මාලිමාවත් ගෑවුණු අනුරාධපුරේ කුඩු ජාවාරම


මිද්දෙණියේ අයිස් හැදීමට යොදාගන්නා බව කියන අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් පෙට්ටි දෙකක් හමුවීමත් සමඟ චෝදනා එල්ලවුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාවජීව සාමාජිකයකු සහ අපේක්ෂකයකු වූ පියල් මනම්පේරි සහ සම්පත් මනම්පේරි හටය. ඔවුන්ගේ නම් ගම් හෙළිවීමත් සමඟ ආණ්ඩුවේ මැති ඇමතිවරු සුළුතරයක් හිටපු ආණ්ඩුවල ලොක්කන් සමඟ මනම්පේරිලා ලබාගත් ඡායාරූප පෙන්වමින් චෝදනා ගොනුකරන්නට වූයේ සියල්ලෝම “කුඩ්ඩන්”‍ ලෙසිනි. එහෙත් එය ඉතාමත් වැරදි ක්‍රියාවක් වන අතර අදාළ පරීක්ෂණ සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වීමක් බව අපගේ විවේචනය විය. දේශපාලඥයන් සමඟ සිටි පමණින් කිසිවකුවත් චෝදනා එල්ල කළ නොහැක. ඔවුන් නිවැරදි නම් ඒ බව ඔප්පු කිරීමේ අවස්ථාව ලබාදීම එකී දේශපාලනයේ වගකීම බව අප නැවත නැවතත් කියන්නෙමු.

සම්පත් මන්ම්පේරි සමහර චෝදනාවලට වැරදිකරු වී දඬුවම් ලැබූ අයකු වන අතර එවන් පුද්ගලයකුට අපේක්ෂකත්වය ලබා දුන්නේ කෙසේද යන ප්‍රශ්නයක් ඇත. වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර චෝදනා රැසක් එල්ල වී දඬුවම්ද හිමි වූ අයෙකි. ඔහුට අපේක්ෂකත්වය ලබාදුන්නේ ඇයිද යන ප්‍රශ්නය අපට ඇත. එවන් ප්‍රශ්නයක් විපක්ෂයේ ක්‍රියාකාරකම් හමුවේ ඇතිවෙනවා නම් ආණ්ඩුවේ අයකුගේ එවැනි ක්‍රියාවකදී එවැනි ප්‍රශ්න මතු නොවෙන්නේ නම් එය වහල් බව මිසක් වෙන කිසිවක් නොවන බවද සඳහන් කළ යුතුය. ඒ බව මතක් කරමින් මෙම කතාව පටන් ගන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න රැසක් අප හමුවේ ගොඩනැගෙන නිසාය.

විදුහල්පති පියා සහ පුතාගේ කුඩු සෙල්ලම 

පසුගිය මාසයේ ඉපලෝගම පොලිසියට ඔත්තුවක් ආවේ මහඉලු‍ප්පල්ලම ප්‍රදේශයට පැමිණෙන අයකු විසින් හෙරොයින් ජාවාරමේ නිරත වන බව කියාය. ඒ අනුව මේ සම්බන්ධයෙන් පූර්ණ ආවේක්ෂණ රාජකාරියක් සිදුකළ අතර එහිදී ඉපලෝගම පොලිසියට සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට හැකි විය. අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ මහඉලු‍ප්පල්ලම ප්‍රදේශයට මත්කුඩු රැගෙන එන්නේ ඇඳගල ප්‍රදේශයේ අයකු විසින් බවය. ඒ අනුව පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් සූදානම් කළ අතර අදාළ සැකකරු එක්තරා ස්ථානයකින් හෙරොයින් තබන විට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20ක්ද සමඟය. ග්‍රෑම් දෙකට වැඩි නම් මරණ දණ්ඩනය හිමි වන බව අමතුවෙන් කිවයුතු නැත.

සැකකාර විදුහල්පතිගේ මාලිමා නාගරික මන්ත්‍රී බිරිඳ

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කරන විට ඔහු 26 හැවිරිදි හිරාන් නම් විය. හිරාන් අත්අඩංගුවට ගත්පසු සැකකරුගේ පියා සහ මව පොලිසියට කඳවූ අතර එහිදී හෙළිවුණේ පියා විදුහල්පතිවරයකු බවත් මව ජාතික ජනබලවේගය නියෝජනය කරන පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් බවත්ය. පුදුමය නම් බඩුත් සමඟ හොරා අසුවුණත් සැකකරුත් සැකකරුගේ මාපියනුත් එය කිසිසේත් පිළිනොගැනීමයි. කීවේ පුත්‍රයා නිර්දෝෂී බව කියාය. කෙසේ වෙතත් ඉපලෝගම ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ඉන්ද්‍රජිත් ඒකනායක මහතා සැකකරු සඳහා දින හතක රැඳවුම් නියෝගයක් ලබාගත් අතර එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. එහෙත් සැකකරු ලිස්සා යමින් තමන් කුඩුවලට සම්බන්ධ නොවන බව දිගින් දිගටම කීවේය.

මේ අතර සැකකරුගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහුගේ වට්ස්ඇප් අංකයේ ඩුබායි ශෂී නමැති අයකුගේ නොම්බරයක් සඳහන් වී තිබූ අතර ඔහු සමඟ නිතර කතාබහ කරන බව පොලිසියට දැනිණ. මෙම සැකකරු රුඳවුම් භාරයේ සිටින විට ඔහුගේ පියාත් මිත්‍රයකුත් නිතර ආ ගිය බව සඳහන් වේ.

අනුරාධපුර අපරාධ කොට්ඨාසයට පසුගිය සතියේ ඔත්තුවක් ලැබෙන්නේ යම් පුද්ගලයකු මත්කුඩු ජාවාරමේ යෙදෙන බවත් ඔහු සන්තකයේ විශාල මත්කුඩු තොගයක් තිබෙන බවත්ය. ඒ අනුව ඔවුන්ද ආවේක්ෂණ රාජකාරි කිරීමෙන් පසුව තරුණයකු අත්අඩංගුවට ගත් අතර ඔහු තරිඳු නම් විය. අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු සන්තකයේ තිබූ හෙරොයින් සොයාගැනීමට හැකි විය.

ආණ්ඩුවට කැළලක් 

එම සැකකරුගෙන් දීර්ඝ ලෙස පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් සන්තකයේ විශාල ගණනින් හෙරොයින් නොමැති බවත් තම මිත්‍රයා සන්තකයේ තිබෙන බවත් ය. කෙසේ වෙතත් සැකකරු මිත්‍රයා ලෙස සඳහන් කළ පුද්ගලයා සැබැවින්ම මිත්‍රයෙක් නොව ඔහුගේ ස්වාමියා විය. මෙම සැකකරු අදාළ ස්වාමියාට අයත් හෝටලයක සූපවේදියා විය. කෙසේ වෙතත් සැකකරු වැඩි දුරටත් පවසන්නේ අදාළ මිත්‍රයා දැනට බන්ධනාගාර ගතවී ඇති බවත් ඔහුට අයත් පාර්සලයක් නිවසින් ගෙනැවිත් හෝටලය ආසන්නයේ ඇති වැවක් සමීපයේ එය සඟවන්නට කියූ බවත්ය. එහෙත් නැවතත් තම සැකකාර මිත්‍රයාගේ පියා පැමිණ අදාළ පාර්සලය තමාගෙන් ගත් බවද ඔහු කීවේය. ඒ අනුව වහාම පොලිසිය අදාළ සැකකරු සොයා ගියේය. ඒ සැකකරුගේ හෝටලය වෙතය.

සැකකරුවන් උසාවි ගෙන ආදා

හෝටලයේදී සැකකරු අත්අඩංගුවට ගත් අතර අදාළ හෙරොයින් පාර්සලය කොහේ දැයි පොලිසිය ප්‍රශ්න කළ විට සැකකරු සඳහන් කර සිටියේ හෝටලය ආසන්නයේ වත්ත පහළ වළ දමා ඇති බවය. ඒ අනුව පොලිසිය සැකකරු සමඟ ගොස් වළදමා ඇති ස්ථානයෙන් සැකකරුගේ ප්‍රකාශ මත පාර්සලය ගොඩගත්තේය. එහි තිබී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම්180 ක් සොයා ගැනීමට හැකි විය. පුදුමය නම් මොහු එප්පාවල ප්‍රාථමික විද්‍යාලයක වැඩබලන විදුහල්පති වීමය. එපමණක් නොව මොහු ඉපලෝගම පොලිසිය විසින් 29 දා හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ අත්අඩංගුවට ගත් හිරාන් නමැත්තාගේ පියා බවද හෙළි විය. මෙම සැකකරුගේ බිරිඳ වූයේ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී දිස්නා නිරංජලා ය. රටම එකට මෙහෙයුමේ ආණ්ඩුව නියෝජනය කරන අයකුගේ පාර්ශ්වයක් අත්අඩංගුවට ගත් පළමු මොහොත මෙය විය.

ඒ අනුව සැකකාර විදුහල්පති ජයන්තගෙන් ප්‍රශ්න කරන විට ඔහු සඳහන් කර ඇත්තේ පුත්‍රයා රැඳවුම් භාරයේ සිටින විට පුත්‍රයා බලන්න ගිය තම හෝටලයේ සූපවේදියා වන තරිඳු හට ගෙදර තිබූ හෙරොයින් පාර්සලය රැගෙනවිත් සඟවන්නට කියා ඇති බවය. එහෙත් තමන් පසුව ගිය පසු පුත්‍රයා සඳහන් කර ඇත්තේ තරිඳු සොරාගනී යන සැකයට අදාළ පාර්සලය තරිඳුගෙන් රැගෙනවිත් හෝටලයේ සඟවන්නට කියූ බවය. ඒ අනුව තමා එය සැඟවූ බව ඔහු කීවේය. සැකකරුගේ ප්‍රකාශ මත පසුගිය බදාදා සවස ඔවුන්ට අයත් කැලණිය නිවසක්ද පරීක්ෂා කළ අතර එහි තිබී කිසිවක් සොයාගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ සැකකරුගේ සොහොයුරකුගේ පුත්‍රයෙක් ඩුබායි රාජ්‍යයේ සිටින බවත් ඔහු සමඟ එක්ව සැකකරුගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවත්ය. එම ඩුබායි පුද්ගලයා ඩුබායි ශෂී නම් විය. ඩුබායි ශෂී යනු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකි.  පුදුමයට කරුණ වන්නේ කොස්ගොඩ සුජී සැකකාර විදුහල්පතිවරයාගේ මන්ත්‍රී බිරියගේ ඥාතියකු වීමය. ඒ නිසා වැඩේ තව තවත් සංකීර්ණ විය. මේ නිසාම පොලිසිය සැකකරුවන් දෙදෙනාට දින හතක රැඳවුම් නියෝගයක් ලබාගත්තේය.

පැටිකිරිය නොබැලීමේ විපාක  

දැන් අපට ඇති ප්‍රශ්න කිහිපයකි. එනම් මෙම මන්ත්‍රීවරිය මීට පෙර තලාව ප්‍රාදේශීය සභාවට එජාපයෙන් තරග කර පසුව ජාතික ජන බලවේගයට එක්වූ තැනැත්තියකි. එසේ එක් කරගන්නා විට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තිබුණේ නැද්ද. මෙම මන්ත්‍රීවරියගේ පුතා මීට පෙරද යම් යම් චෝදනාවලට අත්අඩංගුවට ගෙන තිබුණත් ඒ පිළිබඳව හෝ මාලිමාව දැන සිටියේ නැද්ද? ඒ සියල්ල පැත්තක තැබුවත් අදාළ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගන්නේ පසුගිය 29 දාය. ස්වාමියා අත්අඩංගුවට ගන්නේ පසුගිය 5 දාය. දවස් හතක් යන තෙක් ආණ්ඩුවට මේ ගැන තොරතුරක් ආවේ නැද්ද. අඩුම තරමින් බුද්ධි අංශවලින් හෝ එසේ ආවා නම් ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් නොකළේ ඇයි. පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම නොකළේ ඇයි? ඇය පසුගිය බ්‍රහස්පතින්දා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන තෙක් ආණ්ඩුව ගත් පියවර කුමක් ද? ගත් පියවරක් නැත.

අත්අඩංගුවට ගත් වැඩබලන විදුහල්පති

එහෙත් ආණ්ඩුව ගත් හොඳම පියවර වන්නේ වෙන දෙයක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා නොකර සිටීමය. කිසිදු අයකු බේරා ගැනීමට හෝ වැලඳ ගැනීමට ආණ්ඩුවේ කිසිම අයකු ඉදිරිපත් නොවීමය. එයට අප ගරු කළ යුතු අතර ආණ්ඩුව එක දෙයක් මතක තබා ගතයුතුව ඇත. එනම් කිසිදු තැනක සීයට සීයක් ශුද්ධවන්තයන් නොමැති බවය. ඔය කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු ඇති බව හොඳින් මතක තබා ගත යුතුය. ඒ නිසා දැන්වත් තමන්ගේ පක්ෂයේ අයගේ බුද්ධි අංශ වාර්තා ගෙන රැල්ලට ආ අයගේ කැරැට්ටුව පරීක්ෂා කළොත් නරකදැයි අපට විමසීමට සිදුව තිබේ.

ගයාන් ගාල්ලගේ