධන මිලත් ඒ වගේ. බස් ගාස්තු කීයක් වැඩිවුණාද? බඩු මිල මිනිස්සුන්ට දරාගන්න බැරි තැනට ඇවිත්. බඩු මිල කොච්චර වැඩි වුණත් මිනිස්සුන්ගෙ ආදායම වැඩිවෙලා නෑ. රනිල් ආව කියල වෙච්ච කිසිම සුගතියක් නෑ රටට.


?රනිල්ගෙ පැත්තෙ කට්ටිය කියන්නෙ ඔහොම කතා කියන්නේ ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල හිටපු හැටි මතක නැති අය කියල. මිනිස්සුත් දැන් ගාණක් නෑ වගේ ඉන්නව නේද...?


මිනිස්සු විශාල පීඩනයකින් ඉන්නෙ. මේ පාලනය කෙරෙහි ලොකු විරෝධයක් තියෙනව. නමුත් ඒක පිටකර ගන්න ක්‍රමයක් නෑ. ජනතා පීඩනය පිටකර ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි ඡන්දෙ. රනිල් ඒක දන්න නිසා ඡන්ද කල් දානව. ඡන්ද තිව්වොත් රනිල් දන්නව මොකද්ද වෙන්නෙ කියල. පළාත් පාලන ඡන්දෙ කල් දැම්ම. පළාත් සභා කල් දැම්ම. දැන් ජනාධිපතිවරණය කල් දාන්න ක්‍රම හොයනව. ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනමත විචාරණයක් ගැන කියවනව. මේ ඔක්කොම එන්නෙ ඡන්දවලට බයේ. මේ ආණ්ඩුවට ජනමතයක් නෑ. අපි පැහැදිලිව එකක් කියනව. රනිල් වික්‍රමසිංහල මොන උපක්‍රම යෙදුවත් අපි ජනාධිපතිවරණය අකුළන්න ඉඩ දෙන්නෙ නෑ. ජනමත විචාරණයක් ආවොත් අපි ඒකත් පරද්දනව. අපි ජනතාවට කියන්නේ අපිත් එක්ක මේකට සූදානම් වෙන්න කියල.


?එහෙම නැගීගෙන ආපු විරෝධතා දැන් පේන්න නෑ. ඉස්සර ජේ.වී.පී. එක මහපාරෙමයි. දැන් ඔබලත් පේන්න නෑ පාරවල්වල. ඉන්ටවල් ද දැන්...


නෑ අපි වැඩේ අතඇරලා නෑ. අපිට මේකෙදි ඉන්ටවල් නෑ. අපි ගමින් ගමට නගරයෙන් නගරයට රටින් රටට ගිහින් අදාළ වැඩ කොටස කරනව. අපි ජනතාව දැනුවත් කරනව.

ජනතාව අප වටා පෙළ ගැහෙනව. ජනතා බලය දවසින් දවස ශක්තිමත් වෙනව. ජනතාව අප කෙරෙහි විශ්වාසය තබමින් ඉන්නෙ. නැගෙමින් එන ජනතා විරෝධය පෙළ ගස්වමින් මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුව එළවල ජනතාවාදී පාලනයක් ගොඩනගන වැඩේ අපි කරනව.


?පොහොට්ටුවෙ අයම දැන් ජනාධිපතිට බැණ බැණ යනව. විපක්ෂයේ වැඩෙත් දැන් පොහොට්ටුවෙ කට්ටියමනෙ කරන්නේ...


ඕව නම් ඉතිං බොරු රඟපෑම්නෙ. අපි දන්නෙ නැද්ද එයාලගෙ වැඩ. කරන්න තියෙන තක්කඩි වැඩ ඔක්කොම කරල ජනතාවට එරෙහි පනත් ඔක්කොටම අත උස්සල දැන් බබාල වෙන්න හදනව. ඔය බොරු විරෝධයන් ගැන මිනිස්සු දැන් හොඳට දන්නව. පොහොට්ටුවෙ අයට ගමට යන්න බැරි නිසා තමයි ඔය මීඩියා ඉස්සරහ බොරුවට කෑගහන්නෙ. ආපහු පොහොට්ටුවට චාන්ස් එකක් නෑ.


?හැබැයි මහින්ද රාජපක්ෂ ආපහු වටයක් පංසල් එහෙම ගිහින් වොයිස්කට් දීගෙන සීන් එකට එනව වගේ නේද....


නැගිටින්න බැරි මහින්ද නැගිට්ටවන්න හදනව. හැබැයි මහින්ද නැගිට්ටවන්නත් දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන්න ඕන. මහින්ද උස්සගෙන පංසල් ගියා කියල ඔය පොහොට්ටුවෙ හාදයින්ට ආපහු වතාවක් මිනිස්සු රව⁣ට්ටන්න බෑ. රට මේ තත්ත්වයට වැට්ටුවෙ රාජපක්ෂල තමයි. රට කාබාසිනිය කරපු රාජපක්ෂල මොන බයිල ගහගෙන ආවත් ආපහු වතාවක් මිනිස්සු රවට්ටන්න බෑ.


ජනාධිපතිවරණය කවද තියයිද දන්නෙ නැති වුණත් දැන් දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයො නම් කලඑළි බහිනව. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයො එහෙමත් තරගෙට එන්නයි සූදානම.

?අනුර කුමාර දිසානායකගෙ ජනාධිපති හීනෙට මොකද වෙන්නෙ මෙහෙම වු⁣ණොත්....


ඔය මොන ජාතියෙ අය ආවත් ඒ කවුරුත් අනුර දිසානායක සහෝදරයට අභියෝගයක් නෙවෙයි. ඊළඟ ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර සහෝදරයා ජයග්‍රහණය කරන එක ස්ථිරයි. ඔය ව්‍යාපාරිකයො කියන අයගෙ අතීත කෙරුවාවල් රටේ මිනිස්සුන්ට මතකයි. සමහරු නයි පෙන්නල ජනතාව ගොනාට අන්දන්න හදපු අය. මෙයාල මොකටද එන්නෙ කියල මිනිස්සු දන්නව. රටට ආදරේට එනව කියල කියාගෙන ඇවිත් මොනව කරයිද කියල එයාලගෙ අතීත භාවිතයන් එක්ක ගළපල බලන්න ජනතාව දැන් දන්නව. ජනතාව රවට්ටන්න ඔය බිස්නස් මහත්තුරුන්ට බෑ.


අපේ අපේක්ෂකයගෙ ජයග්‍රහණය පැහැදිලියි. අපි රට ගොඩනැගීම ගැන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල තියෙනව. ජනතාවටත් අපි ගැන විශ්වාසයක් තියෙනව. දිනෙන් දින ඒ විශ්වාසය ඉහළ යනව.


?හැබැයි පහුගිය කාලෙ එන්.පී.පී එකට ආපු රැල්ල ගහගෙන ගියා වගේ නේද..?


ඇත්තටම අප වටා ගොඩනැඟුණෙ රැල්ලකට වඩා ජනතා විශ්වාසයක්. ඒක කිසි ලෙසකින්වත් අඩුවීමක් වෙලා නෑ. ඒක එන්න එන්න වැඩිවෙමින් පවතිනව. ඒක 2019 ගෝඨාභයට ගහපු රැල්ල වගේ බොරු එකක් නෙවෙයි. ජනතාව අප වටා එකතුවෙන්නෙ රැල්ලට නෙවෙයි. සැබෑ ජනතා අපේක්ෂාවක් එක්ක. ඒ තමයි දශක හතකට වඩා වැඩි කාලයක් තට්ටු මාරු ක්‍රමයට රට විනාස කරපු පක්ෂ දෙකෙන් රට බේරගෙන රට ගොඩනගන අපේක්ෂාව. රනිල්ල රාජපක්ෂල රට අගාධයට දාන්න දාන්න ජනතාව මාලිමාව වටා පෙළගැහෙනව.


?ගිය ජනාධිපතිවරණයට කලිනුත් අනුර දිසානායක දිනල වගේ හිටියෙ. ඒත් ප්‍රතිඵලය දුක හිතෙන එකක්..?


එදා තිබුණු තත්ත්වයට වඩා අද තත්ත්වය ගොඩක් වෙනස්. අද මාලිමාව ගම් නගර මට්ටමින් සංවිධානය වෙමින් තියෙනව. එදාටත් වඩා ජනතා උනන්දුව වැඩිවෙලා. 2019 ජනාධිපතිවරණයට වඩා අද රටේ තත්ත්වය වෙනස්. මිනිස්සු අපි කියපු දේ ඇත්ත කියල දවසින් දවස පිළිගනිමින් ඉන්නව. මිනිස්සු තේරුම් අරන් තියෙනව රනිල් වික්‍රමසිංහලට මහින්ද රාජපක්ෂලට සජිත් ප්‍රේමදාසලට රට ගොඩගන්න බෑ කියල. එයාලගෙ ජානමය උරුමය වෙලා තියෙන්නෙ හොරකම, දූෂණය. එකම විකල්පය මාලිමාව කියන සත්‍යය දැන් ජනතාවට වැටහිලා ඉවරයි. ඒක නිසා තමයි රනිල් වික්‍රමසිංහල ඡන්දවලට බයවෙලා දඟලන්නෙ. එයාල ඡන්දවලින් පැනල යන්නෙ ඒකයි.


?සමාජ මාධ්‍යවලට වැට බඳින්න හදන ආණ්ඩුවෙ උත්සාහයට එරෙහිව  මාලිමාවෙ මැදිහත්වීම කෝ..?


අපි කළ හැකි හැම පියවරක්ම ⁣මීට එරෙහිව ගන්නව. අපි නිහඬ නෑ. ආණ්ඩුව ඔය ඔක්කොම කරන්නෙ බයවෙලා. මහ ලොකු ලිබරල් නායකය කියාගෙන පම්පෝරි ගහන රනිල් ෆෙස්බුක් එකටත් බයවෙලා ඒවට පහර දෙන්න හදනව. ඔය චණ්ඩි පාට් පොඩි කාලයයි. අපි ඕවට ඉඩ දෙන්නෙ නෑ. ගෝඨාභයත් ඔය වගේ බොරු චණ්ඩි පාට් දාන්න ආව. අන්තිමට මොකද වුණෙ. එයාට යන එනමං නැතිවුණා. ජනතාව ගහල පැන්නුව. අනිත් අයටත් එච්චරයි. ඔය පරණ සෙල්ලම් හරි යන්නෙ නෑ දැන්. මේ චණ්ඩි පාට්වලින් වෙන්නෙ තව තවත් මේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය වැඩිවෙන එක.

 

 

සාකච්ඡා කළේ 
■ ප්‍රියන්ත කොඩිප්පිලි