පොහොට්ටුවට අලෙවි කරන්න පුළුවන් අපේක්ෂකයෙක් නෑ


සබරගමු පළාත් නව ආණ්ඩුකාර 

නවීන් දිසානායක

 

  • එහෙම නොවෙයි, ගිය මැතිවරණය පරාජයවෙලා දැන් අවුරුදු තුනක් වෙනවා. මම ඒ කාලය තුළ විවේකීව හිටියේ. පක්ෂය ප්‍රතිසංවිධානය කරලා අපි ජනාධිපතිවරණයකට නායකතුමා ඉදිරිපත් කරනවා. ඒක මුල්කරගෙන තමයි මම මේ තනතුර බාරගත්තේ.

 

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඉකුත් දා දිවුරුම් දුන්නේය. ඒ ඇයි? මේ ඒ ගැන හා කාලීන දේශපාලන කාරණා කිහිපයක් විමසමින් ඒ මහතා සමග කළ සාකච්ඡාවකි.


ඔබ දැන් සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා මේ තනතුර බාර ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ?


පක්ෂය ඇතුළේ සාකච්ඡාවක් තිබුණා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ ඒ ඒ නායකයන්ට බාර දිය යුතු වගකීම් සම්බන්ධයෙන්. මම දිගටම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටියා. එතැනදී සාකච්ඡාවක් ඇති වුණා මම ඉහළට යනවද? පල්ලෙහාට යනවද? ඉන්න තැනම ඉන්නවද කියලා. නමුත් මගේ ජ්‍යෙෂ්ඨත්වය උඩ ඊට වඩා තනතුරක් දිය යුතුයි කියලා තීරණය වුණා. ජනාධිපතිතුමා හැටියට එතුමා තනතුරු දෙනකොට මගේ ජ්‍යෙෂ්ඨත්වය සලකන්න ඇති. ඒ වගේම මම කරපු වැඩ කොටස ගැනත් හිතන්න ඇති. දැනට තියෙන තත්ත්වය උඩ ආණ්ඩුකාර ධුරය සාමාන්‍ය ආණ්ඩුකාර ධුරයක් නොවෙයි.


මොකක්ද විශේෂත්වය?


සාමාන්‍ය ආණ්ඩුකාර ධුරයක් නම් පළාත් සභා මන්ත්‍රීන් හා මහ ඇමැතිත් එක්ක වැඩ කරන්න ඕනෑ. දැන් මෙතැන ඒ සියලු බලතල එන්නේ ආණ්ඩුකාරවරයාට. ඒ දේශපාලන තත්ත්වය උඩ. විශේෂයෙන්ම රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල මගේ උපරිම හැකියාවෙන් වැඩ කිරීමට අවශ්‍යම අවස්ථාවක තමයි ජනාධිපතිතුමා මට මේ දුන්නේ. ආණ්ඩුකාර ධුරයේ වැඩ කරන ගමන්ම ඊළඟ මැතිවරණවලට ජනාධිපතිවරණයක් වේවා, මහ මැතිවරණයක් වේවා ඒ එන ඕනම මැතිවරණයකට පක්ෂය සූදානම් කරන්න අපි සාකච්ඡා කළා. සබරගමුව බේස් කරගෙන මධ්‍යම පළාතෙන්. ඊට පස්සේ මම ජනාධිපතිතුමාට විශේෂයෙන් කිව්වා අනුරාධපුර කලාවැවත්. මොකද එහෙ මගේ ඥාතීන් ගොඩක් ඉන්නවා. ඒ ප්‍රදේශ ටික ආවරණය කරන්න මට අවස්ථාව දුන්නා. ඒ අනුව තමයි මට මේ අවස්ථාව ලැබුණේ.


ඔබ කියපු ජ්‍යෙෂ්ඨත්වය සලකනවා නම් ඔබේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වෙන්න ඕනෑ ඔබටයි කියලා ඔබ හිතන්නේ නැද්ද?


නෑ. මම තමයි මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව යෝජනා කළේ. එතුමා මුලින් අදිමදි කළා. අවුරුද්දක් විතර එතුමා ඒක ඕපන් තිබ්බා. මම තමයි කිව්වේ තරග කරපු අයගෙන් එතුමා තමයි හොඳම එක්කෙනා කියලා. තරග කරපු අපේක්ෂකයන් අතරින් වැඩියෙන්ම  සුදුසුකම් තිබුණේ පාර්ලිමේන්තු එන්න එතුමට.


රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ජනාධිපති වුණාම හිස් වුණ මන්ත්‍රී ධුරය ඔබ අපේක්ෂා කළා?


නෑ. මම ඉල්ලුවේ නෑ. මොකද මම දැනගෙන හිටියා වජිර අබේවර්ධන මැතිතුමා පුදුමාකාර වැඩකොටසක් කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතැනට ගේන්න. ඒක මම දන්නවා. ඒක දැනගෙන මන්ත්‍රී ධුරය ඉල්ලන එක හොඳ නෑ. ජනාධිපතිතුමා තමයි තීරණය කළේ වජිර අබේවර්ධන මැතිතුමා මන්ත්‍රී ධුරයට නම් කරන්න.


පළාත් සභා මැතිවරණය අතුරුදන් කරලා. ඒ අනුව ඒක තවදුරටත් මහජන නියෝජිතායතනයක් නොවෙයි. ඔබ ඒ තත්ත්වය පිළිගන්නවද?


පළාත් සභා ගැන මේකයි මගේ තර්කය. පළාත් සභා මැතිවරණය අන්තිමට තිබ්බේ 2014 වසරෙදි. දැන් විපක්ෂය හා මාලිමාව කියනවා ‘‘ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න’’ කියලා. ඇත්තවශයෙන්ම තැබිය යුත්තේ පළාත් සභා මැතිවරණයයි. හැබැයි ඒ මැතිවරණය තියන්න කියලා ඔය එක කණ්ඩායමක්වත් අවශ්‍ය හඬ නගන්නේ නෑ. මම කියන්නේ පළාත් සභා මැතිවරණය මුලින්ම තියන්න ඕනෑ කියලයි. ඊට පස්සේ තමයි ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න ඕනෑ. හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියන්න අවශ්‍යයි. මැතිවරණය තිබ්බේ නැති වුණත් මට විශ්වාසයක් තියෙනවා සබරගමු පළාත මේ තියෙන සම්පත්වලින් දියුණු කරන්න පුළුවන් කියලා.


පළාත් සභා ක්‍රමය හඳුන්වාදීමේදී ඔබේ පියා ගාමිණී දිසානායක පුරෝගාමී මෙහෙවරක් කළා. නමුත් ප්‍රබල මතය වන්නේ ‘පළාත් සභා සුදු අලියෙක්’ කියලයි. ඔබ කොහොමද හිතන්නේ?


ඇත්තවශයෙන්ම මං දිවුරුම් දීලා කරපු පළමු කතාවේදී මම ඔය ප්‍රශ්නය මතු කළා. ඔබ ඔය පාවිච්චි කරපු සුදු අලියෙක් කියන වචනය මම පාවිච්චි කළා. මම මේක බාරගත්තේ මේකේ ඇත්ත තත්ත්වය මොකක්ද කියලා බලන්න. දැනට මට ලැබිලා තියෙන ආරංචිවලට අනුව පළාත් සභාවලට ලැබිය යුතු ආදායම් මධ්‍යම රජයෙන් ලැබෙන්නේ නෑ. සබරගමුව පළාතට ලැබිය යුතු ආදායමෙන් සියයට 10ක් පමණයි ලැබෙන්නේ. මේක ඉතාම දරුණු ආර්ථික අර්බුදයක් රට තුළ තියෙන වෙලාවක්. මට අවශ්‍ය සම්පත් මධ්‍යම රජයෙන් ලැබෙයි කියලා මම හිතනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරි දිනවල පැවැත්වෙනවා. එතැනදී පළාතේ ප්‍රමුඛතා හඳුනාගෙන ජනාධිපතිතුමා හා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරල ලැබිය යුතු මුදල් ප්‍රමාණයට වැඩිය මම මුදල් ලබා ගන්නවා. ඊට අමතරව මගේම අදහස් ටිකක් තියෙනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් මට නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අවකාශය සලසා දෙන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පෞද්ගලික අංශයේ මගේ මිත්‍රයන් විශාල පිරිසක් ඉන්නවා. මගේ නියමු ව්‍යාපෘතිවලට ඔවුන්ගෙන් විශාල සම්පත් ප්‍රමාණයක් ලබාගන්න මම බලාපොරොත්තු වෙනවා. මට ඒක කරන්න පුළුවන්.
එතරම්ම විශ්වාසයක්?


ඇත්ත වශයෙන්ම ඔව්. ඒ වගේ පළාත් සභාවලට ලැබිය යුතු සියලු බලතල ලබාදිය යුතුයි.


මොනවද තවත් ඉල්ලන්නේ?


එකක් තමයි ඉඩම් බලතල. අනික තමයි පොලිස් බලතල. ඊටත් එහා ගිහිල්ලා ඉන්දියාවේ මොඩ්ල් එකනම් පළාත් සභාවලට ලැබෙන ආදායම් හරියට ලැබෙන්න ඕනෑ. නැත්නම් මේ පළාත් සභා සම්පූර්ණයෙන්ම යැපෙන්නේ මධ්‍යම රජයෙන්. බදු බරින් මිනිස්සු මිරිකිලා ඉන්නේ. තවත් බදු ගහන්න බෑ. නමුත් අලුත් ක්‍රම සහ විධි මගින් ඒක කරන්න පුළුවන්. අලුත් ව්‍යාපෘති පටන් ගන්නකොට අලුතෙන් බදු ගහන්න පුළුවන්.


දැන් ඔබ කියනවා ‘‘තවත් බදු ගන්න බෑ’’ කියලා. දැන් කියන්නෙ අලුතෙන් බදු ගහනවා කියලා?


මෙහෙමයි. උදාහරණයක් වශයෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ගන්න. දැනට ඒකේ වැඩ නතර කරලා තියෙන්නේ. දැනට මට යෝජනාවක් ඇවිත් තියෙනවා විදේශීය සමාගමකින් තව කිලෝමීටර් 35යි තියෙන්නේ ඒක ඒගොල්ලෝ කරන්නම් කියලා. ඒගොල්ලෝ ඒක කරනවානම් ජනතාව ඒ අධිවේගී මාර්ගය පාවිච්චි කරනකොට ‘‘ටෝල්’’ එකක් දාන්න ඒ සමාගමට අයිතියක් තියෙන්න ඕනෑ. ඒ ගානෙන් කොටසක් සියයට 10ක් විතර වෙන්න පුළුවන්. මේ විදියට අපි පුළුල් ලෙස හිතන්න අවශ්‍යයි. නැත්නම් පළාත් සභාවට මධ්‍යම රජයේ සම්පත් උඩ තමයි යැපෙන්න වෙන්නේ. ඒක වෙනස් කළ යුතුයි. මේ පළාත් සභා ක්‍රමය ගෙනාවේ ජාතික ප්‍රශ්නය විසඳන්න. ප්‍රභාකරන් පළාත් සභා ක්‍රමය එකහෙළාම ප්‍රතික්ෂේප කළා. මමනම් ප්‍රභාකරන් පළාත් සභා පිළිඅරගෙන විනාශකාරී යුද්ධයකට යන්නේ නැතිව පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරලා ඊට පස්සේ තව ඔබ්බට යනවා. එයා ඒක නොකර යුද්ධයකට ගියා.


පළාත් සභා ක්‍රමය මේ රටට ගැලපෙන්නේ නෑ කියලත් කියනවා?


පිළිතුර:- මගේ පෞද්ගලික අදහස නම් ඒක තීරණය කරන්න ජනතාවට බාරදිය යුතුයි කියලයි. මම නම් කියන්නේ ග්‍රාම රාජ්‍ය හා ප්‍රාදේශීය සභා තවත් ශක්තිමත් කරලා ජනතාව තවත් ශක්තිමත් කළ යුතුයි කියලයි. හැබැයි පළාත් සභා ගැන විශාල මතවාදයක් තියෙනවා. අපි ඒ ගැන ගැඹුරින් හිතලා අපි කිසියම් තැනකට ආ යුතුයි.


ඔබ කිව්වා පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දිය යුතුයි කියලා. ඒක අලුත් ප්‍රශ්නයකට හේතුවක් නොවේද?


පිළිතුර:- ඇත්ත. නීතියේ තිබුණට පළාත් සභාවල ඉඩම් බලතල හා පොලිස් බලතල ක්‍රියාත්මක වෙන්නේ නෑ. නමුත් ඒවා ලබාදෙන්න අවශ්‍යයි. ඉඩම් බලතල පොලිස් බලතල දෙන්න එපා කියන්නෙම ජාතිවාදී කණ්ඩායම්. යම්කිසි දෙයක් කරනවා නම් ඒක හරියට කරන්න අවශ්‍යයි. ලංකාවේ පොලිස් මූලස්ථානයක් තියෙනවා. ඒකේ පොලිස්පති කෙනෙක් ඉන්නවා. පළාතට නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ඉන්නවා. ඒ විදියට යම් බලය බෙදීමක් තියෙනවා. නමුත් නියෝජ්‍ය පොලිස්පතිකම තනි බලයක් නෑ. ඒ නිසා තීන්දු ගන්නකොට ඒක බාධාවක් වෙනවා. හැම දේම පොලිස්පති ගාවට යන්න අවශ්‍ය නෑ. බලය පහළට බෙදීයාමක් අවශ්‍යයි. ඉඩම් කියන්නේ සංකීර්ණ ප්‍රශ්නයක්. උතුරේ ඉඩම්වලට තේසවලාමේ නීතිය තියෙනවා. ඒ නීතියටත් අනුකූලව අපි ක්‍රියා කළ යුතුයි. පළාත් සභාවලට දිය යුතු බලය සම්පූර්ණයෙන්ම දිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ. නැත්නම් පළාත් සභා තිබෙන එකෙන් වැඩක් වෙන්නේ නෑ.


ඔබ සබරගමුවට ආගන්තුකයෙක්?


 ඔව්. ආගන්තුකයෙක්.

මධ්‍යම පළාත අතහැරලා ඔබ සබරගමුවට එන්නේ මොකක්හරි තනතුරක් ඔබට අවශ්‍ය නිසයි?


එහෙම නොවෙයි, ගිය මැතිවරණය පරාජය වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා. මම ඒ කාලය තුළ විවේකීව හිටියේ. පක්ෂය ප්‍රතිසංවිධානය කරලා අපි ජනාධිපතිවරණයකට නායකතුමා ඉදිරිපත් කරනවා. ඒක මුල්කරගෙන තමයි මම මේ තනතුර බාරගත්තේ.


පොහොට්ටුව නම් කියන්නේ ජනාධිපති අපේක්ෂකකම ගැන කතා කරන්න තවම කල් වැඩියි කියලා. නමුත් ඔබ කියනවා රනිල් වික්‍රමසිංහ ඔබලාගේ අපේක්ෂකයා කියලා.
පිළිතුර:- පොහොට්ටුව හරි. ඇත්තටම ඒ ගැන කතා කරන්න තවම කල් වැඩියි තමයි. අපගේ ස්ථාවරය තමයි පොදු අපේක්ෂකයා හැටියට පොහොට්ටුවෙන් ආශිර්වාදය ඇතිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යුතුයි කියන එක.


පොහොට්ටුවත් සමග ඒ ගැන කතා කළාද?


පිළිතුර:- තවම නෑ. නමුත් ඒ සාකච්ඡා ඉතාම සියුම් විදියට වෙනවා. ඒක තවම විවෘත නෑ. පොහොට්ටුවටත් අලෙවි කරන්න පුළුවන් අපේක්ෂකයෙක් නෑ. ඒක අපි මතක තියාගත යුතුයි. දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සඳහා රඳවා ගැනීම. බලය ලබාගැනීමට නම් පවතින තත්ත්වයන් විග්‍රහ කරලා නිවැරැදිම තීන්දු ගත යුතුයි.


පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඇමැතිකම් ඉල්ලනවා. නමුත් ජනාධිපතිවරයා දෙන්නේ නෑ. මේක ඇතුළේ ගැටුමක් හැදෙන්නේ නැද්ද?


මේ කැබිනෙට්ටුව ජනාධිපතිතුමා පත්කරපු එකක් නොවෙයි. පොහොට්ටුවම තමයි මේ කැබිනට් එක හදලා එතුමාට බාර දුන්නේ. ඒ තීන්දු තීරණ සියල්ලම ගත්තේ ගෝඨාභය මහත්තයා. ජීවන් තොණ්ඩමන් හා පවිත්‍රා වන්නිආරච්චි දෙදෙනා තමයි එතුමා අලුතෙන් පත් කළේ. පොහොට්ටුවෙන් නම් ලැයිස්තුවක් දීලා, ඔවුන්ටත් ඇමැති ධුර දෙන්න කියල ඉල්ලලා තියෙනවා. ඇමැතිකම් දීම ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් ජනතා විරෝධයක් තියෙනවා කැබිනට් එක වැඩි කරනවාට. ජනාධිපතිතුමා හා පොහොට්ටුවේ නායකයන් අතර ඒ විශේෂ සාකච්ඡාව දැනට යනවා. අනාගතයේදී මේක සුබවාදීව විසඳෙයි. ඉල්ලන හැමෝටම නොලැබුණත් කිහිප දෙනෙකුට හරි ලැබේවි.


පසුගිය කාලයේ ආණ්ඩුකාරවරුන් හා ඒ පළාතේම පොහොට්ටු නායකයන් අතර ගැටුම් ඇති වුණා. ඔබටත් එහෙම වෙයිද?


පිළිතුර:- එහෙම ප්‍රශ්න තිබුණා. මගේ වගකීම තමයි සියලු දෙනාගේම ඉල්ලීම් දිහා සංවේදීව බලන එක. පක්ෂ පාට බේදකින් තොරව කටයුතු කළාම ප්‍රශ්න ඇතිවෙන්න විදියක් නෑ.
සමගි  බලවේගය හා එජාපය අතර සම්මුතියක් ගැන කතා වුණා. ඒකේ අලුත්ම තත්ත්වය?


ඒක තාම ඔෆිසියල් වෙලා නෑ. ඒකේ ඉන්න මන්ත්‍රීවරුන් දැඩි කළකිරීමකින් ඉන්නේ. අපි බලමු ඉස්සරහට.


ඔබගේ සොහොයුරා මයන්ත ඉන්නේ සජබේ. ඔහු එයිද?


ඇත්තටම ඒක අහන්න ඕනෑ ඔහුගෙන්. ඒ ගැන මම කතා කරන එක සුදුසු නැහැ.

 

 

■ ප්‍රසන්න සංජීව 
තෙන්නකෝන්