බියර් - අයිස් කලවමින් සූර් වෙන්නට ගොස් හෙළි වූ බස් ශාන්තගේ කුඩු කිලෝ හයසීය


තංගල්ල පොලිසියට පසුගිය සතියේ දිනෙක හිමිදිරි පාන්දර තරුණයන් දෙදෙනකු දුවගෙන ආවේ පැමිණිල්ලක් කිරීම සඳහාය. ඒ පිරිසක් තමන්ට පහරදුන් බව කියාය. එහිදී ඔවුන් දෙදෙනා වැඩිමනත් විස්තරයක් ද දුන්හ.  

ඊට අනුව පොලිසියේ පිරිසක් සීනිමෝදර ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පවතින නිවසකට පැමිණියහ. එහි දී එම නිවසේ තරුණයන් දෙදෙනකු ස්ථාන දෙකක වැටී සිටින අයුරු දැක ඔවුන්ට දැකගත හැකිවිය. එක් අයකු පුටුවක ඇලවී සිටි අතර, අනෙකා බිම වැටී සිටීයේය. සමීපව නිරීක්ෂණය කළ විට පොලිසියට ප්‍රත්‍යක්ෂ කරගත හැකි වූයේ, ඒ දෙදෙනාම මියගොස් ඇති බවයි.

වහාම තංගල්ල සොකෝ නිලධාරින් ද කැඳවීය. ප්‍රදේශයේ ජනතාව ද එක් රොක් වන්නට විය. සිදුවීම සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනා ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන විට ඔවුන් සඳහන් කළේ, තම පියා ද එම ස්ථානයේ සිට පිටව ගිය බවය.  

පෙර දින රාත්‍රියේ අයෙකු සිය පියාට ඇමතුමක් ලබා දී එම නිවස ආසන්නයට කැඳවූ බවත්,  ඒ අනුව එහි ගිය පියාට පසුව බඩේ දැවිල්ලක් හැදී පෞද්ගලික රෝහලකට රැගෙන ගිය බවත්, එහි දී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු බරපතළ තත්වයක් නොමැති බව කියා පිටත් කර හැරි බවත්,    නිවසට ගිය පසුව පපුවේ දැවිල්ල වැඩිවී අසාධ්‍ය වීම නිසා තංගල්ල මුලික රෝහලට රැගෙන ගිය බවත්, එහිදී දැඩි සත්කාර ඒකකට පවා ඇතුළු කරන්නට යෙදුණු බවත්, ඔවුන් කියා තිබේ.

එසේ රෝහලේ සිටිනා අවස්ථාවේ දුරකථන ඇමතුමක් ඔස්සේ ඔවුන්ට දැනුම් දීමක් කළ අයකු සඳහන් කර ඇත්තේ - අදාළ නිවසේ ඇති පියා ගේ ලොරි රථයත්, අනෙක් ලොරි රථයත් රැගෙන ගොස් වෙනත් ස්ථානයක ගාල් කරන ලෙසය. ඉන් පසුව තමන් එහි ගිය බවත්, ලොරි රථ ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රදේශවාසීන් පහර දී පලවා හැරි බවත්, ඔවුහු සඳහන් කළහ.

මෙම තරුණයන් දෙදෙනාගේ ප්‍රකාශ මත පොලිසියේ සැකය වැඩිවිය.ඒ අනුව පොලිසිය ඔවුන් රඳවා ගෙන ලොරි රථ පරීක්ෂා කළේය. එහි දී ඩිමෝ ලොරි රථයේ තිබී අයිස් කිලෝ 10 ක් සොයා ගැනීමට  හැකි විය. මෙලෙස සොයා ගැනීමත් සමග මෙම පුවත රාවයක් මෙන් පැතිරී ගියේය. දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පොලිස්පතිවරයාට මේ සැළ කර සිටියේය.

මද වේලාවක් යන විට රාජ්‍ය බුද්ධි අංශය මගින් තොරතුරක් පොලිසියට ලැබිණි. ඒ එම ස්ථානයේ සිට කිලෝ මීටර් එකහමාරක් දුරින් පිහිටි එක්තරා පාළු නිවසක නවත්වා ඇති ලොරියක මත්ද්‍රව්‍ය අඩංගු බව ඉන් කියැවුණි. ඒ අනුව පොලිස් නිලධාරි පිරිස එම ස්ථානයට ගියහ. දැනුම් දීමෙන් ප්‍රකාශිත පරිදි ලොරි රථයක් පාලු නිවසේ නවත්වා තිබු අතර, එහි කොමඩු පටවා තිබුණි. පොලිසිය කොමඩු සියල්ල බිමට බා පරීක්ෂා කළත්, සැක කටයුතු වෙනත් දෙයක් දැකගත හැකිවූයේ නැත. නැවත ලොරිය පරීක්ෂා කළේ බොඩියේ හැම තැනටම තට්ටු දමමිනි. එහි දී  බඳෙහි කොටසක් සකසා එහි පැකට් කෙරුණු ද්‍රව්‍ය තොගයක් තැන්පත් කර ඇති අයුරු දැකගත හැකිවිය. ඒ හෙරොයින් හා අයිස් බව පැහැදිලි විය. ඊට අතිරේකව තවත් විශාල ප්‍රමාණයේ පාර්සල් කිහිපයක් ද නිරීක්ෂණය වුණි. විවෘත කර බලන විට ඒවා තුළ වූ අලුත්ම රිවෝල්වර පහක්  දැකගත හැකි හැකිවිය. වැඩිදුරටත් තවත් පරීක්ෂා කිරීමේ දී ටී-56 ගිනි අවියක් ද පොහොර උරය තුළ බහා තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවිය. හෙරොයින් සහ අයිස් තොගය කිලෝ 185 ටත් වැඩිය.  

පොලිසියට තවත් සැකයක් ඇති විය. ඒ  ප්‍රකාශිත අනෙක් ලොරියේ ද මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය සඟවා ඇත්දෝයි යන්නයි ඒ. ඒ අනුව එම ලොරි රථය ද පරීක්ෂා කෙරිණ. එහි දී පෙර ලොරියේ අසුරා තිබූ පරිද්දෙන්  අසුරා තිබූ කිලෝ 400 කට වැඩි මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව ලොරි දෙකේම පැවති අයිස් සහ හොරෝයින් ප්‍රමාණය කිලෝ 600 කට වැඩිය. 

මෙම මත්කුඩු කාගේ ද? ගෙන්නුවේ කවුද? මේ තරුණයන්ව ඝාතනය කලා ද? නැත්නම් විසක් වී මැරුණා ද? යන ගැටලු නිරාකරණය කර ගැනීමට පොලිසිය ඒ මොහොතේ සිට පරීක්ෂණ ආරම්භ කළේය.

එහි දී අනාවරණය වුණේ - මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණේ මෙන්ම රටේම ප්‍රබල පාතාල නායකයකු වන බස් ශාන්ත හෙවත් උණාකූරුවේ ශාන්තට අයිති බවය. ශාන්ත යනු මාකඳුරේ මදූෂ් ගේ ගුරුවරයා ය. ශාන්තට ලංකාවේ ඕනෑ පාතාලයෙක් ගරු කරති. ඇඹරෙති. ඒ නිසා ශාන්ත කරළියේ පේන්න නටන්නේ නැත. එසේම පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේ ​ෙමම මත්ද්‍රව්‍යවලින් කොටසක් කලු සාගරට අයත් බවය. කලු සාගර යනු ශාන්තගේ ගෝලයෙකි. කෙසේ වෙතත් තව තවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ දී හෙළිවුණේ මේ තරුණයන් මිය ගිය නිවස ශාන්ත ගේ පාර්ශ්වයෙන් මිල දී ගෙන ඇති බවය.

දැන් පොලිසියේ  එකම ජීවමාන සාක්ෂියවී ඇත්තේ රෝහලේ නවතා සිටින තරුණයන් දෙදෙනාගේ පියාය. ඒ නිසා පොලිසිය බලාපොරොත්තු වූයේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටය. එහෙත් එම පුද්ගලයා මිය ගිය බවට ලැබුණු තොරතුරත් සමග එම අදහස නිෂ්ප්‍රභා වුණි. එම තැනැත්තාට ද විෂ ශරීර ගතවීමක් සිදු වී ඇති බව වෛද්‍යවරු කීහ. 

කෙසේ වෙතත් පොලිසිය තරුණයන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන විට ඔවුන් සඳහන් කළේ සිය පියා ශාන්ත සමග සමීප මිත්‍රකම් පැවැත්වූ බව ඔවුන් දැන සිටි බවය. ඒ අනුව ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන කොහේ හෝ පිටත් වීමට සුදානම්ව සිටි බව තහවුරු වුණි.

පොලිසිය තව දුරටත් විමර්ශනය කිරීමේ දී තහවුරු වුණේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයේ ඒජන්තයකු විසින් ලබා දී ඇති බවයි. අදාළ මත්ද්‍රව්‍ය තොගය පසුගිය 21 දා මෙරටට පැමිණ ඇති බවත්, පසුව තවත් ධීවර බෝට්ටු දෙකක් ආධාරයෙන් ගොඩ බිමට රැගෙන විත් ඇති බවත්ය. එම බෝට්ටු දකුණේම පාතාල සාමාජිකයකුට අයත් බව අනාවරණය වී තිබේ. පසුව එම බෝට්ටුවලින් රැගෙන ආ මත්ද්‍රව්‍ය ගොඩට ගෙන ඇත්තේ කුඩාවැල්ල මාවැල්ල ප්‍රදේශයෙනි. එසේ ගොඩගත් මත්ද්‍රව්‍ය තොගය අදාළ ලොරි රථ වලට පටවා ඇත්තේ මියගිය තිදෙනා විසිනි. එසේ පටවා ඔවුන් බියර් පානය කර, නැවත පාළු නිවසට ගොස් ඇත්තේ අලුයම මත්කුඩු තොගය රැගෙන යාමේ අරමුණ ඇතිවය. එහෙත් තිදෙනාම හිටි හැටියේ මිය ගියහ. එසේ මිය ගියේ ඇයි? උභතෝකෝටියකි. 

තංගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළේය. එහි දී අනාවරණය වුයේ  බියර් සමග අයිස් සහ හෙරොයින් ශරීරගත වී ඇති වු සංකූලතා  හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවය. කෙසේ වෙතත්  වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා මියගිය අයගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද නියම වුණි.

කෙසේ වෙතත් මෙම මරණ සම්බන්ධයෙන් විවිධ කටකතා ගියේය. ඒ මිය ගිය තැනැත්තන්ට කවුරුන් හෝ වස දී ඇති බවට ය. එහෙත් වස දෙන්නේ කවුද? විරුද්ධ පාර්ශ්වයක් දුන්නේ නම් මත්ද්‍රව්‍ය රැගෙන නොගියේ ඇයි? වැනි ප්‍රශ්න ද ඇත. ඊට අමතරව තවත් අය ප්‍රශ්න කළේ අදාළ ලොරි රථ එකට තබා ගත්තේ ඇයි? පොලිසිය වැටලීම් සිදුකරන විට මේ ආකාරයෙන් එකම ස්ථානයේ ලොරි රථ තබා ගනී ද? තවත් අය කීවේ මත්ද්‍රව්‍ය වලට වෙනත් ආදේශකයක් දමා නියම මත්ද්‍රව්‍ය තොගය වෙනත් තැනකට පන්නා ඇති බවය. මේ සියල්ල කටකතා සහ පාතාලය තුළින් ආ කතාය. එහෙත් ප්‍රශ්නයක් ඇත. එනම් පාතාලයන්ගේ ගුරුවරයෙකැයි කියන ශාන්ත ලේසියෙන් පහසුවෙන් අහුවෙන වැඩ නොකරන බව පැවසෙන නිසාය. එසේ නම් ශාන්ත මෙවැනි දෙයක් සිල්ලර පන්නයෙන් සිදු කළේ ඇයි? කෙසේ වෙතත් ඒ කිසිවක් අපට  ප්‍රශ්න වන්නේ නැත.  ඒ හැමදාම වැල්ලේ බඹරේ කැරකෙන්නේ නැති බව අප හොඳාකාරව දන්නා නිසාය.

ගයාන් ගාල්ලගේ