මම කියපු විදියට වැඩ කළා නම් ගෝඨාභය අදටත් ජනාධිපති


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

  • ගෝඨාභයට එකතු වෙන්න කියලා 2019 ජනපතිවරණ කාලෙ ඉඳලම මට පණිවිඩ එව්වා
  • මම විතරක් නෙවෙයි මගේ දරුවොත් ගෝල්ෆේස් ගිහින් අරගලයේ සිටිය අයට කෑම බීම බෙදුවා
  • මහජන ආරක්ෂක ඇමැති ධුරය භාරගන්න කියලත් එක අවස්ථාවක මට කිව්වා

 

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ එක්වේ.  

 

?අගෝස්තු 9 වැනිදා අවසන් සටනට එන්න කියලා ඔබ දිගින් දිගටම කිව්වා. කියපු තරම් කට්ටිය ආවද?

 

 

  
වර්තමාන අරගලය තියෙන්නේ ගාලුමුවදොර හෝ වෙනත් තැනක නෙවෙයි. අරගලය තියෙන්නේ රටේ සියලු ජනතාවගේ හදවතේ. ඒ ජනතාව අරගලය ජයග්‍රහණය කරන්න ඕනැ කියන අදහසේ ඉන්නවා. මේ වෙනකොටත් අරගලය හරහා විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රටට ලැබිල තියෙනවා. දැන් සමහරුන්ට ඒක අමතකයි. විධායක ජනාධිපති කෙනෙක් ගෙදර යැව්වේ මේ අරගලයෙන් තමයි. නව ජනාධිපතිගේ මර්දන ක්‍රියා පිළිවෙත හමුවේ අරගලයේ තරුණ පිරිස විශාල පීඩාවකට ලක්වෙලා සිටිනවා. සමහරු හිරගෙවල්වල. තවත් සමහරුන්ට වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ශීඝ්‍රයෙන් අනිසි විදියට අරගලය මර්දනය කරන්න හදනවා. දැන් අරගලයේ සියලු දෙනා ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මේ මර්දනයට එරෙහිව. මේ සඳහා අරගලකරුවන්ට මගේ සහයෝගය දිගටම මම ලබා දුන්නා. හැමදාම අරගලය කොහේද කරන්නේ කවදද කරන්නේ කොහොමද කරන්නේ කියල තීන්දු තීරණ ගත්තේ අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයො. මම අරගලයේ නායකයෙක්වත් මෙහෙයුම් ප්‍රධානියෙක්වත්, සංකල්ප හදන කෙනෙක්වත් නෙවෙයි. මම සක්‍රීයව අරගලයට ශක්තිය සපයන්නෙක්. අරගලයේ ක්‍රියාමාර්ග සහ හැඩය වෙනස් වුණාට ඒකෙ අරමුණ වෙනස් වෙලා නෑ. ඒ අරමුණු ජයගන්න පෙළගැසෙමු කියල තමයි මම ආරාධනා කළේ. ඒකට බොහෝ දෙනෙක් ඇහුම්කන් දීලා තිබුණා.  


?අරගලයේ තිබුණු එක සටන් පාඨයක් තමයි පාර්ලිමේන්තුවෙ 225 එපා කියන එක. ඒත් ඔබට අරගලය පැත්තෙන් පිළිගැනීමක් හම්බවෙනවා ඒකට ගියාම. ඒ වෙල්කම් එකේ රහස මොකක්ද?  


ඒකේ රහසක් නැහැ. අරගලයේ ඉලක්ක, අරමුණු මම මගේ දේශපාලන ජීවිතේ මුල ඉඳලම කතා කරපු දේවල්. මගේ පාර්ලිමේන්තු කතා අරගෙන බැලුවොත් ඕනැ කෙනෙකුට ඒක පැහැදිලි වෙයි. මේ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන. දූෂිත දේශපාලකයො නෙරපා හරින්න ඕන. දූෂණය වංචාව නැවැත්වීමට පියවර ගන්න ඕනැ කියන කාරණා මම නිතරම කියපු දේවල්. අරගලයේ සටන්පාඨ වුණෙත් ඒවා. ඊට අමතරව ‘ගෝඨා ගෝ හෝම්’ කියන එක ඉදිරියට ආවා. ගෝඨාභයට යන්න කිව්වෙ ඔහු අකාර්යක්ෂම හින්දා. ඔහුගේ වැරදි තීන්දු නිසා රට අමාරුවෙ වැටුණු හින්දා ඔහුට යන්න කිව්වෙ. ඊට පස්සෙ ‘මයිනා ගෝ හෝම්’ කියලා මහින්ද රාජපක්ෂත් අගමැති පුටුවෙන් යැව්වා. ඒ වගේම කපුටු කාක් කාක්’ කියලා බැසිල් රාජපක්ෂත් යැව්වා. මම අරගලයේ තරුණ තරුණියන් ඉන්න මතයේ මුල ඉඳලම හිටියා. පාර්ලිමේන්තුවෙන් මම තමයි වැඩිපුරම අරගලය ගැන කතා කරපු කෙනා. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මම අරගලයේ අරමුණු ගැන දිගටම කතා කළා. මම ඒවා එළියේ කිව්වා නම් සමහරවිට මගෙනුත් සී.අයි.ඩී. එක ප්‍රශ්න කරාවි. මම අරගලය ශක්තිමත් කරන්න හැමවිටම කතා කළා. මගේ ඒ කතා අරගලයේ ඉඳපු අය අහන්න දකින්න ඇති. ඒක නිසාම වෙන්න ඇති මුලඉඳලම ඔවුන් මට පණිවුඩ එව්වා. අරගලයට සහභාගි වෙන්න එන්න කියලා. අරගලයේ ඉදිරිපෙළ නායකයෝ කීප දෙනෙක් මේ ආරාධනාව මට කළා. ඒක නිසා මම ගියා.  


?ඔබ අරගලයට කෑම බීම එහෙමත් බෙදවලු නේද?  


 මම විතරක් නෙවෙයි මගේ දරුවොත් නිවාඩුවට ලංකාවට ඇවිත් ඉඳපු දවස් ටිකේ ඒ අයත් ගෝල්ෆේස් ගිහින් අරගලයේ ඉඳපු අයට කෑම බීම දුන්නා. අරගලයට විතරක් නොවේ මගේ ගෙදර ඉස්සරහ ඉන්ධන පෝලිමේ ඉන්න අයටත් පුළු පුළුවන් වෙලාවට මම කිරි පැකට් වගේ දේවල් ගිහින් දුන්නා. ජනතාවගේ දුක අපිට තේරෙන හින්දා අපි එහෙම කරනවා. ඒක නිසා අපිට ඕනැ තැනකට යන්න පුළුවන්. ජනතාව අතරට ඕනැ වෙලාවක යන්න පුළුවන්. මම විතරක් නෙවෙයි මම දන්න කියන ධානපතියන්ට කියලත් අරගලයට කෑම බීම සැපයුවා. රට වෙනුවෙන් සටන් කරන ඕනැම කෙනෙකුට අපේ ආශිර්වාදය හිමි වෙනවා.  


?අරගලයට විවිධ දේශපාලන චරිත බැස්සේ දේශපාලන අරමුණු එක්ක කියලත් ඔවුන් අරගල භූමියට තම තමන්ගේ ඉත්තො යවලා ඉන්නවා කියලත් විවිධ අය චෝදනා කළා. ඔබට මේ චෝදනාව අදාළද?  


මඩගහන, අවලාද කියන උන් කියන දේවල් නම් මම සත පහකට ගණන් ගන්නෙ නෑ. මගේ දේශපාලන කතා මුල ඉඳලම බැලුවොත් ඕනැ කෙනෙකුට පැහැදිලි වෙනවා මම මේවා කිව්වේ කොයි කාලෙ ඉඳලද කියලා. අරගලය දැන් ඉල්ලන දේ මම මේ අවුරුද්ද මුල හරිය රටේ විවිධ තැන්වල රැස්වීම්වලට ගිහිල්ලත් කියල තියෙනවා. මිරිහානෙ සිද්ධිය වෙන්න ගොඩක් දවසකට කලින් මම ඒ අය කියපු දේ රටට කිව්වා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන මම ගොඩක් දේවල් කිව්වා. මේ හැම ප්‍රශ්නෙකටම හේතුව ඒකනේ. ඒක නිසා අරගලය දැකලා ඒකට ගිහින් හෝ මගේ කවුරු හරි අරගලයේ ඉත්තො විදියට දාලා දේශපාලන වාසි ගන්න මට ඕනැ කමක් නෑ. ඒක නිසා ඔය මඩගහන අයගෙ කතා මට අදාළම නෑ.  


?අරගලයෙන් ඔබව පිළිගනිද්දි ඔබේ නායක සජිත් ප්‍රේමදාස පහරදීලා පන්නනවා. මෙහෙම වෙන්නේ කොහොමද එතකොට?  


නායකතුමාට ප්‍රහාරයක් එල්ල වුණාට අපේ පක්ෂයේ ස්ථාවරය වුණේ අරගලයට ආශිර්වාද කරනවා කියන එක.  


?හැබැයි ඒක ඇරඹුනේ නිර්පාක්ෂික අරගලයක් හැටියට, දේශපාලන චරිත එතෙන්ට ගියාම තමයි එක එක ලේබල් වැදුණෙ.  


මම අරගලයට ගියෙත් නිර්පාක්ෂික පුද්ගලයෙක් හැටියට මිසක් මම සමගි ජනබලවේගයේ සභාපති හැටියට නෙවෙයි. මම එතන ගිහින් පක්ෂය වෙනුවෙන් පෙනී හිටියෙවත් පක්ෂය ප්‍රවර්ධනය කරන්න ගියේවත් නෑ. කොටින්ම මම පක්ෂ දේශපාලනය ගැන වචනයක්වත් කතා කළේ නෑ. මම කතා කෙරුවෙ රට ගැන. දේශපාලනයෙන් තොරව අපි සමාජයේ යම් යම් තැන්වලට ගිහින් වැඩ කරනවා.  


?ගෝඨාභය රාජපක්ෂ එක්ක ඇයිහොඳයියක් නොතිබුණු ඔබට, රාජපක්ෂලාට දිගින් දිගටම පහර දීපු ඔබට, ‘ගෝඨා ගෝ හෝම්’ කියල කියපු අරගලයට සක්‍රීයව දායක වුණු ඔබට ගෝඨාභය රාජපක්ෂම අඬගහලා අගමැතිකම බාරගන්න කියල කියනවා. මේ පරස්පරය අපි තේරුම් ගන්න ඕනැ කොහොමද?  


ගෝඨාභය 2019 ජනාධිපතිවරණය කාලේ ඉඳලම මට පණිවිඩ එව්වා. ඇවිත් එයා එක්ක එකතුවෙලා රට හදන්න සහයෝගය දෙන්න කියලා. එක අවස්ථාවක මට කිව්වා මහජන ආරක්ෂක ඇමැති ධුරය බාරගන්න කියලත්. මම ඒ පණිවිඩය ගෙනාපු කෙනාට කියල ඇරිය මම ඒක බාර ගත්තොත් ඉස්සෙල්ලාම අත්අඩංගුවට ගන්න වෙන්නේ ගෝඨාභයමයි කියලා. ආපහු වතාවක් එයා අතේම පණිවිඩයක් එවලා තිබුණා මුදල් අමාත්‍යාංශය හැර අනික් ඕනැම එකක් දෙන්නම් කියලා. මම ඒ අවස්ථාවෙ ඒක පිළිගත්තෙ නෑ. ඊට පස්සෙත් කීප වතාවක් පණිවුඩ එව්වා.  


ගාලු මුවදොරට ප්‍රහාරයක් එල්ල වුණාට පස්සෙ ඔහු මට කතා කළේ රටේ ආරක්ෂාව ගැන කතා කරන්න එන්න කියලා. ඒකටයි මම ගියේ. මම අවුරුදු දොළහක් විතර එයා මුණගැහිලා කතා කරල තිබුණෙ නෑ. ඒ කතා කර කර ඉන්නකොට තමයි එකපාරටම කිව්වේ ‘මම හැමදාම ඔයාට පණිවිඩ එව්වනේ සරත් දැන්වත් අගමැතිකම බාරගන්න’ කියලා. දැන් බාරගන්නව නම් දැන් ඒක ඔයාට දෙනවා කියල කිව්වේ. මම කිව්වා අගමැතිකම බාරගන්න නම් මගේ පැත්තෙනුත් කොන්දේසි කීපයක් තියෙනවා කියලා. මුලින්ම මම ඇහුවා ඇයි ඔබතුමා අගමැතිකම සජිත් ප්‍රේමදාසට ගන්න කියන්නෙ නැත්තෙ කියලා. එතකොට එතුමා කිව්වෙ ‘සජිත් මට යන්න කියනවනේ ඒක නිසා එයාට දෙන්නෙ නෑ කියලා. මම ඒ වෙලාවෙ කිව්වා ‘මම ඔබතුමාගෙන් මස් රාත්තලම ඉල්ලන්නෙ නෑ. හැබැයි රටේ ජනතාව ඔබට යන්න කියන නිසා පියවරක් පස්සට අරන් ජනතාව තුළ විශ්වාසයක් ඇතිකරන්න. ඒ වගේම 19 සංශෝධනය ගේන්න ඕනැ සියලු ඇමැතිකම් අතඅරින්න. එහෙම කළොත් මම අගමැතිකම බාර අරගෙන ඔබතුමාගේ ආරක්ෂාවත් තහවුරු කරන්නම් කියලා. මගේ පක්ෂයටත් කතා කරලා අරගලයේ සාමාජිකයන්ටත් කතා කරලා මේ ගැන තීරණයක් ගනිමු කියලත් කිව්වා. එතකොට ගෝඨාභය කැපකිරීමක් කළා කියලා රටේ ජනතාවට විශ්වාසයක් ඇතිවෙන බව මම එතුමාට කිව්වා. එතුමා ඇහුවා ආරක්ෂක අමාත්‍යාංශය තියාගත්තට කමක් නෑ නේද කියලා. මම කිව්වා ඒකත් අත අරින්න කියලා. අන්තිමේ ඒකටත් එකඟවුණා. මම කිව්වා එහෙම වැඩේ සිද්ධ වෙනව නම් ජාතිය අමතලා රට පිළිගත්තු අයකුට අගමැතිකම බාරගන්න ආරාධනා කරනවා කියලා ප්‍රකාශයක් කරන්න කියලා. මම පැය හතළිස් අටක් ඉල්ලුවා මගේ තීරණය දෙන්න. ඒකට එකඟ වුණා.  


?හැබැයි වැඩේ ගැස්සුනා නේද?  


 ටික වෙලාවකින් එතුමා මට කතා කරලා කිව්වා තරහවෙන්න එපා සරත් ඔයාට අගමැතිකම දෙනවට මහින්ද රාජපක්ෂයි, චමල් රාජපක්ෂයි කැමැති නෑ කියලා. පස්සේ මට පක්ෂෙ කට්ටියගෙන් ආරංචි වුණා මම ආරක්ෂක ඇමැතිකමත් ඉල්ලපු නිසා ඒ අය බයවෙලා කියලා.  


?එතකොට ඔය අතරෙ තමයි රනිල් වික්‍රමසිංහ වැඩේ ගොඩදාගෙන තියෙන්නේ?  


මම හම්බවෙලා ටික වෙලාවකට පස්සේ රනිල් වික්‍රමසිංහ ගිහින් ගෝඨාභය හම්බවෙලා තියෙනවා. එතුමා කොන්දේසි මොකුත් නැතුව ගෙඩිය පිටින් බාරගත්තා. ඒ බාර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ගෝඨාභයට ගෙදර යන්න සිද්ධ වුණා. මම කියපු විදියට වැඩ කළා නම් ගෝඨාභය අදටත් ජනාධිපති. 

 
?ඔබ සහ රාජපක්ෂලා අතර තිබුණු දරුණු විදියේ නොපෑහීම රටම දන්න කාරණයක්නෙ. කොහොමද එකපාරටම ගෝඨාභයට සරත් ෆොන්සේකාව ඔච්චරම විශ්වාසවන්තයා වුණේ?  


මම හිතන්නේ එයාට වෙන විකල්පයක් තිබුණෙ නැතුව ඇති. එයා මීට කලිනුත් සමහරු එක්ක කියලා තිබුණලු මට සරත් ෆොන්සේකා වගේ දහදෙනෙක් හිටිය නම් රට හදනව කියලා. කරපු වැඩ අසාර්ථක වෙද්දී එහෙම හිතෙන්න ඇති. එයාගෙ පැත්තෙ සුදුස්සෙක් නැති හින්දනෙ මට කතා කරන්නෙ.  


?ඔබ දිගින් දිගටම ගෝඨාභය දුර්වල පුද්ගලයෙක් කියලා කිව්වනේ. ඔහු යුද්දෙ කරපු හැටි ගැනත් ඒ කාලේ කිව්වනේ ඔබ. පස්සේ එයා ජනාධිපති වෙලා ඔබ අගමැතිවෙලා ඒ සුසංයෝගයෙන් රට ගොඩදාන්න කියලා හිතෙන තැනට ඔබ වැටුණෙ කොහොමද?  


ඒක තමයි මම කිව්වෙ ව්‍යවස්ථා වෙනසකින් බලතල අගමැතිට ලැබෙන්න ඕනැ කියලා.  


?ඔබ හැදුවෙ ගෝඨාභය හිර කරන්නද?  


හිරකරන්න දෙයක් නෑ. නාහෙ ගාවට වතුරෙ ගිලිච්ච මිනිහෙක් තවත් හිරකරන්නේ මොකක්ද? මම ඒ අදහස ඉදිරිපත් කළේ රට ගැන හිතල මිසක් කවුරුවත් හිර කරන්න නෙවෙයි. එහෙම නැතුව මමත් රනිල් වික්‍රමසිංහ වගේ දුවල ගිහින් ඔහේ අගමැතිකම බාරගත්ත නම් අද රනිල්ට ගෙයක් තියෙනවා මට ගෙයක් නැතිවෙන්න තිබුණා.  


?සමහරු කිව්වෙ ඔබ ආරක්ෂක ඇමැතිකමට ඇහැගහගෙන ඉන්නෙ රාජපක්ෂලට ෂොට් එක දෙන්න කියලා. ඒ නිසා මහින්දගෙ චමල්ලගේ බය සාධාරණයි කියලා මේ කතාව ඔබ පිළිගන්නවද?  


මම නෙවෙයි රාජපක්ෂ ගැන රටේම මිනිස්සු කියන්නේ මොකක්ද? එයාලට ගෙදර යන්න වුණේ රටේම මිනිස්සුන්ගෙන් ආපු විරෝධය නිසා නෙවෙයිද? මම කළොත් පළිගැනීමක් වෙන්නයි වෙන කෙනෙක් කළොත් වෙන දෙයක් වෙන්නයි බෑනේ.  


?රාජපක්ෂලගේ හිතේ එහෙම අදහසක් තිබුණා නේද?  


ඒක ඉතිං මට අදාළ නෑ. ඒක ගැන මට කියන්න බෑනේ.  


?දැන් සමගි ජනබලවේගය ජනාධිපති කියන සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟද?  


අපි ඒ ගැන සාකච්ඡා කළා. යෝජනා එහෙමත් ඉදිරිපත් වුණා. 19 සංශෝධනය සහ අධීක්ෂණ කමිටු හදන එකට අපි සහයෝගය දෙනවා. හැබැයි ඇමැතිකම් අරගෙන ඔවුන් එක්ක වැඩ කරන්න යන්නේ නෑ. පොහොට්ටුවෙ දූෂිතයෝ එක්ක එකට ඇමැතිකම් කරන්න අපිට බැහැ. ඔය සර්ව පාක්ෂික ආණ්ඩුව කියන එක ප්‍රායෝගික නෑ. ඒක තනිකරම සුරංගනා කතාවක්. ඒ යථාර්ථය තේරුම් නොගෙන ඕකට හවුල් වෙන්න අපිට බැහැ. මේ ගැන මගේ මතය මම ජනාධිපතිතුමාටත් කියල තියෙනවා. ඒකෙන් ආණ්ඩුවට වාසියක් ඇති. ඒත් රටට වෙන විශේෂ යහපතක් නැහැ.  


?ඔබ මේ රටේ හිටපු යුදහමුදාපති, දැන් ෆීල්ඩ් මාර්ෂල්, හමුදා සේවයේ ප්‍රධාන කරුණක් තමයි විනය. ඒ වගේ දෙයක් පවා දන්න ඔබ රටේ ව්‍යවස්ථාව පැත්තකට දාමු කියනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා.  


 ව්‍යවස්ථාවෙන් පිට තමයි ජනාධිපති එලෙව්වෙත්. ඒ ගැන මොකද කියන්නේ. ව්‍යවස්ථාවට අනුව නොගිය ජනාධිපතිගෙ පුටුවෙ දැන් වෙන කෙනෙක් වාඩිවෙලා ඉන්නවා. ඒ ගැන මොකද කියන්නේ. ඇයි අපිට ව්‍යවස්ථාව විවේචනය කරන්න බැරිද? මම කියල තියෙන්නේ ව්‍යවස්ථාවට පිටින් ඒකට විරුද්ධව වැඩ කරන්න කියල නෙවෙයි. මම කිව්වේ මේ ව්‍යවස්ථාවෙන් ආවරණය වෙලා දූෂිතයෝ විසින් එය මෙහෙයවනව නම් ව්‍යවස්ථාවෙන් ඇති වැඩේ මොකක්ද කියලා. මම දන්න භාෂාවෙන් මම ඒකෙන් සිද්ධවෙන අගතිය පෙන්නුවා. දැන් ඔය කතා අල්ලගෙන අපිට මඩගහන අයම තමයි අපේ ළඟට ඇවිත් ඔබතුමා වගේ කෙනෙක් මේක බාරගන්න කියලා බැගෑපත් වුණේ. අරගලයත් ඉවරයි කියලා හිතාගෙන පරණ සෙල්ලම් දාන්න පුළුවන් කියලා චූන් එකේ ඉන්න අය තමයි දැන් අපිට එක එක දේවල් කියන්නේ. ව්‍යවස්ථාවාට ආවරණය වෙලා දූෂිතයන්ට රට විනාශ කරන්න දෙන්න ඕනැද?  


?2010 ඔබ බැරිවෙලාවත් ජනාධිපතිවරණය දිනුව නම් ඔබ ඔය කියන සුඛිත මුදිත නීතිගරුක රට අද වෙනකොට බිහිවෙලාද?  


අනිවාර්යයෙන්ම අපි රට ඒ තැනට ගේනවා. 2070 වෙද්දි මේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් පහළොස්දාහක් වත් වෙන රටක් කරලා. අද ඒක ඩොලර් තුන්දාහයි. මේක රටක්ද? හිඟන රටක්නෙ මේක. රට මේ තැනට ඇඳලා දැම්මේ ඉහවහා ගිය දූෂණය. මම 2010 ජනාධිපතිවරණය දිනුව නම් මේ රට මේ වෙද්දි සෑහෙන දුරට වෙනස් කරලා.  


?තාමත් ජනාධිපති හීනය හිතේ තියෙනවද?  


මට තනතුරු ගැන හීන නෑ. මට ඕනෑ රටට යමක් කරන්න. 2010 මම ජනාධිපතිවරණයට ඉල්ලද්දිත් මට ජනාධිපති හීනයක් තිබුණෙ නෑ. රට හදන්න අවස්ථාවක් ලැබෙයි කියලා අදහසක් තිබුණා. ඒක තාම තියෙනවා. රට ගොඩ දාන්න ඕනෑම දෙයක් කරන්න ඕනෑම වෙලාවක මම සූදානම්.

 

 

සංවාද සටහන : 
ප්‍රියන්ත කොඩිප්පිලි