පසු ගිය ටිකේ පාර්ලිමේන්තුව පැවැත්වීම නිෂ්ඵල දෙයක්


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්

ටිල්වින් සිල්වා 

  • ගෝඨාභය වගේම රනිලුත් ෆේල්
  • අපි ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ මේ රටේ ජනතාව ජනවරමකින් අපට බලය දුන්නෝතින් පමණයි. 

කාලීන දේශපාලනය පිළිබඳ මේ අදහස් පළ කිරීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙනි.

 

විපක්ෂයේ පිරිස් පසුගිය සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කළා. රටේ ප්‍රශ්න කතා කරන්න තියෙන අවස්ථාවත් එහෙම මඟහරින එක හොඳ වැඩක් නෙවෙයි කියලා ආණ්ඩුව කියන්නේ. ඇයි. ජේ.වී.පී. මන්ත්‍රීවරු තුන් දෙනෙක් මේ තීන්දුවට එකතු වුණේ?


පාර්ලිමේන්තුව වර්ජනය කළේ තාවකාලිකව පමණයි. ආණ්ඩුවට සතියකට කල් දීලා තියෙන්නේ. පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා නම් ඒක ජනතාවගේ ප්‍රශ්නවලට මොනයම් හෝ විසඳුමක් ලැබෙන යෝජනා අදහස් මතුවෙන එකක් වෙන්න ඕනැ කියන බලපෑම ආණ්ඩුවට කරන්න ඕනෑ. අපි බැලුවොත් පසුගිය මාස දෙක තුන තුළ රටේ මේ තරම් බරපතළ වෙලා තියෙන ප්‍රශ්න ගැන ආණ්ඩුව මොනව ද පාර්ලිමේන්තුවේ කතා කරලා ගත්තු තීන්දු. කිසිම දෙයක් කළේ නැතුව බොරු කයිවාරුවලින් කාලය කා දැම්මා. ආණ්ඩුවට වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් තියෙන නිසා එයාල පාර්ලිමේන්තු කාල සීමාවෙන් වැඩි කාලයක් අරගෙන කතා කරනවා. විපක්ෂයට හම්බවෙන්නෙ පොඩි වෙලාවක්. ඒ වෙලාවේ තමයි අපිට රටේ ප්‍රශ්න ගැන කතා කරන්න වෙන්නෙ. ආණ්ඩු පක්ෂය පසුගිය කාලය පුරාම කරල තියෙන්නෙ එකිනෙකාට බැණ අඬගහගෙන තමන්ගෙ දුක තියාගෙන රණ්ඩු වෙවි ඉන්න. ප්‍රයෝජනවත් දෙයක් කතා කරල නෑ. පසුගිය ටිකේ ඇත්තටම පාර්ලිමේන්තුව පැවැත්වීම නිශ්ඵල දෙයක්. එවැනි පාර්ලිමේන්තුවකට විරෝධය පළ කරන්න තමයි සතියකට පාර්ලිමේන්තුව වර්ජනය කරන තීන්දුවට ආවේ. මේ පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා හැරලා ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනෑ ඇත්ත මහජන නියෝජිතයන් ඉන්න පාර්ලිමේන්තුවත් පත්කර ගන්න.


රනිල් වික්‍රමසිංහ අගමැති නම් කිව්වෙ ස.ජ.බෙ. අයයි ජා.ජා.බෙ. අයයි ඔය විදියට හැංගිලා ඉඳලා හරි යන්නේ නෑ. පාර්ලිමේන්තු ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න හවුල් වෙන්න කියලා.


රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ආසනයක්වත් දිනා ගන්න බැරිවුණු ප්‍රතික්ෂේපිත චරිතයක්. පිනට අගමැතිකම අරගෙන රාජපක්ෂ කල්ලිය රකින දොරටු පාලකයෙක්නෙ රනිල්. එයා කරන්නේ රාජපක්ෂලාගෙ කොන්ත්‍රාත් එකක්. එයා කියන කතා අපි නම් සත පහකට ගණන් ගන්නේ නෑ. රනිල්ගේ ආරාධනා අවශ්‍ය නෑ අපිට රටේ ජනතාව ගැන බලන්න. අපි සූදානම් රට බාර අරගෙන රට ගොඩනගන්න. අපේ පක්ෂ නායක අනුර සහෝදරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා. ඒ පිළිබඳව ආණ්ඩුවක් හැදීමේ වගකීම අපි බාර ගන්න සූදානම්. අපිට පුළුවන් ඒක කරන්න. දැන් ගෝඨාභය රනිල් එක්ක ආණ්ඩුවක් හදාගෙන රට ගොඩ දාන්න කියලනේ ආවේ. දැන් මොකද වෙලා තියෙන්නේ. තිබුණට වඩා හපන්. එන්න එන්නම අගාධයට යනවා. පෝලිම් නැති කරනවා කියලා ආපු රනිල් රට පුරා තිබුණට වඩා පෝලිම් හදල අද වෙනකොට. ගෑස් අද නැත්තට නැති කරලා. එයා මිනිස්සුන්ට මතක් කරනවා. සති දෙකෙන් දෙකට ඉස්සරහට අමාරුයි කියලා. ඕකටද අගමැතිකම ගත්තේ. ගෝඨාභය වගේම රනිලුත් ෆේල්. දැන් දෙන්නම වේදිකාවෙන් බැහැල යන්න ඕනෑ.


වාසුදේව නානායක්කාර තව අනාවැකියක් කියනවා. එයා කියන්නේ සජිත් ප්‍රේමදාස එක්ක එකතුවෙලා ජේ.වී.පී එක අණ්ඩුවක් හදයි වගේලු. ඒක ඇත්ත ද එතකොට ?


වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස අද දේශපාලන අනාථයෝ වගේ තැන තැන එක එක දේවල් කිය කියා යන නාට්ටියක්. මේ ආණ්ඩුව ගේන්න දර දිය ඇදලා රාජපක්ෂලා ගැන සුරංගනා කතා කියලා මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු දීලා බලයට ගෙනාවේ ඔය කල්ලිය. වැඩේ වැරදෙන කොට බොරුවට ස්වාධීන වුණා කියලා දැන් පැත්තකට වෙලා ඉඳගෙන හිතට එන එක එක විහිළු කතා කියනවා. ඉතා පැහැදිලිව ජාතික ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ සජිත් ප්‍රේමදාසලා එක්ක ආණ්ඩු හදන්නෙ නෑ. අපි ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ මේ රටේ ජනතාව ජනවරමකින් අපට බලය දුන්නෝතින් පමණයි. ජනතාවගේ ජන වරමකින් තොරව අරයා මෙයා එක්ක ඩීල් දාලා ආණ්ඩු හදන්නෙ නෑ අපි. ඒව පුරුදු වාසුදේවලාටම තමයි.


ආර්ථික ඔස්තාර් කෙනෙක් කියලා කියා ගන්න ධම්මික පෙරේරත් පාර්ලිමේන්තුවට ආවනේ. රට ගොඩ දාගන්න බැරි වෙයි ද?


ඔය වගේ ඔස්තාර්ල ගොඩ දෙනෙක් ගෙනල්ලා අපේ රටේ මිනිස්සු හොඳටම පරිප්පු කාලනෙ ඉන්නේ. බැසිල් ආවෙත් ඔහොමනේ. මොළ හතක් තියෙනවා කියාගෙන ඇවිත් රටටම හතේ හත වදිනකම් ආර්ථිකය විනාශ කරල දාලා අද පැත්තකට වෙලා බබා වගේ ඉන්නවා.


රනිල් වික්‍රමසිංහ අගමැති වෙද්දී කිව්වේ ආසියාවේ සුපිරි මොළය මේක තමයි එයා රට ගොඩ දාවි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ. එයා කරන්නේ රටේ ප්‍රශ්නවල ප්‍රකාශකයා වෙච්ච එක. එයා කරන්නේ වැඩේ අමාරුයි කියලා මිනිස්සුන්ට කිය කියා ඉන්න එක. ඒ වගේම තමයි ඔය ධම්මික පෙරේරාත්. ව්‍යාපාරිකයෙක් වුණු පලියට රටක් ගොඩගන්න බෑ. ධම්මික පෙරේරාගේ අතේ ඇලඩින්ගේ පුදුම පහණ නෑනේ. එයත් ඔය ආපු පෙරහරේම තව එක චරිතයක් පමණයි.


ඔබ පසුගිය දවස්වල නිතරම ප්‍රකාශ කරලා තිබුණා ඔබලගෙ ආණ්ඩුවක් ආවොත් විදේශිකයන්ගෙන් ඩොලර් ලැබෙනවා කියලා. ආණ්ඩුව කියන්නේ රට ගැන හිතලා කුහක නොවී පුළුවන් නම් ඒ ඩොලර් ටික දැන් ගෙන්වල පෙන්වන්න කියලා.


අපේ රටේ විදෙස්ගත ශ්‍රමිකයෝ සල්ලි එවන්නේ ජේ. වී. පී. එකටවත් එන්. පී. පී. එකටවත් නෙවෙයි. ඔවුන් සල්ලි එවන්නේ රටට, ආණ්ඩුවට. රාජ්‍යයට. හැබැයි දැන් තියෙන රාජපක්ෂ ආණ්ඩුව ගැන ඒ කිසි කෙනකුට විශ්වාසයක් නෑ. මොකද මේකෙ ඉන්නෙ පට්ට හොරු ටිකක්. එවන සල්ලි හොරු කාවි කියන සැකය උඩ ඒ අය සල්ලි එවන්න මැළි වෙනවා. ඒක සාධාරණයි. රටම ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවකට සල්ලි එවන්න විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ උනන්දුවක් නෑ. හැබැයි ඒ හැමෝටම සහතිකයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රට ගොඩනගයි කියලා ඒ අය එවැනි විශ්වාසදායි ආණ්ඩුවකට මුදල් එවන්න පසුබට වෙන්නෙ නෑ. මේ ආණ්ඩුවට කාගෙවත් විශ්වාසය දිනා ගන්න බැරි වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. ඒක නිසා රටට කුහකකම් කරන්නේ අපි නෙවෙයි මේ චෞර ආණ්ඩුව. ගෝඨා රනිල් හොර නඩය ප්‍රමුඛ ආණ්ඩුව තමයි රටට ලොකුම කුහකකම කරන්නේ. අපි කොච්චර සල්ලි එවන්න කිව්වත් ගෝඨා රනිල් ප්‍රමුඛ මේ හොර ආණ්ඩුවට මිනිස්සු සල්ලි එවන්නේ නෑ. ඒක ඉතිං අපේ වරදක් නෙවෙයි.


අරගලයේ නිරත පිරිස් අත්අඩංගුවට ගැනීමත් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඔබලාගෙ පක්ෂ සාමාජිකයොත් ඒ අතර ඉන්නවා නේද?


ගෝඨාභය රාජපක්ෂ දැන් මේ කරමින් ඉන්නේ රනිල් වික්‍රමසිංහත් අගමැතිකමේ තියාගෙන ධම්මික පෙරේරාල වගේ අයත් දාගෙන රට තවදුරටත් අගාධයට ඇද දාමින් ඉන්න අතරේ රටේ ප්‍රශ්න ගැන සංවේදීවෙලා පෙරට ආපු අය දඩයම් කිරීම මේ දඩයම පටන් ගත්තෙ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වීමත් සමග. දැන් ඒගොල්ලො එකට එකතුවෙලා ලැයිස්තු හදාගෙන බොරු පැමිණිලි දමලා රටේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉදිරියට එන අය මර්දනය කරන්න සුදානම් වෙනවා. මේක ගෝඨාභයටත් රනිල්ටත් හොඳට පුරුදු සෙල්ලමක්.


අපේ පක්ෂෙ තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග සහෝදරයා ජාතික ජනබලවේගයේ විධායක සභික ජගත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පසුගිය දවසේ අත්අඩංගුවට ගත්තා. මේක බොහොම සීතල දඩයමක්. මිනිස්සු රට පුරා පෝලිම්වල ඉඳිද්දී ඒ මිනිස්සු ගැන කතා කරන අය අත්අඩංගුවට ගන්නවා. මේක තමයි මේ අයගෙ පුරුද්ද. මේ අය ඉතිහාසයේම කළේ මේක අපි අාණ්ඩුවට කියනවා මේ සෙල්ලම වහාම නවත්වන්න කියලා. අපි මේවයින් සැලෙන්නේවත්, බය ​වෙන්නෙවත් නෑ. අපි සූදානම් මේ මර්දනය එක්ක හැප්පෙන්න. ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අපි දිගින් දිගටම රට පුරා ජනතාව පෙළ ගස්වමින් ඉන්නේ.


පසුගියදා පාර්ලිමේන්තුවේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අවුරුදු තිස් ගණනකට විතර පස්සේ රෝහණ විජේවීරගේ මරණය ගැන නැවත ප්‍රශ්න කළා. ඇයි මේ කතාව හදිසියෙන් පාර්ලිමේන්තුව වගේ තැනක මාතෘකාවක් වෙන්නේ?


රටම අර්බුදයක ඉන්න අතරේ ආණ්ඩුවට ඕනැ මොනව හරි කියලා ජනතාවගෙ අවධානය වෙන පැත්තකට හරවන්න. අපි රට පුරා වේගයෙන් වැඩ කරගෙන යද්දී ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව කිසියම් මතයක් පතුරන්න ​ෙම් අය උත්සාහ කරනවා. ඒවයින් ජනතා විමුක්ති පෙරමුණ අපහසුතාවයට පත් කිරීම තමයි බලාපොරොත්තුව. ඒ අයට ඕනැ 88-89 කාලය නැවත මතක් කර කර ජනතාවට වෙන අදහසක් දෙන්න. රට බිය වද්දන්න. ඒ වගේ පටු අදහසක් ඔතන තියෙන්නෙ. අපේ නායකයා ගැන අපිට නැති කැක්කුමක් පොහොට්ටුවේ කට්ටියට එන්නෙ මොක ද කියල අපිට තේරුම් ගන්න පුළුවන්. අපේ පක්ෂෙ නායක රෝහණ සහෝදරයා ඇතුළු සමාජිකයො විශාල ප්‍රමාණයක් ඒ කාලෙ ඝාතනය වුණා. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් විය යුතුව තිබුණා. හැබැයි ඒ පරීක්ෂණය ඒ ඝාතනවලට සම්බන්ධ වෙච්ච කණ්ඩායම්වලින් ඉල්ලන එක විහිළුවක්. අපිට එහෙම එකක් ඕනැ නෑ. හොරාගෙ අම්මගෙන් පේන අහන පරීක්ෂණ අවශ්‍ය නෑ. රෝහණ විජේවීර ගැන ගෝඨාභය රාජපක්ෂලාගෙ රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුවකින් පරීක්ෂණ ඉල්ලන එක තරම් බොළඳ වැඩක් තවත් තියෙයිද?. ඝාතකයින්ගෙන් සහ ඝාතකයින්ගේ මිතුරන්ගෙන් ඝාතන ගැන පරීක්ෂණය ඉල්ලන්න ඕනැ නෑ. හැබැයි කවදාහරි දිනක ජනතාවාදී ආණ්ඩුවක් පත්වෙච්ච දවසකට මේ සියලු ඝාතන ගැන විධිමත් පරීක්ෂණ සිද්ධවිය යුතුයි කියන අදහසේ අපි ඉන්නවා.

 

 

සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි