බිලියන 500න් ගොඩයන්න පුළුවන්ද


දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් රට යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් පසුගිය 18 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. මේ ව්‍යසනයෙන් රටට වූ ආර්ථික අලාභය කොතෙක්ද යන්න ගැන නිල සංඛ්‍යා දත්ත මෙතෙක් ප්‍රසිද්ධව නැතත් එය ඩොලර් බිලියන 7 ක් හෝ ඊට වැඩි ගණනක් විය හැකි බවට පුරෝකථන ඉදිරිපත් වේ. රට ගොඩනැගීම එක් වසරකින් පමණක් කළ හැකි ද යන්නත් අඩමාන ය. මෙවැනි පසුබිමක රුපියල් බිලියන 500 ක මුදලක් ඊට ප්‍රමාණවත් ද, එම මුදල සොයා ගත හැකි ද සහ මේ ව්‍යවසනයේ බලපෑම දිගුකාලීන ආර්ථික වර්ධනයට කෙසේ බලපානු ඇත්ද යනාදී කාරණා සාකච්ඡාවට බඳුන් කරමින් මහාචාර්ය සේමසිංහ වන්නිනායක සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියක් මෙසේ ය.

මේ ආපදාවෙන් ජන ජීවිතවලට වූ හානියට අමතරව නිවාස හා දේපොළවලට විශාල හානි සිදු විය. මහා මාර්ග, දුම්රිය මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදු විය. ව්‍යාපාරික ආයතනවලට වූ හානි ද සුළු පටු නොවේ. කෘෂිකාර්මික අංශය සලකන විට කෘෂි භෝගවලට සහ වගා බිම්වලට ද අතිමහත් හානියක් සිදු විය. මෙපරිදි මෙම අංශවලට වූ හානි නැවත ප්‍රතිපූරණය කරන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ. සිදු වූ හානිය සම්බන්ධයෙන් විවිධ ගණන් හිලව් ඉදිරිපත් වේ. එම පාඩුව ඩොලර් බිලියන 7 ක් බව ද පැවසේ. එහෙත් මේ කිසිදු සංඛ්‍යා දත්තයක් නිසි විද්‍යාත්මක පදනමක් මත සකස් කෙරුණක් නොවේ. රජය පවසන්නේ සිදු වූ හානිය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ මැදිහත්වීම ඇතුව නිසි තක්සේරුවක් සකස් කරන බව ය.

පරිපූරක ඇස්තමේන්තුවක් යනු?

මේ සන්දර්භය අනුව රජය ඉකුත්දාක රුපියල් බිලියන 50 ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගත්තේ ය. පසුගිය වසරේ අයවැයෙන් ඉතිරි වූ රුපියල් බිලියන 22 ඉක්ම වූ මුදලත් මේ රුපියල් බිලියන 50 ත් යොදා ගනිමින් දෙසැම්බර් මාසය සඳහා ආපදා වන්දි මුදල් ගෙවන බව ද ප්‍රකාශ විය. දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මේ ව්‍යසනය ඇති වූයේ 2026 අයවැය සම්මත කර ගැනීමෙන් පසු ය. අයවැයට පරිබාහිරව දැරීමට සිදු වෙන වියදම් ආවරණය කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමෙහි ගැටලුවක් නැත. එය ලෝකයේ සම්මත ක්‍රමවේදයකි. ඒ අනුව පසුගිය 18 වැනිදා ආපදා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් බිලියන 500 ක (රුපියල් ට්‍රිලියන බාගයක්) පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය. 

වසර 2026 අයවැය මේ වෙනවිටත් සම්මත කරනු ලැබ ඇති අතර ඒ යටතේ එළැඹෙන වසරේ වැය ශීර්ෂ සහ එම වියදම් උපයා ගන්නා ආදායම් මාර්ග නිශ්චිත ලෙස දක්වා තිබේ. මේවා සම්මත වූ පසු රජයකට ඉන් පරිබාහිරව අයවැය සම්බන්ධව කටයුතු කළ නොහැකි ය. අයවැයක් සම්මත වූ පසු මේ ආකාරයේ හදිසි ආපදාවක් උද්ගත වුව හොත් අමතර වියදමක් දැරීමට සිදු වේ. එසේ වැයවෙන අමතර මුදල ලබා ගැනීම අරබයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට පිළිවන. ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනාව හඳුන්වන්නේ පරිපූරක ඇස්තමේන්තුවක් වශයෙනි. මෙවැනි යෝජනාවක වාසි සහ අවාසි අන්තර්ගත වේ. එක් වාසියක් නම්, සංවර්ධන ව්‍යාපෘති නොකඩවා කරගෙන යෑමට ඇති හැකියාව යි. මෙම ව්‍යවසනය අනපේක්ෂිත එකක් බැවින් මෙහි වියදම අයවැයෙහි අන්තර්ගත නොවේ. මේ සන්දර්භයේ අයවැයෙහි ඇතුළත් නොවන මේ වියදම ආවරණය කරගත හැකි විධිමත් ක්‍රමය වන්නේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමයි. එමගින් ආපදාවෙන් බලපෑමට ලක් වූ රට ගොඩගැනීමේ හැකියාව ලැබේ.

අවධානයට ගත යුතු මෙයින් සිදුවිය හැකි අවාසියක් ද තිබේ. එනම්, ව්‍යසනයෙන් සිදු වූ හානිය පිළිබඳ ව මෙතෙක් නිශ්චිත ගණනය කිරීමක් කර නැති පසුබිමක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන් කරගෙන ඒවා වියදම් කිරීමේ දී නොයෙක් අක්‍රමිකතා සිදුවීමට වැඩි ඉඩක් තිබීම ය. එවිට විනිවිදභාවයක් අපේක්ෂා කිරීම ද අපහසු වේ. ඇතැම් වියදම් වසරකින් අවසන් කළ නොහැකි දීර්ඝකාලීන ඒවා ය. එයත් දැඩිව අවධානයට ගත යුතු ය. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ලබන වසරේ දී වියදම් කිරීමට අපේක්ෂා කරන මුදලකි. ආණ්ඩුව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට අදාළ යෝජනාවෙහි සඳහන් දත්තවලට අනුව නිවාස පිළිසකර කිරීම ඇතුළු එම වියදම්වලට රුපියල් බිලියන 100 ක් ද මාර්ග පාලම් ඇතුළු යටිතලපහසුකම් ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් බිලියන 250 ක් ද ව්‍යාපාරික ආයතනවලට වූ හානිය ප්‍රතිපූරණය කිරීම සඳහා රුපියල් බිලියන 150 ක් ද වශයෙන් එම රුපියල් බිලියන 500 නොහොත් රුපියල් ට්‍රිලියන බාගය වැය කිරීමට අපේක්ෂිත ය.

භාණ්ඩාගාරයේ රුපියල් ට්‍රිලියනයක් තිබිය දී තවත් රුපියල් බිලියන 500 ක් මොකට ද?

මෙහි දී මතු වෙන මූලික ප්‍රශ්නය වන්නේ මෙම මුදල සපයා ගන්නේ කෙසේ ද යන්න ය. සාමාන්‍ය තත්ත්ව යටතේ ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවල දී සිදු වූයේ මුදල් අච්චුගැසීමෙන් හෝ ණය ගැනීමෙන් එම මුදල් සපයාගැනීම ය. බදු වැඩිකර ආදායම් ඉහළ නංවා ගැනීමෙන් ද මුදල් සොයා ගන්නා ලදි. එහෙත් මෙවර ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවෙන් යෝජනා කළ රුපියල් බිලියන 500 සපයා ගන්නේ කෙසේ ද යන්න අපැහැදිලි ය. මහා භාණ්ඩාගාරය සතුව රුපියල් ට්‍රිලියනයක මුදල් තිබෙන බව මීට ඉහත දී ආණ්ඩුව පැවසීය. එහි තිබෙන්නේ මහජනතාවගේ මුදල් බැවින් ඒවා මේ අවස්ථාවේ වියදම් කිරීමට ද පිළිවන. රුපියල් ට්‍රිලියනයක මුදලක් භාණ්ඩාගාරයේ තිබිය දී තවත් රුපියල් බිලියන 500 ක් සපයා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ ඇයි ද යන්න තේරුම් ගත නොහැකි ය. මේ රුපියල් බිලියන 500 ක මුදල පියවා ගැනීමට කිසිසේත්ම බදු වැඩි නොකරන බව රජය කියයි. නව මහ බැංකු පනත අනුව මුදල් අච්චුගැසීම ද සීමා කර ඇත. ණය ගැනීමත් පහසු නොවේ. ශ්‍රී ලංකාව තවදුරටත් ණය දරාගත නොහැකි තත්ත්වයක සිටින හෙයින් ණය වෙනුවට සහනාධාර ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ද එනිසා ය.

2026 අයවැයේ වැය ශීර්ෂ කිහිපයක මුදල් වෙනසකට ලක් කිරීමෙන් යම් මුදලක් සොයා ගත හැකි බව රජය පාර්ශ්වයෙන් ප්‍රකාශ වේ. නිදසුනක් ලෙස අයවැයෙන් යටිතලපහසුකම් ගොඩ නැංවීමට වෙන් කර ඇති මුදල මේ සඳහා භාවිත කළ හැකි ය. ආපදා කළමනාකරණයට වෙන් කර ඇති මුදලත් ගැනීමට පිළිවන. එහෙත් එසේ කිරීමෙන් රුපියල් බිලියන 500 ක මුදලක් සොයා ගත හැකි යැයි මම විශ්වාස නොකරමි. හේතුව, එපරිදි අයවැයෙන් වෙන් කරන ලද මුදල් විශාල අගයක් නොගැනීම ය. එබැවින් භාණ්ඩාගාරයේ ඇතැයි කියන රුපියල් ට්‍රිලියනය මේ ආපදාව සඳහා යොදා නොගන්නේ නම් පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 500 සොයාගැනීම පහසු නැත.

මේ ආපදාව නිසා බිඳ වැටුණු රට ගොඩනැගීම වෙනුවෙන් මුදල් ආධාර බැරකිරීම සඳහා පිහිටුවූ Rebuilding Sri Lanka අරමුදලට මේ වෙනවිට බැර වී ඇත්තේ ද රුපියල් බිලියන 3 ඉක්ම වූ මුදලකි. බිලියන 500 ට සාපේක්ෂව බැලීමේ දී එය විශාල අගයක් නොවේ. මෙයින් පැහැදිලි වෙන්නේ අපේක්ෂා කළ තරමේ විදේශ ආධාර විශාල ප්‍රමාණයක් රටට ලැබී නැති බව ය. මගේ මතය වන්නේ මේ පරිපූරක ඇස්තමේන්තුවෙන් යෝජනා කළ මුදල සත්‍ය වශයෙන් ම වියදම් කරන්නේ නම් එම මුදල අමතරව සොයාගැනීමට රජයට සිදු වෙන බව ය. හේතුව, එය 2026 අයවැය ලේඛනයේ අන්තර්ගත නොවන වියදමක් හෙයිනි. එහෙත් ගැටලුව වන්නේ ඉහත සඳහන් කළ පරිදි ඒ සඳහා පවතින ප්‍රධාන මාර්ග තුන- ණය ගැනීම, මුදල් අච්චු ගැසීම සහ බදු වැඩිකිරීම- ඒ අරබයා යොදා ගත නොහැකි වීම ය.

ආපදා වන්දි ගෙවීම සඳහා රජය දැනට ප්‍රකාශයට පත්කර ඇති වැඩපිළිවෙළෙහි අතිවිශාල වියදමක් අන්තර්ගත ය. එය එලෙසම ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 500 ක මුදල ප්‍රමාණවත් නොවීමට ද පිළිවන. මෙම ව්‍යසනයෙන් සිදුවුණු හානිය එක් වසරකින් යථා තත්ත්වයට පත් කළ නොහැකි ය. 2026 වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ අත්‍යවශ්‍ය දේවල් පමණි. පීඩාවට පත් ගොවීන්ට වන්දි මුදල් ගෙවනු ලැබූව ද විනාශ වූ කෘෂිකාර්මික වගා භූමි යථා තත්ත්වයට පත්කිරීම පහසු නැත.

දිට්වා නිසා 2026 දී ආර්ථිකයේ විශාල පසුබෑමක් 

කවර හෝ ආකාරයකින් මේ මුදල් සපයා ගත්ත ද එයින් නැවතත් උද්ධමනය ඉහළ යෑමේ අනතුරක් තිබේ. හේතුව, රුපියල් බිලියන 500 ක් තරම් විශාල මුදලක් ආර්ථිකයට පැමිණෙන හෙයින් එමගින් ගනුදෙනු වැඩිවීමෙන් උද්ධමන පීඩනයක් ඇති විය හැකි බැවිනි. ආර්ථිකය තවමත් තිබෙන්නේ අසීරු අවධියක ය. 2019 වසරේ ආර්ථිකය පැවති තත්ත්වයට මෙතෙක් පැමිණ නැත. මේ ආපදාව නිසා 2026 වසරේ දී ආර්ථිකයේ විශාල පසුබෑමක් සිදු වේ. එම බිඳ වැටීම කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා යන අංශත්‍රයෙන්ම පිළිබිඹු වනු ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය හැකිළීමකට ලක්වීම ය. එවැන්නක් වූ විට නිෂ්පාදනය පහත වැටෙන අතර රජයේ වියදම් ඉහළ යෑම මගින් යළිත් ඉහළ උද්ධමන පීඩනයක් ඇති වීමට පිළිවන. එසේ වුවත් කාර්මික හා කෘෂිකාර්මික අංශවල යම් ප්‍රබෝධයක් ඇති කර ගැනීමට සමත් වුව හොත් 2027 දී සියයට 3-3.5 අතර ආර්ථික වර්ධන වේගයක් අත්කර ගත හැකිය යන්න මගේ තක්සේරුවයි.

ආර්ථිකය හැකිළීම වළක්වා ගැනීම පිණිස ගතහැකි පියවර කිහිපයක් ඇත. විදේශ ප්‍රේෂණ යම් ප්‍රමාණයකින් හෝ වැඩි කර ගැනීම එකකි. දේශීය හා විදේශීය ප්‍රදාන වැඩි ප්‍රමාණයක් ලබාගැනීම තව එකකි. එළැඹෙන ජනවාරි මස ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන බව රජය පවසා තිබේ. එමගින් යම් ප්‍රදාන ප්‍රමාණයක් රැස් කරගැනීමට හැකි වුව හොත් පීඩනය තරමක්දුරට අවම කරගැනීමට පිළිවන.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ ණය වැඩසටහන අනුව අපේ විදේශ සංචිත 2028 වෙනවිට ඩොලර් බිලියන 8.2 ක් දක්වා වැඩිවිය යුතු ය. 2026 දී එම අගය ඩොලර් බිලියන 10.9 දක්වාත් 2029 වෙද්දි ඩොලර් බිලියන 14.3 දක්වාත් ඉහළ යා යුතු ය. මේ ව්‍යවසනයත් සමග එම ඉලක්ක කරා ළඟාවීම ඉතාමත් දුෂ්කර වේ. 2028 සිට විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කළ යුතු අතර රජය කියන්නේ බාධාවකින් තොරව එය කළ හැකි බව ය. එහෙත් මගේ අදහස වන්නේ දිට්වා සුළි කුණාටුවට පෙර පැවති ආර්ථික තත්ත්වය යටතේත් 2028 දී විදේශ ණය ගෙවීම අසීරු වූ බැවින් දැන් තත්ත්වය යටතේ එය ඉතා දුෂ්කර වනු ඇති බව ය. 

එක අවුරුද්දකින් යථා තත්ත්වයට ගන්න බෑ

ආපදා වන්දි ගෙවීම සඳහා රජය දැනට ප්‍රකාශයට පත්කර ඇති වැඩපිළිවෙළෙහි අතිවිශාල වියදමක් අන්තර්ගත ය. එය එලෙසම ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 500 ක මුදල ප්‍රමාණවත් නොවීමට ද පිළිවන. මෙම ව්‍යසනයෙන් සිදුවුණු හානිය එක් වසරකින් යථා තත්ත්වයට පත් කළ නොහැකි ය. 2026 වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ අත්‍යවශ්‍ය දේවල් පමණි. පීඩාවට පත් ගොවීන්ට වන්දි මුදල් ගෙවනු ලැබූව ද විනාශ වූ කෘෂිකාර්මික වගා භූමි යථා තත්ත්වයට පත්කිරීම පහසු නැත. නිදසුනක් ලෙස නාය යෑමට ලක් වූ ප්‍රදේශවල කෘෂි බිම් නැවත ගොඩනැගීම දුෂ්කර ය. 2026 දී යම් යම් දේවල් කළ හැකි වුවත් මෙහි බලපෑම දීර්ඝකාලීනව පවතින බව මා කීවේ එබැවිනි. එනයින් 2027 දීත් මේ වෙනුවෙන් මුදල් වෙන්කිරීමට සිදු වෙනු ඇත.

සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ