මන්ත්‍රීවරුන් ගණන හදාගෙන අපි වැඩේට බහිනවා උදය ගම්මන්පිල


  • ආණ්ඩුවේ  බහුතරය නැති කරන්නේ කොහොමද?
  • බහුතරය නැතිකර අන්තර්කාලීන රජයක් පිහිටුවා පාර්ලිමේන්තු  මැතිවරණයකට  යනවා

 

මේ රජයේ බලය ශක්තිය රඳා පවතින පාර්ලිමේන්තුවේ බහුතරය නැති කරන බව ඇමැති තනතුරු අහිමි වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරු ඉකුත්දා ප්‍රකාශ කළහ. ඒ තරම් තදබල ප්‍රකාශයක් කරනු ලැබුවේ ඔවුන් තුළ යම් විශ්වාසයක් පවතින නිසා විය හැකිය. තුනෙන් දෙකක බලයක් ඇති රජයක ඒ බහුතරය නැති කරන්නේ කෙසේද යන්න පිළිබඳව හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන් හා එවැන්නක් කළ හැකිද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් විමසීමක් කළෙමු.   


බිය වැද්දීම් හා වරප්‍රසාද ලබාදීම තුළින් බහුතරය රැක ගැනීමට රජය උත්සාහ කළත් ජනතාව මුහුණ පා සිටින බරපතළ අසීරුතා හමුවේ මේ රජයේ බහුතරය නැති කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ හැකි බව හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා කීය.   


ඒ මහතා මෙසේද කීය.   


ප්‍රශ්නය- ආණ්ඩුවේ බහුතරය නැති කරනව කිව්වෙ, කරන්න පුළුවන්ද?   


පිළිතුර- හරිම සරලයි   


ප්‍රශ්නය- කොහොමද?   


පිළිතුර- ආණ්ඩුවේ ඉහළම ඡන්ද ගාන 156යි. 20 වැනි සංශෝධනයෙනුත් ලැබුණේ එහෙමයි. ඇමැතිවරු තුන් දෙනෙක් රජයත් එක්ක අමනාපවෙලා අස්වුණා. නැතිනම් අස්කළා. විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලංසා. ඒ තුන්දෙනා අඩු කළාම 153යි. අපේ කණ්ඩායමේ මන්ත්‍රීවරු 30ක් ඉන්නවා. ඒක අඩු කළාම 123යි. බහුතරය නැති කරනවා කියන්නෙ 112ට ගේනවා කියන එකයි.   


ප්‍රශ්නය- තවත් අඩුයි නේ.   


පිළිතුර- කියන්නම් 11ක වෙනසක් තියෙනවා. 24ක් අපට සහාය දෙනවා. වැඩේ කරන්න කලින් ඒක 33ක් කර ගන්නවා. අන්තිම මොහොතෙ ඇමැති තනතුරු වාහන නිසා වෙනස් වන අය ඉතිහාසයෙත් ඉඳල තියෙනවා. හොරකම්, මැරකම්, සල්ලාලකම් පිළිබඳ නඩු ඇදගෙන සමහරු බිය ගන්නල තියෙනවා. ඒ අත්දැකීම මත ඉඳගෙන මේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කරගෙන වැඩේට බහින්න අපි සූදානම්.   


ප්‍රශ්නය- එකොළහේ කණ්ඩායමෙන් පහක් දැනටමත් ඉවත් වෙලා නේද?   


පිළිතුර- එහෙම අර්බුදයක් නැහැ. අර්බුදයක් තියෙනව කියන්නෙ ආණ්ඩුවෙන් නේ. අර්බුදයක් මතුවෙන්න පුළුවන් කියන සැකය මත අපි 33ක් හදාගන්න පියවරගෙන තියෙනවා. දැනට කිසි ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නයක් ඇති වුනොත් එහෙම ඒකටත් මුහුණ දීමට සූදානමින් ඉන්නෙ. එහෙම වුණාම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ නේ. හැමවෙලාවෙම අපි වැඩි ප්‍රමාණයක් සූදානම් කරගෙන ඉන්නෙ. එවිට කුමන ආකාරයක හෝ බලපෑමකින් එක්කෙනෙක්, දෙන්නෙක් වෙනස් වුණත් ගැටලුවක් නැහැ. එහෙම වෙන්නෙ නැති බව අපට විශ්වාසයි. නමුත් හැමදේම කිසියම් විශ්වාසයක් මත සිදු කිරීම වැදගත්.   


ප්‍රශ්නය- අර්බුදකාරී අවස්ථාවලදී බලයේ සිටින අය විසින් අවිශ්වාසවන්ත ගෝල බාලයන්ට ඇම දානවා. එහෙම වුණොත්?   


පිළිතුර- මේ රජය තරම් බරපතළ ලෙස පිරිහීමට ලක්වුණ වෙනත් ආණ්ඩුවක් නැහැ. මේ ජනතා විරෝධය තදබල ලෙසින් පවතින අවස්ථාවක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට යනවා නම් හෝ රජයේ අය සැබෑ තත්ත්වය අවබෝධ කර නොගෙන කටයුතු කිරීමෙන් බරපතළ ප්‍රතිවිපාක අත්විඳීමට හේතු වෙනව. මේ වෙලාවෙ අපි එක්ක ඉන්න කෙනෙක් වරප්‍රසාදවලට යටවෙලා රජයට ආවඩන්න ගියොත් එහෙම එයාගෙ දේශපාලනයත් එතැනින්ම අවසන් වෙනවා. මේ තත්ත්වයෙ බරපතළකම සියලු දේශපාලනඥයන්ට දැනිල තියෙන්නෙ. කාටවත් ඒක නැහැ කියන්න බැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගේම ගම්මට්ටමේ දේශපාලනඥයටත් ජනතාව විඳින අසීරුතාව ඇඟට දැනෙනවා. ඒ වගේ තත්ත්වයක් මත ආණ්ඩුවෙ ගැටවලට අසුවෙන කෙනෙක් නැහැ.   


ප්‍රශ්නය- මේක මර්දනය කළොත්   


පිළිතුර- අපි හැමදාම ජනතාවගෙ පැත්තෙ ඉඳගෙන කටයුතු කළේ. චන්ද්‍රිකාගෙ කාලෙත් එහෙමයි. පාසල් යන කාලෙ ප්‍රේමදාස රජය එක්ක හැප්පුනා. රනිල්ගෙ ආණ්ඩුව එක්කත් හැප්පුනා. යහපාලන ආණ්ඩුව එක්කත් හැප්පුනා. මර්දනය කියන එක ජීවිතයෙ කොටසක්. ඒක දැනගෙන තමයි මේ සටන කරන්නෙ. මර්දනයට බයේ පැනල යනවා නම් මීට පෙර ඒක සිද්ධ වෙන්න තිබුණා. අපි මර්දනය, මර්දනය කළා මිසක් අපිව මර්දනය කරන්න බැරි වුණා.   


ප්‍රශ්නය- මේ රජයෙ ඔබ දකින අඩුපාඩු හදා ගත්තොත්   


පිළිතුර- ආණ්ඩුව ඇතුළතදි අරගල කර ගත්තෙ ආණ්ඩුව නිවැරැදි කර ගැනීමටයි. මේ රජයේ ජනවරම තවත් වසර තුනක් තිබෙන නිසා අපි උත්සාහ කළේ ආණ්ඩුව නිවැරැදි කර ගන්නයි. වැරැද්ද පෙන්නල දෙන මිනිහව කණෙන් ඇදල එළියට දැමීමෙන් පෙන්නුම් කළේ රජයට අවශ්‍ය වැරැදි මාර්ගයේම යාමයි. රජයට නිවැරැදි වෙන්න අවශ්‍ය නැහැ. රජයට මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය කුසලතාවක් නැහැ. අනික වුවමනාවක් නැහැ. හිතාමතාම වැරැදි පාරේ යනවා. මුදල් ඇමැතිවරයා දේශප්‍රේමය පෙන්වන්නෙ ඇමෙරිකාවට. මේ රටට නෙවෙයි.   


ප්‍රශ්නය- බැසිල් එක්ක තියෙන අමනාපයට ඔබලා මේව කරනව කියල කවුරු හරි චෝදනා කළොත්?   


පිළිතුර- මම බැසිල්ගෙ දුව ඉල්ලල දෙන්න බැහැ කිව්ව වගේ ප්‍රශ්නයක් මෙතැන නැහැ. මට භාර දුන්නෙ රජයේ විශාල අමාත්‍යංශයක්. දුර්වල අමාත්‍යාංශයක් දුන්න කියල චෝදනා කරන්නත් බැහැ. මට තව දුරටත් ඒ අමාත්‍යාංශයෙ කටයුතු කරගෙන ඉන්න තිබුණා. විමල් ඇමැතිවරයටත් එහෙමයි. හොඳම අමාත්‍යංශය එතුමටත් බාර දී තිබුණා. දෙන දේ කාල වෙනදේ බලාගෙන ඉන්න තිබුණ. හොඳ තනතුරු ලැබුණෙ නැහැ කියල අපට කියන්න බැහැ. අපි මේ රජය බිහි කිරීමට විශාල කැප කිරීමක් කළා. ඒ නිසා දෙන්න පුළුවන් ඉහළම අමාත්‍යංශ දුන්නා. ශ්‍රී ලංකාවෙ තෙල් ගොඩගැනීමේ සිහින ව්‍යාපෘතියක් පටන් ගත්තා. පෞද්ගලිකව බැලුවොත් රජය මට හොඳට සලකල තියෙනවා. මට හොඳට සැලකුවාට මදි. මේ රටට සලකන්න ඕනෑ. අපිට තියෙන්නෙ රට පිළිබඳ ප්‍රශ්නයක්. අපිට ඉතාම හොඳින් රජය සැලකුවා. සමහරු කියනවා හොඳ

අමාත්‍යාංශයක් දුන්නෙ නැහැ. වැඩ කරන්න දුන්නෙ නැහැ. අමාත්‍යාංශයෙ ලේකම් මාරු කරන්න කිව්වා කළේ නැහැ කියල විවිධ චෝදනා කරනවා. අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපිට හොඳට සැලකුවා.   


ප්‍රශ්නය- බහුතරය නැති කිරීමෙන් ඔබ අදහස් කරන්නෙ මොකක්ද?   


පිළිතුර- පාර්ලිමේන්තුවෙ රජයට තිබෙන බහුතරය නැති කරනවා. අන්තර් කාලීන රජයක් පිහිටුවනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වල ජනතාව කැමැති පිරිසට රට බාර දෙන්න අවස්ථාව සලසා දෙනවා. ජනාධිපති මන්දිරය වට කරනව වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කරන්නෙ නැහැ.   

 

දයාසීලි ලියනගේ