දේශපාලනයේ නොනවතින බලපොරය


විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ඇමැති බිමල් රත්නායක අතර මේ වනවිට ඇති වී තිබෙන මත ගැටුම මත එකිනෙකාගේ හැසිරීම පාර්ලිමේන්තු කමිටුවකින් පරීක්ෂා කිරීම දක්වා දුරදිග ගොස් ඇත. විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර කතා කරමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියක මතු කළ විරෝධතාවක් සහ අනතුරුව සභානායක ඇමැති බිමල් රත්නායක දයාසිරි ජයසේකරට විවිධ චෝදනා නැඟීමත් මත මෙම මත ගැටුම ඇවිළී ගියේය. අනතුරුව දයාසිරිගේ ක්‍රියා පිළිවෙත සෙවීම සඳහා කතානායකවරයා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළේය. ඉන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවකගේ අත්සනින් කතානායකවරයාට ලිපියක් භාර දුන්නේය. 10 වැනි පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම වත්මන් සභානායක වරයාගේ ක්‍රියා පිළිවෙත හා හැසිරීම පුරෝගාමී සභානායකවරුන්ගේ ආදර්ශ හා ක්‍රියාකාරකම්කවලට සම්පූර්ණයෙන්ම පටහැනි තත්ත්වයක් බව කියා සිටිමිනි. ඒ අනුව සභානායකවරයාගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස එම මන්ත්‍රීවරු ඉල්ලා සිටිති. 

ලංකාවට නිදහස ලැබීමට පෙර 1931 සර්වජන ඡන්දයෙන් පත්කළ පළමු රාජ්‍ය සභාවේ සභානායක ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඩී.බී. ජයතිලකගේ සිට ඉකුත් පාර්ලිමේන්තුවේ සභානායක වූ සුසිල් ප්‍රේමජයන්තගේ නිල කාලය අතුරතුර ඩී.එස්. සේනානයක එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සර් ජෝන් කොතලාවල ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස, දිනේෂ් ගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයන් සභානායක තනතුර දරා ඇත. ජාතික ජනබලවේග ආණ්ඩුවේ සභානායක වරයා වන බිමල් රත්නායක පෙර සභානායක වරුන්ට වඩා ආක්‍රමණශීලී ස්වභාවයෙන් විපක්ෂය කෙරෙහි කටයුතු කරන බවත් විපක්ෂයේ හඬ මර්දනය කිරීම රජයේ මෙම කටයුතුවලින් අදහස් වන බවත් විපක්ෂයේ චෝදනාවය.

විපක්ෂය ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේදී එල්ල කරන ප්‍රහාරවලට පෙරළා​ පහර එල්ල කරන්නේද බිමල්ය. මෙයට පෙර පාර්ලිමේන්තුවල දී විපක්ෂයට මෙසේ පහර දුන්නේ සභානායකවරයා නොව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාය. චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ විපක්ෂයට නැගිටින්නවත් අවස්ථාවක් නොදී වචන හරඹවලින් මෙල්ල කළේ එකල ආණ්ඩු පක්ෂ සංවිධායක වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේය. එහෙත් වර්තමානයේ එම වගකීම කරට ගෙන සිටින්නේ සභානායකවරයා වන බිමල් රත්නායකය. වාසුදේව නානායක්කාරගේ සොහොයුරු යසපාලිත නානායක්කාරගේ පුත්‍රයා වන අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ආචාර්ය පදවියක් සටහන් වූ අවස්ථාවේ අධිකරණ ඇමැතිවරයා රහස් පොලිසියට පැමිණිලි කළේ තමාට එවැනි පදවියක් නොමැති බවත් තමාගේ නම ඉදිරියේ එවැනි පදවියක් සටහන් වීම විපක්ෂයේ කුමන්ත්‍රණයක් බවත්ය. අවසානයේ හෙළිදරව් වූයේ එවැනි තනතුරක් සටහන් කළ ලිපියක් යවා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන් බවය. සභානායකවරයා වන්නේ බිමල් රත්නායකය. 

ජවිපෙට සම්බන්ධ නොවී කෙළින්ම මාලිමාවට සම්බන්ධ වූ හර්ෂණ නානායක්කාර සහ ජවිපෙ මුල් පෙළේ ප්‍රධානියකු වන බිමල් රත්නායක අතර පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ගැන මත පළවුවද එම අදහස් දුර දිග පැතිරුණේ නැත. 

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුව සිටි බිමල් රත්නායක 1994 දි යළි අැරඹුණු ජවිපෙට සම්බන්ධ වන්නේ තමා හදාරමින් සිටි උපාධි පාඨමාලාව අතහැර පූර්ණකාලීනවම ජවිපෙ දේශපාලනය කරමිනි. 1989 භීෂණය අවසන් වීමෙන් පසු තමාගේ වැඩිදුර අධ්‍යාපනය අතහැර පක්ෂයේ දේශපාලනය වෙනුවෙන් කැප වූ එකම පුද්ගලයාද බිමල් රත්නායකය. ටිල්වින් සිල්වා හැරුණු කොට වත්මන් ජවිපෙ තුළ සිටින 1993 ජවිපේ හිස එසවීමට සමාන්තරව පක්ෂයට ඒකරාශී වූවන්ගෙන් පැරණිතම සාමාජිකයාද බිමල්ය. බිමල් ජවිපෙට එකතු වූයේ 1995 පක්ෂයේ තංගල්ල සම්මේලනයට ආසන්න වකවානුවේය. 

එනිසාම ඇතැමුන් සලකන්නේ බිමල් අනුරටත් වඩා යළි උපන් ජවිපෙ තුළ ජ්‍යෙෂ්ඨයකු බවය. පක්ෂයේ හැලහැප්පීම් හේතුවෙන් 2010 වකවානුවේ පාර්ලිමේන්තු යාමට නොහැකි වූ බිමල් රත්නායක මේ වනවිට ජවිපෙ තුළ සිටින පක්ෂයට ‘‘අයිතිවාසිකම්’’ කිව හැකි කිහිප දෙනාගෙන් කෙනෙකි. ඒ නිසාම ජවිපෙ මෙහෙයවන සැබෑ නායකත්වය වන ‘‘“බොල්ෂෙවික් කල්ලිය’’ හෙවත් අභ්‍යන්තර කවයේ නායකයාද බිමල්ය. අප්‍රකාශිතව සිටිමින් පක්ෂය මෙහෙයවන පූර්ණකාලීනයන්ගේ කණ්ඩායම බිමල් එම තනතුරට තෝරා ගත්තේ ඔහු 1993 න් පසු සැමදාම පක්ෂය ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටින නිසා වන්නට ඇත. එනිසාම බිමල් බලගතුය. පාර්ලිමේන්තුව තුළ වත්මන් රජය ආරක්ෂා කර ගැනීම සඳහා නිරතුරුවම පෙනී සිටින එකම චරිතයද බිමල් රත්නායකය. එනිසාම බාහිරව සිට බලන අයට අනුරටත් වඩා බිමල් බලගතු බව පෙනී ගියහොත් එය පුදුමයට කරුණක් වන්නේද නැත. මුලදී කතානායක තනතුරට බිමල්ගේ නම යෝජනා වූ බව පැවසුණද තමාට වැඩකළ හැකි අමාත්‍යංශයක් ඉල්ලා සිටීම නිසා ඔහුට ඇමැති තනතුරක් සහ සභානායක තනතුරද ලැබිණි. 

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ විගසම දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ අගමැතිනියට පසුව ආණ්ඩුවේ බලවතා බවට පෙනුණේ ඇමැති විජිත හේරත්ය. ඔහු යටතේ ජනමාධ්‍ය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකට පත්වූ පුද්ගලයන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොවීය. 

එක්කෝ මහමැතිවරණයේදී බලය ගැනීම සඳහා රටට මතයක් දීම සඳහා මේ පිරිස පත්කළා වන්නටද පුළුවන. කෙසේ හෝ විජිත කළ පත්වීම් විරුද්ධ පාක්ෂිකයන්ගේත් සිත දිනා ගත්තේය. එහෙත් මහමැතිවරණයෙන් පසු ආණ්ඩුවේ බලවතා බව පෙනෙන්න පටන් ගත්තේ බිමල්ය. විජිත ලබාදුන් පත්වීම් ගණනාවක්ම බිමල් පැමිණි පසු වෙනස් විය. 

අද වන විට ඇමැතිවරුන් තිදෙනාගේ කැබිනට් මණ්ඩලය යටතේ ඉහළ පුටු සඳහා කළ පත්වීම් ගණනාවක්ම ඉල්ලා අස්වී හෝ ඉවත්කර ඇත. විජිතගේ හඬද විදේශ ඇමැති ලෙස ජාත්‍යන්තරයට සීමා වී ඇති සෙයකි. ඒ වෙනුවට බිමල්ගේ හඬ පාර්ලිමේන්තුව පුරාම නිරතුරුවම රැව් පිළිරැව් දෙයි. ඇමැතිවරුන් තිදෙනාගේ කැබිනට්ටුවට වඩා වර්තමාන කැබ්නට්ටුව ජවිපෙ හිතවාදී බව පෙනෙන අතර ඒ සඳහා නිරතුරුවම විපක්ෂය සමඟ හැල හැප්පෙන බිමල් රත්නායකගේ භූමිකාවද හේතු කාරක වී ඇති බව පෙනේ.

1971 වකවානුවේ ශ්‍රීලනිපය සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය හා තවත් කුඩා වාමාංශික කණ්ඩායම් තමන්ට එරෙහිව එක් පෙරමුණක් කරා තල්ලු කර යැවූ ජවිපෙ තමන් හැර අන් සියලු වාමාංශික පක්ෂ ද්‍රෝහීන් බවට ප්‍රකාශ කළේය. 1977 එජාප ආණ්ඩුව බලයට පත්වූ පසු එජාපයට හිතවත් විනිමය වංචාකරුවන් පිරිසක් නිදහස් කිරීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කළ පසු එම කොමිෂන් තීන්දුව යටතේ සිර දඬුවම් විඳිමින් සිටි ජවිපෙ නායක රෝහණ විජේවීරද නිදහස් වූ පසු ඔහු පළමුව ශ්‍රීලනිපය තම සතුරා ලෙස සලකා නිර්දය පහරදීමකට ලක් කළේය. 1980 පමණ වන විට යූඑන්පියත් සෙසු පක්ෂත් සමඟ සතුරු ප්‍රතිපත්තියකට ගිය ජවිපෙ 1983 පක්ෂය තහනම් කිරීමෙන් පසු යටි බිම්ගත දේශපාලනයේදී සියලු පක්ෂ තම සතුරන් ලෙස සලකන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. ජවිපෙ සහ එම පක්ෂ අතර නොනවතින ගැටුම හේතුවෙන් 1987-89 භීෂණයේදී සියළු පක්ෂ ද්‍රෝහීන් ලෙස සලකා එම පක්ෂ විනාශ කරන ප්‍රතිපත්තියක ජවිපෙ කටයුතු කළ අතර එම පක්ෂද ජවිපෙ විනාශ කිරීම සඳහා රජයේ හමුදා සමඟ එක්විය. අදද පාර්ලිමේන්තු දේශපාලනය තුළ නිරූපණය වන්නේ එම ගැටුමේම දිගුවකි. 

1989 කැරැල්ල උච්ච අවස්ථාවට පත්වන විට රටේ සියළුම දේශපාලන පක්ෂ පෙළ ගැසී සිටියේ ජවිපෙට එරෙහිවය. මේ සියලු දේශපාලන පක්ෂ ජවිපෙට එරෙහිව එක් පෙරමුණකට ගොනුවී සිටි අතර ඔවුන් සියලු දෙනාගේම පොදු අපේක්ෂාව වූයේ ජවිපෙ විනාශයය. මෙම බලවේගවලින් සමහරක් බිහිවී තිබුණේ ජවිපෙම වැරදි ක්‍රියාකාරීත්වය නිසාය.

ජවිපෙ සෑම විටම වමේ සෙසු පක්ෂ ප්‍රතික්ෂේප කළේය. එම පක්ෂ වාමාංශික නොවන බවත් තමන් පමණක් වාමාංශික වන බවත් ජවිපෙ නිර්වචනය විය. 

1966 දී පිහිටුවන ලද අවස්ථාවේ ජවිපෙ ප්‍රතිපත්තිය වූයේ සන්නද්ධ අරගලයය. කොමියුනිස්ට් පක්ෂය එකල පැවැති ශ්‍රීලනිපය සමඟ හවුල් ආණ්ඩුවක් පිහිටුවා තිබූ නිසා 1971 කැරැල්ලේදී ජවිපෙ වඩාත් අගය කළේ කොමියුනිස්ට්වාදය නොව මාවෝවාදය සහ කියුබාවේ කස්ත්‍රෝ වාදයයි. 1987-89 කැරැල්ලෙන් නිර්දය ලෙස පරාජය කිරීමෙන් පසුව 1994 යළි බිහි වූ ජවිපෙ සම්පූර්ණයෙන්ම අහිංසාවාදී දේශපාලනයක නිරත විය. ජවිපෙ සෙසු පක්ෂ සමඟ ගැටුණේ මතවාදීව පමණය. අවස්ථා දෙකක මැතිවරණ සමයන් හිදී පැවැති ආණ්ඩු මඟින් ජවිපෙට පහරදී ජවිපෙ සාමාජිකයන් දෙදෙනකු මරා දැමුවද ජවිපෙ අහිංසා මගේම ගැලී සිටියේය. 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග රජයේ ඇමැතිධුර හතරක් භාර ගනිමින් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ හවුල් ආණ්ඩුවල රසවිඳගත් ජවිපෙ මේ වනවිට ගෙන යමින් සිටින්නේ සෙසු සියලු පක්ෂවල සිටින්නන් හොරුන් බවට වූ මතවාදයකි. 

බිමල් රත්නායක ඇමැතිවරයා මේ වනවිට යෙදී සිටින්නේ සෙසු පක්ෂ සමඟ ජවිපෙ සැමදාම නිරතව සිටි විරුද්ධවාදී දේශපාලනයේ නවතම පරිච්ඡේදයේ බව පෙනී යයි. 

1987 භීෂණ සමයේදී වඩාත් උච්ච තත්වයකට පත්වූ ජවිපෙ සහ අන් පක්ෂ අතර ගැටුම භීෂණය අවසන් වීමෙන් පසුවද අවසන් වූයේ නැත. 1994 දී ජවිපෙ යළි ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි පසු යළි හිස එසවීම සඳහා ශ්‍රීලනිපය සමඟ යම් මිත්‍රශීලිත්වයක් පවත්වා ගෙන ගියද ජවිපෙ එම දේශපාලනය තුළ ස්ථාවර වූ පසු එම මිත්‍ර සබඳතාව නිල දේශපාලන හමුවීම්වලට පමණක් ක්‍රියාත්මක කළේය.

ගාලු මුවදොර අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ රජය ගෙදර යැවීම සඳහා සියලු විරුද්ධ පක්ෂ එක් මතයකට ගොනු වුවත් එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පැවැත්වූ ජනාධිපතිවරණයට ජවිපෙ ඉදිරිපත් වූයේ මාලිමාව වටා ගොනු වූ කණ්ඩායම් සමඟ පමණය. ගාලු මුවදොර අරගලය ආරම්භකළ මුල්ම කණ්ඩායම් අතරට ජවිපෙ එක් නොවූවත් අරගලය අතර මැදදී එයට එක්වූ ජවිපෙ අරගලයෙන් සුවිශාල පදාසයක් තම අතට ගන්නට සමත් විය. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පොහොට්ටු රජය ඇදවැටුණත් ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පැවැති මහා මැතිවරණයේදී ගාලු මුවදොර අරගලයට සක්‍රීයව සහභාගි වූ බොහෝ චරිතවලට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට නොහැකි විය. ඒ බොහෝ දෙනා ඉදිරිපත් වූයේ ජන පදනමක් නොමැති පක්ෂ වලින් වූ අතර ජවිපෙද තම අපේක්ෂක ලැයිස්තු අතරට එම සක්‍රීය කණ්ඩායම් ඇතුළත් කර ගත්තේ නැත. ජවිපෙ බලය අත්පත් කර ගන්නට උත්සාහ කළේ තනිවමය. ආණ්ඩුව ලබාගත් පසුද සියලු පක්ෂ හොරුන්ගේ පක්ෂ ලෙස එක හැන්දකට ලා මනින ජවිපෙ එමඟින් දේශපාලනය තුළ සියලු දේශපාලන පක්ෂ තමන්ට සතුරු දේශපාලන පක්ෂ බවට පත්කරගෙන ඇත.

ජාතික ජනබලවේගය ජනාධිපතිවරණය දිනාගත්තේ තමන් ජනතා විමුක්ති පෙරමුණෙන් සම්පූර්ණයෙන්ම පිටස්තර පක්ෂයක් බව රටට කියාපාමිනි. ජවිපෙට කිසිදු සබඳතාවක් නැති හරිනි අමරසූරිය වැන්නියක වේදිකාවට නංවමින් පිටස්තර පක්ෂවල වැදගත් ඡන්දදායකයන් ඒකරාශී කරගනිමින් අනුරගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පුරාම ඉදිරියට ගත්තේ මාලිමාව ලකුණින් යුතු ජාතික ජන බලවේගයය. වැඩිපුරම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගිලිහුණු ඡන්දදායකයන් ආකර්ෂණය කරගන්නට සමත් වූ හෙයින් ජාතික ජනබලවේගයේ එම අරමුණ සාර්ථක විය. ජනපතිවරණය ජයගත් විගසම පිහිටුවූ ජවිපෙ ඇමැතිවරුන් තුන් දෙනාගේ කැබිනට්ටුව කළ රාජ්‍ය සේවා පත්වීම් දෙස බැලූ විට ජවිපෙ සාමාජිකයන්ට වඩා මුල් තැන ලැබුණේ මධ්‍යස්ථ මතධාරී රාජ්‍ය සේවකයන්ට බව පෙනුණි. එහෙත් මහමැතිවරණයෙන් තුනෙන් දෙකේ බලය ලබා ආණ්ඩුව පිහිටුවා ටික කලකින් මෙසේ කළ ඉහළ පත්වීම් කිහිපයක්ම ඉල්ලා අස්වුණේය. ඒ බොහෝ ඉහළ පත්වීම් ඇමැති විජිත හේරත් යටතේ පත්වීම් ලැබූ රාජ්‍ය සේවකයන්ය. මේ වනවිට රජයේ ඉහළ පුටු පිරවෙමින් ඇත්තේ මධ්‍යස්ථ මතධාරීන්ගෙන් නොව ජවිපෙට සමීපම වූවන් ගෙනි. 

පළාත් පාලන මැතිවරණයෙන් පසු රජය රාජ්‍ය සේවයේ ඉහළ පුටු කීපයක් වෙනස් කරන්නටද කැබිනට් ඇමැති තනතුරු කිහිපයක මුහුණු මාරු කරන්නටද තීන්දු කර ඇත. ප්‍රවාහන ඇමැති හා සභානායක බිමල් රත්නායක ඒ ගැන කියන්නේ මෙසේය. 

“අපි නිලධාරීන්ව විශ්වාස කරන්නේ නෑ. එයාලගේ පොර ටෝක් අපි ගොඩක් අහල තියෙනවා.... මේ මාස හයේ අපි කළේ දෙගොල්ලන්ව තේරුම් ගැනීම. දැන් තියෙන්නේ ඊළඟ අවුරුදු හතර හමාර ඩ්‍රයිව් කරන්න. ඒකට අපිට එන්ජිමට හොඳ කොටස් හොඳ මැෂින් අවශ්‍යයි. ඒ අනුව ඉදිරි මාස කිහිපයේ මමත් ඇතුළුව වගකීම් මාරු කරන්න බලාපොරොත්තු වෙනවා....” ඇමැතිවරයා ඉතා පැහැදිලිව කියන්නේ ඇමැති තනතුරු ගණනාවක්ම හා රාජ්‍ය සේවයේ ඉහළ පුටු ගණනාවක්ම ඉදිරියේදී වෙනස් කෙරෙන බවය. 

සිදුවෙමින් පවතින්නේ මාලිමාව නමැති වැදගත් දේශපාලන ව්‍යාපාරය රටට පෙන්වා ජවිපෙට බලය අත්පත් කර ගැනීමේ ව්‍යාපෘතියේ මීළඟ කොටස බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව දැන් ඇත්තේ මාලිමාව අත නොව බිමල් ඇතුළු ජවිපෙ කණ්ඩායම අත බවද ඉතා පැහැදිලිය. 

ඒ අනුව ජවිපෙන් පිටස්තරව පැමිණ අගමැති වී සිටින හරිනි අමරසූරියගේ ඉරණම කුමක් වේ ද? මාලිමාවේ ප්‍රතිපත්ති වෙනුවට ජවිපෙ ප්‍රතිපත්ති රජයේ ප්‍රතිපත්ති බවට පත් වේ ද? සිදුවන එම ක්‍රියාදාමය අනුව දේශපාලනය පෙරැළිකාර වනු ඇත. 

ප්‍රේමකීර්ති රණතුංග