මම ආණ්ඩුවට දුන් යෝජනාවලියට ලැබුණු ප්‍රතිචාරය ගැන සෑහීමකට පත්වෙන්න බෑ


මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  

 

  • තෙල් මිල වැඩි නොකිරීම අපට ලොකු ප්‍රශ්නයක්  

රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයකි. විසඳුම කුමක්ද? මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.  


ප්‍රශ්නය:- ඇත්තටම රටේ ආර්ථික තත්ත්වය කෙබඳුද?  


පිළිතුර:- අපිට යම් අභියෝගවලට මුහුණ දෙන්න වෙන කාලයක්. අපේ රටේ අවුරුදු දෙකක කාලයක් පුරා ආර්ථික කටයුතුවලට සෑහෙන්න බාධා පැමිනුණා. ලෝකයටම දැවැන්ත ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. කොවිඩ් වසංගතය පමණක් නොවෙයි ලෝකයේම උද්ධමනය බරපතළ ලෙස වැඩි වුණා. අද වෙනකොට මුළු ලෝකයටම බලපාන රුසියානු යුක්රේන යුද්ධය ඇතිවෙලා තියෙනවා. තෙල් අර්බුදයත් තියෙනවා. සංචාරක කර්මාන්තයට බරපතළ බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ තුළ අපේ රටට යම්කිසි පීඩනයක් එල්ලවෙලා තියෙනවා. ඒ විදියට අභියෝගාත්මක කාලයක් තමයි උද‌ාවෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- ඇති තරම් ඩොලර් තියෙනවා කියලා ඔබ මුලින් කිව්වා?  


පිළිතුර:- ඩොලර් තියෙනවා. විදෙස් සංචිත තියෙනවා. එහෙම නැත්නම් තමයි ණය ගෙවා ගන්න බැරිවෙන්නේ. අපි ණය ගෙවලා තියෙනවනේ. ඒ වගේම අසීමිත ලෙස ඩොලර් තියෙනවා කියලා මම කවද‌ාවත් කියලා නැහැ. නමුත් අපට පිරිමහගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒකෙන් කියැවෙන්නේ නෑ අපට ඇ​ෙමරිකාවේ වගේ ජීවිතයක් ගතකරන්න පුළුවන් කියලා. අපි තේරුම් ගන්නට ඕනැ යම්කිසි අභියෝගාත්මක කාලවල්වල දී අපි පිරිමහගෙන කටයුතු කරන්න. පිරිමහගෙන කටයුතු කරන්නේ නැතිව අපි හැමදේම සාමාන්‍ය පරිදි අපේක්ෂා කරනවා නම් අපි සෑම භාණ්ඩයක්ම පිටරටින් ගෙන්නල ගෙවල්වල තියාගන්න කැමැති නම් එහෙම වාතාවරණයකට ඔරොත්තු දෙන තත්ත්වයක් නොවෙයි අද තියෙන්නේ. ඒ ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි.  


ප්‍රශ්නය:-  ඉන්ධන ගෙන්වන්න ඩොලර් දෙන්නේ නැත්තේ ඇයි?  


පිළිතුර:- ඉන්ධන ගෙන්වන්නෙත් මොකටද කියලා අපි හොයලා බලන්න එපැයි. ඉන්ධනවලින් තුනෙන් එකක් විදුලිය සඳහා යොදවනවා. විදුලිය සඳහා විකල්ප ක්‍රමවේද අපි හදා ගැනීමට අවශ්‍යයි. 2014 වෙනකොට අලුතෙන් මෙගාවොට් 900 ක් මේ රටට එකතු කළා, ගල්අඟුරු බලාගාරයක් තුළින්. ඒ වෙලාවේ අපි තීරණය කළා ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනය කිරීම පුළුවන් තරම් අඩු කළ යුතුයි කියලා. ඒ වුණාට පසුගිය රජය, එක යුනිට් එකක් මේ රටට එකතු කළේ නෑ. එතකොට ගල්අඟුරු බලාගාරයක ප්‍රශ්නයක් ඇතිවුණොතින් එහෙම නැත්නම් ජලයෙන් නිෂ්පාදනය කරන විදුලියට ප්‍රශ්නයක් ඇති වුණොතින් ඒ නිෂ්පාදනය කළයුතු සියලුම විදුලිය නිෂ්පාදනය කරන්න වෙන්නේ ඉන්ධනවලින්. එතකොට ඉන්ධනවලට ඉල්ලුම වැඩිවෙනවා. ඉල්ලුම වැඩිවෙනවාත් එක්කම ඉන්ධන මිල වැඩිවෙලා තියෙනවා. අ​ෙමරිකානු ඩොලර් 200ට තිබුණු ඉන්ධන අද ගන්නේ 116 ට. එහෙම වෙනකොට අපිට වෙන්කළ යුතු මුදල් ප්‍රමාණය සෑහෙන ගණනින් වැඩිවෙලා තියෙනවා. මේ තෙල් ගේන්න බැහැයි කියලා කියන්නේ අපට තියෙන මුදල් හිඟයක් නිසාම නොවෙයි. වෙන වෙන ප්‍රශ්නවලට උත්තර නොදීම නිසා ඉන්ධනවලට ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. තෙල්වල මිල වැඩිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මාසෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන​ දෙසීයකින් පමණ අපි පිරිමහගත්ත තෙල් මිල අද මිලියන 500 ක් බවට පත්වෙලා තියෙනවා. එතකොට අපිට පීඩනයක් එල්ල වෙනවා. එතැනදී යම් පමාවක් වෙන්න පුළුවන්. ඒ හරහා සමස්ත පද්ධතියට යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්.  


ප්‍රශ්නය:-  තෙල් නැව් ඇවිල්ලා තියෙනවා. ඒත් තෙල් බාන්න විදියක් නෑ. ඒකට හේතුව ඩොලර් නැතිකමද?  


පිළිතුර:- ඒකට හේතුව අපිට යම් මට්ටමකට තෙල්වලට තිබෙන ඉල්ලුම අඩු කරගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි විටින් විටම මාස හයක් තිස්සේ රජයට කියලා තියෙන්නේ තෙල්මිල වැඩි කරන්න කියලා. අපේ තෙල් මිල දකුණු ආසියාවේ තියෙන අඩුම මිල. ඒක බය නැතිව ලියන්න. ඉන්දියාවේ ඩීසල් මිල අපේ රටේ වගේ හරියටම දෙගුණයක්. ඉන්දියාවේ ඒකපුද්ගල ආද‌ායම අපේ රටේ වගේ හරියටම භාගයයි. ඉතින් ගණන් හදල බලන්න පුළුවන්. අපේ රටේ තෙල්වලට නිසි අගයක් දීලා ඒ අගයට තෙල් ගේන්න අපි වැඩ කළා නම් මේ යන එන ගමන් බිමන් ටිකක් අඩුවෙලා අපිට තෙල් මිල පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒවත් කරන්නට අවශ්‍යයි. මේ මතුපිට තියෙන ප්‍රශ්නය විතරක් නොවෙයි. හරි ප්‍රතිපත්තියක් උඩ ක්‍රියාත්මක වෙලා තෙල්මිල වැඩි කරන්න ඕනැ. තෙල් මිල වැඩි නොකිරීම අපිට ලොකු ප්‍රශ්නයක්.  


ප්‍රශ්නය:- ඇමැති බැසිල් රාජපක්ෂ කිව්වා ‘තෙල්මිල වැඩි කිරීම ප්‍රශ්නයට උත්තරයක් නොවෙයි කියලා?  


පිළිතුර:- මොන ප්‍රශ්නයද කියලා බලන්න එපැයි, ජනතාව මේ දිහා වෙන කෝණයකින් බලන්න පුළුවන්. ආර්ථිකයමය කෝණයෙන්නේ මම බලන්නේ. මම මහ බැංකු අධිපතිනේ. වෙන වෙන අයට වෙන වෙන කෝණවලින් බලන්න පුළුවන්. මම බලන්නේ ආර්ථිකය පැත්තෙන් මොකක්ද මේකට තියෙන උත්තරය කියලයි. ඒ උත්තරය තමයි සාමාන්‍යයෙන් වෙ​ෙළඳ‌ාමක් කරන කෙනෙකුට දෙන උත්තරය. පොල් මුදලාලි පොල් ගෙඩිය රුපියල් 30 ට අරගෙන රුපියල් 40 ට විකුණනවද? රුපියල් 60 ට විකුණනවද? ඔන්න ඔය ප්‍රශ්නයට තියෙන උත්තරය තමයි මේකට තියෙන උත්තරය.  


ප්‍රශ්නය:- දවසට පැය හතහමාරක් ලයිට් කපනවා. මේක මුළු ආර්ථිකයටම බලපානවා?  


පිළිතුර:- මට තේරෙනවා. හැකි ඉක්මණින් මේකට විසඳුමක් දෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අවුරුදු දෙකක කාලයක් තුළ මේ රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීමෙන් විදේශ විනිමයෙ හිඟයක් ඇතිවුණා. අපි ඒක තේරුම් ගන්න ඕනැ. ඒක මේ අපේ රටේ පමණක් නොවෙයි හැම රටකම සිදුවුණා. එහෙම වෙනකොට සංචාරක ක්ෂේත්‍රය අපේ රටේ වැදගත්ම ක්ෂේත්‍රයක් නිසා. ඒ වගේම ඒ ක්ෂේත්‍රයට අපි දැවැන්ත ආයෝජනයක් කරලා තියෙන නිසා ඒ ආයෝජනයට ප්‍රතිඵලයක් නැතිකොට ඒක සෑහෙන විදියට බලපානවා. දැන් ඉදිරි කාලය තුළදී සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය වෙලා අපේ අපනයන ක්ෂේත්‍රය වර්ධනය වෙනකොට මේ ප්‍රශ්නයට සෑහෙන ආකාරයක විසඳුමක් ලබාදෙන්න පුළුවන් වෙයි. ඒ වුණත් ඒකට විසඳුමක් හැටියට මේ ක්ෂේත්‍ර තවදුරටත් දියුණු කරගත යුතුයි කියන එකත් අපි පිළිගන්න අවශ්‍යයි.  


ප්‍රශ්නය:- මේ අර්බුදයට විසඳුම් සහිත යෝජනා මාලාවක් ඔබ ආණ්ඩුවට ඉදිරිපත් කළා කියලා වාර්තා වුණා. නමුත් ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නෑ?  


පිළිතුර:- ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකට ලබාදීලා තියෙන ප්‍රතිචාරය ගැන අපට සෑහීමකට පත්වෙන්න බෑ. ඒවා දැනට ක්‍රියාත්මක නොකළත් ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආර්ථිකයක දිගුකාලීන ශක්තියක් ඇති කිරීමට නම් එවැනි ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. මම දන්නවා සමහර තීරණ ක්‍රියාත්මක කිරීමේදී යම් පීඩනයක් ඇති වේවි. ජනප්‍රිය නොවන තීරණ ක්‍රියාත්මක කරන්න වේවි. ඒවා තුළින් ජනතාව අකමැති දේවල් වෙන්න පුළුවන්. ඒ වුණත් ආර්ථිකමය පැත්තෙන් දිගුකාලීනව ආර්ථිකයෙ යහපත සඳහා ඒ දේ කරන්න වෙනවා. ඒවා ක්‍රියාත්මක කළ යුතුයි කියන ස්ථාවරයෙ තමයි මම ඉන්නේ. ඒවා කිරීමෙන් යථා තත්ත්වයට ආර්ථිකය පත්කරගත හැකියි කියන මතයේ මම ඉන්නවා.  


ප්‍රශ්නය:-  මොන වගේ යෝජනා මාලාවක්ද ඔබ ඉදිරිපත් කළේ?  


පිළිතුර:- අපි ඉල්ලීම් කරලා තියෙනවා සමහර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට ඉහළ බද්දක් පනවන්න කියලා. ඒ සමගම තෙල් මිල වැඩ කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා. වාහන ගෙන්වීම සඳහා පිටරට මුදල් දෙන අයට ඒ සඳහා ඉඩ දීලා ඒ අයට එම බදු සහ අනෙකුත් ගාස්තු පිටරට මුදල්වලින් ගෙවන්න ඉඩ දෙන්න කියලා අපි ඉල්ලීමක් කරල තියෙනවා. ඒ සමගම පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා. රජයට අයත් සමහර උපාය මාර්ගික නොවන සම්පත් ඒවා මුදල් බවට පරිවර්තනය කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒවා හරහා මේ රටට ණය නොවන විදේශ විනිමය ගලා ඒමට ඉඩ දිය යුතුයි. මේවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒ වගේ යෝජනා මාලාවක් තමයි අපි ඉදිරිපත් කළේ. නමුත් තවම ඒවා ක්‍රියාත්මක කළේ නෑ.  


ප්‍රශ්නය:- මහ බැංකු අධිපතිවරයා හැටියට ඔබ කාටද මේ යෝජනා ඉදිරිපත් කළේ?  


පිළිතුර:- මහ බැංකුව හැටියට අපිට තියෙනවා නිල ආර්ථික මධ්‍යස්ථානයක්. ඒ තමයි මුදල් අමාත්‍යාංශය. ඒ විදියට මුදල් අමාත්‍යාංශයට අපි විටින් විට විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. පහුගිය මාස හය තුළදී විශේෂයෙන්ම අපි එහෙම කරලා තියෙනවා. අපේ බලාපොරොත්තුව ඒවා ක්‍රියාත්මක වෙයි කියලා.  


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ඔබ හා මුදල් ඇමැති අතර හමුවක් මාස ගණනාවකින් සිදුවෙලා නෑ කියලත් කියනවා?  


පිළිතුර:- ඒ කතාවේ සත්‍යතාවයක් නෑ. අපි හමුවුණා. විවිධ අවස්ථාවලදී මුදල් ඇමැතිතුමා එක්ක සාකච්ඡා කරලත් තියෙනවා. ඒ වුණාට සමහරක් ඒවා තාම කෙරිලා නෑ. ඒකයි මට තියෙන ප්‍රශ්නය.  


ප්‍රශ්නය:- මේ අර්බුදයට හේතුව ඔබේ යෝජනා ක්‍රියාත්මක නොකිරීම?  


පිළිතුර:- නෑ..... ඒකමයි කියලා කියන්න බෑ. පීඩනයක් මුළු ලෝකයටම එල්ල වෙලා තියෙනවා. මේ සියලුම ප්‍රශ්න එකවර විසඳිය හැකි ක්‍රමවේදයක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. ජනතාවත් යම් යම් ආකාරයට තමන්ගේ ආයෝජන ක්‍රමවේද, තමන්ගේ හැසිරීම වෙනස් කර ගන්න අවශ්‍යයි. ඒ හරහා අපට ඉතා ඉක්මණින් ස්ථීරසාර විසඳුමක් නිර්මාණය කරගත හැකියි කියලා මම හිතනවා.  

 

 

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්