මණ්ඩලය අපිත් එක්ක සාකච්ඡා නොකර තැන්තැන්වල විදුලිය කපලා


විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ   

  • ඊළඟ ජනපතිවරණයට මෛත්‍රීපාල මහත්තයා තරග කරන්න කියා අපි ප්‍රාර්ථනා කරනවා 
  • ඒ ගොල්ලෝ අපිත් එක්ක එකතු වුණ නිසා තමයි ඔය  මන්ත්‍රී ධුර 14 හරි හම්බ වුණේ.
  • ඒ ගොල්ල විදුලිය කපන  ටයිම් ටේබල් එක එළියට දැම්මේ අමාත්‍යංශය දැනුවත් කරලා නොවෙයි.   
  • අගමැතිතුමා මේ රටේ අගමැතිතුමා හැටියට ඉන්නවා. ජනාධිපතිතුමාටත් වගකීමක් තියෙනවා හැට නව ලක්ෂයක ජනවරමට අනුව තීන්දු ගන්න. 

විදුලිය නොකපන බව ඇමැතිවරයා පැවසුවද රටේ තැන් තැන්වල විදුලිය කැපීම් වාර්තාවේ. ඇමැති රටට බොරු කිව්වාද? මේ ඒ ගැන විමසමින් විදුලියබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සමග කළ සාකච්ඡාවකි.

   
ප්‍රශ්නය- ඇමැති හැටියට ඔබ කිව්වා ‘විදුලිය කපන්නේ නෑ’ කියලා. නමුත් එක පාරටම විදුලිය කපනවනේ. ඇයි ඔබ රටට බොරු කිව්වේ.   


පිළිතුර- විදුලිය කපන්නේ නෑ කියලා අපි කිව්වේ අප ළඟ තිබෙන බලශක්තිය ගණනය කරලයි. අපට තියෙනවා ගල් අඟුරු බලාගාර මෙගාවොට් 900ක් නිපදවන. ඒ වගේම අපට තියෙනවා හයිඩ්‍රෝ ඉලෙක්සිටි සියයට 45ක් 50ක් විතර. අපට තාප බලාගාර කිහිපයක් තියෙනවා. සපුගස්කන්ද, ලක්දනවි බලාගාරය වරායෙ තියෙනවා ‘ෆ්ලෝටින් බලාගාරය’ ඒ ටික එකතු වුණාම අපට කැපිල්ලක් නැතිව විදුලිය දෙන්න පුළුවන්.   


ප්‍රශ්නය- නමුත් විදුලිය කපනවනේ ඇමැතිතුමා?   


පිළිතුර- ඒක තමයි මම මේ කියාගෙන එන්නේ. අවාසනාවකට අපේ ගල් අඟුරු බලාගාරයෙ හදිසි ආපදාවකට ලක්වීමෙන් මෙගාවොට් 300ක් අහිමි වුණා.   


එහෙම වුණාම අපට විදුලිය එකතු කළාම කැළණිතිස්සයි සපුගස්කන්දයි ෆ්ලෝටින් බලාගාරයයි එකතු වුණාම තමයි විදුලිය කපන්නේ නැතිව යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපේ ඉංජිනේරු මහත්වරුන් එක්ක කතා කළේ විදුලිය කපන්නේ නැතිව යන්න 21 වැනිදා වෙනකම්. ගල් අඟුරු ටික තවම අපට තාප බලාගාර නැවැත්තුවත් යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිව්වේ විදුලිය කපන්නේ නැතිව යන්න පුළුවන් කියලා.   


ප්‍රශ්නය-මගේ ප්‍රශ්නයට තවම උත්තරය ආවේ නෑ.   


පිළිතුර- ඔව්. පෞද්ගලික අංශයට අයත් කැලණිතිස්ස බලාගාරය හිටපු ගමන් ‘බ්‍රේක් ඩවුන්’ වුණා. එතැන මෙගාවොට් 100ක්. ඒ ප්‍රශ්නය ආවා. ඒ අතරේ විදුලි බල මණ්ඩලය අපිත් එක්ක සාකච්ඡා නොකර තැන් තැන්වල පැය පැය විදුලිය කපලා තියෙනවා. ඒ පීක් අවර් එකේ. ඊට පස්සේ කැපුවේ නෑ. ඊට පස්සේ අපි මහවැලියත් එක්ක සාකච්ඡා කරලා 21 වැනිදා වෙනකම් විදුලිය නොකැපීමේ එකඟතාවකට ආවා. ඒ ගොල්ලෝ විදුලිය කපන ටයිම් ටේබල් එක එළියට දැම්මේ අමාත්‍යාංශය දැනුවත් කරලා නොවෙයි.   


ප්‍රශ්නය-සාමාන්‍යයෙන් අමාත්‍යංශය දැනුවත් කළ යුතුයි. 

 
පිළිතුර- ඔව්! අනිවාර්යයෙන්ම. නමුත් මෙතැනදි එහෙම වුණේ නැ. අපට ඕනෑ කරන්නේ මොන ප්‍රශ්න තිබුණත් රටේ ජනතාවට විදුලිය කැපීමකින් තොරව යන්න. එතැන අපට ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට මේකෙ ඇතුළෙ ඉන්න සමහරුන්ට ඕනෑ වෙලා ඇති විදුලිය කපලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න.   


ප්‍රශ්නය-ඔබ කාටද එහෙම චෝදනා කරන්නේ? අමාත්‍යංශයේ නිලධාරින්ටද? විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ටද?   


පිළිතුර- මෙහෙමනේ හැට නව ලක්ෂයක් අපට ඡන්දෙ දෙනකොට පනස්පන් ලක්ෂයක් අපට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ අයත් මේ අතර ඉන්නවනේ.   


ප්‍රශ්නය-එක පාරක් මුළු රටේම විදුලිය නැතිවුණා. ඒක කුමන්ත්‍රණයක් කියලත් කිව්වා.   


පිළිතුර- ඔව්! ඒක පිළිබඳව පරීක්ෂණයක් කරනවා. පොලිසියයි විශේෂඥයොයි ඒ පරීක්ෂණය කරනවා. දැනට අපට ලැබෙන ආරංචි අනුව ඒක හිතා මතා කරපු කඩාකප්පල් ක්‍රියාවක් කියලයි දැනෙන්නේ. ඒ වාර්තාව ආපුවම ඒක හරියටම දැනගන්න පුළුවන්. රජය මොකක් කළත් විපක්ෂයට උදව් කරන අය ඉන්නවා. ඒ නිසා අපි මොන තීන්දුව ගත්තත් ඒකට අකැමති අය ඉන්නවා. ඒ නිසා ඒ ප්‍රශ්න මොනවා වුණත් අපි බලන්නේ රටේ ජනතාවට කැපිල්ලකින් තොරව විදුලිය දෙන්න වැඩපිළිවෙළක් හදන්න.   


ප්‍රශ්නය-විදුලිබල මණ්ඩලය ඇයි ඔබට නොදන්වා විදුලිය කපන්නේ?   


පිළිතුර- ඒක ලේකම්තුමියටනේ දැනුම් දෙන්න ඕනෑ. නමුත් එහෙම වුණේ නෑ. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා අපට නොදන්වා ඒ කටයුත්ත කරන්න බෑ කියලා.   


ප්‍රශ්නය-ඇමැතිවරු හා නිලධාරින් අතර බරපතළ ගැටුම් තියෙනවා. මෙහෙම රටකට යන්න පුළුවන්ද?   


පිළිතුර- ඇමැතිවරයා හැටියට අපි කටයුතු කරන්නේ අපේ රටේ මහජනතාවට ප්‍රශ්නයක් නැතිව විදුලිය කැපීමකින් තොරව යන්න. නමුත් අපට ඡන්දය දීපු හැට නව ලක්ෂයට අමතරව ඡන්දය නුදුන්න පනස් පන් ලක්ෂය බලන්නේ කොහොමද ආණ්ඩුව පෙරළන්නේ කියලා. ඒ නිසා තමයි සමහර නිලධාරීන් ඒ කටයුත්ත කරන්නේ.   


ප්‍රශ්නය-ඔබ කියනවා ‘22න් පස්සේ ගල් අඟුරුවලින් විදුලිය නිපදවනවා’ කියලා. රටේ ඩොලර් නෑ. කොහොමද ගල් අඟුරු ගෙන්වන්නේ.   


පිළිතුර- අපට ඒකට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දීලා තියෙනවා. අඩුවක් නැතිව අපි ගල් අඟුරු ගෙන්වනවා.   
ප්‍රශ්නය-සුසිල් ප්‍රේමජයන්ත සිද්ධියෙන් පස්සේ ඇමැතිවරුන් කතා කරන්නත් බයයි වගේ?   


පිළිතුර- අපට නම් කතා කරන්න කිසිම බයක් නෑ. අපි ප්‍රතිපත්තියක් අනුවයි කතා කරන්නේ. අපි ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඇතුළේ ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් අපි කතා කරන්නේ. අපිට යටි අදහසුත් නෑ. උඩ අදහසුත් නෑ.   


ප්‍රශ්නය-සුසිල් ප්‍රේමජයන්ත කතා කළේ යටි අදහසක් තියාගෙන කියලා ඔබත් සැක කරනවද? 

 
පිළිතුර- එතුමා කිව්වනේ ‘අපිව බංකුවේ තියලා තියෙනවා’ කියලා. එයාට ලැබුණු එක ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒකෙන් පේනවනේ. එයාට පොඩි වේදනාවක් තියෙන්න ඇති.   


ප්‍රශ්නය-ආණ්ඩුව කළ යුත්තේ පිරිස පුළුවන් තරම් එකතු කර ගැනීම මිසක් මෙහෙම ඈත් කරන එක නොවෙයි?   


පිළිතුර- නෑ නෑ විනයක් නැතිව මේ කිසිම දෙයක් කරන්න බෑ.   


ප්‍රශ්නය-හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ආණ්ඩුවට වැරෙන් පහර දෙනවා?   


පිළිතුර- අපි බොහොම සන්තෝසෙන් එයාට ඉඩදීලා තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. ඒක අපට ලොකු පහසුවක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් වෙන්න කියලා.   


ප්‍රශ්නය-ඔබ එහෙම කිව්වට හිටපු ජනාධිපතිවරයා කියන්නේ ඡන්දෙට එනකොට පොහොට්ටුවේ 1, 2, 3 බොහෝම ළඟින් සාකච්ඡා කළා කියලයි? 

 
පිළිතුර- ඒක ඉතින් අපි දන්නේ නැහැනේ. එයා කියන එක දෙක තුන කවුද කියලා අපි දන්නේ නැහැ නේ. ඒ නිසා ඒකට උත්තර දෙන්න බැහැනේ. ඒවා අපි දන්නේ නැහැනේ. අනික ඒවා ප්‍රසිද්ධ සාකච්ඡාත් නොවෙයිනේ.   
ප්‍රශ්නය-බලයට එන්න උදව් ගත්තා, දැන් කරපිංචා වගේ අයින් කරනවා කියලයි කියන්නේ?   


පිළිතුර- ඒක ගැන නම් එයාටත් අපිටත් දෙගොල්ලන්ටම හිතන්න වෙනවා. ඒ ගොල්ලෝ අපි එක්ක එකතු වෙච්ච නිසා ඒ ගොල්ලන්ට මන්ත්‍රීවරු වෙන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් ඒ ගොල්ලෝ නිසා අපි දිනුවද කියලා. ඒක බලාගන්න එකම තැනයි තියෙන්නේ. ඒ කළුතර දිස්ත්‍රික්කය. ඒ ගොල්ලෝ ස්වාධීනව තරග කළා. අපි වෙනමම තරග කළා. ඒ ගොල්ලන්ට ලැබුණ ඡන්ද ගැන බලන්න. ඒ ගොල්ලෝ අපිත් එක්ක එකතු වුණ නිසා තමයි ඔය මන්ත්‍රී ධුර 14 හරි හම්බ වුණේ. එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙච්ච දේමයි.   


ප්‍රශ්නය-ආණ්ඩුව ඇතුළේ මෙහෙම ගෝරි දා ගත්තම ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වෙලාවක් තියෙනවද? 

 
පිළිතුර- ඒක ඉතින් කතා කරන අය අවබෝධ කරගන්න ඕනැ. ඊළඟ මැතිවරණයෙදි ඔය කතා කරන අය ගැන මහජනයා තීන්දුවක් ගනීවි.   


ප්‍රශ්නය-බඩු මිල ගුවන් ගතයි. මහජනයා දිවන්ගතයි. රටට මේ මොකද්ද වුණේ?   


පිළිතුර- බඩු මිල ඉහළ ගිහින් තියෙන එක ඇත්තනේ. රටේ සමහරුන්ට අමතක වෙලා තියෙනවනේ ලෝකයෙ කොවිඩ් වසංගතයක් තියෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි නොසිටින්න අපේ රටට මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් බෑ. එන්නත ගෙනල්ලා දකුණු ආසියාවේ සියයට 85ක් එන්නත් කළ රටක් තියෙනවා නම් ඒ අපේ රටයි. ඒ නිසා තමයි කොවිඩ් අද පාලනය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් රෝහල්වල ඉඩ නැතුව අපට බරපතළ ප්‍රශ්න මතුවෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක එන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා ස්වාභාවිකයි. අපේ රටට සංචාරකයෝ එන්නෙ නැතිවෙනකොට විදේශ විනිමය නොලැබෙනකොට අපි මොකද කරන්නේ?   


ප්‍රශ්නය-ඔහොම කියන්න නම් රටකට ආණ්ඩුවක් අවශ්‍ය නෑ?

   
පිළිතුර- මම කිව්වේ තියෙන තත්ත්වය. ඔය මොන ප්‍රශ්න තිබුණත් අපේ ආණ්ඩුව එක දවසක්වත් ජනතාව බඩගින්නේ තිබ්බේ නැහැ. වැඩි මිලට හෝ අඩු මිලට බඩුගන්න තියෙනවා. ඔය වෘත්තීය සමිතිකාරයෝ දාලා කියෙව්වා තෙල් හිඟ වෙනවා, පෝලිම් එනවා කියලා. නමුත් අද වෙනතුරු කිසි ප්‍රශ්නයක් නැතිව තෙල් සීමාවක් නැතිව දෙනවනේ. පැයක් දෙකක් කැපුවත් පැය විසි හතරෙම විදුලිය තියෙනවනේ මේ රටේ. 

 
ප්‍රශ්නය- සමහර ප්‍රශ්න ආණ්ඩුව ගෙන්න ගත්ත ඒවා. පොහොර ප්‍රශ්නය එහෙම එකක්?   


පිළිතුර- කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ථක නෑ. බොහෝ තැන්වල කාබනික පොහොරින් කරපු ගොවිතැන් තියෙනවා. නමුත් ඉතින් සංවිධානය වුණු යම් යම් කොටස් මේක ගැන කතා කරනවා. මම දැක්කා ටීවී එකේ අනුරාධපුර බන්ධනාගාරයෙ අක්කර පහක් කාබනික පොහොරින් කරපු අස්වැන්න. තමුන්නාන්සේ මෙතන ඉඳලා යන්නකෝ අනුරාධපුරයට. යන කොට මගදි හමුවෙන වෙල්යායවල් දිහා බලන්න. එතකොට තේරෙයි වපුරලාද නැද්ද කියලා? මම ගිය සුමානේ අනුරාධපුරයේ ගියා. එහෙම යනකොට මම වැඩිපුරම බැලුවේ වපුරලාද නැද්ද කියලා. හැම තැනම වපුරලා තියෙනවා.   


ප්‍රශ්නය-අස්වැන්න සියයට 40ත් 50ත් අතර අඩුවෙනවා?   


පිළිතුර- මට ඒක කියන්න බෑ. නමුත් හොඳ කොළපාට පෙනුමක් තියෙනවා. මං ඉන්නේ පිළියන්දල. අපේ පළාතේ තමයි වැඩියෙන්ම කොටු ගොවිතැන් කරන්නේ. ඒ අයගේ ආදායම්මාර්ගත් දැන් වැඩිවෙලා තියෙනවා. හැබැයි ඒ අයට ඉස්සරට වැඩියෙන් වැඩි මිලට පොහොර ගන්න වෙලා තියෙනවා.   


ප්‍රශ්නය-ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ නම් කිව්වේ ‘මේ කාබනික වගාවට ගිහිල්ලා මගේ අවුරුදු 32ක දේශපාලන ජීවිතය විනාශ වුණා’ කියලා.   


පිළිතුර- ඒක ඉතින් එතුමාගෙන් අහන්න ඕනැ මොකද වුණේ කියලා. අපි මාධ්‍ය සාකච්ඡාවලට ගිහින් වැඩිපුර අභියෝග බාර ගන්න හොඳ නෑ. විදුලිබල ඇමැති හැටියට මම මුළු කාලයම යොදවන්නේ විදුලිය කැපීමකින් තොරව යන්න. වැඩ වර්ජන නැතිව විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යන්න. ඒක තමයි මගේ අරමුණ. එහෙම නැතිව මම උදේ ඉඳන් හැන්දෑ වෙනකම් විදුලි ඉංජිනේරුවන්ට දොස් කියන්නවත් තව කාට හරි දොස් කිය කියා ඉඳලා හරියන්නේ නෑ. මට ඕනෑ මේ සේවාව දිගටම කරන්න. ඒකට අවශ්‍ය හැම කටයුත්තක්ම මම කරනවා.   


ප්‍රශ්නය-ආණ්ඩුව ඇතුළේ නිසි සාකච්ඡාවක් නොවීමත් ප්‍රශ්න උග්‍ර වෙන්න හේතුවක්?   


පිළිතුර- ඕනෑ තරම් සාකච්ඡා තියෙනවා. මම මේ ටික වෙලාවකට කලින් ජනාධිපතිතුමාට කතා කරලා උපදෙස් ටිකක් ගත්තා. ඕනෑම අවස්ථාවක ජනාධිපතිතුමාට කතා කරන්න පුළුවන්. සාකච්ඡාවක් අවශ්‍ය නම් කල් ඇතුව දැනුම් දුන්නාම ඒකත් ලැබෙනවා. ප්‍රශ්නයක් කිව්වොත් ඒකටත් විසඳුම් ලැබෙනවා. ඊට වඩා මොනවද? අපට ඔය ප්‍රශ්න නැත්තේ මේ ඇමැතිකම කරන්නේ ඊළඟට අගමැති වෙන්න බලාගෙන නොවෙයි. ඊළඟ ජනාධිපති වෙන්න නොවෙයි. මේ ආණ්ඩුව රැකගෙන රටට සේවය කරන්න. සමහරු ගාව යටි අරමුණු තියෙනවා. ඒ අය විවිධ විප්ලව කරන්න හදනවා. ඕවායේ අවසානය මොකද්ද කියලා අපිට හිතාගන්න පුළුවන්?   


ප්‍රශ්නය-ඔබ එහෙම කියනකොට මට මතක් වුණේ වාසු, විමල් හා ගම්මන්පිල ඇමැතිවරුන්. ඔවුන් කැබිනට් තීරණයකට එරෙහිව උසාවි ගිහින්?   


පිළිතුර- උසාවි තීන්දුව ආවම ඔවුන් අවබෝධ කර ගනීවි මොකද්ද අපි කළේ කියල.   


ප්‍රශ්නය-මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ගිය ඉරිදා අපේ පත්තරයට කිව්වා ‘සුසිල්ව අයින් කරපු එක මම දැන ගත්තේ ශිරන්ති කිව්වාම කියලා අගමැති මහින්ද රාජපක්ෂ කිව්වා කියලා. අගමැතිවරයාව මේ දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් කරලද?   


පිළිතුර- අගමැතිතුමා මේ රටේ අගමැතිතුමා හැටියට ඉන්නවා. ජනාධිපතිතුමාටත් වගකීමක් තියෙනවා හැට නව ලක්ෂයක ජනවරමට අනුව තීන්දු ගන්න. අගමැතිතුමාටත් අයිතියක් තියෙනවා ස්වාධීනව තමන්ගේ මන්ත්‍රීවරුන් එක්ක කතා කරන්න.

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්