මේ මාෆියාවට ගහන්න නම් වී අලෙවි මණ්ඩලයේ වී සංචිතයක් තියාගන්න ඕනෑ


කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

 

  • මේ කතා ඔක්කොම තියෙන්නේ තව සුමාන දෙකයි. මේ රටට හාල් ආනයනය කිරිමත් එක්ක මේ මිල පාලනය නැවත සමථයට පත්වෙනවා.

  • වෙන කිසිම ආණ්ඩුවක කාලෙක කො​රෝනා ආවේ නෑ. මෙහෙම ලෝක වසංගතයකට මීට පෙර කිසිම ආණ්ඩුවක් මුහුණ දුන්නේ නෑ. මේ ආණ්ඩුව විතරයි කොරෝනා වසංගතයට මුහුණ දුන්නේ. ඒ වසංගතයක් එක්කයි අපි මේ හිර වෙලා ඉන්නේ.

 

රටේ ප්‍රශ්න රැසකි. රටේ ආණ්ඩුවක් තිබේද යන්න ලොකුම ප්‍රශ්නය වී තිබේ. මේ ඒ ගැන විමසමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය -  ඇමතිතුමනි? ඇත්තටම රටේ ආණ්ඩුවක් තියෙනවද?


පිළිතුර - ආණ්ඩුවක් තියෙනවා, ඇයි මොකක්ද ප්‍රශ්නය?


ප්‍රශ්නය -ආණ්ඩුවක් තියෙනවා කිව්වට හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියන්?


පිළිතුර - නෑ වැරැදියි. ඒක ඕන කෙනෙකුට අර්ථකතනය කරන්න පුළුවන් මෝල් හිමියන් ද කියලා


ප්‍රශ්නය -මෝල් හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා මිල ගණන් ප්‍රකාශ කළා?


පිළිතුර - ඒ ගොල්ලන්ට එහෙම කියන්න පුළුවන්. නමුත් හාල් මිල තීරණය කරන්නේ වෙළඳ අමාත්‍යංශය. ඒ නිසා මට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න අමාරුයි.


ප්‍රශ්නය - නමුත් වී මිල තීරණය කරන්නේ ඔබ ?


පිළිතුර - ඔව්, මම ඉතා පැහැදිලිව කිව්වා වී මිල තීරණය කරන්නේ ඩඩ්ලි සිරිසේන හෝ වී මෝල් හිමියන් නොවෙයි. ඒක තීරණය කරන්නේ ආණ්ඩුව. ඒක ඉතාම පැහැදිලියි. මේ චෝදනාව ආණ්ඩුවට එල්ල වෙන්න මූලිකම හේතුව තමයි රටේ විශාල හාල් හිඟයක් ඇති වුණා. එතකොට ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට හාල් ආනයනය කළේ නෑ. පසුගිය සෑම රජයක්ම මේ වගේ අවස්ථාවක හාල් ආනයනය කළා. අපේ චින්තනය හරි විදියටම ක්‍රියාත්මක කළ නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. අපි ප්‍රතිපත්තිත් එක්ක රට දුවන්න ගියා. අපි හාල් ආනයනය කරන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ හිටියා. හැම රජයක්ම තමන් සතුව සහල් සංචිතයක් තියා ගත්තා. මේ මාෆියා එකට ගහන්න නම් වී අලෙවි මණ්ඩලය සතුව වී සංචිතයක් තියාගන්න ඕනෑ. එහෙම නැත්නම් හාල් පිටරටින් ගේන්න ඕනෑ.


ප්‍රශ්නය -වී අලෙවි මණ්ඩලය සතුව සංචිතයක් තියාගන්න බැරි වුණේ ඇයි?


පිළිතුර - අපට සංචිතයක් තියාගන්න බෑ. වැඩි ගානට වී ගන්නවා. එහෙම නම් විකල්පය තමයි පිටරටින් ගේන්න ඕනෑ. බන්දුල ඇමතිතුමා දිගින් දිගටම කැබිනට් එකට කිව්වා.


ප්‍රශ්නය - නමුත් ඔබ විරුද්ධ වුණා?


පිළිතුර - ඔව්, මම විරුද්ධ වුණා. මම ගේන්න දුන්නේ නෑ. ජනාධිපතිතුමන් මාත් එක්ක හිටියා. ආණ්ඩුවක් හැටියට අපි හාල් ගේන එක නැවැත්තුවා. එහෙම නවත්තලා ගොවියට සාධාරණයක් කරන්න කිව්වා.


ප්‍රශ්නය - නමුත් දැන් හාල් ආනයනය කරන්න වෙනවා


පිළිතුර - මම ඒක දැනගෙන හිටියා. මම ගොවින්ගෙන් ඉල්ලීමක් කළා ඔබ මෙතැනට ආණ්ඩුව තල්ලු කරන්න එපා කියලා. ඔබට මතක ඇති මීට සුමාන දෙකකට කලින් මම මාධ්‍ය හමුවේදී කිව්වා ‘ගොවියෝ වී වික්කෙ නැත්නම් වෙළෙඳ පොළ තුළ හාල් හිඟයක් ඇති වුණොත් ආණ්ඩුව හාල් ආනයනය කරන්න වෙයි කියලා. එහෙම කියලා මම දිගින් දිගටම ගොවියට කිව්වා.


ප්‍රශ්නය -නමුත් ගොවියෝ ඔබ කියපු දේ ඇහුවේ නෑ


පිළිතුර - ඔව් ඇහුවේ නෑ. ගොවීන්ට වී මිල මදියි කිව්වා රුපියල් 55 මදියි කිව්වා. හැබැයි අපි මතක තියාගන්න ඕන මීට අවුරුදු දෙකහමාරකට කලින් වී වික්කේ රුපියල් තිහට. එතකොට සහනාධාරය නෑ. ගොවියගේ ​‘කොස්ට්’ එක රුපියල් 25යි.


25ක් කොස්ට් වුණාම ගොවියට අද වෙලා තියෙන්නේ අද රුපියල් 55.50ට අපි වී මිලදී ගන්නවා. රුපියල් 25.50කින් මිල වැඩි කරලත් ගොවියා බැන්නා අපට. ගොවියා වී දුන්නේ නෑ. එතකොට වෙළඳ පොළේ හාල් හිඟයකක් ඇති වෙච්ච නිසා අපි ළඟ වී තොග තිබේබේ නැති නිසා තමයි අපට මේ මිල හදන ගැසට් එකෙන් අයින් වෙන්න වුණේ. හැබැයි මේ කතා ඔක්කොම තියෙන්නේ තව සුමාන දෙකයි මේ රටට හාල් ආනයනය කිරිමත් එක්ක මේ මිල පාලනය නැවත සමථයට පත්වෙනවා.


ප්‍රශ්නය -ගැසට් ගහනවා, අයින් කර ගන්නවා. මේක විහිළුවක් බවට පත් වෙලා.


පිළිතුර - අපි මතක තියා ගන්න ඕන අපි ඉන්නේ කොවිඩ් වසංගතයක් එක්ක. මේ කොවිඩ් වසංගතය ප්‍ර​යෝජනයට ගන්නවා. මේ මාෆියාව හාල්වල විතරක් නොවෙයි. සීනි මාෆියාව, තෙල් මාෆියාව කිරිපිටි මාෆියාව තියෙනවා. මොන රජය ආවත් අපිව බිත්තියට හේත්තු කරනවා, දැන් ඔබ හිතන්න කිරි ඒකාධිකාරිය එයාලා ඉල්ලන මිල වැඩි කළේ නැත්නම් රටේ කිරි හිඟයක් ඇති වෙනවා. අපට බොන්න කිරි නෑ අපේ රටේ කිරි නිෂ්පාදනය නෑ. එතකොට මොකක්ද අපට කරන්න පුළුවන්. අපව බිත්තියට හේත්තු කළාම ආණ්ඩුව එක්කෝ කිරි පිටි දෙන්න ඕන. එහෙම නැත්නම් ආනයනය නවත්තන්න ඕනැ. එතකොට අපි අපේ රටෙන්

ස්වයංපෝෂිත වෙන තාක් කල් අපට මේ මාෆියා එකට යටවෙන්න සිද්ධ වෙනවා. අපට විතරක් නොවෙයි හැම ආණ්ඩුවකටම අපි දැන් කිරිපිටි මිල වැඩි නොකළොත් රටේ කිරිපිටි හිඟයක් ගෑස් මිල වැඩි නොකොළොත් ගෑස් හිඟයක්. හාල් මිල වැඩි නොකළොත් රටේ හාල් හිඟයක්. අපට හාල් මිල පාලනය කරන්න පුළුවන් එකේ ගැටලුවක් නෑ. අපි ගොවීන්ට සහනාධාර දෙනවා. මම විශ්වාස කරනවා මේ සහනාධාර ක්‍රමයෙන් අපි ඉවත් වෙන්න ඕන. ගොවියට රුපියල් 90ක් දෙනවා වී කිලෝවකට, හැබැයි පොහොර සහනාධාරය දෙන්නේ නැ. අපි ආණ්ඩුවෙන් ජනතාවට අඩු මිලට හාල් දෙනවා. අපි ගොවියගේ නිෂ්පාදනයට මිලක් දෙනවා. ඒ වගේ තැනකට යනකන් අපට මේක පාලනය කරන්න බෑ.


ප්‍රශ්නය -වෙළඳපලවල ගෑස් නෑ. කිරිපිටි නෑ, සීනි නෑ, දැන් හාල් නෑ. වෙන කිසිම ආණ්ඩුවක කාලෙක මෙහෙම වෙලා නෑ.


පිළිතුර - වෙන කිසිම ආණ්ඩුවක කාලෙක කො​රෝනා ආවේ නෑ මෙහෙම ලෝක වසංගතයකට මීට පෙර කිසිම ආණ්ඩුවක් මුහුණ දුන්නේ නෑ. මේ ආණ්ඩුව විතරයි කොරෝනා වසංගතයට මුහුණ දුන්නේ. ඒ වසංගතයක් එක්කයි අපි මේ හිර වෙලා ඉන්නේ.


ප්‍රශ්නය - මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ආණ්ඩුව සතුව වැඩපිළිවෙළක් නෑ කියලයි පේන්නේ ?


පිළිතුර - එහෙම කෙනෙකුට කියන්න පුළුවන් ඔබ දන්නවා මේ කොරෝනා නැති කාලේ මම ගිය කන්නෙදී වී මෝල් හිමියන්ට ගහලා වී ටික මම ගත්තා. එදා ඔබ මම හොඳයි කියලා ලිව්වනේ. මම ඩඩ්ලිලා නිපුණලා, රත්නලා, එක්ක හැප්පිලා වී ටික මම ගත්තනේ. ගිය අවුරුද්දෙදී මම හාල් මිල පාලනය කළානේ. මෙහෙම වසංගතයක් නැති වෙලාවේ මම ගොවියා ගාවට ගිහින් වී ටික අරගෙන ඒක කළා පළමු වතාවට මේ මාෆියා එකට ගැහුවනේ මම. මේ අවුරුද්දේ කොවිඩ් වසංගතයක් එක්ක ඇඳිරි නීතිය දාලා ගොවින්ට යන්න එන්න බෑ. වුණේ ඒකයි.


ප්‍රශ්නය - රට පුරා එලවළු බෙදා හරින යාන්ත්‍රණයකුත් නෑ.


පිළිතුර - නෑ, නෑ, එළවළු බෙදා හැරීමේ යාන්ත්‍රණයක් තියෙනවා.


ඒක නෑ කියන්න බෑ අපේ ආර්ථික මධ්‍යස්ථාන තියෙනවා. ඒ තොග මධ්‍යස්ථානවලින් අපි එළවළු​ ගේනවා. එලවළු බෙදා හැරීමේ හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. ඒක ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා.


ප්‍රශ්නය - එළවළු ගිනි ගණන්. වෙළෙන්දෝ කියන්නේ එළවළු නෑ කියලයි.


පිළිතුර - මේක අපි මතක තියා ගන්න ඕනෑ මේ වසංගතයෙන් හැම කෙනෙක්ම ප්‍රයෝජන ගන්න උත්සාහ කළා වැලි කැටයෙ සිට සිමෙන්ති කොට්ටය දක්වා හැම එකකම මිල ඉස්සුවා. මේ වසංගතයෙන් ඔය හැම කෙනෙක්ම ප්‍රයෝජන ගන්න බැලුවා, ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්


ප්‍රශ්නය -අගමැති මහින්ද රාජපක්‍ෂ දෙවරක් රට පාලනය කළ නායකයෙක් කෝ ඔහු ඉන්නවද? නැද්ද? කියලවත් පේන්න නෑ


පිළිතුර - එතුමා වැඩ කරනවා. එතුමා තීන්දු තීරණ ගන්නවා. එතුමාට කිසි ප්‍රශ්නයක් නෑ. එතුමා හොඳින් වැඩ කරනවා.


ප්‍රශ්නය -එහෙම කරන වැඩක් පේන්න නෑ.


පිළිතුර - එතුමා යටතේ තමයි නිවාස ආමාත්‍යංශය තියෙන්නේ. නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනවා


ප්‍රශ්නය -සුදු ලූනු වංචාව ගැන ලියපු මාධ්‍යවේදීන්, කතුවැකි ලියපු කර්තෘවරුන් පස්සේ රහස් පොලීසිය පන්නනවා. මෙහෙම දේවල් ඉතිහාසයේ වෙලා නෑ.


පිළිතුර - සම්පූර්ණයෙන්ම වැරැදි දෙයක්, රජයක් විදියට අපි නම් සිදුවීම් හෙළා දකිනවා අපි රජයක් හැටියට සමාව අයදිනවා. ඒ වගේම මේ සිදුවීම ගැන විමර්ශනයකුත් කෙරෙනවා.


ප්‍රශ්නය -යුගදනවි සමාගමේ කොටස් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට දීම ගැන ඔබේ ස්ථාවරය?


පිළිතුර - ඒකේ මගේ පෞද්ලික ගැටලුවක් නෑ. සියයට 60ක බහුතරයක් අපට තියෙනවා. හැබැයි එල්.එම්.සී. බලාගාරය දීර්ඝ කාලයකට දීම ගැන මටත් ගැටලුවක් තියෙනවා. මේ ගැන පැහැදිලි කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් යුගදනවි බලාගාරයේ සියයට 40ක් පෞද්ගලීකරණය කිරීම ගැන මට ප්‍රශ්නයක් නෑ.


ප්‍රශ්නය - මේ සම්පත් විකුණන්නේ නෑ. විකුණපු ඒවත් ගන්නවා කියලා කෑගහපු ආණුඩුව මේ රටේ සම්පත් මහ රැ යක්කු ගස් නගින වෙලාවේ විකුණනවා.


පිළිතුර - රෑ 12ට ඔය ගිවිසුම අත්සන් කළා කියලා මම නම් දන්නේ නෑ. මම පිළිගන්නේ නැ. රෑ 12ට ගිවිසුම අත්සන් කළා කියලා. නමුත් අපි රටක් හැටියට ගත්තොත් අපට ඩොලර් හිඟයක් තියෙනවා. ඒ නිසා අපට විදේශ ආයෝජන අවශ්‍යයි. අපට කෙරවලපිටිය හදන්න සල්ලි නෑ. ඒ නිසා ඒකට විදේශ ආයෝජන අවශ්‍යයි. නොරොච්​චෝලේ හදනකොට විදෙස් ණය ගත්තේ. දැන් අපට ණය ගන්න බෑ. ණය සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ. එක්කෝ ණය ගන්න ඕන. නැත්නම් විදේශ ආයෝජන ගන්න ඕනෑ.


අපේ රටේ ආදායම් වියදම් බැලුවොත් අපි කොහොම ද රට සංවර්ධනය කරන්නේ. ආදායමට වැඩියෙන් වියදම් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තර දෙකයි තියෙන්නේ. එක්කෝ ණය ගන්න ඕනෑ. නැත්නම් විදේශ ආයෝජන ගේන්න ඕනැ. එහෙම නැතිව කොහොමද රට සංවර්ධනය කරන්නේ. කොත්මලේ ඇතුළු සියලු විදුලි බලාගාර හදලා තියෙන්නේ ණය අරගෙන. දැන් අපි ණය සීමාව ඉක්මවා තියෙන්නේ. ඒ නිසා පෞද්ගලික ආයෝජනවලට අවස්ථාව දෙන්න වෙනවා. එහෙම නැත්නම් රට සංවර්ධනය කරන්න බෑ


ප්‍රශ්නය -ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ වෙන ගමනක් යන බවයි පේන්නේ.


පිළිතුර - මෙහෙමනේ........ මේක සන්ධාන ආණුඩුවක්. සන්ධාන ආණ්ඩුවක් ඇතුළේ විවිධ මත තියෙන පක්‍ෂ ගණනාවක් ඉන්නවා. ඒ ඒ පක්‍ෂවලට තමන්ගේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඔවුන්ට ඒ ගැන කතා කරන්න අවස්ථාව තිබිය යුතුයි. විමල් සහෝදරයා දරන්නේ එක් මතයක් උදය ගම්මන්පිල මැතිතුමා ඉන්නේ සිංහල බෞද්ධ ස්ථාවරයක් වමේ පක්‍ෂ මේ පෞද්ගලීකරණයට විරුද්ධයි. හැබැයි අපි පොහොට්ටුව ගත්තොත් අපි ඉන්නේ මධ්‍යස්ථ තැනක. එතකොට මෙතැන මහ ගැටලුවක් තියෙනවා. මේ ගැටුම හොඳයි ඒක රටට හොඳයි. හරිම දේ තෝරා ගන්න එමගින් පුළුවන් වෙනවා.


ප්‍රශ්නය - චීනයෙන් කාබනික පොහොර ගෙන්වන එක නතර කළා කෝ පොහොර ?


පිළිතුර - පොහොර වර්ග හතරක් තියෙනවා. එයින් වර්ග තුනක් තියෙනවා. දැන් ගොවියෝ කාබනික පොහොර හදනවා. නයිට්‍රජන් එක තමයි මේ නිපයුමේ ප්‍රශ්නය ආවේ. ඒ සමාගම එක නිවැරැදි කරලා එවන්න එකඟ වුණා.


ප්‍රශ්නය -පොහොර කියලා කුණු ගෙන්නුවේ ඇයි ?


පිළිතුර - කවුරුවත් කුණු ගෙනාවේ නෑ. කුණූ ගේන්න බෑනේ රටට. මේක මුහුදු පැලැටි වලින් නිෂ්පාදනය කරන පොහොරක් කුණු ගෙන්වන්න බෑ. ඒක නීතියෙන් තහනම් .


ප්‍රශ්නය -ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යනවා කියලා පුවත්පක වාර්තා වුණා ඇයි බයක් තියෙනවද ?


පිළිතුර- කිසිම බයක් නෑ. ඡන්දේ තියනවා තාක්ෂණික ගැටලු ටිකක් තමයි මතුවෙලා තියෙන්නේ අපි ඡන්ද තියනවා විතරක් නොවෙයි ඉහළින්ම දිනනවා. ඔබ බලන්න 2022 ජනවාරි වෙනකොට රටේ සියලු පුරවැසියන්ට එන්නත් දීපු එක මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දාහක් දෙනවා. හැම වසමකටම විශාල මුදලක් දෙනවා. පාරවල් හදලා ජලය දීලා ජනතාවගේ ආර්ථිකය හදලා රැකියා දීලා නැවත රට පණ ගන්වන්න ක්‍රියාන්විතය පටන් ගන්නවා.

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්