
කොළඹ මහ නගර සභාවේ ජාතික ජන බලවේග පාලනය යටතේ ගෙන එන ලද ප්‍රථම අයවැය යෝජනාවලිය පළමු වටයේදී පරාජය වීම (දෙවන වර සම්මත විය) ඉකුත් දිනවල දේශපාලන අංශ අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. මාලිමාවට බලය හිමි පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවක අයවැය පරාජය වීම ඉකුත් සති කිහිපය පුරාම දැක ගැනීමට හැකි විය. සභාව පිහිටුවීමේදී තිබූ බහුතරය අයවැයේදී නොමැතිවීම එයට හේතුවය.
මෙම තත්වය ඇති වූයේ 2015 යහපාලන රජය සමයේ සම්මත කරන ලද පළාත් පාලන පනතේ වැරදි හේතුවෙනි. පැරණි පනත යටතේ පළාත් පාලන ආයතනවල බහුතරය පිළිබඳ මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වූයේ නැත. සමගි ජනබලවේග මන්ත්‍රී මුජිබර් රහුමාන් අයවැය පරාජයෙන් පසු කියා සිටියේ, රජය නගර සභා මන්ත්‍රීවරුන් කැඳවා බුරියානි ඇතුළත් ආහාර වේලක් පවා ලබාදී තවත් පොරොන්දු ගණනාවක් මන්ත්‍රීවරුන්ට ලබාදී ඇතත්, එවැනි අවස්ථාවක අයවැය පැරදවීමට එම මන්ත්‍රීවරුන් කටයුතු කළේ එම පොරොන්දු බොරු පොරොන්දු බව තේරුම් ගත් නිසා බවය. බුරියානි කන්න දී අයවැය ජයගත නොහැකි බව ද මුජිබර් කීවේය.
වර්තමාන පළාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව අයවැය පරාජය වුවත් යම් සභාවක බලය පිහිටුවා වසර දෙකක් යනතුරු බලය වෙනස් වන්නේ නැත. එහෙත් එහිදී පාලක පක්ෂය ගෙන එන අණපනත් සම්මත කර ගැනීමට නොහැකි වෙයි. සෑම සභාවකම ඇති මුදල් කමිටුවට මෙහිදී සුවිශේෂ බලතල හිමිවේ. මුදල් කමිටුව සමන්විත වන්නේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් ගෙනි.
මතුගම ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත කර ගැනීමට සමගි ජන බලවේගය සමත්විය. මතුගම සභාවේ බලය පිහිටුවීමේදී ආසන සංවිධායක ජගත් විතාන මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායමේම සහාය සමගි ජන බලවේගයට ලබාගැනීමට සමත් වූ අතර, මෙවර අයවැය සම්මත කර ගැනීමේදී ද එලෙසම විපක්ෂයට එකතු වී කටයුතු කිරීමට හැකියාව ලැබිණි. සජබ ආසන සංවිධායක ජගත් විතාන එම අයවැය සම්මත වීමෙන් පසු ජනමාධ්‍යයට කියා සිටියේ, ජාතික ජනබලවේගයට අයත් ඕවිටිගල කොට්ඨාසය නියෝජනය කරන මන්ත්‍රීවරයා අයවැය ඡන්ද විමසීමටවත් නොපැමිණි අතර, එමගින් ආණ්ඩු පක්ෂයේ දේශපාලනය ගැන යම් මතයක් රටට ලැබෙන බවය. අයවැය සම්මත වූයේ විපක්ෂය වූ ජාතික ජන බලවේගයට වඩා වැඩි ඡන්ද හයක් සජබයට හිමිවීමෙනි.
ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂවල නියෝජිතයන්ගේ හමුවක්ද ඉකුත් ඉරිදා කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. මහාචාර්ය ජී.එල්. පීරිස්, අනුර යාපා, සුගීස්වර බණ්ඩාර, නිමල් සිරිපාල, දොස්තර රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, සාගල රත්නායක, නීතිඥ දොළවත්ත, නිමල් ලංසා ඇතුළු පිරිසක් මෙම රැස්වීමට පැමිණ සිටියහ.
ජනවාරි විසි හතර වැනිදා කොළඹට කැඳවීමට නියමිත ‘‘නිදහසේ නීතිඥයෝ’’ සංවිධානයේ සමුළුව පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය. සමුළුව පවත්වන රැස්වීම් ශාලාව පිළිබඳව ද පැමිණෙන අයට දිවා ආහාර බරපැන දරන කණ්ඩායම පිළිබඳවද අදහස් හුවමාරු කර ගැනිණි. එදින නීතිඥවරුන් දහසක පිරිසක් කොළඹට කැඳවීමට නියමිතය. ආපදාවෙන් අසරණ වූ පුද්ගලයන් ගැන අදහස් පළ කළ දේශපාලන නියෝජිතයන් පැවසුවේ, ඇතැම් ස්ථානවලට ආහාර සහ සහනාධාර මුදල් ලැබී නොමැති බවය. රජයෙන් ලබාදෙන ආධාර මුදල්වලටද විවිධ ප්‍රශ්න ඇති බව දේශපාලන නියෝජිතයෝ කියා සිටියහ.
ඊළඟට අදහස් පළවූයේ ආපදා විපත පිළිබඳව රජය දැනුවත්ව සිටියදීත් ජනතාව නිසි ලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් රිට් ආඥාවක් ලබාගැනීමේ කටයුත්ත පිළිබඳවය. මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී පැවසුවේ, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥ මඬුල්ලක් මේ පිලිබඳව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකිරීමට අදාළ තොරතුරු ඒකරාශි කරමින් පවතින බවය.
මේ දිනවල ජාතික ජන බලවේගයට අයත් පළාත් පාලන ආයතන ගණනාවක අයවැය පරාජය වන සිදුවීම් ගැනද දේශපාලන නියෝජිතයෝ මෙහිදී අදහස් පළ කළහ. දොස්තර රාජිත සේනාරත්න කියා සිටියේ බොහෝ තැන්වල ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ සභාවල අයවැය පරාජයට පත් කිරීමට කටයුතු කරද්දී කළුතර නගර සභාවේ සජබ මන්ත්‍රීවරුන් පස් දෙනකු ආණ්ඩුවට පක්ෂව ඡන්දය දී එම අයවැය දිනවීමට කටයුතු කර ඇති බවය. කළුතර දිස්ත්‍රික්කයේ සභා පහකට ආණ්ඩු පක්ෂය අයවැය සම්මත කර ගත්තේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය ලබාගැනීමෙන් බව ද දොස්තර රාජිත කීවේය.
විපක්ෂයේ මෙවැනි කටයුතු මේ දිනවල වාර්තා වුවත් ඒකාබද්ධ විපක්ෂය හා සජබය දේශපාලනය කරන්නේ වෙන වෙනමය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සහ තවත් විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ව ඉකුත්දා පැවැත්වූ නුගේගොඩ ජන රැලිය ආණ්ඩු විරෝධී ජනතාවට මහත් ආශ්වාදයක් බවට පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ වටා ගොනුවී තිබූ මෙම ජනරැලිය විශාල ජන සහභාගිත්වයකින් යුතුව පැවැත්වූ බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. වසරක් පිරුණු ආණ්ඩුව මෙවැනි විශාල ජනතාවක් විපක්ෂයට එකතු කර ගත හැකිවේ යැයි නොසිතූ බවද පැහැදිලිය. මෙම ජනරැලියෙන් පැහැදිලිවම දැකගත හැක්කේ සජබය හා පොහොට්ටුව ලෙස විපක්ෂය දෙකඩ වී ඇති බවය.
අතිවිශාල ජනතාවක් පැමිණි නුගේගොඩ රැලියෙන් පසුවද සජබය පොහොට්ටුව ආශ්‍රිත දේශපාලන සංවිධානයට එකතු වන ආකාරයක් පෙනෙන්නට නැත. සජබයේ ප්‍රධාන පෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා පවසන්නේ ජනවාරියේදී තමන් මෙම රැලියට වඩා විශාල ජන රැලියක් පවත්වා තම බලය පෙන්වන බවය. එම ප්‍රකාශය තුළින් කියැවෙන්නේ සජබය හා පොහොට්ටුව එකතුවීමක් ගැන නොව, පොහොට්ටුවේ ජන ගඟ අභිබවා යන ජන ගඟක් සමග තමන්ගේ බලය පෙන්වන බවය. ඒ අනුව සජබය වෙනම ගමනකුත් යන බව ඉතා පැහැදිලිවම පෙන්නුම් කරයි. එහි ප්‍රතිඵලය බෙදුණු විපක්ෂයකි. බෙදුණු විපක්ෂයකට මාලිමාවේ බලයට අභියෝග කළ හැකිද යන්න ප්‍රශ්නයකි.
මේ වන විට මෙරට පවතින ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් දෙකක් දැකගත හැකිය. සජිත් ප්‍රේමදාසගේ සජබය හා නාමල් රාජපක්ෂගේ පොහොට්ටුව වශයෙනි. එජාපය, ශ්‍රීලනිපය ඇතුළු තවත් කුඩා පක්ෂ ගණනාවක් ඇතත් එම සියලු පක්ෂ අනාගත ප්‍රධාන මැතිවරණයකදී සජිත් හෝ නාමල් වටා එකතු වේ. එම කිසිදු පක්ෂයක් තනිව තරග වැදීමට තරම් ජනපදනමකින් තොරය. එජාපය සජබය සමග ද ශ්‍රීලනිපය පොහොට්ටුව සමග ද එකතුවීමට විවිධ සාකච්ඡා ඇතත් සිදුවනු ඇත්තේ මෙම කුඩා පක්ෂ කණ්ඩායම් ගණනකට කැඩී සජිත් සහ නාමල් වටා ඇති දේශපාලන සංධානයට එකතු වීමය.
සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ වටා මේ වෙන විට ගොනු වී පවතින්නේ අතීතයේ මෙරට ආණ්ඩු කළ ප්‍රධාන පක්ෂ දෙකේ නූතන හැඩරුවය. එක්සත් ජාතික පක්ෂයෙන් වර්තමානයට ශේෂ වී ඇති කොටස සමගි ජනබලවේගය ලෙසද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වර්තමානයට ශේෂ වී ඇති කොටස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ද ක්‍රියාත්මක වෙයි. සමගි ජනබලවේගයට සජිත් ප්‍රේමදාස නායකත්වය දෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නාමල් රාජපක්ෂ නායකත්වය දෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය හේතුවෙන් එජාපය හා ශ්‍රීලනිපය වටා ගොනු වී තිබූ ඡන්ද පදනම් සියල්ල දියවී ගොස් සජිත් සහ නාමල් යටතේ යම් ආකාරයකට ශේෂ වී ඇත. ජනාධිපතිවරයා හඳුන්වා දුන් ප්‍රකට වදන වන ‘සුන්බුන් විපක්ෂය’ ලෙසින් අර්ථ දැක්වූයේ මෙම ප්‍රධාන පක්ෂ දෙකේ අවශේෂයන්ය.
මෙරට දේශපාලන සංස්කෘතිය අනුව එජාපයට පසමිතුරා වූයේ සෑමවිටම ශ්‍රීලනිපය. ශ්‍රීලනිපයට පසමිතුරා වූයේ සෑම විටම එජාපයය. මෙම පක්ෂ දෙක කිසිදු අවස්ථාවක එකට එකතු වූයේ නැත. එම පක්ෂ දෙකේ ඡන්දදායකයන්ද කිසිදා එකට එකතුවූයේ නැත. වර්තමානයේදීද නාමල් සමග සජිත් එකතු නොවන්නා සේම සජිත් සමග නාමල් ද එකතු වන්නේ නැත. මෙම පක්ෂ දෙකම පැරණි විරසකය එලෙසට පවත්වාගෙන යන බව පෙනී යයි.
ජාතික ජනබලවේග ආණ්ඩුව යම් දිනක බලයෙන් පහකර මීළඟ ආණ්ඩුව පත්කරන කණ්ඩායම පිළිබඳව විපක්ෂයේ දේශපාලකයන් අතර මත දෙකක් තිබේ. සමගි ජනබලවේගය හා ශ්‍රීලනිපයේ ඇතැම් කොටස් පවසන්නේ මීළඟට බලයට පත්වෙන්නේ මේ රටේ ධනපති පක්ෂයක් බවය. ඔවුන්ට අනුව ධනපති පක්ෂ වන්නේ සජබය, එජාපය හා ශ්‍රීලනිපයේ ඇතැම් කොටස් එකතු වූ බලවේගයකි.
පොහොට්ටුව නියෝජනය කරන පිරිස් පවසන්නේ මීළඟට බලයට එන්නේ තම පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේගයක් බවය. ඔවුන්ට අනුව සජබ හා එජාප එකමුතුවකට ජයගත නොහැකි අතර පොහොට්ටුව හා මාලිමාවට ඡන්දය දුන් පිරිස එක්වීමෙන් මීළඟ ආණ්ඩුව පොහොට්ටුව මූලික කරගෙන පිහිටුවන බව ඔවුහු කියති.
මේ සියල්ලම උග්‍ර පරාජයකින් පසු යළිත් නැගී සිටීම සඳහා විපක්ෂයේ දේශපාලකයන් ගෙනයන ප්‍රචාරක මතවාද මිස අන් යමක් නොවේ. පැවැති ප්‍රභූ දේශපාලන තන්ත්‍රය පරාජය වීමේ සැබෑ හේතු අවබෝධ කරගෙන දේශපාලනය කරන බවක් කිසිදු ලෙසකින් පෙනෙන්නට නැත. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිටපු මන්ත්‍රීවරුන් තවත් වසර කිහිපයක්වත් දේශපාලන වේදිකාවේ පසුපසට දමනු වෙනුවට ඔවුන් වේදිකාවේ ඉදිරියට ගෙන සිටින ආකාරයෙන්ම මෙම අවබෝධය ඔවුන්ට නොමැති බව පෙනී යයි.
තමන්ට හිතවත් පිරිසක් රැස්කර ගෙන පවත්වන රැලියකින් රටේ පවතින සැබෑ ජනමතය දැකගත නොහැකිය. එයට හොඳම උදාහරණය ජනතා විමුක්ති පෙරමුණය. ගම්වල සිටින සුවච කීකරු පාක්ෂිකයා ළංකරගෙන රැස්වීම් පවත්වා ඡායාරූපවලින් සෙනඟ පෙන්වූවාට 2024 දී බලය ලබාගන්නා තුරුම ජවිපෙට මැතිවරණවලදී ලැබුණේ සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් පමණකි. ජවිපෙ රැස්වීම්වලට රටේ සැබෑ ජනමතය වන පොදු මහජනතාව පැමිණියේ නැත. දශක ගණනාවක් ජවිපෙ කළ එම මිථ්‍යාව වෙනස් කරමින් මාලිමාව නමින් අලුත් පක්ෂයක් නිර්මාණය කර තම ප්‍රතිපත්තිද වෙනස් කරමින් අනුර දිසානායක ජනාධිපතිවරයා කළ වෙනස් කම් නිසා 2024 මැතිවරණය ජය ගන්නට ජවිපෙට හැකි විය.
ජවිපෙ ජයගත්තේ ඒකාකාරී තම දේශපාලනය වෙනස් විය යුතු බව ඔවුන්ගේ දීර්ඝ දේශපාලන ක්‍රියාවලිය තුළදී තේරුම් ගත් නිසාය. එසේ වෙනස් නොවූයේ නම් තවමත් ජවිපෙට ඇත්තේ සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් පමණකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය තේරුම් ගත යුතු දේශපාලන සත්‍යය මෙයයි. සජබය තවමත් ආණ්ඩුවට විකල්පය වී නැති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් පසුගිය දේශපාලන පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන නැත.
මේ වන විට ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකට තනිව ඉදිරිපත් වී ප්‍රධාන මැතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකිය. වසර ගණනවකට පෙර මෙරට දේශපාලන පක්ෂ අහෝසි වී තිබීම එයට හේතුවය. මේ වන විට සිදුවෙමින් පවතින්නේ පුද්ගල චරිත වටා ගොනු වී ඇති ඡන්ද ප්‍රමාණය එකතු කරගෙන සන්ධාන ගොඩ නඟාගැනීම හා එමගින් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමේ දේශපාලනයකි. තවමත් මෙරට වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින්නේ ආණ්ඩුවට නොව විපක්ෂයටය. ඡන්දය වර්ජනය කර සිටින ලක්ෂ හැටතුනක ජනතාවගෙන් අති බහුතරයද විපක්ෂයට හිමිව තිබූ ඡන්දය. එහෙත් ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙක වන සජබය හා පොහොට්ටුව වෙන් වෙන්ව දේශපාලනයේ යෙදී සිටීම නිසා ආණ්ඩු විරෝධී බලවේගවල ප්‍රාණවත් වීමක් දැකගත නොහැකිය. සෙනඟ පෙන්වීමෙන් විපක්ෂයේ තමන්ට හිමි කොටස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙන් කරගත හැකි වුවත් ආණ්ඩුවට අභියෝගයක් ඉන් කිසිසේත්ම සිදු නොවන්නේය. බෙදුණු විපක්ෂයක වාසිය ඇත්තේ ආණ්ඩු පක්ෂයට බව ඉතිහාසය අපට උගන්වා ඇති පාඩමය.
ප්‍රේමකීර්ති රණතුංග

