පක්ෂ නායක අදහස් මුදුන් පමුණුවා ගන්න ගිහින් රට ගොඩගන්න බෑ


සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී 

රෝහිණී  විජේරත්න 

  • පක්ෂ නායකයෝ දැන් එකතුවෙන්න ඕනෑ 
  •  අගමැති ධුරය නැතිව සජිත් සර්ව පාක්ෂික රජයකට එකතු විය යුතු බව මගේ පෞද්ගලික මතයයි

 

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු දැන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ය. තව කී දෙනෙකු සජබයෙන් යයිද? මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න මහත්මිය සමග කළ සංවාදයකි.   

 

ප්‍රශ්නය:-ඔබ කවදද රාජ්‍ය ඇමැති ධුරයක දිවුරුම් දෙන්නේ?


පිළිතුර:- සමගි ජන බලවේගයේ ආණ්ඩුවක හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක.   


ප්‍රශ්නය:-සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන්න දැන් ඉඩක් තියෙනවද?


පිළිතුර:- ඒක තමයි මම දිගින් දිගටම පහුගිය දවස්වල තිබුණ මාධ්‍ය සාකච්ඡාවලදීත් කිවුවේ. ‘අපි සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන්න ඕනැ’ කියලයි. මේ රට දැන් තියෙන තත්ත්වය උඩ පක්ෂ නායකයන්ගේ අදහස් මුදුන් පමුණුවා ගන්න ගිහින් රට ගොඩ ගන්න බෑ. මේ හැමෝම එකතු වෙන්න ඕනැ. නායකයෙක් පක්ෂයක් හදන්නේ කවද හරි ලොකු පුටුවකට ගිහිල්ලා මේ රට හදන්නනේ. එහෙම නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අවස්ථාවක් දැන් හැදිල තියෙනවා. අපේ රට ඉතාම භයානක තැනක තියෙන්නේ. නහයට උඩින් වතුර ගිහින් තියෙන්නේ. ඒ නිසා පක්ෂ නායකයෝ දැන් එකතු වෙන්න ඕනැ. එහෙම එකතු වෙලා මේ රට ගොඩනගන්න වැඩපිළිවෙළක් හදන්න ඕනැ. සියලු දෙනා මේ වගකීම බාර ගන්න ඕනැ. අරයා නිසා මේක වුණා. මෙයා නිසා ඒක වුණා.’ කිය කියා ඉඳලා වැඩක් නෑ. මේක අපි කාගෙත් රට හින්දා එකතු විය යුතුයි. මම ඉන්නේ ඒ මතයේ.   

 

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිනියට දැනුම් දීලා තිබුණා පාර්ලිමේන්තු කාන්තා සංසදයෙන් නමක් යෝජනා කරන්න කියලා. එතුමියත් කියලා තිබුණා ‘මම යෝජනා කරන්නෙත් රෝහිණී විජේරත්න’ කියලා. එහෙම තමයි ඒක ඉදිරියට ආවේ.


ප්‍රශ්නය:-සජිත් ප්‍රේමදාසට ස්වර්ණමය අවස්ථාවක් ලැබුණ අගමැති ධුරය බාර අරගෙන රට හදන්න. නමුත් ඔහුගේ ‘ආසයි භයයි’ ප්‍රතිපත්තිය නිසා ඒ අවස්ථාව මඟ හැරුණා’   


පිළිතුර:- ඒක එතුමාගේ මොකක් හරි අදහසක් වෙන්නැති. ඒකට එතුමා යම් යම් කාරණා කිහිපයක් ඉදිරිපත් කළා. මේ මේ හේතු නිසා කියලා.   


ප්‍රශ්නය:-ඒ හේතු සාධාරණයි කියලා ඔබ හිතනවද?   


පිළිතුර:- ඒවා ගැන දැන් යළිත් කතා කරලා වැඩක් නෑ නේද? ගිය හකුරට අඬලා වැඩක් නෑනේ. තියෙන හකුර රැකගන්න ඕනෑ කියලා තියෙනවනේ. අතීතයෙ වෙච්ච දේවල් ආපහු හෝද හෝද මඩේ ද‌ාන එකෙන් වැඩක් වෙන්නේ නෑ. දැන් අගමැතිතුමාට වගකීමක් තියෙනවා මේ සියලු පක්ෂ නායකයන්ට ආරාධනා කරන්න. ආරාධනා කරලා ඉදිරි ගමන යනවා නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් රට ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් අගමැතිතුමාටත් ඔතැන වැඩ කරන්න අමාරු වේවි.   


ප්‍රශ්නය:-අගමැති ධුරයේ නැතිව සජිත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ වෙයි කියලා ඔබ හිතනවද?

  
පිළිතුර:- මම හිතනවා එකඟ වෙන්න ඕනැ කියලා මේ වෙලාවේ. මේක මගේ පෞද්ගලික මතය. පක්ෂයේ මතය නොවෙයි. පෞද්ගලික මතය ඉදිරිපත් කිරීම ගැටලුවක් වෙයි ද කියලා මම දන්නේ නෑ. නමුත් මේ වෙලාවේ රට බොහොම අවදානම් තැනකනේ තියෙන්නේ. අපේ රටේ ජනතාවට වෙන මොකවත් නොවෙයි කන්න නැති වුණොත් මොකද වෙන්නේ. එහෙම වුණොත් පක්ෂ නායකයෝ මොනවද කියන්නේ. තමන්ට ඡන්දය දීපු පාක්ෂිකයන්ට මොනවද කියන්නේ. මෙහෙම වෙන්වෙලා පැත්තකට වෙලා ඉඳලා කඹ ඇදලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? අඩුම තරමේ තමන්ගේ පාක්ෂිකයන්ට කන්න දෙන්න පුළුවන්ද? ඖෂධ ටික ගෙනත් දෙන්න පුළුවන්ද? ලෙඩ හැදිලා බෙහෙත් නැතිව මිනිස්සු මැරෙනවා බලාගෙන ඉන්න පුළුවන්ද? ඒ නිසා ඒ ඉරණමට රට යටත් කරන්නේ නැතිව සජිත් ප්‍රේමදාස මහත්තයා විතරක් නොවෙයි ටී.එන්.ඒ. නායකයා, ජේවීපී නායකයෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ඒ විතරක් නොවෙයි පොදුජන පෙරමුණේ නායකයොත් මීට වඩා නම්‍යශීලී වෙන්න ඕනැ. අනිත් අයත් එක්ක එකතුවෙලා මේ ගමන යන්න.   


ප්‍රශ්නය:-සජිත් ප්‍රේමදාස සජබෙ ගොඩ නැගුවේ රනිල්ගේ නායකත්වයට එරෙහිව. රනිල් අගමැතිකමේ ඉන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුණොත් ආපහු සජිත්ගෙ නායකයා වෙන්නේ රනිල්. සජිත් ඒකට කැමැති වෙයිද?   


පිළිතුර:- මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය හැටියට මෙතැන සලකන්නේ නැතිව තීරණ ගත යුතුයි. කවුද නායකයා කියන එක නොවෙයි. මුලින්ම කවුරුත් එකතු විය යුතුයි. එහෙම එකතු වෙලා රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනැ. කවුද නායකයා කියන එක නොවෙයි වැදගත් වෙන්නෙ. වැඩ පිළිවෙළයි වැදගත් වෙන්නේ. ඒ වැඩ පිළිවෙළ හදලා ඒක ක්‍රියාත්මක කරන්න ඕනැ. එහෙම නැත්නම් අපේ බෙල්ල තව තවත් හිරවෙන එක තමයි වෙන්නේ.   

 

රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙච්ච, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුවේ ඇත්තටම රට කරන්නේ කවුද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. සමහර තැන්වලදී අපට පේනවා අගමැතිතුමාට එහා ගිහිල්ලා කටයුතු කරන අදිසි හස්තයක් තියෙනවා කියලා. ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් පොදුජන පෙරමුණ මීට වඩා නම්‍යශීලී වෙන්න ඕනැ. මේ වෙලාවේ තමන්ගේ න්‍යාය පත්‍රය නොවෙයි තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම නොවෙයි. මේ රට ගැන හිතලා තීන්දු අරගන්න ඕනෑ.


ප්‍රශ්නය:-සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න දැනට තියෙන බාධාව හැටියට ඔබ දකින්නේ?   


පිළිතුර:- එකක් මම දකිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙච්ච, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුවේ ඇත්තටම රට කරන්නේ කවුද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. සමහර තැන්වලදී අපට පේනවා අගමැතිතුමාට එහා ගිහිල්ලා කටයුතු කරන අදිසි හස්තයක් තියෙනවා කියලා. ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් පොදුජන පෙරමුණ මීට වඩා නම්‍යශීලී වෙන්න ඕනැ. මේ වෙලාවේ තමන්ගේ න්‍යාය පත්‍රය නොවෙයි තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම නොවෙයි. මේ රට ගැන හිතලා තීන්දු අරගන්න ඕනැ. ඒ නිසා කවුරු හරි මේ වෙලාවේ තමන් ගැන විතරක් හිතනවා නම් ඒකෙන් අයින් වෙන්න ඕනැ. ඒකයි කොන්දේසි විරහිතව සිද්ධ වෙන්න ඕනැ.   


ප්‍රශ්නය:-රනිල් අගමැති වුණේ බැසිල්ගේ වුවමනාවට කියලත් කියනවා?   


පිළිතුර:- ඒක නම් මම දැක්කෙ නැතිව මට කියන්න බැහැනේ. සමාජයේ විවිධ මත තියෙනවා. එදා නියෝජ්‍ය කතානායක තෝරණ ක්‍රියාවලියේදී නම් මම දැක්කා ආණ්ඩු පක්ෂය කියලා මේ වෙලාවේ කියන පොදුජන පෙරමුණ මෙහෙය වන්නේ බැසිල් රාජපක්ෂ කියලා.   


ප්‍රශ්නය:- නියෝජ්‍ය කතානායක ධුරයට අගමැති රනිල්ගේ තේරීම වුණේ ඔබ. අගමැතිවරයා හා ඔබ අතර ඩීල් එකක් තිබුණද?   


පිළිතුර:- නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නොවෙයි මගේ නම යෝජනා කළේ. අපේ පක්ෂයෙන් තමයි මාව යෝජනා කළේ.   

 

  • විපක්ෂය කකුලෙන් අදිනවා කියන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා තියෙනවා ආණ්ඩුව කරන සියලු හොඳ දෙයට සහාය දෙනවා කියලා. 
  • සමගි ජන බලවේගය හැටියට අපි කකුලෙන් අදිනවා කියලා මම හිතන්නේ නෑ. කාටවත් කියන්න පුළුවන් කියලා
  • මං ඉස්සෙල්ලත් කිව්වේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවකට යන තැනට හරීන් මන්ත්‍රීතුමා මනූෂ මන්ත්‍රීතුමා ඔවුන් දැන් ඇමැතිවරු, ඔවුන් දෙදෙනා ඒ පක්ෂය ඇතුළේ ඒ අරගලය කළා නම් පක්ෂයක් හැටියට එතැනට ගිහින් සහයෝගය දෙන්න තිබුණා නම් හොඳයි 


ප්‍රශ්නය:-නමුත් නියෝජ්‍ය කතානායක ධුරයට කාන්තාවක් තෝරාගන්න කියලා අගමැති රනිල් කිව්වා?   


පිළිතුර:- ඔව්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යෝජනාව වුණේ කාන්තාවක් නියෝජ්‍ය කතානායක ධුරයට පත් කරන්න කියලයි. ඒ අනුව එතුමා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිනියට දැනුම් දීලා තිබුණා පාර්ලිමේන්තු කාන්තා සංසදයෙන් නමක් යෝජනා කරන්න කියලා. එතුමියත් කියලා තිබුණා ‘මම යෝජනා කරන්නෙත් රෝහිණී විජේරත්න’ කියලා. එහෙම තමයි ඒක ඉදිරියට ආවේ. නියෝජ්‍ය කතානායක ධුරයට පත් කරන දවසේ මම පාර්ලිමේන්තුව ඇතුළට එනකොටත් පොදුජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් මට සුබපැතුවා. ‘අපි අද ඔබතුමියව පත් කරනවා. මේක මෙහෙම ඒකමතිකව වෙච්ච එක හොඳයි.’ කියලා. නමුත් ඒ අයම ඇවිල්ලා මටම කිව්වා ‘බලන්නකෝ කරපු දේ දෙන්නෙකුගෙ තුන් දෙනෙකුගෙ ඕනෑකමට තමයි මේක වුණේ’ කියලා. කණ්ඩායම් රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ හා තව දෙන්නෙකුගේ ඕනෑකමට ඒ දේ සිද්ධ වුණා කියලා තමයි මට කිව්වේ.   


ප්‍රශ්නය:-කවුද ඉතිරි දෙන්නා?


පිළිතුර:- මම හොයන්න ගියෙ නෑ. වැඩක් නෑනේ.   


ප්‍රශ්නය:-රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ පක්ෂය තුළ දීර්ඝ සංවාදයක් තිබුණා. නමුත් ඒක ඵල රහිත නිසා හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ආණ්ඩුවට ගියා?  


පිළිතුර:- මම හිතනවා පක්ෂයකින් කවුරුහරි ගියොත් ඒක පක්ෂයට පාඩුවක් තමයි. නමුත් ඒ වගේම ඒ ගිය මන්ත්‍රීවරුන් දෙන්නා සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ එතුමන්ලාගේ දේශපාලන අනාගතය ගැන මීට වඩා හිතන්න තිබුණා කියලයි.  


ප්‍රශ්නය:- ඔබම දැන් කිව්වා තමන් ගැන නොසිතා රට ගැන හිතන්න ඕනැ කියලා?


පිළිතුර:- එතැනදී මම දකිනවා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත්, මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාත් පක්ෂයක් හැටියට තීරණයක් අරගෙන ඒක ඉදිරියට ගෙනිච්ච නම් හොඳයි කියලා. මොකද මේ වෙලාවේ ඔබතුමන්ලා දකින්න ඇති මේ මොහොතෙත් ජනතාව කියන්නේ ‘රාජපක්ෂවරු එපා’ කියලයි. අද හැංගිලා හිටපු රාජපක්ෂ මහත්වරුන් අද එළියට ඇවිත් ඉන්නවා. පහුගිය දවස්වල ඒ මහත්වරුන් පාර්ලිමේන්තුත් ආවා. අද ඔවුන් එළියට බැහැලා තියෙනවා. විදේශ ආධාර වි​දේශ ණය අපට නොලැබෙන්න හේතුව මේ රාජපක්ෂ පාලනය. මේ රජය ශක්තිමත් කරන තැනට හරීන් මන්ත්‍රීතුමත් මනූෂ මන්ත්‍රීතුමත් කටයුතු කළා කියන එක තමයි මගේ මතය.  


ප්‍රශ්නය:-රටේ ප්‍රශ්න විසඳන්න නම් පළමුව දේශපාලන ස්ථාවරත්වය ඇති කළ යුතුයි. නමුත් විපක්ෂයට වගේ වගක් නෑ. විවේචනය කරනවා හා කකුලෙන් අදිනවා විතරයි?  


පිළිතුර:- නෑ මම ඔබ කියන එක පිළිගන්නේ නෑ. විපක්ෂය කකුලෙන් අදිනවා කියන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා තියෙනවා ආණ්ඩුව කරන සියලු හොඳ දෙයට සහාය දෙනවා කියලා. සමගි ජන බලවේගය හැටියට අපි කකුලෙන් අදිනවා කියලා මම හිතන්නේ නෑ කාටවත් කියන්න පුළුවන් කියලා. මං ඉස්සෙල්ලත් කිව්වේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවකට යන තැනට හරීන් මන්ත්‍රීතුමා මනූෂ මන්ත්‍රීතුමා ඔවුන් දැන් ඇමැතිවරු, ඔවුන් දෙදෙනා ඒ පක්ෂය ඇතුළේ ඒ අරගලය කළා නම් පක්ෂයක් හැටියට එතැනට ගිහින් සහයෝගය දෙන්න තිබුණා නම් හොඳයි කියලයි මම කියන්නේ. අපි කකුළෙන් අදිනවා කියලා ඔබ කියපු එක මම පිළිගන්නේ නෑ. අපි කාගෙවත් කකුලෙන් අදින්නේ නෑ. රටට අයහපතක් වෙන තැන්වලදී ඔව්. අපි විරුද්ධ වෙනවා.

 

මම කවදත් විරුද්ධයි මේ පාර්ලිමේන්තුවෙ පවතින රටාව ගැන. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ඔබතුමන්ලට මතකත් ඇති. මම දිගින් දිගටම කිව්වා ‘පාර්ලිමේන්තුවේ ඔහොම හැසිරෙන්න එපා.’ කියලා. මේ පැත්තෙන් අර පැත්තට කියනවා ‘හොරු කියලා. ඒ පැත්තෙන් මේ පැත්තට හොරු කියනවා. හොරුන්ව දන්නවා නම් හොරකම් කරපු විදියත් දන්නවා නම් බලයත් තියෙනවා නම් ඇයි මේ හොරු අල්ලලා ගාල් කරන්නේ නැත්තේ. විනය පිරිහිච්ච තැනක් බවට පාර්ලිමේන්තුව පත් වෙලා. 225 ම එපා කියන තැනට ඇවිල්ලා තියෙන්නේ

  
ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව රැස්වෙලා මොනවද කතා කරන්නේ. රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා. ජනතාව ඉන්නේ පෝලිම්වල. ඒවා ගැන කතාවක් නෑ. කුණුහරුප කියනවා. ගහ බැණ ගන්නවා?  


පිළිතුර:- ඒක හරි. මම ඒක පිළිගන්නවා. මම කවදත් විරුද්ධයි මේ පාර්ලිමේන්තුවෙ පවතින රටාව ගැන. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ඔබතුමන්ලට මතකත් ඇති. මම දිගින් දිගටම කිව්වා ‘පාර්ලිමේන්තුවේ ඔහොම හැසිරෙන්න එපා.’ කියලා. මේ පැත්තෙන් අර පැත්තට කියනවා ‘හොරු කියලා. ඒ පැත්තෙන් මේ පැත්තට හොරු කියනවා. හොරුන්ව දන්නවා නම් හොරකම් කරපු විදියත් දන්නවා නම් බලයත් තියෙනවා නම් ඇයි මේ හොරු අල්ලලා ගාල් කරන්නේ නැත්තේ. විනය පිරිහිච්ච තැනක් බවට පාර්ලිමේන්තුව පත් වෙලා. 225 ම එපා කියන තැනට ඇවිල්ලා තියෙන්නේ හැමෝම ඒ ගොඩට වැටිලා තියෙන්නේ ඒ ඇතැම් පිරිසකගේ හැසිරීම නිසයි. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මීට වඩා සාකච්ඡා විය යුතුයි. ඔබ දකින්න ඇති පහුගිය මාසයක කාලයක් පුරා මම පාර්ලිමේන්තුවේ කතා කළේ නෑ. මම කතා කළේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේදී පරාජිතයට කතාවක් තිබුණා එදා තමයි කතා කළේ.  


ප්‍රශ්නය:-ඇයි ඔබ කතා නොකළේ?  


පිළිතුර:- මම කතා නොකළේ ඇත්තටම මේ රටේ ප්‍රශ්න තියෙනවා. ගොවියට පොහොර නැහැ. වගාවෙන් සියයට 25 ක් වත් වගා කරලා නෑ. තෙල් නෑ. පොහොර නෑ. අපේ ආහාර සුරක්ෂිතතාවයට මොකක්ද වෙන්නේ? අපේ රටේ ඖෂධ ප්‍රශ්නයක් තියෙනවා. ඖෂධ නැතිව පවුලේ සමීපතමයින් මැරෙන්න පණ අදිනවා නම් මොකක්ද රටේ තත්ත්වය. කන්න නැතිව ඉදිරි පරම්පරාව මන්ද පෝෂණයෙන් පෙළෙන තත්ත්වයක් ඇති වුණොත් අපි මොකක්ද කරන්නේ. මේවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනැ. පක්ෂ නායකයෝ තමයි මේවා කතා කරන්න ඕනැ. විෂය ප්‍රවීණයෝ තමයි මේවා කතා කරන්න ඕනැ. ඒ නිසා මම මේවා දිහා නිශ්ශබ්ධව බලාගෙන හිටියා. නමුත් ඔබ කියනවා වගේම රටේ ප්‍රශ්න ගැන ගැඹුරු සංවාදයක් වුණේ නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ විවිධ කමිටු තියෙනවා. ඒ කමිටුවලදී මම හිතනවා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට වඩා ප්‍රශස්තයි කියලා.  


ප්‍රශ්නය:- සමගි ජන බලවේගයෙන් තව කී දෙනෙක් ආණ්ඩුවට යයිද? 

 
පිළිතුර:- මම හිතන්නේ කවුරුවත් යන්නේ නෑ.  


ප්‍රශ්නය:- හරීන් සහ මනූෂ කිව්වෙත් ඔහොමයි?  


පිළිතුර:- ඒ දෙන්නා ගියානේ. මම මා ගැන හොඳට දන්නවා. මම යන්නේ නෑ. ඒ වගේම තව කවුරුවත් යයි කියලා මම හිතන්නේ නෑ.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්