නඩු පමා වීම 22න් නතර කළ හැකිද


පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක මහජන රැලියක් ඇමතීම සඳහා අනුරාධපුරයට ගියේය. එදින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති සමහර නඩුවලට පොලිසිය වෙනත් දින ඉල්ලා සිටියේ, ජනාධිපතිවරයා වෙනුවෙන් වූ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා අදාළ පොලිස් නිලධාරින් යොදවා ඇති බැවින් ඔවුන්ට සාක්ෂි දෙන්නට උසාවි එන්නට බැරි නිසාය.

ඒ ගැන අනුරාධපුරයේ ප්‍රකට නීතිඥවරියක ලියූ සමාජ මාධ්‍ය සටහනකින් උපුටාගත් කොටසකි මේ: “දින යන්නේ ලෝයස්ලා නිසා නෙමෙයි, ජනාධිපතිලා නිසාත් දින යනවා. පොලිසිය දින ගත්තේ ජනාධිපති එන නිසා. ඉස්සරත් ඔහොමයි. විශේෂ රාජකාරි ඉවරයක් නෑ. නැත්නම් අහයි ඉස්සර නැද්ද කියලා. එදත් අදත් එහෙමයි පිනෝතුනි. ඉස්සර නිතර නායකයන් වන්දනාවේ එද්දිත් එහෙමයි. කොහොම හරි ජනාධිපති එනකොටත් නඩුවලට දින යන හේතු එනවා පිනෝතුනි. පොලිසිය නැත්නම් ඒ පොලිස් සාක්කිය ගන්න බෑනේ. පොලිසිය ඇවිත් නැත්තේ ජනාධිපති ආපු නිසා. නඩුවලට දින යන හේතු අතර ජනාධිපතිවරුත් ඉන්නවා.”‍

මේ විදියට කල් යන නඩු ඉක්මන් කරන්නට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කිසිසේත් නොහැකිය. කොපමණ නොහැකිද කියනවා නම්, සංශෝධනය ගෙනා ජනාධිපතිවරයාම, නඩු කල් යවන්නට දායක වන අවස්ථාවකි ඉහත දැක්වුණේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණවල ගොඩගැසී තිබෙන නඩු ඉක්මන් කිරීම අතර කිසිම සම්බන්ධයක් නැති බව දැන් බොහෝ දෙනා දනිති. මුලින් ඒ බවක් විශ්වාස නොකළ අය පවා දැන් සිතන්නේ, 22න් නඩු ඉක්මන් කෙරෙනවාය කියා ආණ්ඩුව කීවේ බොරුවක් බවය. 22න් එවැන්නක් සිදු නොවෙන බවය. තවදුරටත් කියනවා නම්, 22න්, ​ෙශ්‍ර්ෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමෙන් නඩු ඇසීම ඉක්මන් වන්නේ නැත. 22 සංශෝධනය සමග අධිකරණ සංවිධාන පනතට ගෙන එන සංශෝධනයෙන්ද, එනම් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන්ද, නඩු ඉක්මන් වන්නේ නැත.

22න් ආණ්ඩුවට කරන්නට වුවමනා වුණේ, වෙනත් දෙයකි. එය ඒ විදියටම ප්‍රසිද්ධියේ කියන්නට බැරි නිසා, ‘22 නිසා නඩු ඉක්මන් වෙනවා‘ කියන ප්‍රවාදය ආණ්ඩුව නිර්මාණය කළේය. ලංකාවේ තිබෙන ඇත්ත ප්‍රශ්නයක් වන නඩු කටයුතුවල අධික ප්‍රමාදය නිසා බැටකන සාමාන්‍ය මහජනතාව, ආණ්ඩුව කියන දේ ඇත්තක් යැයි පිළිගත්හ. එහෙත් 22න් වුණේ, එකී ඇත්ත ප්‍රශ්නයට පිළිතුරක් නොලැබී, හැමදාම වාගේ කතාවලට පමණක් ප්‍රශ්නය සීමා වී, නැවතත් යට යෑමය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණවල ගොඩගැසී තිබෙන නඩු ඉක්මන් කිරීම අතර කිසිම සම්බන්ධයක් නැති බව දැන් බොහෝ දෙනා දනිති

2025 මැද භාගය වන විට ලංකාවේ අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු, අධිකරණ අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක දැක්වෙයි. ඒ අනුව ඒ වන විට දිවයිනේ පවතින මුළු නඩු සංඛ්‍යාව 11,30,000කි. ඒ නඩුවලින් 8,18,869ක් පවතින්නේ මහේස්ත්‍රාත් අධිකරණවලය. 2,60,007ක් පවතින්නේ දිසා අධිකරණවලය. මහාධිකරණවල 27,376කි. වාණිජ මහාධිකරණවල 6,330කි. අභියාචනාධිකරණයේ 5,216කි. ශේෂ්ඨාධිකරණයේ 5,396කි.

රටේ මුළු නඩු සංඛ්‍යාවෙන් 10,78,876ක් හෙවත් 95%ක්ම පවතින්නේ සිවිල් හා අපරාධ නඩු මුලින්ම ගොනු කෙරෙන පහළ උසාවි දෙකෙහිය. ඒ අනුව, මේ සා විශාල නඩු සංඛ්‍යාවක් ගොඩගැසීමට හේතු ඇත්තේද එම අධිකරණ ඉදිරියේය.

ලංකාවේ අපරාධ නඩුවක් පවරන මුල් අවස්ථාවේ සිට ​ෙශ්‍ර්ෂ්ඨාධිකරණයේ අවසාන අභියාචනයද අසා ඉවර වන තෙක් ගතවන සාමාන්‍ය කාලය අවුරුදු 17ක් පමණ බව 2017දී පමණ නීති ප්‍රතිසංස්කරණ සඳහා වූ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි. සිවිල් නඩු අවසන් වීමට ගතවන කාලය අවුරුදු 10න් පමණ පටන්ගෙන සමහර විට පරම්පරා ගණනක මනුෂ්‍ය ආයු කාලය දක්වා විහිදෙයි.

නඩු ගොඩගැසීමට හේතු හා ඒවාට පිළියම් මොනවා ද යන්න 22 වැනි සංශෝධනයට පෙර බොහෝ කාලයක සිට ලංකාවේ සාකච්ඡාවට භාජනය වී තිබේ. එම සාකච්ඡාවලදී නඩු ගොඩගැසීමට හේතු එක දෙක ලෙස ලැයිස්තුගත කළ හැකි වුණත්, මේ ප්‍රශ්නය විසඳීම වූකලි ඒ හේතුවලට යටින් දිවෙන ඉතාම සංකීර්ණ සමස්ත ක්‍රියාවලියකි. ඒ නිසා මෙන්න හේතු යැයි කරන ලැයිස්තුගත කිරීමකට එපිටින් තවත් සාධක රාශියක් නඩු කල්යාමට හේතු වන බව තේරුම් ගත යුතුය.

අප ආරම්භයේදී කීවාක් මෙන්, මහේස්ත්‍රාත් අධිකරණයක සාමාන්‍යයෙන් අපරාධ නඩු පවරන්නේ, පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවන්නේ හා සමහර විට පැමිණිල්ලට සාක්ෂි දෙන්නේද පොලිස් නිලධාරින්ය. ප්‍රදේශයට පැමිණෙන ප්‍රභූවරයකුට ආරක්ෂාව සැපයීමේ රාජකාරි පැවරීම නිසා, පොලිස් නිලධාරියාට උසාවි එන්නට බැරි විට, නඩුව අනිවාර්යයෙන්ම කල් දැමේ. නීතිඥවරයකු දිනයක් ඉල්ලූ විට නොදුන්නා වුණත්, මේ විදියට පොලිසිය දිනයක් ඉල්ලන විට නොදී සිටින්නට මහේස්ත්‍රාත්වරයකුට කොහෙත්ම බැරිය.

නඩුවල ප්‍රමාදයට පොලිසිය බලපාන්නේ ප්‍රභූ ආරක්ෂාව නිසාම පමණක් නොවේ. නඩුවට අදාළ විමර්ශන අවසන් නැති විට, චෝදනා ගොනු කිරීමට පොලිසිය ඉක්මන් නොවන විට, නීතිපති උපදෙස් ඉල්ලා ගොනුව දෙපාර්තමේන්තුවට යවා ඇති විට, නඩුවට අදාළ පොලිස් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයකට මාරු කළ විට, නඩුවට අදාළ පොලිස් තොරතුරු පොත වෙනත් නඩුවකට ගෙනගොස් ඇති විට, සමහර විට පොත උසාවියට ගෙනඑන්නට අමතක වූ විට වැනි කාරණා නිසාද නඩු කල් යන බව උසාවි ගානේ රස්තියාදු වන්නෝ හොඳින්ම දනිති. පොලිසිය නිසා සමහර නඩු කල් යන හේතු මීටත් වඩා සිල්ලර ඒවාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ තත්ත්වයද නඩු කල් යෑමට හේතු විය හැකිය. ලියුම්කරු සමග කළ සාකච්ඡාවකදී කොළඹ මහාධිකරණයේ ප්‍රවීණ නීතිඥවරයකු පැවසුවේ, කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගැන නීතිපති උපදෙස් 2008 දී ඉල්ලා යවා ඇති නමුත් උපදෙස් ලැබුණේ 2026 ජනවාරියේදී බවය. මහේස්ත්‍රාත් අධිකරණයකින් නඩුවක් මහාධිකරණයට යොමු කිරීමේදී අධිචෝදනා පත්‍ර සූදානම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට වසර 3-5 අතර කාලයක් ගතවෙන බව දැක්වෙයි. රාජ්‍ය ආයතනවල එදිනෙදා ප්‍රශ්නවලට නීති උපදෙස් ලබාදීමේ සිට අපරාධ නඩුවල අධිචෝදනා පත්‍ර සැකසීම, පොලිසිවලට හා විමර්ශකයන්ට නීති උපදෙස් ලබාදීම, අභියාචනා කටයුතුවලදී හා රජය මෙන්ම රජයේ නිලධාරීන් වෙනුවෙන් අධිකරණවල පෙනීසිටීම වැනි විශාල පරාසයක වැඩ ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් හසුරුවනු ලබයි. මේ කාර්යයන් ඉටුකිරීම කල් යන්නේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කම්මැලි නිසා නොවේ. සීමිත සම්පත්, සීමිත පිරිස් බලය සමග ඔවුන්ට කරන්නට සිදුවී තිබෙන රාජකාරිය, දරාගත නොහැකි තරමේ අසීරු එකක් වී ඇති නිසාය. එම දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ට ලැබෙන වැටුප්වල ප්‍රමාණයද ඊටම ඈඳී ඇත. ඒ ප්‍රශ්නවලට රජය පැත්තෙන් පිළිතුරු සැපයීමෙන් තොරව නීතිපතිවරයාටවත්, එහි නීතිඥවරුන්ටවත් බැණ අඬගැසීමෙන් කිසිම වැදගත් දෙයක් සිදුනොවේ.

රටේ මුළු නඩු සංඛ්‍යාවෙන් 10,78,876ක් හෙවත් 95%ක්ම පවතින්නේ සිවිල් හා අපරාධ නඩු මුලින්ම ගොනු කෙරෙන පහළ උසාවි දෙකෙහිය. ඒ අනුව, මේ සා විශාල නඩු සංඛ්‍යාවක් ගොඩගැසීමට හේතු ඇත්තේද එම අධිකරණ ඉදිරියේය.

 

රාජ්‍ය ආයතනවලින් ලැබෙන දායකත්වයද නඩු කටයුතුවල ප්‍රමාදයට ඇතැම් විට සාධක සපයයි. ඉන් ප්‍රකට කාරණයක් වන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයයි. අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල වර්ගය, ශුද්ධ බර ආදිය වාර්තා කිරීමේ සිට, සැකසහිත මරණවලට අදාළ විවිධ පරීක්ෂණ, ඇඟිලි සලකුණු, අත්අකුරු වාර්තා ආදිය සැකසීමට සිටින්නේ කිසිසේත් නොසෑහෙන නිලධාරීන් සංඛ්‍යාවකි. ඒ, මුළු ලංකාවෙන්ම එවැනි විමසීම් ලැබෙන එකම දෙපාර්තමේන්තුව වශයෙනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවද ඇතැම් විට නඩු කටයුතු ප්‍රමාදයට හේතුවෙයි. විවිධ හේතු මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම, එක් චුදිතයකුට එකම දවසේ අධිකරණ කිහිපයක නඩු තිබෙන විට ඇතිවන ප්‍රමාදයන් ඇතුළුව, සුපුරුදු කාර්ය මණ්ඩල හා සම්පත් හිඟය බන්ධනාගාර දෙපාර්තමේන්තුවටද පොදුය. 22 වැනි සංශෝධනය වෙනුවට, මේ ආණ්ඩුව බලයට ආ කාලයේ සිටම මේ නිලධාරින්ගේ හා සම්පත්වල හිඟය නැති කිරීමට හා ඔවුන්ගේ විශේෂඥභාවය වැඩි කිරීමට සංයුක්ත පියවර ගත්තා නම් පසුගිය අවුරුදු දෙක ඇතුළත නඩු ප්‍රමාදවීමේ ප්‍රශ්නයට සැලකිය යුතු විසඳුමක් දිය හැකිව තිබිණි.

අධිකරණවල හා විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවද නඩුවල ප්‍රමාදයට බලපා තිබේ. එහෙත් මෙය සරල සමීකරණයක් නොවේ. අධිකරණ කලාප සංශෝධනය කරමින් අලු‍තින් පිහිටුවන ලද සමහර මහේස්ත්‍රාත් හා දිසා අධිකරණවල, දවසකට ඇසීමට තරම්වත් නඩු නොමැති තත්වයක් තිබෙන බවද රහසක් නොවේ. හැකි තරම් අධිකරණ ශාලා ඇතිකිරීමත්, ඒ ගැන පම්පෝරි ගැසීමත් සාමාන්‍යයෙන් ආණ්ඩු කරන නමුත්, එවැනි අධිකරණවල භෞතික සම්පත්, ප්‍රවාහන පහසුකම්, කාර්ය මණ්ඩලයට තිබෙන පහසුකම්, නඩු කියන මහජනතාවට තිබෙන වැසිකිළි ආදි පහසුකම් මෙන්ම නීතිඥ මණ්ඩලවලට තිබෙන පහසුකම් ගැනද ප්‍රමාණවත් තක්සේරුවක් බොහෝ අවස්ථාවල නොතිබෙන බව පෙනේ. පසුගිය දාක සමාජ මාධ්‍ය සටහනක් තැබූ තවත් නීතිඥවරියක කියා තිබුණේ, තම ප්‍රදේශයේ අලු‍ත් මහේස්ත්‍රාත් උසාවියක් පිහිටුවූ නමුත්, නීතිඥවරුන්ට අසුන් ගන්නට මේස පුටු පවා එහි නොතිබුණු බැවින්, නීතිඥවරුන්ගේ විවේක කාමරයේ තිබුණු පුටු මේස උසාවියට ලබාදී එහි වැඩකටයුතුවලට සහාය දුන් බවය.

කොළඹදී කැපී පෙනෙන එක් කාරණයක් නම්, පසුගිය ආණ්ඩුවල ඇමතිවරුන් හා රජයේ නිලධාරින් පරිහරණය කළ නිල නිවාස, අධිකරණ ශාලා බවට හරවන්නට රජය දක්වන ප්‍රදර්ශනාත්මක සැලකිල්ලයි. ප්‍රධාන අධිකරණ පද්ධතිය කොළඹ අලු‍ත්කඬේ තිබියදී එම ප්‍රදේශයෙන් පිටත මෙලෙස අධිකරණ පිහිටුවීම, මහජන අත්පොළසනට හේතු වන නමුත්, අධිකරණවල සේවකයන්ට මෙන්ම නීතිඥ මණ්ඩලයටද බරපතළ අපහසුතා ඉන් ඇතිවන බව ප්‍රසිද්ධ කාරණයකි. අධිකරණ කටයුතු ගැන අවබෝධයක් නැති මහජනතාව අමතක කරන හා ආණ්ඩුව ඔවුන්ට අමතක කරවන්නට උත්සාහ කරන කාරණයක් නම්, නීතිඥ මණ්ඩලය යනු අධිකරණ පද්ධතියේ යුක්තිය ඉටුකිරීමේ කාර්යයේදී අත්‍යවශ්‍ය අංගයක් බවයි. ඔවුන් සැලකෙන්නේ අධිකරණයේම නිලධාරින් හැටියටය. පෙනෙන පෙනෙන හැම ගොඩනැගිල්ලකම අධිකරණ පිහිටුවීමෙන් නීතිඥවරුන්ට යම් ප්‍රායෝගික අපහසුතාවක් ඇතිවෙනවා නම්, බුද්ධිමත් ආණ්ඩුවක් ඒ කාරණාව යුක්තිය ඉටුකිරීමට බලපාන ආකාරය ගැන අවධානයට ගත යුතුය. දිනපතා නඩු ඇසීම, දවසේ සම්පූර්ණ දිවා කාලයම නඩු ඇසීම, රාත්‍රි කාලයේදීද නඩු ඇසීම වැනි යෝජනා නඩු ඉක්මන් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් ජනප්‍රිය ලෙස ඉදිරිපත් කරන නමුත්, ඉන් යුක්තිය ඉටුකිරීමේ පද්ධතියටම වන බලපෑම නිසි ලෙස තක්සේරු කිරීම අවශ්‍යය. ජනප්‍රිය හැම පියවරක්ම යුක්තිය ඉටුකිරීමට දායක නොවේ.

එහෙත්, විනිසුරුවරුන්ගේ, අධිකරණ කාර්ය මණ්ඩලයේ, නීතිඥවරුන්ගේ, රජයේ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ආකල්පමය පසුබෑම්ද නඩු ප්‍රමාදයට හේතු වන බව මගහැරිය නොහැකි ඇත්තකි. ලියුම්කරුට මතක තිබෙන කාලයකට පෙර කොළඹට තදාසන්න දකුණට වන්නට තිබෙන මහාධිකරණයක සේවයේ සිටි එක් මහාධිකරණ විනිසුරුවරයකු, විනිශ්චයාසනාරූඪ වන්නේ යාබද මහාධිකරණ විනිසුරු නිල නිවසේ සිටින විශාල සංඛ්‍යාවක් වූ තම සුරතල් සුනඛයන්ට කෑම කවා සියලු‍ පහිණිපත් අවසන් කොට, දහවල් 12ත් ඉක්මවූ පසුය. නඩු විමසීමද පැයකින් දෙකකින් අවසන් වෙයි. ඒ කාලයෙන් වැඩි වෙලාවක් ඔහු පසුවන්නේද තද නින්දේය.

නඩු ගොනු ගබඩාවේ තිබෙන නඩු පොත අධිකරණයට ඉදිරිපත් කිරීමට නොසැලකිලිමත් වීම නිසා දිනයක් කල් යන නඩු ගැනද ඇසෙන්නේ විරලව නොවේ.

නඩු කියන මහජනතාවද නඩු ප්‍රමාදයට දායකත්වය දක්වති. එහෙත්, ඒ ගැන සඳහන් වෙන්නේ අඩුවෙනි. නීතිඥවරුන්ට නියමිත පරිදි උපදෙස් ලබා නොදීම, ලිපි ලේඛන ආදිය ඉදිරිපත් නොකිරීම, නඩු දිනවලට නොපැමිණීම, සාක්ෂි දීමට නොපැමිණීම වැනි දේවලින් ඔවුහු ඒ දායකත්වය සපයති.

විනිසුරුවරුන්ගේ, අධිකරණ කාර්ය මණ්ඩලයේ, නීතිඥවරුන්ගේ, රජයේ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ආකල්පමය පසුබෑම්ද නඩු ප්‍රමාදයට හේතු වන බව මගහැරිය නොහැකි ඇත්තකි

කෙතරම් ඩිජිටල්කරණය ගැන පාරම්බෑවත්, ලංකාවේ උසාවිවලට යන එන්නන් දන්නා කාරණයක් නම්, බොහෝ උසාවිවලට තාක්ෂණය තවමත් තහනම් වචනයක් බවය. බොහෝ උසාවිවල සාක්ෂි සටහන්වල සහතික පිටපතක් ගන්නට අසාධාරණ කාලයක් වැය වෙයි. එක්කෝ ෆොටෝ කොපි මැෂින් එක කැඩිලාය. නැතිනම් ඊට අදාළ ටෝනර් නැත. එසේත් නැතිනම් කඩදාසි නැත. ඕනෑම නඩුවක විභාග කිරීමේ දිනයක් පටන්ගන්නේ ඊට පෙර දිනයේ පැවැති සාක්ෂි විභාගයේදී සටහන් කළ සාක්ෂි කියවා බලා අවශ්‍ය වෙනස්කම් තිබේ නම් කිරීමෙනි. පෙර සාක්ෂි පිටපත් නැති විට නඩුවේ දිනයක් කල්යන්නේ හුදෙක් ඒ හේතුව නිසාම විය හැකිය. සාක්ෂි සටහන් කිරීමට ලඝු ලේඛිකාවන් ප්‍රමාණවත් නොමැතිවීම, එක් නිලධාරියකුට අධික වැඩ බරක් තිබීම, භාෂා පරිවර්තකයන් ප්‍රමාණවත් නොවීම නඩු කල්යෑමේ හේතු හැටියට සාමාන්‍යයෙන් සැලකෙන කාරණාය.

මේ මොහොත වන විට අධිකරණවල නඩු ගොඩගැසීම යන්න ඉස්මතුවී ඇත්තේ, 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන වුවමනාව නිසාය. එහි ඇත්ත අරමුණ ආවරණය කිරීම සඳහාය.

කේ. ඩබ්ලිව්. ජනරංජන

එහෙත්, නඩු ඉක්මන් කිරීම යන්න ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් ලෙස නොගෙන, සමස්ත යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සැලකීම අවශ්‍යය. ඒ සඳහා ගත යුතු පියවර සියයට සියයක්ම වාගේ අමාත්‍යාංශ මට්ටමෙන් කළ හැකි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නොවන, අවශ්‍ය අවස්ථාවලදී සාමාන්‍ය නීති සංශෝධනය කිරීමෙන් පමණක් කළ හැකි ඒවාය.

මෙවැනි ප්‍රායෝගික තත්ත්වයන් තිබියදී, ඉක්මනින් නඩු අවසන් කිරීමේ ජනප්‍රිය හා යම් තරමක බලහත්කාරී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමෙන් කෙතෙක් දුරට යුක්තිය ඉටුවේද යන්න සැලකිය යුතුය. නඩු ඉක්මන් කිරීම වනාහි යුක්තිය ඉටු කිරීමේ මෙවලමකි. නඩු ඉක්මන් කිරීමෙන් යුක්තිය ඉටු නොවේ නම්, ඒ පියවරෙන් ප්‍රතිඵලයක් නැත. සරල ලෙස කිවහොත්, නඩු විසිකිරීමෙන්, එහෙම නැතිනම් කුමක් හෝ තීන්දුවක් දීමෙන් උසාවියක් ඉදිරිපිට තිබෙන නඩු සංඛ්‍යාව අඩු කර ගත හැකිය. ඒ අඩුවන සංඛ්‍යාලේඛන පෙන්නමින්, අපි නඩු ඉක්මන් කළා කියා තොරොම්බල් කිරීමටද හැකිය. එහෙත්, අවසාන විග්‍රහයේදී වැදගත්ම කාරණය වන්නේ, නඩු කියන්නන්ට යුක්තිය ඉටු වුණාද යන්නයි. එය සිදු නොවී සිදුවන කිසිම ව්‍යාපෘතියක් ඵලදායක වන්නේ නැත.