මෙවර අයවැයක් රට වැසියන්ගේ යාචක මානසිකත්වය සැනසීමට සීමාවෙයිද


ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සුපුරුදු ලෙසම මෙර අයවැයෙන් ද සමෘද්ධි, අස්වැසුම ඇතුළු රජයෙන් ලබාදෙන විවිධාධාර සහනාධාර වෙනුවෙන් අති විශාල මුදලක් වෙන් කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත. රටට නිදහස ලැබී වසර හැත්තෑ හතක් ගිය තැනදීත් රටේ දුප්පතුන් ප්‍රමාණය වරින් වසර වැඩිවීමක් සිදුවුණා මිස අඩුවීමක් සිදුවුණේ නැත. වත්මන් ආණ්ඩුවේ ග්‍රාම සංවර්ධන ඇමැතිවරයා ඉකුත්දා කළ ප්‍රකාශයකින් ඒ බව වඩාත් තහවුරු වෙයි. 

මෙරට ජීවත් වන පවුල්වලින් සියයට අසූතුනක් (83%) යාචක මානසිකත්වයෙන් පෙළෙන බව ග්‍රාම සංවර්ධන සහ සමාජ ආරක්ෂක ඇමැති ආචාර්ය උපාලි පන්නිගේ මහතා පැවසූ බව ජනමාධ්‍ය වාර්තා කළේය. ඒ මහතා තවදුරටත් පවසන්නේ 2024 වසරේ ජන සංගණනය අනුව මෙරට පවුල් ලක්ෂ 52ක් සිටින මුත් අස්වැසුම ප්‍රතිලාභ ඉල්ලා පවුල් ලක්ෂ 43ක් අයැදුම්පත් යොමු කර ඇති බවය. ඒ අනුව රටේ ජනගහණයෙන් තුන් ගුණයකටත් වඩා වැඩි පිරිසක් රජයෙන් කුමක් හෝ සහනාධාරයක් බලාපොරොත්තු වෙති. 

මෙරට ගොවිතැන  දැනට පවතිනවාට වඩා ලාබදායක මට්ටමින් කරගෙන යාමට ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ නම් රජයෙන් ලබාදෙන ආහාර සහනාධාර බොහෝ ප්‍රමාණයක් අත්හිටුවිය  හැකිය. 

මෙරට පුරාණ ස්වයංපෝෂිත ගම තුළ අනුන්ගෙන් යැපෙන මානසිකත්වයක් තිබුණේ නැත. එකල ගැමියා ස්වයංපෝෂිත වූයේ මෝටර් රථ, විදුලි භාණ්ඩ ආදියෙන් නොවේ. ආහාරයෙනි. පැරණි ගැමියාගේ නිවස වඩා කෝපි බුලත් වැනි භෝගය. ගේ දොර අතුලා දමන කසළවලින් ඒවා පෝෂණය වෙයි. මහ ගස්වල බුලත් හා ගම්මිරිස් වැල්ය. පුවක් අරඹ වත්ත කෙළවරේය. බතල, මඤ්ඤොක්කා, කිරි අල වැනි අල බතල ගේ වටා සිටුවා ගෙන සිටි පැරණි ගැමියන්ට ආහාරවලින් හිඟයක් තිබුණේ නැත. ආණ්ඩුවෙන් සහනාධාර ඉල්ලා වැඳ වැටෙන්නට වුවමනා වූයේ ද නැත. පැරණි ගැමියා රෙද්දක් බැනියමක් ගැනීමටත්, ලුණු කරවල ටිකක් ගැනීමටත් මඟුලකට මරණයකට යාමටත් මුදල් උපයා ගත්තේ මෙකී භෝග විකිණීමෙනි. ඒ ගැමියා අනුන්ගෙන් යැපෙන්නකු බවට පත් කළේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරුන්ගේ නොහැකියාව විසිනි. පොහොර ටික අඩු ගානකට ගෙනත් දෙනවා නම් දෙකන්නය වගා  කරන්නට ගැමියන්ට බාධාවක් නැත. එහෙත් අද බොහෝ ගොවීන්ට ඇති ප්‍රශ්නය වන්නේ පොහොර කෘමිනාශක, අත්කම් කුලිය ආදිය ඉතා ඉහළ මිලක තිබීමය. මේ නිසා වගාව අතහැර ඔවුහු ආණ්ඩුවෙන් දෙන සහනාධාරය බලා සිටිති. 

ලංකාවාසී ජනතාවට රජයෙන් ලැබෙන සහන අතරින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛය සේවය මුල් තැනක් ගනියි. එයට අමතරව තවත් සහනාධාර රාශියකි. නිදහස ලැබූදා සිට සහල් සේරු දෙකක් රජයෙන් නොමිලේ දීම ඇතුළු සහනාධාර ප්‍රතිලාභ ජනතාවට  ලැබිණි. පසුව මෙරට නිෂ්පාදනය නොවන ඉතා අසීරුවෙන් විදේශයෙන් ගෙන්වන භූමිතෙල් ඇතුළු ඉන්ධන සඳහා ද සහනාධාර ජනතාවට ලැබිණි. 1977 ජේ. ආර්. ජයවර්ධන රජය ආහාර මුද්දර ක්‍රමය ද 1989දී ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනසවිය සහනාධාරය ද ආරම්භ කළේය. 1994 දී බලයට ආ චන්ද්‍රිකා කුමාරතුංග රජය ජනසවිය වැඩ සටහන අවලංගු කර එම වැඩසටහනම සමෘද්ධි නමින් තමන්ගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කළේය. ඉන්පසුව සමෘද්ධිය ක්‍රියාත්මක වෙන අතරම 2005 බලයට ආ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ‘දිවිනැගුම’ නමින් සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. රාජපක්ෂවරුන්ගෙන් ජනාධිපති පුටුව හිමි වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ‘අස්වැසුම’ නමින් සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මසකට රුපියල් පහලොස් දහසක් රජයෙන් පිරිනමයි. මේ අනුව බලනවිට ජනතාව යාචකයන් කර ඇත්තේ රජය විසිනි. 

සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් 20223 වසරේ දී රජය වැය කළ මුදල රුපියල් කෝටි 6600කි. සමෘද්ධි කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට වාර්ෂිකව රුපියල් කෝටි 1300ක් වැය වේ. රට තුළ සිටින සමෘද්ධිලාභී පවුල් ප්‍රමාණය ලක්ෂ 17කි. සමෘද්ධිය බලාපොරොත්තුවෙන් සමෘද්ධිය පොරොත්තු ලේඛනයේ රැඳී සිටින පිරිස පවුල් ලක්ෂ 11කි. එයට අමතරව රජයෙන් යම් දීමනාවක් ලබන ආබාධිත පුද්ගලයන් 72,000ක්ද වැඩිහිටි දීමනා ලබන හාර ලක්ෂයක් ද වෙති. 2013 වසරේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ සමෘද්ධිලාභීන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යාම සඳහා ලබාදුන් සහනාධාරවල එකතුව රුපියල් මිලියන 150954කි. සමෘද්ධි නිලධාරීන් ඇතුළු බැංකු සඳහා කළ වියදම රුපියල් මිලියන 5680කි. සමස්ත සමෘද්ධි වැඩසටහන සඳහා වියදම රුපියල් මිලියන 156634ක් විය. ඒ වසර පහක කාලයක් සඳහාය. සමෘද්ධිය ලබන පවුල් සංඛ්‍යාව රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 30කි. රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට තිහක් බලා සිටින්නේ රජයේ වියදමෙන් එදාවේල පියවා ගන්නටය.

ලාංකික ජනතාව තුළ යාචක මානසිකත්වයක් ඇති වූයේ මෙමරට පාලනය දේශීය දේශපාලකයන් අතට පත් වූ පසුවය. එයට පෙර පැවැති බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ ජනතාව ආණ්ඩුවෙන් කෑමට යමක් දෙනතුරු බලා සිටියේ නැත. එකල මෙකල මෙන් ආහාර සහ මූල්‍ය සහනාධාර ද ජනතාව නොලැබිණි.

යැපුම් මානසිකත්වය ජනතාව තුළ ඇති කළේ මෙරට පාලනය කළ දේශීය දේශපාලකයන් විසිනි. එයට හේතුව මැතිවරණවල දී ඡන්ද ලබාගත හැකි ස්ථාවර ඡන්ද බැංකුවක් ගොඩනගා ගැනීමය. තමන්ගේ පාක්ෂිකයාට රජයෙන් ආධාර මුදලක් දෙන මෙම ක්‍රමය නිසා පක්ෂයට ඡන්දය දෙන ස්ථිර ඡන්දදායක පිරිසක් ගොඩනැගුණි. ගම් මට්ටමේ දී කැපුවත් නිල් සහ කැපුවත් කොළ  ලෙස නාමකරණය වී සිටි මේ පිරිස තමන්ට හිතැති රජයෙන් කුමක් හෝ ආධාරයක් ලැබූ පිරිසකි. එජාපය ආහාර මුද්දර ද ජනසවිය ද වැඩිපුර ලබා දුන්නේ මෙම පිරිසටය. එනම් ‘කැපුවත් කොළ’ පාක්ෂිකයන්ටය. ශ්‍රීලනිපය  ‘සමෘද්ධි’ සහන සඳහා තෝරා ගත්තේ මේ පිරිසය. එනම් ‘කැපුවත් නිල්’ පාක්ෂිකයන්ය. මෙම පක්ෂ දෙකෙන් එක් පක්ෂයක් බලයෙන් ඇද වැටී අනෙක් පක්ෂය බලයට පත් වූ පසු තම විරුද්ධවාදීයාගේ සහනාධාර කපන්නට උත්සාහ කරනවිට රජයට  එරෙහි මතයක් ගොඩනැගීම ඔවුන්ගේ සුපුරුදු උපක්‍රමය විය. 

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ට කුමනාකාරයෙන් චෝදනා මතු කළත් ඔවුන් මෙරට යැපුම් මානසිකත්වයක් ජනතාව තුළ ඇති  නොකළ බව ඔවුන්ට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුය. මාළුවකු අල්ලා දෙනු වෙනුවට ඔවුන් සිදු කළේ මාළු ඇල්ලීමට බිලී පිත්තක් සැපයීමය. එමගින් මහන්සිවී උපයාගෙන ජීවත්වීමට මෙරට ජනතාව හුරු කළ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ඒ සඳහා ආධාර කරගත  හැකි රැකියා අවස්ථා ගණනාවක් ද බිහි කළහ. තේ, රබර් සහ පොල් ආශ්‍රිත වැවිලි කර්මාන්තය ඉන් ප්‍රධාන තැන ගනියි.

පොල් ගස මෙරට ජනයා හඳුන්වන්නේ කප් රුක වශයෙනි. කප් රුක යනු බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන දෙව්ලොව ඇති සිතූ පැතූ සම්පත් ලබාදෙන මහා වෘක්ෂයකි. එනිසාම පොල් ගස ද කප් රුකට සමාන කළේ පොල් ගසේ කඳ, ගෙඩි, අතු, කූරට ඇතුළු සියල්ලම මෙරට ජනයාට කප් රුකක ඵල ප්‍රයෝජන ලබාදුන් නිසාය. අතීත කාලයේ මෙරට පාසල්වල දෑතේ කර්මාන්ත ඉගැන්විණි. එම කර්මාන්ත පාසල් විෂය නිර්දේශයට ද ඇතුළත් කළේ ඉංග්‍රීසින් විසිනි. ඉංග්‍රීසින් කළ සෑම කටයුත්තක්ම මුදල් ඉපැයීමේ අරමුණින් කළ හෙයින් ලාංකිකයන්ගේ කප් රුක විවිධ අංශවලින් මුදල් ඉපැයීමේ මාර්ගයක් බවට පත් කළේය. එමගින් ඉංග්‍රීසින්ටද මෙරට වැසියාට ද ඵල ප්‍රයෝජන ලැබුණි. එනිසාම පාසල් වියේ සිටම දෑතේ වැඩම ඉගැන්වීය. කොහු තැළීම, ලණු ඇඹරීම, ඉදල් හා මුසුන් (කොස්ස) ගෙදරදීම නිර්මාණය කර ගැනීම පාසල් ළමයින්ට ඉගැන්වීමට ඉංග්‍රීසි පාලන කාලයේ සිටම කටයුතු යොදා තිබුණේ එය පාසල් සමයෙන් පසු ජීවන වෘත්තියක් ලෙසට ද යොදා ගැනීම සඳහාය. අරක්කු, රා, විනාකිරි, නිෂ්පාදනය ගසෙන් ද කොහුලණු හා කොසු නිෂ්පාදනය, පොල් ලෙල්ලෙන් ද, කොප්පරා - දිසිදි - පොල්තෙල් - පුන්නක්කු ආදිය පොල් ගෙඩියෙන් ද නිෂ්පාදනය කෙරේ.

මේ බොහෝ දෑ රට පැටවිණි. රටට විශාල ආදායමක් ගලා ආවේය. ඉංග්‍රීසින්ගෙන් පසු ලාංකික පාලකයන් අතට රටේ පාලනය භාර වූ පසු මෙම අගනා අපනයන මාර්ගය ක්‍රමානුකූලව වසා දැමිණි. මෙරටින් රට යැවූ කොහුබුරුසු වෙනුවට පිටරටවල කෘත්‍රිම බුරුසු මෙරටට ආවේය. මෙරටින් රට යැවූ පොල් අරක්කු වෙනුවට මෙරට වැසියාට බීමට පිටරට කාත්‍රිම අරක්කු ගෙනාවේය. මෙරට කොහුලණු රට පැට වූ අතීතය වසා දමා නයිලෝන් ලණු රටින් මෙරටට ආවේය. මෙරටින් රට ගවයන්ට යැවූ පුන්නක්කු නවතා දමා පුන්නක්කු කර්මාන්තය ද අත්හැර දැමිණි. අද පොල්තෙල් ගෙන එන්නේ ද පිටරටිනි. අපි මහරු ආදායමක් ගෙන දුන් “කප්රුක” වනසා දමා තුත්තිරි ගස් පෝෂණය කරමින් සිටිමු. 

පොල් ගසේ නිෂ්පාදනවලින් රටට විදේශ විනිමය ගෙන ආ යටත්විජිත යුගය හා ඉන්පසු දශක තුනක පමණ කාලයේ පොල් ආශ්‍රිත ආදායම විස්මය දනවන සුළුය. 1932 සහ 1955 අතර කාලයේ රටට වැඩිම විදේශ විනිමය ගෙන ආවේ පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තයෙනි. 

කොප්පරා යනු පොල් ගෙඩියෙන් ගන්නා ප්‍රධාන නිෂ්පාදනයකි. කොප්පරා සිඳීමෙන් එකල මාජරින් සහ සබන් සෑදුවේය. පසුකාලීනව මාගරින් සඳහා විදේශීය අමුද්‍රව්‍ය ද යොදා ගැනිණි. කොප්පරාවලින් තෙල් සිඳගත් පසු ඉතිරිවන කොටස හැඳින් වූයේ පුන්නක්කු හැටියටය. එකල රටේ බහුලව සිටි ගවයන්ගේ ප්‍රධාන ආහාරයක් වූයේ කොප්පරාවල රොඩ්ඩ වූ පුන්නක්කුය. පුන්නක්කු විශාල වශයෙන් රට පැටවීමද සිදුවිය. අද මේ සියල්ලම නැවතිලාය. 1934 වර්ෂයේ දී පුන්නක්කු හොණ්ඩර 623470 ක් පිටරට යවා රුපියල් දාසයලක්ෂ අසූහත්දාහක ආදායමක් ලබාගෙන ඇත. 1939 දී රුපියල් විසිලක්ෂයක කොප්පරා පිටරට යවා ඇත. එකල මෙම ආදායම විශාල මුදලකි.
කොප්පරා පිටරට පැටවීම රටට ඉහළ ආදායමක් ගෙන ආ මාර්ගයකි. 1949 දී කොප්පරා හොණ්ඩර

හාරලක්ෂ තිස්එක්දාහක් රට පටවා රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයක ආදායමක් උපයාගෙන ඇත. 1952 වසරේදී කොප්පරා හොණ්ඩර අටලක්ෂයක් රට පටවා රුපියල් තුන්කෝටි තිස්එක් ලක්ෂයක්ද 1955 වසරේදී පන්කෝටි හැත්තෑ දෙලක්ෂයක ආදායමක් ද රටට උපයාගෙන ඇත. එකල කොප්පරා මිලට ගත් ප්‍රධාන රටවල් වූයේ ඉන්දියාව, පාකිස්ථානය හා මහා බ්‍රිතාන්‍යයයි.

එයට අමතරව එකල කොහු ලණු ද රට පැටවිණි. 1949 දී කොහුලණු හොණ්ඩර 56777 ක් රට යවා රුපියල් විසිඑක් ලක්ෂයක ආදායමක් ද 1955 දී කොහුලණු හොණ්ඩර 58596 ක් රට පටවා රුපියල් විසිඅට ලක්ෂයක් ද රටට ලැබී තිබේ. දකුණු අප්‍රිකාව හා වෙනත් අප්‍රිකානු රටවලට කොහුලණු අපනයනය කර ඇත.

කොහුවලින් සකසා ගන්නා බුරුසු අදටත් මෙරට භාවිත වෙයි. එකල කොහු බුරුසු රට පැටවිණි. 1949 වසරේ කොහුබුරුසු හොණ්ඩර 188392 ක් රට යවා රුපියල් හතළිස්පන් ලක්ෂයක ආදායමක් ද 1955 දී හොණ්ඩර තුන්ලක්ෂයක් රට යවා රුපියල් අනූඅට ලක්ෂ අනූදාහක ආදායමක් ද උපයාගෙන ඇත. ඕලන්දය සහ ජර්මනිය එකල ලංකාවේ කොහුබුරුසු මිලදී ගත් ප්‍රධාන රටවල් වේ. 1949 දී මෙට්ට සඳහා ගන්නා කොහු ද අප්‍රිකාවට අපනයනය කර ඇති අතර හොණ්ඩර හයලක්ෂ හතළිස් හතරදාහක් රට යවා ලැබූ ආදායම රුපියල් අසූහතර ලක්ෂයකි. 1952 දී එක්කෝටි දාසය ලක්ෂයක ආදායමක් ද 1955 දී රුපියල් එක්කෝටි පනස්ලක්ෂයක ආදායමක් ද උපයාගෙන ඇත.

පොල් ගසේ ඊළඟ ප්‍රයෝජනය පොල්තෙල්ය. එකල පොල්තෙල් වැඩි ප්‍රමාණයක් සිඳගත්තේ සෙක්කුවෙනි. පොල්තෙල් 1949 වසරේ හොණ්ඩර දාහත්ලක්ෂයක් රට පටවා රුපියල් දොළොස්කෝටි දහතුන්ලක්ෂයක ආදායමක් ද 1952 වසරේදී දහතුන් කෝටියක ආදායමක් ද 1955 වසරේ එකොළොස් කෝටියක ආදායමක් ද ලබා ඇත. එම කාලය වනවිට පොල්තෙලට තරගකාරීව තල්මස් තෙල් හා සෝයා බෝංචි තෙල් වෙළෙඳපොළට පැමිණීම නිසා පොල්තෙල් අපනයන ආදායම අඩුවී තිබේ. 1952 වනවිට මෙරට සෙක්කු භාවිතය අවම වී යන්ත්‍රවලින් පොල්තෙල් සිඳීම ආරම්භ වී ඇත. චීනය, ඉන්දියාව, කැනඩාව, ඉතාලිය හා ඕලන්දය එකල මෙරට පොල්ලේ මිලදී ගත් ප්‍රධාන රටවල්ය. කැපූ පොල් (ඩීසී) රට යැවූ තවත් පොල් නිෂ්පාදනයකි. 1952 දී හොණ්ඩර එකොළොස් ලක්ෂයක් රට පටවා රුපියල් හයකෝටි පනස් දෙලක්ෂයක ආදායමක් ද 1955 දී පන්කෝටි හතළිස් ලක්ෂයක ආදායමක් ද ලබා තිබේ.

අප පොල් ගස ආශ්‍රිතව මෙතරම් කරුණු දැක්වූයේ එමගින් අතිවිශාල පිරිසක් ජීවන වෘත්තිය සලසාගත් නිසාය. කප් රුක ආශ්‍රිත කර්මාන්ත වැසී යාම නිසා මේ පිරිසට අනුන්ට අතපෑමට සිදුව තිබේ.

අද මෙවැනි කර්මාන්ත රට තුළ නැත. ගෙදර පොල් ගසෙන් පොල්තෙල් සිඳගැනීම අතැර දැමූ ගැමියන් පවා පොල්තෙල් ගෙන එන්නේ වෙළෙඳසලෙනි. ඒ පොල්තෙල් විවිධ අපද්‍රව්‍ය කලවම් වූ ඒවාය. ඒවා පරිභෝජනය කළ දා සිට විවිධ රෝගාබාධ වැලඳෙයි. ගසෙන් වැටෙන පොල්ලෙලි නිකරුණේ දිරාපත් වෙයි. එසේ නැතිනම් දර වෙනුවට ළිපට යයි. රට තුළ පොල් ලෙල්ලෙන් කළ කොහුලණු කර්මාන්තය පිරිහිලාය. ඒ වෙනුවට විදේශයෙන් නයිලෝන් කඹ ගෙන එයි. පොල් ආශ්‍රිත අරක්කු කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැනසී ගොසිනි. ඒ වෙනුවට පිටරටින් ගෙන එන එතනෝල් යොදා අරක්කු නිෂ්පාදනය වෙයි.

එතනෝල් ස්ප්‍රීතු ගෙන ඒම දේශපාලකයන්ට කප්රුකකි.

එපමණක් නොවේ. උදේ හීලට සහ අතරමැදි වේලාවට අල බතල, කුරහන් තලප, තල් හා කිතුල් පිටියෙන් නිපද වූ රොටී ආදිය ගමේ වත්තෙන්ම සපයාගෙන ආහාරයට ගත් ජීවන රටාව අතීතයට එකතු වී ගොසිනි. ඒ වෙනුවට ඇමරිකානු සමාගම් පොහොසත් කරමින් ගෙන එන පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදන උදේ හීල සහ අතරමැදි ආහාර රුචිය ගිලගෙන ඇත. ගෙදර බුලත් වැල කපා දමා කඩෙන් ගත් බුලත්විට සපන ජනතාවක් සිටින රටක මෙම දේශීය ආහාර රටාව ගැන සිහිපත් කිරීමත් විහිළුවකි. එහෙත් අප මතක තබාගත යුතු වන්නේ ආණ්ඩුවේ භාණ්ඩාගාරය හිස් කරමින් සහනාධාර මත යැපෙන ජීවන රටාවට හුරු වූයේ අප විසින්ම බවය. දේශපාලකයන්ට ජාතික ධනය කොල්ලකෑ චෝදනාව එල්ල කළ ද එයින් අඩකටත් වැඩි ප්‍රමාණයක් කොල්ලකෑවේ රටවැසියන් වන අප විසින්ම බවය. එවැනි ජාතියක් දිනෙන් දිනම පරාදීන වනවා මිස දියුණුව කරා පා තබන්නේ නැත.

මෙතෙක් සිටි සෑම පාලකයකුම අයවැය යෝජනාවලිය සකස් කරද්දී මුහුණ පෑ දුෂ්කරතාවට වත්මන් ජනාධිපතිවරයා ද මේ වනවිට මුහුණපා ඇත. ඒ සහනාධාර අඩු කළහොත් නැග එන මහජන විරෝධයට මුහුණදීමේ ගැටලුවටය. එනිසා මෙවර අයවැය ද උපයන සොච්චම් මුදල පෙරළා රටවැසියන්ටම පුදන අයවැයක් වනවාට කිසිදු සැකයක් නැත.

ප්‍රේමකීර්ති රණතුංග