පාස්කු ප්‍රහාරය ගැන නැවත පරීක්ෂණ කළ යුතු නෑ කියන මතයෙ රජය ඉන්නවා


විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 54 වැනි සැසිවාරය මේ දිනවල පැවැත් වෙයි. මෙවර සැසියට ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවෙන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය ඇතිව විමර්ශනයක් පවත්වන ලෙස නිර්දේශ කර තිබේ. ඒ ගැනත් චැනල් ෆෝ නාළිකාවේ ආන්දෝලනාත්මක වීඩියෝව ගැනත් විමසමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.


?පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයේ සහාය ඇතිව විමර්ශනයක් ආරම්භ කළ යුතුයි කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් නිර්දේශ කරලා තියෙනවා. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය මොකක්ද?


ඒ වාර්තාව අපි ප්‍රතික්ෂේප කරනවා. මේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සඳහා එවකට ඉන්ටපෝල් එකයි ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසියයි ඇමෙරිකාවේ එෆ්බීඅයි ආයතනයයි සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කාලේ එෆ්බීඅයි නිලධාරීන් 33 ක් ලංකාවට ඇවිල්ලා සති ගාණක් මෙහෙ නතර වෙලා පරීක්ෂණ කරලා තියෙනවා. ඒක ජාත්‍යන්තර පාර්ශ්ව එකතු කරගෙන කරපු පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයේ තොරතුරු තමයි නීතිපතිවරයාට ලබා දුන්නෙ. ඒ අනුව තමයි නීතිපතිතුමා විශාල පිරිසකට විරුද්ධව නඩු දාලා තියෙන්නෙ. මේ පරීක්ෂණයට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්යකාරවරයකුගේ සභාපතිත්වයෙන් යුත් පස් පුද්ගල ජනාධිපති කොමිසමකුත් මේ ප්‍රහාරය ගැන හොයන්න පත් කළා. ඒ කොමිසමෙන් මේ ප්‍රහාරය ගැන විශාල වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක මේ වෙන කොට පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුව මගින් වෙනම තේරීම් කාරක සභාවකුත් පත් කළා. තවදුරටත් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි කියන තැන අපි නෑ. මේ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ පරීක්ෂණ සියල්ල කරලා තියෙනවා කියන එක තමයි ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය. අලුතින් මොනවා හරි තියෙනවා කියලා කියනවා නම් ජනාධිපතිතුමා ඒක විතරක් හොයන්න කටයුතු කරයි. ඇත්ත වශයෙන්ම අපි ගිය අවුරුද්දෙ ඇමෙරිකාවේ එෆ්බීඅයි ආයතනයෙන් මේ සිද්ධිය ගැන අලුත් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලුවා. නමුත් ඒ ආයතනය අපිට කිව්වා අලුත් පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවක් නෑ අපි ඔබත් (ශ්‍රී ලංකා රජය) සමග සම්බන්ධ වෙලා පරීක්ෂණ කළා කියලා.


?ශ්‍රී ලංකා රජය විදියට මේ චෝදනාව ප්‍රතික්ෂේප කළාට අපි මේ ගැන විමර්ශනයක් නොකළොත් ඊළඟ මානව හිමිකම් සැසිවාරයේදීත් මේක මාතෘකාවක් වෙන්න පුළුවන් නේද?


මේක දේශපාලනමය දෙයක්නෙ. මානව හිමිකම් සැසිවාරයේ දී දේශපාලනමය වශයෙන් බලගතු කණ්ඩායම් කීපයක් එකතු වෙලා ඔවුන්ට අවශ්‍ය මතවාදය ඉදිරිපත් කරන්නනෙ උත්සාහ කරන්නෙ. ශ්‍රී ලංකාවට විරුද්ධව ගිය අවුරුද්දෙ ඉදිරිපත් කරපු යෝජනා සම්මතයට විරුද්ධව මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් 47 න් 27 ක් එක්කෝ ඒකට විරුද්ධ වුණා එහෙම නැත්නම් ඡන්දය දීමෙන් වැළකී සිටියා. නමුත් ඒ යෝජනාව ඔවුන් සම්මත කර ගත්තා. එක දවසින් මේකෙ වෙනසක් කර ගන්න පුළුවන් කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. නමුත් දේශීය වශයෙන් යම් යාන්ත්‍රණයක් සකස් කරලා පරණ තියෙන චෝදනාවලට අපි මූණ දෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල වෙනවා. දේශීය වශයෙන් පරීක්ෂණයක් කළ පමණින්ම මේක නතර වෙයිද කියලා අපිට කියන්න බෑ. අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න දිවි හිමියෙන් කැපවුණු රණවිරුවන්ව පාවා දෙන්න කටයුතු කරන්නෙ නෑ කියලා අපි දිගින් දිගටම අවධාරණය කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අපේ රටේ කරුණු පිළිබඳව පිටරට විනිශ්චයකාරවරුන්ට පරීක්ෂණ කරන්නවත් නඩු අහන්නවත් අපි ඉඩ දෙන්නෙ නෑ. මිනිස්සුන්ට දැන් අමතක වෙලා තිබුණට ආරක්ෂක අංශවල 28000 ක් දෙනා ජීවිත පූජා කරලා තමයි මේ රට ආරක්ෂා කර ගත්තෙ.


?මේ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කරලා යම් කරුණු ගණනාවක් අනාවරණය කළා. ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විටත් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ශ්‍රී ලංකා රජය විදියට මේ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වෙනව ද?


එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ රටේ නීතියට අනුව තොරතුරු ඉදිරිපත් කරපු පුද්ගලයෙක්ව නම් කරමින් ඒ තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ප්‍රකාශනයේ නිදහස තියෙනවා. අපි ඒක අභියෝග කළා කියලා ඒ රටේ නීතියට අනුව අපිට ලොකු දෙයක් ලැබෙන්නෙ නෑ. ඒත් ඇත්ත වශයෙන්ම අපි මේ පසුපස තියෙන කුමන්ත්‍රණය හඳුන ගන්න ඕන. චැනල් ෆෝ නාළිකාව මේ වැඩේ කළේ පළවැනි වතාවට නෙවෙයි. මේ ලංකාව සම්බන්ධයෙන් හදපු 5 වැනි චිත්‍රපටය. ඒ අය ලංකාව ගැන පට්ටපල් බොරු නිර්මාණ හදනවා. ඒ වගේම ඒ අයට එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදීන් එක්ක ළඟ සම්බන්ධයකුත් තියෙනවා. කවුරුහරි ශ්‍රී ලාංකිකයෙක් පිටරටකට ගිහින් සරණාගතභාවය ඉල්ලද්දී ඒ අය ඕන බොරුවක් කියනවා. ඒ බොරු තොරතුරු චැනල් ෆෝ එකට ගිහින් දෙනවා. ඊට පස්සෙ ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වෙන්න කලින් සතියෙ ඒක ප්‍රචාරය කරනවා. නමුත් අවාසනාවකට අපේ රටේ මිනිස්සු මේ කුමන්ත්‍රණය හඳුන ගන්නෙ නැතුව එකිනෙකාට චෝදනා කර ගන්නවා. මේකෙන් අන්තිමට හානියක් වෙන්නෙ අපේ රටේ අභිමානයට.


?නමුත් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යන්න කලින් කිව්වා මේ ප්‍රහාරය පසුපස මහ මොළකරුවෙක් ඉන්නවා කියලා. ජනාධිපති කොමිෂන් දාලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා දාලා මේ ප්‍රහාරය ගැන විමර්ශනය කළත් ඒ කවුද කියලා හෙළි වුණෙ නෑ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි ද?


එතුමා නීතිපති හැටියට ඉන්න කොටනෙ මේ සිද්ධිය ගැන විමර්ශන කළේ. එහෙනම් එතුමගෙ කාලයේදී ඒ මහ මොළකරු කවුද කියලා හඳුන ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නොකර විශ්‍රාම යන්න කලින් දවසෙ මේ කතාව කියලා යන එක හරි නෑනෙ. ඒ නිසා තමයි මේ ගැන එතුමා දන්න තොරතුරු පොලිසියට දෙන්න පොලිසියට එන්න කියලා කිව්වෙ. ඒක කරන්නෙ නැතුව එතුමා උසාවියට ගිහින් තහනම් නියෝග ගන්නවා.  තමන් දන්න තොරතුරු හෙළි කරලා මහ මොළකරුවො හෙළිදරව් කරන්න හැමෝටම වගකීමක් තියෙනවා. ඒ නිසා මම හිතන්නෙ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කැඳවලා එකට එතුමවත් කැඳවලා මේ ගැන දන්න තොරතුරු ගැන අහයි. ඒ ලබා දෙන තොරතුරු ඔස්සෙ තවදුරටත් විමර්ශන කරන්න පුළුවන්.


?ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයගෙ ශ්‍රී ලංකා සංචාරය කල් ගියේ චීන නෞකාවට ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වෙන්න අවසර දුන්නු නිසා බවට මාධ්‍යයේ තොරතුරු වාර්තා වුණා. ඒක ඇත්ත ද?


ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. හදිසියෙ අසනීප වුණු නිසයි එතුමා ආවෙ නැත්තෙ. එතුමා ළඟ දී එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.


?හැම ලෝක බලවතෙකුටම හා කියන විදේශ ප්‍රතිපත්තියක් ද දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නෙ ? 


නෑ. ශ්‍රී ලංකාව කිසි පැත්තක් ගන්නෙ නැතුව ලෝකයේ ඉන්න සියලුම බලවතුන් එක්ක කටයුතු කරන්න ඕන.


?ඒක ද අපේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය?


අනිවාර්යයෙන්ම. නොබැඳි ප්‍රතිපත්තිය යටතේ අපි සියලු දෙනා එක්කම වැඩ කරන තැනකට යන්න ඕන. එක කඳවුරකට බැඳිලා අනිත් අය තරහ කරගන්නෙ මොකටද? 1980 ගණන්වල අපි ඇමෙරිකාව පස්සෙ ගිහින් ඉන්දියාව තරහ කර ගත්තා. දැන් අපිට එහෙම කරගන්න අවශ්‍ය නෑ. අපේ ප්‍රතිපත්තිය තමයි ඉන්දියාව අපිට වැදගත්. අපේ අසල්වැසියා. චීනයත් අපිට වැදගත්. අපේ ඓතිහාසික මිතුරා. ජාත්‍යන්තරව අපිට තියෙන ප්‍රශ්නවලදී අපි වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම අපිට ඇමෙරිකාවත් වැදගත්. යුරෝපයත් වැදගත්. එතනට තමයි අපේ සියලුම අපනයන යන්නෙ. මැදපෙරදිග කලාපයේ රටවලුත් අපිට වැදගත්. එහෙ අපේ සේවකයෝ වැඩ කරනවා. ඒක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය.


?2023-2025 කාලය සඳහා ලංකාවට ඉන්දියානු සාගර වටඅද්දර සංවිධානයේ සභාපතිත්වය ලැබිලා තියෙනවා. මේකෙ වැදගත්කම මොකක් ද?


ඒක ඉතාමත්ම වැදගත්. 1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ප්‍රකාශයට පත් කළා ඉන්දීය සාගරය සාම කලාපයක් හැටියට පවත්වාගෙන යෑම අවශ්‍යයි කියලා. ඒ අනුව අපිට අවශ්‍යයි මේ කලාපයේ සාමය ස්ථාවරත්වය ස්ථාවර කරන්න අවශ්‍යයි. තිරසර සංවර්ධනයක් ඇති කරගන්නත් අවශ්‍යයි. ඒ සඳහා මේ සියලු රටවල් එකතු කරගෙන ඉදිරියට යන්න අප කටයුතු කරනවා.


?ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී ඔබ තමයි ඔහුගේ නීති කටයුතු වෙනුවෙන් පෙනී හිටියෙ. එදා කළේ වැරැද්දක් කියලා දැන් හිතෙන්නෙ නැද්ද?


අනිවාර්යයෙන්ම නෑ. නීතිඥවරයෙක් හැටියට මම පෙනී සිටිය යුත්තෙ කවුරුන් වෙනුවෙන්ද කියලා කවුරුත් කියන්න ඕන නෑ. ඒක මගේ යුතුකම. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආර්ථික වශයෙන් අසාර්ථක වුණා. නමුත් එතුමා මේ රටේ ජාතික ආරක්ෂාව හා ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා කරන ලද සේවය අලුතින් ආපු අයට මතක නෑ. ඒත් ඒක කවදාවත් මිනිස්සුන්ගෙ මතකයෙන් ඉවත් වෙන දෙයක් නෙවෙයි. එතුමා වෙනුවෙන් පෙනී ඉඳලා එතුමව ආරක්ෂා කර ගත්ත එක වෘත්තීය ජීවිතයෙ මම ලබපු විශාලම ජයග්‍රහණයක් හැටියටයි මම සලකන්නෙ.


?ඒත් ඔහු තමයි මේ අර්බුදයෙ ප්‍රධාන චූදිතයා. අනිත්මට ඔහු රටිනුත් පලා ගියා...

එතුමා ප්‍රධාන චූදිතයා කියන එක හැමෝටම කියන්න පුළුවන්. එතුමා බෙදුම්වාදය පරාජය කරලා රටේ සාමය සඳහා නායකත්වය දුන් සෙන්පතියෙක්. එවැනි කාලයක එතුමට හිරිහැර කරන කොට උඩ බලාගෙන ඉන්න කියලද කියන්නෙ. එතුමා වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක් නෙවෙයිද? ආර්ථිකය කඩා වැටීම සඳහා එතුමා ගත්ත යම් යම් තීන්දු හේතු වුණා කියලා මම පිළිගන්නවා. නමුත් ඒක එතුමා විතරක් කරපු දෙයක් නෙවෙයි. ලංකාව කියන්නෙ අවුරුදු 75 ක් තිස්සෙ ණයට අරන් කාපු රටක්. ආදායමට වඩා වියදම වැඩි රටක්. ඒවත් එක්ක පාස්කු ප්‍රහාරය ආවා. ඊට පස්සෙ කොවිඩ් වසංගතය ආවා. ඊට පස්සෙ රුසියා-යුක්රේන යුද්ධය ආවා. මේ හැම දේකම බලපෑම එතුමගෙ පාලනය මත කඩා වැටුණා.


?ඔබ තවම ගෝඨාභය රාජපක්ෂ එක්ක කතා කරනව ද?


අනිවාර්යයෙන්ම.


?ඔහු නැවත දේශපාලනයට එන බව සඳහන් තොරතුරු මේ දවස්වල මාධ්‍යයේ පළ වෙනවා. ඒ ගැන ඔහු ඔබත් එක්ක කතා කරලා තියෙනව ද?


ඒ ගැන මාත් එක්ක කතා කරලා නෑ. මම හිතන්නෙ නෑ එතුමා ආයෙ දේශපාලනයට එයි කියලා.


?ඔබ පාර්ලිමේන්තුවට එන්නෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදියට. අද වෙන කොට මේ පක්ෂය කොටස් කීපයකට කැඩිලා පිරිසක් රනිල් වික්‍රමසිංහ එක්ක වැඩ කරනවා. මේ ගැන මොකද හිතන්නෙ?


එහෙම තමයි ඕනෑම දේශපාලන පක්ෂයක් ඇතුළෙ බෙදීම් එනවා. රටේ ඇති වුණු කඩාවැටීමත් එක්ක පක්ෂයක් විදියට අපි කල්පනා කළේ රට පත්වෙලා තිබුණු ඒ අගාධයෙන් කොහොමද ගොඩ ගන්නෙ කියලා. ඒ වෙලාවෙ හිටපු නායකයන්ගෙන් සුදුසුම නායකයා හැටියට අපි දැක්කෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි හිතනවා අපි හරි තීරණය ගත්තෙ කියලා. එතුමා පත් කරන්න තීරණය කළෙත් හිටපු ජනාධිපතිතුමා. එතුමට සම්පූර්ණ සහයෝගය දෙන්න තීරණය කළෙත් අපේ පක්ෂය.

 

 

     සාකච්ඡා කළේ
■ උපුල් වික්‍රමසිංහ