
ජාතික ජන බලවේගය බිම් මට්ටමින් ශක්තිමත් කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම මහජන රැස්වීමක් තමාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇත. ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණ සමයේ සිට සහයෝගය දුන් පාක්ෂිකයන් සහ හිතවතුන්ගේ යම් දුරස්වීමක් ඇති බව නිරීක්ෂණය කර ඇති අතර මෙම රැස්වීම් මාලාව පැවැත්වෙන්නේ ඔවුන් දිනාගැනීම සඳහාය. රජයේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවැති සාකච්ඡා කිහිපයකින් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම තීරණයට එළඹ ඇත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව මාලිමාව යටපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව තුළ වැඩි බලයක් තහවුරු කරගන්නට සමත් විය. මහා මැතිවරණය තනිකරම ජවිපෙ බූදලක් බවට පත් විය. එහෙත් විය යුතුව තිබුණේ එය නොවේ. රාජපක්ෂවරුන් බලයෙන් නෙරපීම සඳහා ගාලු මුවදොර අරගලයට එක්වූ බොහෝ බලවේගවලට ජාතික ජන බලවේගය යටතේ නාමයෝජනා ලැබේ යැයි බලා සිටියද එසේ වූයේ නැත. නාමයෝජනා ලැබුණේ ජවිපෙ කාඩරයටය. මාලිමාවට ජනාධිපතිවරණයේදී සහාය පළ කළ බොහෝ පිරිසකගේ බලාපොරොත්තු කඩවූයේ එම අවස්ථාවේදීය. මන්ත්‍රී අපේක්ෂක ලැයිස්තු ජවිපෙ අපේක්ෂකයන්ගෙන් පිරවීම පමණක් නොව මහා මැතිවරණය ජයගත් පසු කැබිනට් මණ්ඩලය තෝරාගන්නා අවස්ථාවේද ජවිපෙ ආධිපත්‍යය විහිදී ගියේය. ජාතික ජන බලවේගයේ ලේකම්වරයා වූ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහට ඇමැති ධුරයක් හිමිවූයේ නැත. දැනට ආණ්ඩුවේ තනතුරු දරන සියලු ජවිපෙ හා මාලිමා සාමාජිකයන්ට වඩා ජ්‍යෙෂ්ඨයකු වන ඔහු 1981 සංවර්ධන සභා මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජවිපෙ යටතේ තරග කළ අපේක්ෂකයෙකි. ඔහු වෙනුවට ඔහුගේ පුත්‍රයාට නියෝජ්‍ය ඇමැති ධුරයක් ලැබිණි. අවසානයේ පත්වූ බොහෝ ඇමැතිවරු රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි බව මේ වන විටත් ඔප්පු කරමින් සිටිති.
අනුර – බිමල් - ලාල් කාන්ත හා විජිත හැරෙන්නට වත්මන් ආණ්ඩුව තුළ කැපී පෙනෙන “තාරකා” අවමය. බොහෝ ඇමැතිවරුන් ජනමාධ්‍ය සමග කිසිදු සබඳතාවක් නැත. ඔවුන් කරන කියන වැඩ කටයුතු කිසිවක් ජනතාවට සම්ප්‍රේෂණය වන්නේද නැත. ජනමාධ්‍යයෙන් තොරව ආණ්ඩුවක් ජනතාව තුළ රැඳෙන්නේ නැත. ආණ්ඩුකරණය තවමත් බොහෝ ඇමැතිවරුන්ට ආගන්තුක බව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ඔවුන් මනසින් තවමත් සිටිනු ඇත්තේ විපක්ෂයේය. මේ නිසා ජවිපෙ කෙමෙන් රජය තුළ උඩට එද්දී මාලිමාව යටපත් වී ජනාධිපතිවරණයේදී මහත් බලාපොරොත්තු ඇතිව අනුර වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාව ආණ්ඩුවෙන් ඈත් කර තබන්නට ඇමැතිවරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ නිද්‍රාශීලීභාවය සමත් විය.
ජනාධිපතිවරයා ලෙස අනුරට සෑම ආසනයක් පාසාම ගොස් මාලිමාව යළි පණ ගන්වන්නට සිදුවී ඇත්තේ මේ නිසාය.
ජාතික ජන බලවේගයේ සංවිධාන ශක්තිය ශක්තිමත් කිරීම ජනාධිපතිවරයා ආසන මට්ටමින් පැමිණීමේ අරමුණය. රජයේ වැඩ කටයුතු පිළිබඳව විපක්ෂය නගන චෝදනා හමුවේ පක්ෂ යාන්ත්‍රණය දුර්මුඛ වී සිටින බවත් එම පිරිස ශක්තිමත් කර ඔවුන්ගේ ගැටලුවලට ද විසඳුම් ලබාදිය යුතු බවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවැති සාකච්ඡා ගණනාවකදීම තීන්දු කර ඇත.
ආණ්ඩුව මේ වනවිට බෞද්ධාගමට එරෙහිව කටයුතු කරන බවට මතයක් ද සමාජගත වෙමින් තිබේ. විපක්ෂයේ දේශපාලකයන් මතු කරන මේ මතය සමාජ මාධ්‍ය තුළ ඇතැම් පොදු ජනතාව තුළද කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබේ. සුරේෂ් සලෙයි වැනි බුද්ධි අංශ නායකයකු සිර භාරයට පත් කිරීම හා ඔහුට කළ බව කියන වද හිංසා ගැන යම් යම් හෙළිකිරීම් පිළිබඳව සමාජ මාධ්‍යයේ පළ වන්නේ කෝපයකි. රජය බුද්ධාගමට සහ පොදුවේ සිංහලකමට නිගා කරන බවට ජනතාව තුළ මතයක් ඇතිවෙමින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වුවහොත් රජයේ පැවැත්මට එතරම් හිතකර නැත.
සජබයේ නායකයන් විශ්වාස කරන්නේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද දායකයා අතර ස්ථාවර බවක් ගොඩනගා ගැනීමට රජය උත්සාහ කරන බවය.
ජනතාව අනුර දිසානායක ජනාධිපති ධුරයට පත් කර බලාපොරොත්තු වූයේ යටගියාවේ සුන්බුන් මතින් බිහිකෙරෙන නව සමාජ ක්‍රමයකි. දේශපාලන වේදිකාවේදී ජනතා අත්පොළසන් මැද ලබා දෙන පොරොන්දු ඉටුකිරීම කිසිදු රජයකට පහසු නැති බව අමතක කරමින් හෝ නොදන්නාකමින් ජාතික ජන බලවේගය පොරොන්දු සිය ගණනක් ලබා දුන්නේය. ලෝක වෙළෙඳාම සමග ඍජුව ගැටගැසී ඇති ඛනිජ තෙල් මිල විශාල වශයෙන් අඩුකරන පොරොන්දු මෙන්ම විදේශීය ආයෝජන විශාල වශයෙන් මෙරටට ගෙන එන බවට වූ පොරොන්දු ද ඒ අතර විය. එම පොරොන්දු කිසිවක්ම අද වනතුරුත් ඉටුකර නැත්තේය. මාලිමාව හැරගිය ජනතාව අතර බහුතරය මෙවැනි පොරොන්දුවලින් රැවටුණු පිරිසය.
ජවිපෙ සහ මාලිමාවේ දේශපාලනය තුළ සුපිළිපන්නභාවය ඇති කිරීමේ දිගුකාලීන හඬක් නැගුණි. මාලිමා රජයක් බවට පත්වූ පසු පෙර කාලයේ මෙන් රාජ්‍ය දේපොල කොල්ලකෑම, දූෂණ වංචා ආදිය සැලකිය යුතු ලෙස අඩුවී තිබීම ජනතාව ලැබූ ජයග්‍රහණයකි. ඒ පිළිබඳව රජයට ප්‍රශංසාවක් ද ලැබිය යුතුය. එහෙත් ඉකුත් දිනවල මාලිමා දේශපාලකයන්ගේ වත්කම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ අවස්ථාවේ මාලිමා රජයේ වගකිවයුතු ඇමැතිවරුන් ලබාදුන් පිළිතුරු ගැන ජනතාව සෑහීමකට පත්වූවේ ද යන්න ගැන රජයට වැටහීමක් තිබේ ද යන්න ප්‍රශ්නයකි.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ ප්‍රධාන වශයෙන්ම “ෆේස්බුක්” මෙහෙයුමකිනි. මුහුණු පොත එපාවන තරමටම ජාතික ජන බලවේගයට පක්ෂපාතී එම බලවේගයේ මැතිවරණ ප්‍රචාරණය රැගත් “පෝස්ට්” මුහුණු පොත මගින් හුවමාරු විය. ජීවිතයේ කිසිදා හමුවී නැති අයගේ “පෝස්ට්” මුහුණුපොතේ මතුවී තිබුණේ ජාතික ජන බලවේග රජයක් යටතේ රට හැදෙන හැටි සහ ජනතාවට ලැබෙන වරප්‍රසාද ආදිය පෙන්වා දෙමිනි. ජාතික ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු එතරම් ප්‍රබල හා සූක්ෂම විය. බලය ලබාගත් පසු මෙකී පොරොන්දු බොහොමයක් තවම ඉටුවී නැත. පොරොන්දු අපගේ දෑස ඉදිරිපිටටම ගෙන ආ මුහුණුපොතේ ප්‍රචාරක පිටුද නැවතිලාය. මාලිමාව වෙනුවෙන් දිවා රෑ නොබලා මුහුණුපොතේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි රාජ්‍ය සේවකයන්ද යළිත් මුලුගැන්විලාය. ඒ වෙනුවට එදා මුළුගැන්වී සිටි වෙනත් පක්ෂවල හිතවතුන් මුහුණු පොතෙන් හිස ඔසවා ජාතික ජන බලවේගයේ පොරොන්දු මතක් කරමින් පෙරළා පහරදෙන ව්‍යාපෘතියක් අරඹා ඇත. මාලිමා ජන රැල්ල යට ගොස් විපක්ෂයේ යටගිය ජන රැල්ල යළි මතුවෙමින් තිබේ.
ආණ්ඩුවකට ජයග්‍රහණයට පෙර තිබූ ජන රැල්ල ජයග්‍රහණයෙන් පසු නඩත්තු කිරීම අතිශය දුෂ්කර වන්නේ මේ නිසාය. මාලිමාව ලබාදුන් මැතිවරණ පොරොන්දුවලට පරිබාහිර කණ්ඩායමක් අතට ආණ්ඩුවේ පාලනය පත්ව තිබූ අතර යළිත් එය මාලිමාව අතට ගන්නට ජනාධිපතිවරයා උත්සාහ දරන බවක් පෙනී යයි.
මැතිවරණයට පෙර ජාතික ජන බලවේගයට සහාය පළ කළ වෘත්තීය කොටස් විශාල ප්‍රමාණයක් මේ වනවිට සිටින්නේ ආණ්ඩුව සමග ප්‍රසාදයෙන් නොවේ. මැතිවරණයට පෙර මාලිමාව සුරදූත පුරයක් ගෙන එන බව ප්‍රචාරය කරමින් සිටි වෛද්‍යවරුන් බහුතරයක් රැගත් වෛද්‍ය සංගමය මේ වනවිට සෞඛ්‍ය ඇමැතිවරයා සමග අරගලයක පැටලී සිටියි. යුදමය තත්ත්වයෙන් පොහොර මිල ඉහළ යාමටත් පෙර සිටම ගොවීන් සිටියේ පොරොන්දු වූ පොහොර සහනාධාරය ඉල්ලා කළ අරගලයකය. විදුලි බිල, ජල බිල, ජීවන වියදම, බස් ගාස්තු ආදිය ඉහළ යාමෙන් සියලු පොදු ජනතාවම සිටින්නේ නොසන්සුන්වය.
මාලිමාව ශක්තිමත් කිරීමේ ආණ්ඩුවේ අභිප්‍රාය කවර අරමුණකින් කෙරුණත් අපගේ වැටහීම වන්නේ මේ වනවිට ජනතාව තුළ කලකිරීමක් ඇති බව රජයට වැටහී ඇති බවය. එක් අතකින් ජීවන වියදම ඉහළ යාම මෙන්ම අනෙක් අතින් ආණ්ඩුව මේ දක්වා කළ වැඩක් නැති බවට වන මතයක් ජනතාව තුළ ඇත.
මාලිමාව ශක්තිමත් කිරීමේ ආණ්ඩුවේ අභිප්‍රාය කවර අරමුණකින් කෙරුණත් අපගේ වැටහීම වන්නේ මේ වනවිට ජනතාව තුළ කලකිරීමක් ඇති බව රජයට වැටහී ඇති බවය. එක් අතකින් ජීවන වියදම ඉහළ යාම මෙන්ම අනෙක් අතින් ආණ්ඩුව මේ දක්වා කළ වැඩක් නැති බවට වූ මතයක් ජනතාව තුළ ඇත. හිටපු මැති ඇමැති හා ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අවලංගු කිරීම වැනි පොරොන්දු ගණනාවක් රජය ඉටුකළත් ජීවන වියදමේ ප්‍රශ්නය සහ ඇඟට දැනෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඇති නොවීම ජනතාව එවැනි මතයක් දැරීමට හේතුවය. ජනතාව තුළට මුදල් ගලා යන්නේ රජය විසින් සිදුකරන මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවලිනි. රාජපක්ෂ යුගය ගැන ඇතැමුන් තවමත් කතා කරන්නේ මෙම හේතුව නිසාය.
ජනතාවගෙන් අය කරන වැට් බදු ප්‍රතිශතය යම් තරමකින් පහළ දැමීමට ලබන අයවැයේදී උත්සාහ කරන බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවලදී පවසා ඇත. එමෙන්ම උපයන විට ගෙවීමේ බද්ද ක්‍රියාත්මක වන මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරක මුදල මාසිකව ලක්ෂ දෙකෙන් ඉහළ වැටුප්ලාභීන් දක්වා ඉහළ දැමීමට උත්සාහ දරන බවද ජනාධිපතිවරයා පවසා ඇත. මෙම බදු වර්ග දෙකම සාමාන්‍ය රටවැසියන්ට සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍යම පන්තියට හිරිහැරයක් වී ඇති බදු වර්ග දෙකක් බව රජයද පිළිගන්නා බව ඉන් පෙනෙයි. මේ නිසා එවැනි පියවරකට යාමට හැකිවන්නේ නම් ජනතාවගේ ප්‍රසාදයක් රජය කෙරෙහි ඇතිවන බවට සැක නැත.
ජනාධිපතිවරයා ගමින් ගමට ගොස් ජනතාව හමුවීමට ගත් තීන්දුව වැදගත් වන්නේ මේ තත්ත්වය නිසාය. මාලිමා පාක්ෂිකයා පමණක් නොව සමස්ත පොදු ජනතාවම හමුවන්නේ නම් එම ගමන වඩාත් ඵලදායක වෙයි. ජනතාවට අවශ්‍ය වන්නේ ශක්තිමත් බවේ සහතිකයකි. ආර්ථිකමය අංශයෙන් ජනතාව සුරක්ෂිත බවක් ඉල්ලා සිටියි. ජනතාවගේ ජීවන වියදම අඩුවිය යුතුය. ඒ සඳහා රජයෙන් ඇඟට දැනෙන විසඳුමක් අවශ්‍යය. ආර්ථික වශයෙන් පහළ මට්ටමේ ජනතාව තවමත් ජනාධිපතිවරයා කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටියි. ආණ්ඩුවේ ව්‍යුහය වෙනස් කර හෝ එම ජනතා බලාපොරොත්තුව ඉටුකිරීම ජනාධිපතිවරයාගේ වගකීමය.
ප්‍රේමකීර්ති රණතුංග

