මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි


මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන ප්‍රවණතා ගැනත් විමසමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍ර: මහ බැංකුව යුද්ධ කාලයේ තිබුණේ ‘මුදා නොගත් ප්‍රදේශයක්’  වගේ කියලා කියනවා. ඔබ මොකද කියන්නේ?


මහ බැංකුව මීට පෙරත් වැටුප් සහ බඳවා ගැනීම්වලින් ස්වාධීනයි. ඔවුන්ට වැටුප් ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලෙන් නොවෙයි. ඔවුන්ගේ ගිනුමෙන්. මහ බැංකු පනතෙන්ම ඔවුන්ට ඒ ස්වාධීනත්වය දීලා තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට ගිවිසුමක් ඔවුන්ට තියෙනවා. ඒ අනුව තමයි මේ වැඩි කරගෙන තියෙන්නේ.


ප්‍ර:මුළු රටේම ජනතාව ඉතාම අමාරුවෙන් ඉන්න වෙලාවක මහ බැංකුවෙ නිලධාරීන්ගේ වැටුප් සියයට 70 කින් වැඩිකර ගැනීම සාධාරණ ද?


එහෙම වැඩිකර නොගත්තා නම් හොඳයි. ඔබ කියනවා වගේම සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එක පැත්තකින් මහ බැංකුව අපට ආර්ථික වශයෙන් උපදෙස් දෙන ආයතනයක්.


අපි පහුගිය කාලේ ගෙනාව පනතින් මහ බැංකුව සම්පූර්ණයෙන්ම ස්වාධීන වුණා. එහි මුදල් මණ්ඩලයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වාඩි වෙන්නෙත් නෑ.  මහ බැංකුව පැත්තෙන් ගත්තොත් එතැනට අවශ්‍ය කරන්නේ ආර්ථික විශේෂඥයන්. ඒ විදියේ අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. දෙසීයක් විතර සාමාන්‍ය සේවකයන් ඉන්නවා.


අර දාහෙන් 2022 – 2023 වර්ෂවල සැලකිය යුතු පිරිසක් ලංකාව අතහැරලා වෙන පිටරට රස්සාවලට ගිහින් තියෙනවා. ඔවුන් රඳවා ගැනීමේ ප්‍රශ්නයකුත් මහ බැංකුවට තියෙනවා. ඉහළ වැටුප් තලයක නොරැන්දුවොත් ඔවුන් ඉන්නේ නෑ. ඒ නිසා මෙතැන දෙපැත්තක් තියෙනවා. රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවක වැටුප් වැඩිකර ගන්න එක හරිද කියන ප්‍රශ්නය තියෙනවා. අනික් පැත්තෙන් වැටුප් වැඩි නොකර ඔවුන්ගේ විශේෂඥ දැනුම තියෙන නිලධාරීන් දහයෙන් එකක් රට යන එක වළක්වා ගන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා.


ප්‍ර:රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. නමුත් දැන් පේන විදියට මහ බැංකුව සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පාර්ලිමේන්තුවට බැහැ ?


ඇත්තෙන්ම මම මුලින් කිව්ව විදියට පනත අනුව නම් වැටුප් වැඩිකර ගැනීම් හා බඳවා ගැනීම් සම්බන්ධව තීන්දු තීරණ ගැනීම ඔවුන් සතු කාර්යභාරයක්, රජයේ මුදල් සම්බන්ධ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. මහ බැංකුවට පඩි ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලෙන් නොවුණත් ඒක ස්වාධීන වුණත් රජයේ ආයතනයක්. ඒ නිසා මේ සම්බන්ධව මැදිහත් වීමට පාර්ලිමේන්තුවට අයිතිය තියෙනවා කියලා මතයක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ දී කතාබහට ලක්වුණු මාතෘකාවක්.


පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙන්න පුළුවන් වෙනත් කාරක සභාවක් වෙන්න පුළුවන්. ඒ තැන්වලට ඔවුන් කැඳවලා කතා කරන්න පුළුවන්. ඔවුන් ස්වාධීන වුණත් පාර්ලිමේන්තුවත් එක්ක ඔවුන්ගේ බැඳීම වැඩිවෙලා තියෙනවා.


උද්ධමනය සම්බන්ධ ඉලක්කම් වැරදුණොත් මහ බැංකුව පාර්ලිමේන්තුවට කැඳවලා විමසීම් කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් කතාබහ කරලා විසඳා ගන්න පුළුවන්. මම හිතන්නේ අපි ඒක පාර්ශ්වීය නොවී මධ්‍යස්ථ වුණොත් සැබෑ මතයක් අපට ඇතිකර ගන්න පුළුවන්.


ප්‍ර:මහ බැංකුව දේශපාලනීකරණය නොවී ස්වාධීනවීම ඉතා හොඳ දෙයක්. නමුත් මෙතැන ‘ස්වාධීන’ කියන වචනය අවභාවිත වීමක් සිදුවෙලා නැද්ද?


ස්වාධීනවීම කියන එක රජයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වීමක් තමයි එතැන දී බලාපොරොත්තු වුණේ. මොකද මහ බැංකුවේ මුදල් මණ්ඩලයට මීට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අනිවාර්යයෙන්ම සහභාගි වුණා. දැන් එහෙම නෑ. ඒක තමයි මෙතැන දී විශේෂයෙන්ම වෙනස් වුණේ.


ඒ වගේම මහ බැංකුව උද්ධමනය පිළිබඳව දර්ශකයක් තබාගත යුතුයි. ඒක වෙනස් වුණොත් ඒකට හේතුව මහ බැංකුව පාර්ලිමේන්තුවට කිව යුතුයි. වැටුප් සම්බන්ධ ස්වාධීනත්වය අපි සම්මත කරපු පනතෙන්ම ආව එකක් නොවෙයි. ඊට පෙර සිටම ඒ අයිතිවාසිකම ඔවුන්ට තිබුණා. ඒක තවදුරටත් ශක්තිමත් වුණා නව පනතෙන්.


ප්‍ර:රටේ ආර්ථික අර්බුදයට මහ බැංකුවත් වගකිව යුතුයි. ඔබ මොකද ඒ ගැන කියන්නේ?


ආර්ථිකය ගැඹුරු අගාධයකට යාම පිළිබඳව ආර්ථිකයට මග පෙන්වන්නෙක් හැටියට මහ බැංකුව වෙන්න පුළුවන්, මුදල් කමිටුව වෙන්න පුළුවන්, මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන් ඔවුන්ට විශාල වගකීමක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දුන්න තීන්දුවක්නේ ඒක. ඒ වගේම එතැන ඉඳලා නැගිටින්න 2022 අප්‍රේල් මාසයේදීත් අපි ණය ගෙවීම තාවකාලිකව නතර කළේ. එතැන ඉඳන් උඩට එන්න මහ බැංකු අධිපතිවරයා සහ මහ බැංකුව මුදල් අමාත්‍යාංශය සමග බොහොම හොඳ තත්ත්වයෙන් එකට ඉඳගෙන නව රාජ්‍ය නායකායාට විශාල ශක්තියක් දුන්නා. ඒකත් අපි කියන්න ඕනෑ.


මොකද ඔවුන් ගත් තීරණත් සමග අපි ගත්තොත් අපේ රටේ උද්ධමනය ලෝකයේ පස්වැනි තැනට ඉහළට ගියා. ආහාර උද්ධමනය සියයට 95 යි. සාමාන්‍ය උද්ධමනය සියයට 70 යි. මහ බැංකුව තමයි ඒ වෙලාවේ ප්‍රතිපත්තිමය තීරණය ගත්තේ වහාම බැංකු පොලිය වැඩි කරන්න. ඒ ප්‍රතිපත්තිමය තීරණය මත තමයි පැහැදිලිවම උද්ධමනය ලෝකයේ කවුරුත් පුදුමයට පත් කරමින් අපට පාලනය කරගන්න ලැබුණේ.


එබඳු ප්‍රතිපත්තිමය තීරණ රාශියක් ගැඹුරු ආර්ථික අගාධයෙන් ගොඩ එන්න මහ බැංකුව ගත්තා. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව මුදල් අමාත්‍යවරයා හැටියට රාජ්‍ය නායකයා මේ සියලු දෙනා කණ්ඩායමක් හැටියට ගත්තා.


ජනාධිපතිවරයාට වැරැදි තොරතුරු සපයනවා කියලා මුදල්  අමාත්‍යාංශයට ලොකු චෝදනාවක් එල්ල වුණා. ඔබ මුදල් රාජ්‍ය ඇමැති. මේ චෝදනාව ගැන ඔබ මොකද කියන්නේ ?
මම දන්න විදියට මුදල් අමාත්‍යාංශයත් මේ අවුරුදු එක හමාර, දෙක කාලය තුළ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙන්න පුළුවන් ලොකු විශාල මෙහෙයක් කළා. අදටත් කරනවා. ඒ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. ඔවුන් ඉතාම කැපවීමෙන්, මහන්සියෙන් වැඩ කරනවා කියන එකත් මම එතැන ඉන්න කෙනා හැටියටය මට කියන්න පුළුවන්. ඒක මේ පක්ෂග්‍රාහී වීමක් නොවෙයි.


පාර්ලිමේන්තුවේ දී මතුවෙච්චි කාරණා එකින් එක විශ්ලේෂණය කරමින් අපේ මුදල් ලේකම්වරයා වාර්තාවක් සකස් කරනවා. ඒක ජනාධිපතිවරයාට අවශ්‍ය වුණොත් දෙන්න අපි කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කරන්නත් පුළුවන්.


ප්‍ර:ජනතාව ඉන්නේ අන්තිම අමාරුවෙන්. මේ ජනතාවට කවදා සහනයක් ලැබෙයි ද?


අපි බඩු මිල ගැන කතා කළොත් මම කියන්නෙ නෑ පහසුයි කියලා. ඉතාම අපහසුයි. නමුත් අපි ක්‍රම ක්‍රමයෙන් ටික ටිකෙන් යන්නේ අපි සියයට 70 ක උද්ධමනයක ඉඳලා. මේ සියලුම අපහසුකම් මැද්දේ සියයට 8 ක මට්ටමක තිබුණ ආදායමත් සියයට 11 ට වර්ධනය කරගෙන යම්කිසි ස්ථාවර තැනකටත් ඇවිල්ලා උද්ධමනය සියයට 6 කට පවත්වාගෙන යනවා. අපි විශ්වාස කරනවා ඉක්මනින්ම මේක සියයට 5 ක මට්ටමට ගේන්න පුළුවන් කියලා. ඒවායින් අදහස් වෙන්නේ නෑ ජනතාවට පහසුයි, කිසි ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි හිටපු තැනට සාපේක්ෂව අපි අඟලෙන් අඟල යහපත් තැනකට යනවා.


අපි බැලුවොත් රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් දහදාහකින් වැඩි කරලා තියෙනවා. දෙන්න හිටපු දවසට කලින් අපි ඒක දීලා තියෙනවා. මිලියන 65 කින් පිරිමහ ගත්ත සහනාධාර මිලියන 210 ක් දක්වා දැන් ජනතාවට දෙනවා. ඒ විදියට අපි හැම දෙයක්ම දෙගුණ තෙගුණ කරල තියෙනවා.


වැඩිහිටි දීමනාව 2000 යි දුන්නේ. ඒක 3000 කරලා තියෙනවා. විශේෂ අවශ්‍යතා තියෙන අයට දුන්න පන්දාහ හත්දහස් පන්සියයක් කරලා තියෙනවා. මේ විදියට හැම ආකාරයකින්ම රජය උත්සාහ කරනවා ජනතාවට පහසුකම් දෙන්න. නමුත් මෙවැනි ආර්ථික අගාධයක සිට උඩට යනකොට සීරිම්, තුවාල නැතිව ඒ ගමන යන්න අපහසුයි. අවුරුදු එක හමාරක්ම සෘණ ආර්ථිකයක ප්‍රතිඵල අපි භුක්ති විඳින්නේ. ඒ ආර්ථිකය තමයි පහුකාලයේ දී ධන පැත්තට හැරුණේ.


ප්‍ර:ඔබ පාර්ලිමේන්තු ආවේ පොහොට්ටු සාමාජිකයෙක් විදියට. ඔබ දැන් ඉන්නේ පොහොට්ටුවේ ද රනිල් වික්‍රමසිංහ ළඟද?


මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි පාර්ලිමේන්තුවට ආවේ. එතකොට පොදුජන පෙරමුණේ තමයි. නමුත් රට වැටුණු ආර්ථික අර්බුදයේ දී කවුරුවත් රට බාර ගත්තේ නැහැනේ. විපක්ෂයේ හැමෝගෙම උවමනාව බලය ලබා ගැනීම. හැමදේටම දඟලන්නේ ඒකටනේ.


හැබැයි රට බාරගන්න කියලා කිව්වම ඔය කෑ ගහන කිසි කෙනෙක් ආවේ නැහැනේ. එක්කෝ ඔවුන් පරිණත නෑ. එක්කෝ ඔවුන්ගේ නොහැකියාව, හැබැයි තනි පුද්ගලයෙක් රට බාර ගත්තා. ඒ තනි පුද්ගලයාට යම් පිරිසක් උදව් කළේ නැත්නම් ඔහුගේ කකුලෙන් ඇද්දා නම් අද මොකක්ද රටේ තත්ත්වය.


ඒ වගේම මේ වෙලාවේ රට මෙහෙයවීමට පරිණත, ඉගෙනීමක් තියෙන දැක්මක් තියෙන, තීරණ ගත හැකි ජාත්‍යන්තරයත් සමග මේ ගනුදෙනුව බේරාගන්න පුළුවන් නායකයකු රටට අවශ්‍යයි. ඒ සුදුසුකම් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට.


අපි හිතන්න ඕනෑ රට ගැන. මම හිට ගත්තේ රට පැත්තේ. එතුමා රට බාර නොගත්තා නම් රටට වෙන දේ ගැන අවබෝධයක් මට තියෙනවා කාලයක් මුදල් අමාත්‍යාංශයේ හිටපු කෙනෙක් විදියට. ඒ නිසා මම පෞද්ගලිකව එතුමාට උදව් කරනවා.


ප්‍ර:ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔබේ සහාය ජනාධිපති රනිල්ට හෝ ඔහු ඉදිරිපත් කරන අපේක්ෂකයාට?


පැහැදිළිවම මම එතුමාට උදව් කරනවා. එතුමා ඉන්න පුටුවට එන්න තරග කරන්න ඉන්න අය මම කියන්නේ නෑ. ඔවුන් අදක්ෂයි කියලා. මොනවා වුණත් එයින් එක්කෙනෙක්ව හෙට ඔය පුටුවේ වාඩි කරවන්න. එයාට පුළුවන්ද මේ භූමිකාව ඉදිරියට ගෙනියන්න.


මේ වෙලාවේ අපට අත්හදා බැලීම් කර කර ඉන්න බෑ. රට පැත්තේ හිට ගන්න ඕනෑම කෙනෙකුට වෙන්නේ ජනාධිපතිතුමාට උදව් කළ යුතුයි. මම වගේ හිතන විශාල පිරිසක්  පොහොට්ටුවේ ඉන්නවා.


ප්‍ර:දැන් එහෙම නම් බැසිල් රාජපක්ෂ හොඳටම කලබල වෙලා ඇති ?


ඒ ගැන අවබෝධයක් මට නෑ.

 

 

 

සාකච්ඡා කළේ

■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්