මේ පාලකයන් ලැබෙන ඩොලර් ප්‍රමාණය විනාශ කරන තැනක ඉන්නේ


ඩොලර් හිඟයේ ඇත්ත නැත්ත ජවිපෙ නායකයා කියන කතාව

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී   
අනුර කුමාර දිසානායක

  • අධික පොලියට ණය ගන්න පටන් ගත්තේ 2007 දී මහින්දගේ ආණ්ඩුව
  • මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ඩොලර් අර්බුදයක් ඇතිවෙන්න යම් ප්‍රමාණයකට බලපාලා තියෙනවා
  • මේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති ඒ ඒ පාලකයන්ට කොමිස් ගහන්න ගෙනාපු ඒවා

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉරිද‌ා ලංකාදීපය සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් රටේ ඩොලර් හිඟයේ ඇත්ත නැත්ත ගැන මෙසේ පැහැදිල කරයි. 


• ආණ්ඩුව දැන් කෝකටත් තෛලය වගේ ඩොලර් නෑ කියන එක තමයි උත්තරේ විදියට කියන්නේ. මේ ඩොලර් හිඟයේ ඇත්ත නැත්ත මොකක්ද?   


මේ ඩොලර් අර්බුදයක් මතුවෙන්න මේ ආණ්ඩුවෙ ක්‍රියාකාරකම් යම් ප්‍රමාණයකට බලපාලා තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් පැවැති හැම ආණ්ඩුවක්ම අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකයට තමයි අද මේ අපි මුහුණ දෙමින් ඉන්නේ. උද‌ාහරණයක් විදියට ගත්තොත් අපේ ආනයන අපනයන අතර පරතරය ආසන්න වශයෙන් ඩොලර් බිලියන අටක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ ණය වාරිකය වසරකට බිලියන හයහමාරක් විතර වෙනවා. අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය සලකා බැලුවම සැලකිය යුතු ඩොලර් හිඟයක් තියෙනවා. ඒ නිසා අද අපේ රටේ ඩොලර් හිඟය මතුවීම, භාණ්ඩ ආනයනය සීමා වීම, භාණ්ඩ මිල ඉහළ යාම, භාණ්ඩ හිඟය වගේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ අපි මේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක සහ ඒ ආර්ථික ප්‍රතිපත්තියේ අසාර්ථක බව. ඒ නිසා මේ රජයේ කිසිවෙකුට ඩොලර් හිඟවීම ගැන කතා කරන්න සද‌ාචාර අයිතියක් නෑ. අපි සාමාන්‍යයෙන් ද්විපාර්ශික බහු පාර්ශික ගිවිසුම් හරහා තමයි ණය ගත්තේ. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට වාණිජ වෙළඳපොළෙන් ණය ගන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ 2007 දී. අපිට සීයට දශම ගණනින් ණය පොලී අනුපාතයට ණය ලැබුණ වෙනුවට මේ නිසා සීයට හතේ අටේ අධික පොලී අනුපාතවලට වාණිජ වෙළඳපොළෙන් ණය ගත්තා. වානිජ වෙළෙඳපොළෙන් ණය ගැනීම, අපේ නිෂ්පාදන ආර්ථිකය කඩා වැටීම, ලෝක වෙළෙඳපොළේ පංගුවක් සාර්ථක ලෙස අත්පත් කරගන්න සමත් වීම, ඒ වගේම අපේ රටේ සේවා ක්ෂේත්‍රයේ අපට ලබාගත යුතු ආද‌ායම් මාර්ගවලට සැලසුමක් නොමැතිවීම වැනි දේවල්වල ප්‍රතිවිපාකවලට අද අපි මුහුණ දෙමින් ඉන්නවා.   


• හැම එකටම මේ කතාව කියල ආණ්ඩුව කොච්චර කල් බේරෙන්නද?   


එහෙම බේරෙන්න බෑ වගේම බේරෙන්න අයිතියකුත් නෑ. ආණ්ඩුව ඩොලර් හිඟයක් ගැන කිව්වට ඩොලර් නාස්ති කරන එක නතර කරල නෑ. මේ ඔක්කොම අර්බුද මැද ආණ්ඩුව කැබිනට් පේපර් ද‌ාල අනුමත කරගත්තා මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කරන්න. ඒකට ඩොලර් මිලියන විසිඅටක් යනවා කියලා ඒ වෙලාවේ වාර්තා වුණා. ජනතාවට සීනි, පරිප්පු, ගෑස්, තෙල් ගෙන්නන්න ඩොලර් නෑ කියන ආණ්ඩුව කිසිම පැකිලීමකින් තොරව මන්ත්‍රීවරුන්ට වාහන ගේන්න කැබිනට් මණ්ඩලේ සියලු දෙනාම අත උස්සනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂෙ බොහෝ මන්ත්‍රීවරු වාහන අවශ්‍යමයි කියලා අඬා වැටෙනවා.   
 ඒ වගේම මෑත කාලයේ කොවිඩ් වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර සමුළු හැම එකක්ම වගේ ඔන්ලයින් ක්‍රමයට පවත්වන ප්‍රවණතාවයක් ඇතිවුණා. ඒත් අපේ සමහර ඇමැතිවරු කොහේද ඉන්නේ? එක ඇමැතිවරයකුගේ කෙන්යා සංචාරයකුත් අපි දැක්කා. මේ වගේ ප්‍රතිපලය මොකක්ද. අගමැති ගියපු සංචාර බලන්න. මේ පාලකයන් ලැබෙන ඩොලර් ප්‍රමාණය විනාස කරන තැනක ඉන්නේ. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් නෑ කිව්වට ආණ්ඩුවේ දේශපාලකයෝ ප්‍රයෝජනවත් නැති වැඩවලට ඩොලර් නාස්ති කරනවා.   
අනිත් එක තමයි ආණ්ඩුව විශාල වශයෙන් මුදල් ආච්චු ගහන එක. මුදල් අච්චු ගැහුවම ජනතාවගේ අතට මුදල් එනවා. ඒ ජනතාව ගිහින් ඒවයින් භාණ්ඩ මිලදී ගනිද්දී සාමාන්‍යයෙන් පුරවැසියෙක් රුපියල් සීයක් වියදම් කරනකොට එයින් රුපියල් තිහක් වියදම් කරන්නේ ආනයනික භාණ්ඩ වෙනුවෙන්. සීනි ගත්තත්, පරිප්පු ගත්තත්, සුදුළුණු ගත්තත්, කිරිපිටි ගත්තත් ඒ ඔක්කොම ආනයනික භාණ්ඩ. මුදල් අච්චු ගහන එකෙන් වෙන දේ තමයි ආනයනික භාණ්ඩවලට ඉල්ලුම වැඩිවීම, ඉල්ලුම වැඩිවෙන කොට ඒ භාණ්ඩවල ආනයන වියදම වැඩිවෙනවා. මේ වාහන ගෙන ඒම නතර කරල තියෙද්දිත්, බොහෝ භාණ්ඩ ගෙන්වීම සඳහා ආනයන සීමා ද‌ාලා තිබියදීත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ඩොලර් බිලියන දෙක හමාරක ආනයන වියදමේ වැඩි වීමක් සිදුවෙනවා. ආර්ථික ක්ෂේත්‍රය හුදකලා ලෙස පවතින්නේ නෑ. මුදල් අච්චු ගැසීම. පෙරළා ඩොලරයේ ඉල්ලුම වැඩිවීම, ඩොලර් හිඟයක් ඇතිවීම, ඒක නැවත අපේ අපනයන ක්ෂේත්‍රයට බලපෑමක් ඇති කිරීම වගේ කාරණා එකට ගැටගැහිලා තියෙන්නේ. ඒක එකට ගැටගැහුණු අර්බුදයක්. ඒ නිසා මේ ආණ්ඩුව අපේ රටේ ආර්ථිකය නූල් බෝලයක් වගේ පටලවලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් ගොඩ ඒම සඳහා මේ පැටලිලි එකින් එක ලිහමින් යන්න ඕනෑ. නමුත් ඒකට නිවැරදි දැක්මක් මේ ආණ්ඩුවට තියෙනවා කියලා අපිට පේන්නේ නෑ. 

 
• ඇමැති කියද්දී තෙල් ගේන්න ඩොලර් නෑ කියලා මිනිස්සු අහන්නේ අපි කවද‌ාවත් ණයට ෂෙඩ්වලින් තෙල් ගහගෙන තියෙනවද කියලා. ඒ සල්ලිවලට මොකද වෙන්නේ කියලයි ඔවුන්ගේ ප්‍රශ්නය?   


තෙල් ආනයනය කරන්නේ ඩොලර්වලින්. අපිට තෙල් විකුණන්නේ රුපියල්වලින්. අපිට රුපියල්වලින් තෙල් ආනයනය කරන්න බෑනේ. ලෝකයේ යැපුම් ආර්ථිකයක් තියෙන කොට සියල්ල අපි නිෂ්පාදනය කරගන්නවා. දැන් එහෙම නෑ. ආනයන අපනයන තියෙන්නේ අද ලෝකයේ අත්හළ නොහැකි යථාර්ථයක් ඒක අපි පිළිගත යුතුයි. ඒක නිසා අපිට ඩොලර් අවශ්‍යයි. ඒකට ඩොලර් උපයන්න ඕනැ. 1950 දී ලෝක වෙළඳ‌ාමෙන් දෙසීයෙන් එකක් අපිට අයිතිව තිබුණා. ඒ කියන්නේ සීයට දශම එකක්. ලෝකෙ ඩොලර් දෙසීයක වෙළෙඳ‌ාමක් වුණොත් අපිට ඩොලර් එකක් එනවා. අද අපේ ලෝක වෙළෙඳපොළේ පංගුව දෙද‌ාහෙන් එකයි. ඒ කියන්නේ ලෝක ඩොලර් දෙද‌ාහක වෙළඳ‌ාමක් වෙද්දී තමයි අපිට ඩොලර් එකක් හම්බවෙන්නෙ. ලෝක වෙළෙඳපොළේ අපේ පංගුව වේගයෙන් අඩුවෙලා තියෙනවා.   


 ඒ වගේම තමයි අපි ඩොලර්වලින් ණය අරගෙන රුපියල්වත් උත්පාදනය කරන්නේ නැති ව්‍යාපාති කළා. මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රීඩාංගනය, නෙළුම් කුලුන වගේ ව්‍යාපෘතිවලට අපි ඩොලර්වලින් ණය අරගෙන තියෙන්නේ. හැබැයි ඒවයින් රුපියල් වලින්වත් ආද‌ායමක් උපයන්නේ නෑ. ඒත් ඩොලර් වලින් ණය ගෙවනවා. මේවත් අපේ ආර්ථික අර්බුදය තීව්‍ර කිරීමට බලපාන හේතු. අපි තෙල් ගේන්නෙ ඩොලර්වලින් තමයි. ඒ ගැන කතාවක් නෑ. හැබැයි තෙල් ගේන්න ඩොලර් නෑ කියන්නද ආණ්ඩුව ඉන්නේ. අපි ආණ්ඩුවක් පිහිටුවන්නේ මොකටද? සැළසුම් හදමින් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න. ඩොලර් රටට කැඳවා ගැනීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒක කරන්න බෑ කියල හඬා වැටෙන්න ආණ්ඩුවක් අවශ්‍ය නෑ. ජනතාව සල්ලිවලට තෙල් ගැහුවට ආණ්ඩුව අපේ ඩොලර් සංචිතය හින්දල තියෙන්නේ. ඒකයි ප්‍රශ්නය.   


• සීනි පරිප්පු ගේන්න ඩොලර් නැති වුණාට දවසින් දවස අධිවේගී මාර්ග වගේ ලොකු ලොකු ව්‍යාපෘති කෙරෙනවනේ?   


 මේ පාලකයින් කැමැති මහා පරිමාණ ව්‍යාපෘතිවලට තමයි. ඒ ව්‍යාපෘතිවල පංගුව ලොකුවෙන තරමට තමයි කොමිෂන් එක ලොකු වෙන්නේ. විදෙස් ණය ගැනීම හරහා යම් ව්‍යාපෘතියක් කරනවා නම් ඒ ව්‍යාපෘතියට අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍ය අපි ඩොලර්වලින් නැවත ගන්නවා. ඒ වගේම උපදේශන ගාස්තු කළමනාකරණ ගාස්තු ගෙවන්න ඕනැ. අපේ සංවර්ධන සැළසුම්වල මෙතෙක් ආ ගමන් මග පිළිබඳ සමීක්ෂණයක් කරල බැලුවොත් පේනවා මේ ප්‍රශ්නයේ බරපතළකම. එහෙම සමීක්ෂණයකින් අපිට තෝරගන්න වෙනවා අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කොහාටද යන්න ඕනෑ කියලා. පාරවල් පාලම්, බෝක්කු හැදෙන එකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි 1998 ඉඳලා 2018 දක්වා අවුරුදු විස්සට රාජ්‍ය ආයෝජනවලින් සීයට හතළිහක් වෙන්කරල තියෙන්නේ පාරවල් වෙනුවෙන්. පාරවල් කියන්නේ ක්ෂණික ආර්ථික ප්‍රතිලාභ එන ඒවා නෙවෙයි. ඒවා දිගු කාලීන ප්‍රතිලාභ ලැබෙන ඒවා. ඒ නිසා අපිට නිසි ව්‍යාපෘති සැලසුමක් ඕනැ. ඉක්මනින් මුදල් යොදවා ඉක්මනින් ආද‌ායම් ලබන කෙටි කාලීන ව්‍යාපෘති, මධ්‍ය කාලීන ව්‍යාපෘති සහ දිගු කාලීන ව්‍යාපෘති අද‌ාළ නිවැරදි ක්‍රමවේදයකට සැලසුම් වෙන්න ඕනැ. ඒ ආයෝජන තුලිතතාවය අපි බිඳවට්ටල තියෙනවා. මේ වායේ තියෙන්නේ සංවර්ධනය පිළිබඳ දැක්මකට වඩා තමන්ට යටින් ලැබෙන කොමිස් අල්ලස් එක්ක තීරණය වෙන දේවල්.   


• මේ තත්ත්වය වෙනස් කරන්න ඔබේ යෝජනාව මොකක්ද?   


මේ හැම ගනුදෙනුවක් පිටුපසම සැඟවී තියෙන දෙයක් තමයි අල්ලස හා දූෂණය. මම පාර්ලිමේන්තුවෙත් පාර්ලිමේන්තුවෙන් පිටතත් මේ දූෂිත ගනුදෙනු රැසක් පිළිබඳ දත්ත විස්තර එක්ක රටට හෙළි කරලා තියෙනවා. රාජපක්ෂලගේ දූෂිත ගනුදෙනු ගැන මම හෙළිදරව් කරලා තියෙනවා. මම විතරක් නෙවෙයි ජාත්‍යන්තර පුවත්පත් මේ ගැන හෙළිදරව් කරල තියෙනවා. ඒ කාලෙ ඔවුන් කිව්වේ ඒ පුවත්පත්වලට නඩු ද‌ානවා කියලා. ඒත් ද‌ාපු නඩුවක් නම් නෑ. මේ පහුගිය කාලය තුළ ක්‍රියාත්මක වුණු සංවර්ධන ව්‍යාපෘති රටේ සැබෑ සංවර්ධනය ඉලක්ක කරගත්ත ව්‍යාපෘති නෙවෙයි. මේ සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ඒ වෙලාවෙ ඉඳපු පාලකයින්ට අල්ලස් කොමිස් ගහන්න ගෙනාපුව. මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් මේවා නතර විය යුතුයි. රටේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව මීට වඩා පුළුල් සංවාදයක් අවශ්‍යයි. ඒකෙදි විවිධ අදහස් එන්න පුළුවන්. හැබැයි සංවාදයකින් තොරවම මේ දූෂිත දේශපාලනය වෙනස් කරන්න ඕනැ. ඒක තමයි පළවෙනි කාරණය.   


මේ දේශපාලනයේ වරප්‍රසාද ඉහළ සිට පහළට ගේන්න ඕනෑ. අද දේශපාලකයා නීතියට උඩින් ඉන්නවා. නීතිය ඔහුට අද‌ාළ නෑ. ඒ වගේම අමාත්‍යවරුන්ට ලැබෙන වරප්‍රසාදවලට යන වියදම් සියල්ල දරන්නේ ආණ්ඩුවෙන්. මේ සියල්ල ඉහළ ඉඳලා මහපොළොවට ගේන්න ඕනැ.   


 ඊළඟට නිවැරදි ආර්ථික සැළසුම්, ඒකට විශේෂ දැනුම තියෙන උදවියගේ සහාය ලබාගන්න ඕනැ. රටේ පිහිටීම රටේ ස්වභාවික සම්පත්, රටේ මානව සම්පතේ ස්වභාවය. ලෝක දේශපාලනය, රටේ ශිෂ්ඨාචාරය වගේ කරුණු ගැන සැලකිලිමත් වෙලා තමයි නිසි ආර්ථික සැලසුමක් හදන්න ඕනැ. නව ආර්ථික දැක්මක් රටට අවශ්‍යයි. එහෙම නැතුව මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ඒ නිසා අපි මේ රටේ පොදු ජනයාගෙන් ඉල්ලන්නේ මේ අර්බුදයෙන් ගොඩ යා හැකි වන්නේ දිගු කාලීන දේශපාලන, සමාජීය, ආර්ථික ක්ෂේත්‍රවල ඇති කරගන්නා පරිවර්තනයකින් විතරයි.   


• ඩොලර් හිඟය ගැන ආණ්ඩුව පැත්තෙන් සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම ලොකුවටම පෙන්නනවා. අන්තිමට ඔක්කොම යන්නේ කොරෝනා පිටින්. ඇත්තටම ඒක එහෙමද?   


ඒකෙත් බලපෑමක් තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය නොයෙක් ක්ෂේත්‍රවලට බලපාලා තියෙනවා. සංචාරක කර්මාන්තයටත් ඒකෙ බලපෑමක් තියෙනවා. හැබැයි ඒකම නෙවෙයි මේකෙ ප්‍රධානම අර්බුදය. මේ පාලකයින් හැම විටම තමන්ගේ ආර්ථික නොහැකියාව වසාගන්න ආවරණයක් හොයනවා. පහුගිය අවුරුදු තිහක් තිස්සේ යුද්ධය ආවරණයක් කරගත්තා. දැන් කොරෝනා. යුද්දෙට යන වියදම පෙන්න පෙන්න තමන්ගෙ ආර්ථික නොහැකියාව වසා ගත්ත හැම ආණ්ඩුවක්ම. ඒත් තමන්ගේ දූෂිත ගනුදෙනු එකක්වත් නතර කළේ නෑ. සාමාන්‍ය ජනතාවගේ වරප්‍රසාද තමයි කප්පාදු වුණේ. හැබැයි යුද්ධය අවසන් වුණා කියලා රටට හොඳක් වුණා ද ආර්ථික අතින්? යුද්දෙ තිබුණු කාලෙට වඩා දශමයක් හරි ආර්ථිකය ශක්තිමත් වුණාද? එද‌ාට වඩා බඩු මිල අඩු වුණාද? යුද්දෙ තිබුණු කාලෙට වඩා විරැකියාව අඩුද වැඩිද දැන්? යුද්දෙ තිබුණු කාලෙට වඩා ඩොලර් හිඟය අඩුද වැඩිද දැන්? යුද්දෙ තිබුණු කාලෙට වඩා නිෂ්පාදන වැඩිවෙලා ද අඩුවෙලාද? යුද්දෙ තිබුණු කාලෙට වඩා රටේ ණය බර අඩුවෙලා ද වැඩිවෙලාද? කිසි දෙයක් හොඳ අතට හැරිලා නෑ. යුද්දෙ අවසන් වුණා කියලා. එහෙනං ප්‍රශ්නය යුද්දෙ නෙවෙයි. පතුලෙ ප්‍රශ්නය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය.   


● ඇයි රටේ ජනතාවත් ඔය කියන නිවැරදි ආර්ථික දැක්මක් වැඩපිළිවෙළක් දිනවනවා වෙනුවට දූෂිතයින් කෙරෙහිම විශ්වාසය තියන්නේ?   


පහුගිය කාලය පුරාම බොහෝ මැතිවරණවලදී ජනතාව අවසානයට තීරණය කළේ ආර්ථික සාධකය ගැන සලකලා නෙවෙයි. 94 චන්ද්‍රිකා ගෙනාවෙ ද‌ාහත් වසක් මිනීමැරූ යූ.එන්.පී. පාලනය පළවා හැර ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතලා. 1999 දී චන්ද්‍රිකා එන්නේ බෝම්බ වැදිලා. ඒ අනුකම්පාවත් එක්ක. 2009 දී මහින්ද එන්නේ රනිල්ගේ සාමගිවිසුමද? එල්.ටී.ටී.ඊ ය පරාද කිරීමද? කියලා අහගෙන. 2010 මහින්ද නැවත එන්නේ යුද්දෙ ජයග්‍රහනය මතින්. 2015 මෛත්‍රී එන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගැන කියාගෙන. 2020 ගෝඨාභය එන්නේ ජාතික ආරක්ෂාව ගැන කියාගෙන. මේ එක මැතිවරණයකදීවත් ආර්ථික සාධකය මහා සාධකයක් වුණේ නෑ. අපේ රටේත් පුරවැසියන්ගෙත් තීරණයක් මත ප්‍රශ්නය ආර්ථිකය වුණාට මැතිවරණයවලදී මේ පක්ෂ සමත් වුණා ආර්ථික ප්‍රශ්නය යටපත් කර තමන්ට වාසිසහගත සටන්පාඨ උඩට ගන්න. අපි අපේ ආර්ථික දැක්ම ගැන පුන පුනා රටට කිව්වත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ජනතාව උනන්දු වුණේ නෑ. පොදු ජනතාවත් තේරුම් ගන්න ඕනැ මේ හැම අර්බුදයකට පතුලෙ ආර්ථික ප්‍රශ්නය තියෙන බව. දැන් ගෑස් පෝලිම්වල ඉන්න ජනතාවට සිමෙන්ති පෝලිම්වල ඉන්න ජනතාවට දැනෙන්න පටන් අරන් මේ ආර්ථික අර්බුදයේ තරම. ජනතාව ඉදිරි මැතිවරණවලදී රටේ ආර්ථිකය තවදුරටත් අගාධයට අරගෙන යනවද එහෙම නැත්නම් රට ඉදිරියට අරගෙන යනව ද කියල හිතන්න ඕනැ. ඒකට වඩා හොඳ මොන පාර්ශ්වය ද කියල කල්පනා කරන්න ඕනැ. ඡන්දෙ කාලෙට හැඟුම්බර කාරණාවකට යටවෙලා ඡන්දෙ දීලා ඊට පස්සේ කන්නත් නැතුව පාරවල්වල හූල්ල හූල්ල පෝලිම්වල ඉන්නවද එහෙම නැත්නම් රට මේ තියෙන තැනින් ගොඩගන්න හවුල් වෙනවද කියලා ජනතාව දැන්වත් තීන්දු කරන්න ඕනැ.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි