පාතාලේ කොන්ද කඩන්න පොලිසියට හැකිවුණා


සාමකාමී සමාජයකට විනයක් බඳු සන්නද්ධ අපරාධ කල්ලි - සති කීපයක නිහැඬියාවකින් යළිත් සක්‍රීය වී ජීවිත කීපයක් ඩැහැගනු ලැබුණි. එසේම අයිස් හා හෙරොයින් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය මෑත සති කීපයේ අත්අඩංගුවට ගත් විශාල අයිස් මත්ද්‍රව්‍ය තොගය මීට දින කීපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

මෙවන් පසුබිමක පාතාලය යළි සක්‍රියවීම සමබන්ධව වසර ගණනාවක් තිස්සේ සන්නද්ධ අපරාධ කල්ලි මර්දනයෙහි සුවිශේෂී දායකත්වයක් දක්වන, වර්තමානයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සමග අප සංවාදයක නිරත වීමු.

පසුගිය කාල සීමාවේ යම් නිහඬතාවක සිටි පාතාලය යළිත් සක්‍රිය වී තිබෙනවා නේ ද?

“පාතාලයයි, දේශපාලනයයි, මත්ද්‍රව්‍යයි එකිනෙකට බැඳිලයි තිබෙන්නෙ. ඒනිසා ආණ්ඩුව විසින් යහපත් ලෙස සක්‍රියව පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනය කරමින් එනවිට - මේවට සම්බන්ධ දේශපාලන බලවේග විසින් කඩාකප්පල්කාරී ලෙස ඊට එරෙහිව රැල්ලක් ඇතිකිරීමට උත්සාහ කරන ආකාරයක් තමයි නිරීක්ෂණය වෙන්නෙ. පසුගිය දින කීපයේ ඇතිවූ සමහර සිද්ධි ගත්තම පාතාලයට හෝ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ නැති පුද්ගලයන්ට පවා වෙඩි තබා තිබුණා. කෙසේ හෝ වෙඩිල්ලක් පත්තුකිරීම තමයි මේ කඩාකප්පල්කාරී බලවේගවලට අවශ්‍ය වෙලා තිබෙන්නෙ. බුද්ධි තොරතුරුවලට අනුව කඩාකප්පල්කාරී දේශපාලන බලවේග මෙය පිටුපස සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා. අපි මේ  කඩාකප්පල්කාරී බලවේග හඳුනාගෙන ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට දැඩි අවධානයෙනුයි පසුවෙන්නෙ.”

එක් එක් සමයට පාතාලය පාලනයට විවිධ නම් යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක කළත් පාතාලය පාලනය කරන්න බැරි ද?

“පාලනය කරන්න පුළුවන්. පසුගිය වසර කීපය දෙස ආපස්සට හැරිලා බැලු‍වොත් පාතාල ක්‍රියාකාරම් බින්දුවට බැස්ස වූ කාලසීමාවල් තිබෙනවා. හැබැයි එදා ඔවුන්ව පාලනය කරන්න භාවිත කළේ අද ක්‍රියාත්මක කරන ක්‍රමවේදය නෙවෙයි. එය තරමක් මර්දනකාරී යි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දැන් එවැනි ක්‍රමවේද අනුමත කරන්නේ නෑ. අපි අපේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ එම සීමාව මත සිටයි.”

“මෙවැනි නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් පොලිසිය විසින් සිදුකරන මෙහෙයුම් හරහා අද වෙද්දි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. එම නායකයන් මේ වනවිට සිටින්නේ වැලිසර බන්ධනාගාරයේයි. වැලිසර බන්ධනාගාරය තුළ රඳවා සිටින සන්නද්ධ අපරාධ කල්ලි ප්‍රධානීන්ට බාහිර සමාජය හා එක්ව අපරාධ සිදුකිරීමට ඇති අවස්ථා විරලයි. ඇත්තටම මේ විදියට අපරාධකරුවන් හුදකලා කළ හැකිනම් පාතාලය පාලනය කළ හැකියි.”

“විශේෂයෙන් සෙසු බන්ධනාගාරවලත් රඳවා සිටින සන්නධ අපරාධකරුවන්ට අපරාධ කල්ලි සමග ඇති සහ සම්බන්ධතා සහ  සන්නිවේදනය කිරීමේ මාර්ග සම්පූර්ණයෙන් නවතාගත හැකිවුණොත් මේ පාතාලය පාලනය කළ හැකියි. වැලිසර බන්ධනාගාරයේ මේ තත්ත්වය ඉතා හොඳින් සිදුවෙනවා. නමුත් සෙසු බන්ධනාගරවලින් කොහෙන් හෝ පණිවුඩ එළියට යනවා. උදාහරණයක් ලෙස බන්ධනාගාරගතව ඇප මත යන සැකකරුවන් යොදාගෙන සන්නිවේදනය සිදුකරනවා. එසේත් නැත්නම් බන්ධනාගාර තාප්පයට උඩින් දුරකථන විසිකරනවා. ඔවුන් ඒ දුරකථනවලින් සන්නිවේදනය සිදුකරනවා. අපි ඒවා යළි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකරනවා. එවිට සකකරුවකුගේ ශරීර අභ්‍යන්තරයේ සඟවා දුරකථන බන්ධනාගාරය තුළට එවනවා. මෙන්න මේ තත්ත්වයයි අපි සම්පූර්ණයෙන් පාලනය කළ යුත්තෙ. අන්න එදාට සන්නද්ධ අපරාධ කල්ලි ව්‍යුහය කඩා වට්ටන්න පුළුවන්.”

“අද වෙද්දි සන්නද්ධ අපරාධකල්ලි හා මත්කුඩු ජාවාරම කියන්නෙ දෙකක් නොව එකක්. ඒ නිසා මිනිස්සු ඝාතනය, මිනිස්සු බයකර කප්පම් ගැනීම, දූෂණ ක්‍රියාවලට රටේ සැම රජයේ නිලධාරියෙක්ම විරුද්ධ විය යුතුයි.”

හැබැයි ඔබ වැලිසර බන්ධනාගරයේ සිටින රැඳවියන්ට බාහිර කල්ලි සමග සන්නිවේදනයක් නෑ කිව්වත් මීට සති කීපයකට කළින් අත්අඩංගුවට පත් සැකකරුවෙක් වැලිසර රඳවා සිටින ලොකු පැටී සමග සන්නිවේදන සිදුකළ බව ප්‍රකාශ කළා නේ ද?

“අපි ආසියාවේ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් උපදන රටක්. මෙහි සිටින ඇතැම් පුද්ගලයන් ආර්ථිකමය වශයෙන් දුප්පත්. මේ දුප්පත්කම නිසා යම් අවස්ථාවක ඔවුන් සැලෙන්න ඉඩතිබෙනවා. ඒ තුළ ඔවුන් මුදලට ඕනි දෙයක් කරනවා. දුප්පත්කම නම් වෛරසය නිසා ඇතැම් අවස්ථාවක බන්ධනාගාර නිලධාරියෙක් දුරකථනයක් රැඳවියෙක් වෙත ලබාදීමේ ඉඩකඩක් පවතිනවා. හැබැයි වැලිසර එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවස්ථාවක් නැති තරම්.”

පසුගිය කාලසීමාවේ දරුණු ගණයේ අපරාධ කල්ලි නායකයන් විදේශවල සැඟව සිටියදී පවා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරලා තිබුණත් ඔවුන්ගේ කල්ලි සක්‍රියව ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබෙනවා නේ ද?

“ඉරානයේ මුල් පෙළේ නායකයන් සියලු‍ දෙනා ඝාතනය කළා කියලා ඉරානය නැවතුනාද? නැහැ නේද ? ඔවුන් එය ඉදිරියට ගලා යාමේ සිස්ටම් එක ඇතිකරලා තිබෙනවා. අද නායකායව මැරුවත් හෙට ඊළඟ නායකයා නැගිටිනවා. මෙලෙස  ඊළඟ, ඊළඟ නායකයන් නැගී සිටිනවා. පාතාලය තුළත් තිබෙන්නෙ මෙවැනි ක්‍රමවේදයකුයි.”

“අපි කල්ලි නායකයාව අත්අඩංගුවට ගෙන බන්ධනාගරගත කරලා සන්නිවේදනය අවහිර කළහම දෙවැනි, තුන්වැනි පෙළ නායකයන් විසින් කල්ලියට නායකත්වය දෙනවා. මේ හරහා යම් ලෙසකින් ඔවුන්ගේ කල්ලිය පවත්වාගෙන ගියත්, ඔවුන්ට මුල් අවස්ථාවේ පැවති ලෙස කල්ලිය පවත්වාගෙන යන්න බැහැ. ඒවගේම පොලිසිය සිදුකරන මෙහෙයුම්වලින් විශාල වශයෙන් අවි ආයුධ අත්අඩංගුවට ගැනීම නිසා අවි ආයුධවල හිඟයක් පාතාලය තුළ පවතිනවා. ඒ නිසායි ඔවුන් දේශීයව නිපදවන ඊ කටස් නම් අවි වෙඩි තැබීම් සඳහා භාවිත කිරීමට උත්සාහ ගන්නවා. නායකයන් හා අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළ පාතාල කල්ලි මෙවැනි දුෂ්කරතාවකට පත්කර බෙලහීන කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබෙනවා.”

“ඒ වගේම අපි තවදුරටත් විදෙස් රටවල බුද්ධි අංශ සමග එක්ව විමර්ශන කරමින් ඒ ඒ රටවල සැඟව සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙනවිත් නීතිමය පියවර ගැනීමත් තවදුරටත් ක්‍රියාත්මකයි. විශේෂයෙන් මේවනවිට ඇමෙරිකාවේ හා ඉරානයේ සැඟව සිටි සන්නද්ධ අපරාධකරුවන් පිරිසකුත් අපි මේ වනවිට අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.”

විදෙස්වල සිට අත්අඩංගුවට ගෙන රැගෙන එන පාතාල නායකයන්ට අවසානයේ ඇත්තටම නීතිය ක්‍රියාත්මකද යන්න පිළිබඳව බොහෝ ජනතාව තුළ ගැටලු‍වක් පවතිනවා. ඇත්තටම එම පාතාලයන්ට දැනෙන දඩුවමක් ලබාදිය හැකිවෙයි ද?

“ලංකාවේ පළමු ප්‍රශ්නය වෙන්නේ නඩු කටයුතුවල පවතින ප්‍රමාදයයි. මේ නිසාම රජය මැදිහත්වෙලා අධිකරණමය කටයුතු වේගවත් කිරීමට කටයුතු අරඹා තිබෙනවා. උදාහරණයක් ලෙස රස පරීක්ෂණ වාර්තා ලබාදීම කඩිනම් කිරීම, නඩු වර්ගීකරණයක් සිදුකර එම විෂයන්ට අදාළව වෙනම අධිකරණ පිහිටුවීම, නව අධිකරණ ඉදිකිරීම ආදි පියවර ගෙන තිබෙනවා.

මේ හරහා නඩු ප්‍රමාදය වැළකෙමින් තිබෙනවා. නඩු ප්‍රමාදය වැළකීම නිසා වරදකරුවන්ට දඬුවම කෙටි කාලයකින් ලබාදීමේ අවස්ථාව සැලසෙනවා. වරදට  දඬුවම ඒ අවස්ථාවේම ලැබුණහම ඒක ඔහුටත් , බාහිර සමාජයටත් දැනෙන දෙයක් බවට පත්වෙනවා. ඒ හරහා අපට ඉදිරියේදී හොඳ ප්‍රතිඵලයක් දැක ගන්න ලැබේවි.”

සන්නද්ධ අපරාධකරුවන් බිහිවෙන්නේ ඇයි?

“මේ සම්බන්ධව මනෝ වෛද්‍යවරුන් හා සමාජ පර්‌යේෂකයන් සිදුකළ පරීක්ෂණ අනුව හෙළිව ඇත්තේ කුඩා කාලයේ පවුල වෙතින් ලද ගැහැට, වේදනා, මවු සෙනෙහස අහිමිවීම, කුඩා සමයේදී අතවරයන්ට ලක්වීම   ආදී අඳුරු ඉතිහාසයක් ඇති තරුණයන් වැඩි වශයෙන් අපරාධකරුවන් බවට සම්භාවිතාවක් පවතින බවයි. මෙහෙම ගැටලු‍කාරී අතීතයක් හිමි දරුවන් වැඩිවියට එලඹුණාට පසුව සමාජයෙන් පළිගන්න උත්සාහ දරනවා වගේම පළිගැනීමේ චේතනාව නිරායාසයෙන්ම ඇතිවෙනවා.

පාතාලය බිහිවෙන්නෙත් මෙවැනි අඳුරු අතීතයක් සහිතව පළිගැනීමේ චේතනාවෙන් සිටින පිරිස් ඒකරාශි කරගනිමිනුයි. ඔවුන් තම පළිගැනීමේ චේතනාවට අවස්ථාවක් ලැබෙන ලෙස ලාබෙට මෙවැනි කණ්ඩායම් සමග එක්වෙනවා.”

“ඒ වගේම කෙටිකාලයක් තුළ මුදල් සමග ගැවසෙන්න පුළුවන් යැයි ඔවුන් හිතනවා. මොකද පාතාලය මත්ද්‍රව්‍ය හා අනෝන්‍ය බැඳීමකින් පසුවීම නිසයි. පාතාලය කියන්නේ එඩ්‍රස් එකක් නැති ආයතනයක් බඳු තැනක්. ඇඩ්‍රස් එකක් නැති වුණත් එය ක්‍රියාත්මක වෙනවා.

පාතාලය සමග සම්බන්ධ වෙන්න උත්සාහ දරන අඳුරු අතීතයක් සහිත පුද්ගලයන්ට අපිට අවබෝධකර දියහැකි නම් ඔවුන්ගේ ගැටලුවට විසඳුම මේක නෙවෙයි යනුවෙන්, එදාට මේ තරුණයන් පාතාලය හා සම්බන්ධවීම නවත්වනවා. එවිට පාතාලය බිහිවීම යන කරුණ  අහෝසි වී යනවා.”

“ඒ වගේම යම් දරුවකුට කුඩාකාලයේදී ඕනම අකටයුත්තක් සිදුවනවා නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන දරුවාට සාධාරණය ඉටුකරදීමට පොලිසිය සැමවිටම සූදානමින් සිටිනවා.”

මෑත වසර ගණනාව තුළ මත්කුඩු අත්අඩංගුවට ගැනීම විශාල ලෙස ඉහළ ගියත්, රට තුළ මත්ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාගන්නට මත් ලෝලීන්ට හැකියාව තිබෙනවා වගේ පෙනෙන්නේ?

“ලංකාවට මත්ද්‍රව්‍ය එන ක්‍රම කීපයක් තිබෙනවා. පකිස්ථානය, ඉරානය හා ඇෆ්ගනිස්ථානය හරහා සෘජුවම මෙරටට මත්ද්‍රව්‍ය ලැබෙනවා. එසේත් නැත්නම් ඒ ඒ රටවලින් මුහුදට රැගෙනඑන මත්ද්‍රව්‍ය මෙරට බෝට්ටු විසින් රැගෙන එනවා. ධීවර කර්මාන්තයට යොදා ගන්නා බහුදින ධීවර යාත්‍රා වගේම බොට්ටු මේ සඳහා යොදා ගන්නවා. ඒවගේම ගුවන් මගින්, මධයම තැපැල් හුවමාරුවෙන් වගේම කන්ටේනර් තුළ බහා නැව් මගින් රැගෙන එනවා.”

“වරායේ දී හෝ ගුවන්තොටේ දී භාණ්ඩ පරීක්ෂාව සිදුකරන්නේ නිලධාරීන් විසිනුයි. ඔවුනුත් මනුෂ්‍යයන්. හියුමන් එරර්ස් නිසා ක්ෂණිකව සිදුවන ප්‍රමාද දෝෂයකින් මත්කුඩු කිලෝ දහස් ගණනක් රට තුළට ඇතුල් වීමේ හැකියාව පවතිනවා. එසේම කන්ටේනර් කීපයක් අත්අඩංගුවට ගද්දි එක කන්ටේනරයක් රට තුළට ඇතුල්විය හැකියි. ඒ වගේම ධීවර බෝට්ටු පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටියත් ඔවුන් කුමන හෝ ප්‍රයෝගයක් යොදා කුඩු රට තුළට රැගෙන ඒමට ඉඩ තිබෙනවා.”

“මෙවන් තත්ත්වයක් තුළයි රට තුළ මත්කුඩු පවතින්නෙ. කෙසේ නමුත් මත්කුඩු භාවිතයෙන් පුද්ගලයන් වළක්වාගැනීමත් මත්කුඩු රටින් තුරන් කිරීමේ මාර්ගයක් වනවා.”

කුඩු හා අයිස් මේ වනවිට පාසල් සිසුන් ඉලක්ක කරමින් බෙදාහැරීමේ ජාවාරම පාලනය කළ හැකිවුණා ද?

“ඔව්. පාසල් මට්ටමින් සිදුවන ජාවාරම මුළුමණින්ම වැළැක්වීමට අවශ්‍ය පියවර පොලිසිය මැදිහත්ව ගනිමින් සිටිනවා. අද පාසලේ සිටින සිසුවා තමයි හෙට මේ සමාජයේ පුරවැසියෙක් බවට පත්වෙන්නෙ. ඒ නිසා යම් සිසුවෙක් මත්ද්‍රව්‍යවලට යොමුව සිටිනවා නම් ඔහුව පුනරුත්ථාපනයට හෝ යොදා ඔහුව බේරාගැනීමට, ඔහුගෙන් අනික් සිසුන් බේරා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා.”

ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සහ ඉන් බේරී සිටින්නේ කොහොමද කියන කාරණය ගැන පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට හැකිනම් එය ඉතාමත් වැදගත්.”

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා පාතාලයට පොලිසියේ ඇතමුන්ගේ සහාය ලැබෙන බවට චෝදනා තිබෙනවට?

“පොලිසියේ විතරක් නෙවෙයි ඇතැම් ජාතික හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ, ඇතැම් ඉහළ රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගේ, ඇතැම් බැංකු ක්ෂේත්‍රයේ පුද්ගලයන්ගේ, ඇතැම් වෛද්‍යවරුන්ගේ, ඇතැම් පාසල් විදුහල්පතිවරු ගුරුවරුන්ගේ පවා සහාය මෙවාට හිමිවෙලා තිබෙන බව අපි අනාවරණය කරගෙන තිබෙනවා.”
“ඉස්සර වගේ නෙවෙයි හුඟ දෙනෙක් කිසිම බිය සැකයකින් තොරව මේවාට උදව් කරන්න දායක වෙලා තිබෙනවා. මෙවන් පසුබිමක පොලිසිය කියන නියැඳිය පමණක් සියයට සියයක් පිරිසුදුයි කියලා මම කියන්නෙ නැහැ. පොලිසියේ දෙතුන් දෙනෙක් මෙවාට සම්බන්ධ වෙලා තිබෙන බවට තොරතුරු තිබෙනවා. ඇතැමුන් සම්බන්ධව නීතිමය පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදී ත් කිසිදු පැකිලීමකින් තොරව නීතිමය පියවර ගන්නවා.”

“විශේෂයෙන් පොලිස්පතිතුමන් මේ සම්බන්ධව දැඩිව පෙනී සිටිනවා. ජාවාරම්වලට හෝ පාතාල ක්‍රියාකාරකම්වලට පොලිසියේ කෙනෙක් ගෑවිලා හෝ තිබුණොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න එතුමා උපදෙස් ලබාදී තිබෙනවා. ”

අපරාධ මර්දනයට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය දක්වා තිබෙන දායකත්වය කෙබඳු ද?

“විදෙස් රටවල සිට අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධනාත්මක අපරාධ කල්ලි නායකයන් මෙන්ම ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන් අපේ කාර්යාංශය යටතේ මේ වනවිටත් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. අපි ඒ කළ ප්‍රශ්න කිරීම් හමුවේ සඟවා තිබූ අවි ආයුධ සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ නීති විරෝධී දේපොළ රැසක් තහනම් කිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් සමග නීති විරෝධී ව්‍යාපාර කළ පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.”  

“ඒ වගේම වරායේ තිබූ හෙරොයින් හා අයිස් සහිත කන්ටේනරයක් අපගේ ඒකකය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු ඔත්තුවක් මත අත්අඩංගුවට ගන්නට අපේ ඒකකයට හැකි වුණා. තවදුරටත් අපි මේ පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටිනවා. ඒ වගේම මහ පරිමාණ ව්‍යාජ ඩොලර් ජාවාරමක් හසුකර ගන්නට හැකිවුණා. මේ ආදි තවත් බොහෝ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නත් ඔවුන්ට එරෙහිව නඩු පවරන්නත් කටයුතු කර තිබෙනවා.

“අපිට මේ ඒකකය මෙතරම් සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවෙලා තිබෙන්නේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු නායකත්වය සහ අපරාධ හා රථවාහන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සමීප අධීක්ෂණය නිසයි. අපි කොතරම් මහජන සේවයක් සිදුකරනවාද යන්න ඉදිරියේදීත් මහජනතාවට දැනගත හැකියි.”

නිරෝෂාන් ප්‍රේමරත්න