දේශපාලනයේ කිසිම තැනකට ආයෙ ගෝඨාභයව ගේන්න එපා


රාජපක්ෂ පවුලේ  ඥාතියකු  වුවත් ගෝඨාභයට දොස් කියන්නේ ඇයි ?

යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති

උදයංග වීරතුංග කියන කතාව

  • හරි උපදෙස් ඇහුවා නම් ගෝඨාභයට ඔහොම වෙන්නෙ නෑ
  • ඔව්. මම මහින්ද රාජපක්ෂගේ පුංචි අම්මගෙ පුතා
  • ඔහු දේශපාලන බුද්ධියක් නැති පුද්ගලයෙක්.
  • මට ටික කලකට ලංකාවට එන්න එපා කියල අභ්‍යන්තර කටයුතු ඇමැති ජෝන් 
  • අමරතුංග කීවා
  • ගෝඨාභය බැසිල්ට කරපුවා මහින්ද අයියට කරපුවටත් වඩා අසාධාරණයි.

 

දේශපාලන කරළියේ පුවත් මවන චරිතයක් වන යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග සමඟ කළ සාකච්ඡාවකි මේ.

?උදයංග වීරතුංග කියන්නේ ඇත්තටම ව්‍යාපාරිකයෙක් ද දේශපාලකයෙක් ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ද එහෙමත් නැත්නම් සමහරු කියන විදියට ඩීල් කාරයෙක්ද?   


මම හිටපු රාජතාන්ත්‍රික නිලධාරියෙක්. 2005 ඉඳන් 2015 වෙනකම් රුසියාව ඇතුළු රටවල් කීපයක රාජතාන්ත්‍රික නිලධාරියෙක් විදියට කටයුතු කළා. හැබැයි 2015 ඉදන් 2019 වෙනකම් යහපාලන ආණ්ඩුවට අභියෝගයක් වෙච්ච ඉන්ටර්පෝල් වරෙන්තු රතු වරෙන්තු, නිල් වරෙන්තු දාපු කෙනෙක් විදියට තමයි සමාජය මං ගැන කතා කළේ. එහෙම තමයි මට ප්‍රසිද්ධිය ලැබුණේ ඒ කාලේ.   


මම 1985 රුසියාවට යන්නේ එවකට සෝවියට් දේශයට. මම යන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට. කාර්මික ඉංජිනේරුවරයෙක් විදියට උපාධිය ලබලා එහේ ස්ථීර පදිංචිය හිමිවෙලා. එහේ වෙළෙඳාමට වැටිච්ච පුද්ගලයෙක්. සංචාරක ව්‍යාපාරය වගේම තේ ව්‍යාපාරය වගේ දේවල් කරපු කෙනෙක්. යුක්රේන් රාජ්‍යය වෙන්වුණාට පස්සේ මාව ඔනරල් කවුන්සිලර් කෙනෙක් විදියට පත් කෙරෙනවා. ඒක වෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිවරයා විදියට ඉද්දි වෙළෙන්දෙක් විදියට ඉඳපු උදයංග වීරතුංග රාජතාන්ත්‍රිකයෙක් වෙන්නේ ඒ විදියට. ඊට පස්සේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති විදියට පත් වුණාම මට කිව්වා ‘ඔයා මොස්කව් ගිහිල්ලා රටවල් දෙකේම සහයෝගය අපිට ලබා දෙන්න’ කියලා.   


?ඒ පත්වීම සිද්ධ වෙන්නෙ නම් මහින්දලට ඔබේ තියෙන නෑදෑකම නිසා වෙන්න ඕන.   


අපි අතරෙ තියෙන නෑකම නිසා මේක වුණේ නෑ කියල කිව්වට කවුරුත් පිළිගත්තෙ නෑනේ. ඒ ගැන මම තර්ක කරන්න යන්නෙත් නෑ. හැබැයි මහින්ද රාජපක්ෂගෙ ඕනකමට මේක සිද්ධ වුණා කියල කියන්න බැරි මාව ඒකට රෙකමන් කළේ එවකට ඉඳපු ගුවන් හමුදාපති නිසා. ඒකට හේතුව මම ඔනරල් කවුන්සිලර් කෙනෙක් විදියට කරපු කාර්යය ගැන ඔවුන්ගේ තිබුණු පැහැදීම.   


?සමාජයේ ප්‍රකට කාරණයක් තමයි මහින්ද රාජපක්ෂලගෙ දේශපාලනය ඇතුළේ තියෙන ඥාති සංග්‍රහය ඒකෙ ප්‍රබලම උදාහරණයකට බොහෝ තැන්වල කියවෙන නමක් තමයි උදයංග වීරතුංග.   


මම ඒ චෝදනාවට කොහොම උත්තර දුන්නත් සමාජය පිළිගන්නෙ නෑ. ඒක එහෙම නෙවෙයි කියල මම කොයි විදියට ඔප්පු කරන්න හැදුවත් ඒක පිළිගන්න සූදානම් නෑ. ඒක නිසා ඒ ගැන ඔප්පු කරන්න යන්නෙ නෑ. ඔව්, මම මහින්ද රාජපක්ෂගෙ පුංචි අම්මගෙ පුතා. මහින් ද අයියගෙ අම්මයි මගේ අම්මයි සහෝදරියො.   
මාව මැදමුලනෙ ඉඳලා ගෙනල්ලා නාලන්දා විද්‍යාලයට දාන්නේ මහින්ද අයියා. 1985 දී මං සෝවියට් දේශයට යන්නේ ඔහුගේ උදවු ඇතිව. මට තානාපතිකම දෙන්නෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපති විදියට. ඒ හැම දේටම අපි අතරේ තිබුණු නෑදැකම බලනොපෑවම කියල මම කියන්නෙත් නෑ. ඒත් ඒක එකම හේතුව කරගෙන ඒ පත්වීම් දුන්නේ නෑ. මම එතෙක් කරපු වැඩ කොටස ගැනත් අවබෝධයක් ඇතුව තමයි ඒ පත්කිරීම් කරන්නේ. ඒ හැම වෙලාවෙම මම සුවිශේෂි වැඩ කොටසක් කළා මගේ උපරිමයෙන්. මම කරපු වැඩ කොටස හරියට දන්න අය ඔය චෝදනාව එල්ල කරන්නේ නෑ.  


?උදයංග වීරතුංග සමාජයේ වඩාත්ම කතාබහට ලක්වෙන චරිතයක් වෙන්නෙ ඔය කරපු කොයිදේටත් වඩා මිග් ගනුදෙනුවට නම ගෑවීම එක්ක. ඇත්තටම මේ ගනුදෙනුවේ ඔබේ පංගුවෙ දිග පළල කොයි වගේද?  


ඔව්. මං ගැන වැඩිපුරම කතාබහට ලක්වෙන කාරණය තමයි ඔය මිග් ගනුදෙනුව. 2015 පස්සෙ තමයි මේ ගැන වඩාත්ම කතාබහ ඇතිවෙන්නේ. මේකෙ දිග ඉතිහාස කතාවක් තියෙනවා. යුද උපකරණ ශක්තිය අතින් වඩාත් පොහොසත් රටක් තමයි යුක්රේනය. මුල ඉඳල ඒ සම්බන්ධව අපි යුක්රේනය එක්ක ගනුදෙනු කරල තියෙනවා. මෙතනදී මට ඔනරල් කවුන්සිල විදියට ඉන්න කාලෙ ඉඳල මේවට යම් යම් මැදිහත්වීම් කරන්න අවස්ථාව ලැබුණා. අපි යුක්රේන්වලින් මුල්වරට මිග් යානා ගන්නේ 2000 අවුරුද්දේ.  


ඔය කතාබහට ලක්වෙන මිග් ගනුදෙනුව සිද්ධ වෙන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවෙලා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වෙලා ගුවන් හමුදාව තමන්ගේ යුද ශක්තිය තරකර ගන්න මිග් යානා අවශ්‍යයි කියලා කියන අවස්ථාවෙ. මේ අය ආරාධනා කරනව යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන අර්ධ රාජ්‍ය ආයතනයක් වන යුක්රේන් මාෂ් කියන ආයතනයට. 1993 ඉඳල ලංකාව එක්ක ඒ අය තමයි වැඩ කරන්නේ. ඒවයිදි අතර මැද සමාගමුත් තිබුණ මැදිහත් වෙච්ච. ඒ වෙලාවෙ ගෝඨාභය රාජපක්ෂ කිව්වෙ අතරමැදියො නැතුව කෙළින්ම යුක්රේන් රජය එක්ක ගනුදෙනුව කරමු කියල. යුක්රේනය ඒකට කැමැති වුණා. අපි ඉල්ලපු කොන්දේසිවලට ගනිද්දී ඒවට යන වියදම ටිකක් වැඩියි. ඒ වුණත් අපි ඒකට කැමැති වෙලා ඒවා හදන හැටි නිරීක්ෂණයට අපේ ටීම් එකකුත් එහෙම යනවා. ඒ අතරේ ගිවිසුම්වලට අදාළ වැඩ ටිකක් කෙරෙනවා. මේකෙ හදිසි අවශ්‍යතාවය ගුවන් හමුදාව පෙන්නලා දීලා තිබුණෙ. මේ ගිවිසුම් අත්සන් කරන කාලේ වෙද්දි මම යුක්රේන් තානාපති. ඒත් ඒ වෙලාවෙ යුක්​ෙර්න් මාෂ් ආයතනය ක්‍රෙඩිට් පිළිබඳ දාපු කොන්දේසිය නිසා ගැටලුවක් පැන නැගුණා. එතන දී මේකට තුන්වන පාර්ශ්වයක් මැදිහත් වෙනවා. යුක්රේන් මාෂ් ආයතනය නිර්දේශය අනුව තමයි ඒ සමාගම තුන්වන පාර්ශ්වය විදියට මේකට මැදිහත් වෙන්නේ.  


?ඔබ රතු වරෙන්තු පවා තිබුණ කියල කියවුණා. ඒත් ඔබ රටවල්වලට පැන පැන හිටියා කියලා තොරතුරු පළ වුණා.  


 මගේ ස්ථීර පදිංචිය යුක්රේන. නමුත් මගේ ළමයින්ගේ අධ්‍යාපනය නිසා මම ඩුබායි රාජ්‍යයේ හිටියා. පවුලෙ අය ජීවත් වුණේ ඩුබායි රාජ්‍යයේ. ඒත් ඔය කාලෙ මම ලෝකයේ ගොඩක් රටවල්වලට ගියා. ඒක සැඟවී පැන යාමක් නෙවෙයි. මම පොලිසියට ලිඛිතව දන්වලා තියෙනවා යුක්රේන්වලට හරි ඩුබායිවලට හරි ඇවිත් මගේ කටඋත්තරයක් ගන්න කියලා. ඔවුන් කිව්වා එහෙම බෑ ලංකාවට එන්න ඕනැ කියලා. ඔවුන්ට ඕන වුණේ මාව අත්අඩංගුවට ගන්න.  

?ඔබට අයිති බඩු කන්ටේනර් එක තාම වරායේ තියෙනවලු නේද නිදහස් කෙරුවෙ නැති. හැබෑටම ඒවයේ මොනවද තියෙන්නේ?  


තානාපති සේවයේ ඉඳල එනකොට ඕන කෙනෙකුට තමන්ගේ බඩු දාගෙන එන්න කන්ටේනර් එකක් දෙනවා. සාමාන්‍ය තානාපති සේවයේ කෙනෙකුට වඩා දෙගුණයක් විශාල එකක් තානාපති කෙනෙකුට ලැබෙනවා. ඒත් මම සාමාන්‍ය කෙනෙකුට දෙන ප්‍රමාණයේ කන්ටේනර් එකක මගේ බඩු ටික ලංකාවට එව්වා.  


?යුක්රේනයේ ස්ථීර පදිංචියට ඉඳපු ඔබේ බඩු කන්ටේනර් එකක් පිටින් ලංකාවට එවන්නේ ඇයි?  


මම තානාපති විදියට ඉන්න කාලේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න තිබුණු පහසුකම් තානාපති කමෙන් ඉවත් වුණාම අඩුවුණා. ඒ නිසා ළමයින්ගෙ අධ්‍යාපනය සඳහා ලංකාවට එන්න තීරණය කළා. ඒ නිසා තමයි අවුරුදු තිහක විතර ජීවිත කාලේ අපිට අත්‍යවශ්‍ය දේවල් ටික කන්ටේනර් එකට දැම්මේ. අපි එන්න සූදානම් වෙලා ඉන්න කොට අන්තිම මොහොතේ මට පණිවුඩයක් ආවා මම ලංකාවට ආවොත් යම් දෙයක් වෙන්න පුළුවන් ඒක නිසා ටික කාලයක් පිටට වෙලා ඉන්න කියලා. යහපාලන රජයෙන්ම තමයි මට ඒක කිව්වේ.  

?යහපාලන රජයේ කවුද ඔබට ඒ ඔත්තුව දුන්නේ?  


මට ඒක කියන්නේ එවකට අභ්‍යන්තර කටයුතු ඇමැති ජෝන් අමරතුංග. එයා මගේ හොඳ විශ්වාසවන්ත යාළුවෙක්. ඒ විශ්වාසයට ඔහු මට ඒක කිව්වා. ඔහු කිව්වේ ඔහුටවත් මාව අත්අඩංගුවට ගන්න එක නතර කරන්න බෑ කියලා.  


 මගේ ළමයි ලංකාවට ආවත් මම ආවේ නෑ. මගේ පවුලේ අය එනකොට මාව අත්අඩංගුවට ගන්න කට්ටිය එයාර්පෝට් එකට ඇවිත් හිටියේ. එන අතරෙ මම ඩුබායිවලින් බැස්සා. මම ඩුබායි ඉඳලා ආපහු යුක්රේන් ගියා. ඔය අතරේ මගේ පවුලට කරදර සිද්ධවෙන්න ගත්තා. ඒ වෙනකොටත් අපේ බඩු දාපු කන්ටේනර් එක ලංකාවට ඇවිත් තිබුණා. මගේ නෝනා ඒක බාරගන්න ගියාම රිලීස් කෙරුවෙ නෑ. මම තේරුම් ගත්තා ළමයි ලංකාවෙ තියාගන්න එක අනතුරුදායකයි කියලා. එයාලා ගෙන්න ගත්තා. මම ඔය ටිකේ විවිධ රටවල්වලට ගියා.  


?කන්ටේනර් එක බේරගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පවා කෝල් කර කර කිව්වා නේද?  


ඒකේ තියෙන්නේ කාටවත් වැදගත් නැති ඒත් අපේ පවුලෙ අයට වැදගත් දේවල්. උදාහරණයකට කිව්වොත් අපේ දරුවො දෙන්නගෙ පොඩි කාලෙ වැටිච්ච දත්, කපපු කොණ්ඩ කෑලි වගේ ඒවා. අපේ ඡායාරූප, තව පොඩි පොඩි සමරු සටහන්. අවුරුදු තිහක අපේ ජීවිතේ බඩු ඒකේ තියෙන්නේ. ඒ නිසා මම මේ ගැන කියල එවකට ජනාධිපති මෛත්‍රීපාලට කෝල් කෙරුවා. මෛත්‍රීපාල රුසියාවෙ ආවම අපේ ගෙදර ඉඳලා තියෙනවා. ඒත් මේ ප්‍රශ්නය ඔහු ගණන් ගත්තේ නෑ. මගේ පුතා අහනවා ‘ඒ අංකල් කිව්වා නේද ලංකාවට ආවම මට කුරුම්බැට්ට මැෂිමක් හදල දෙන්නම් එයාලගෙ ගෙදර ආවොත් කියලා. ඉතින් ඇයි ඒ අංකල් මගේ සෙල්ලම් බඩු ටික දෙන්නෙ නැත්තෙ කියලා.  


?ආපහු ගෝඨාභය අයිය රටේ ජනාධිපති වුණාම, මහින්ද අයිය අගමැති වුණාම ඔබ ලංකාවට ආවනේ. දැන් ප්‍රශ්නයක් නැද්ද?  


යහපාලන ආණ්ඩුව වගේ කරදර කළේ නැති නිසා රටේ තොටේ ඇවිදල කරලා හිටි බව ඇත්ත. ඒත් මගේ ප්‍රශ්නවලට කිසිම සහයෝගයක් ලැබුණ කියලා කියන්න බෑ. සහයෝගයක් ලැබුණ නම් ඒවා විසඳෙන්න එපායැ.  


?හැබැයි මහින්ද අයියා කොවිඩ් කාලේ උදයංග වීරතුංගට ඕන ඕන හැටියට සංචාරකයෝ ලංකාවට ගේන්න ඉඩ දුන්නනේ?  


මම සංචාරක ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ වෙලාවෙ මම ඉදිරිපත් කළේ රටට යහපත් යෝජනාවක්. ඒක සලකා බලලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒකට අවසර ලබා දුන්නා. ඒක බිස්නස් එකක් නෙවෙයි රටට ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක්. නොයෙක් දෙනා නොයෙක් චෝදනා එල්ල කළත් ඒක හරියට ක්‍රියාත්මක කළා නම් අද මේ තියෙන ගොඩක් ප්‍රශ්න නෑ. ඒ ආපු අයගෙන් කොවිඩ් බෝ වුණෙත් නෑ. ඒකටත් මට අද නඩුවක් වැටිලා තියෙනවා. මගේ තියෙන අත්දැකීම් සහ විශ්වාසය මත ඒ අභියෝගය ඒ වෙලාවේ මම ගත්තා.  


?ඔබ දිගින් දිගටම කියන්නේ ගෝඨාභය රාජපක්ෂට ඔය ඉරණම අත්වුණේ වටේ ඉඳපු හෙංචයියන්ගේ ඇන්දිලිවලට අහුවෙච්ච නිසා කියලයි. ගෝඨාභය ඒ තරම් අන්දන්න පුළුවන් කෙනෙක්ද?  


ප්‍රශ්න කීයක් ඇතිකර ගත්ත ද වැරදි උපදෙස් අහලා? සංචාරක කර්මාන්තයේ අවුල, කාබනික පොහොර අවුල වගේ ප්‍රශ්න කීයක් දා ගත්ත ද? කොවිඩ් එක නිසා චෝදනා එල්ල වුණා වටේ ඉඳපු සමහරුන්ට ජාවාරම් කරගන්න ඉඩ ඇරියා කියලා. හරි උපදෙස් ඇහුවා නම් ඔහොම වෙන්නෙ නෑ.  


?ගෝඨාභය ජනාධිපතිකමට පත්කරවලා මහින්ද රාජපක්ෂත් ඉල්ලං කෑව වගේ එකක්ද කියන්නේ එතකොට ?  


මම එදත් කිව්වා ඒක වැරදි තීන්දුවක් කියලා. අදත් කියනවා. ඒ වගේම මම කියනවා තවදුරටත් ඔහුව ගේන්න එපා කියලා. දේශපාලනයේ කිසිම තැනකට.  


?එතකොට ඇයි උදයංග මේ දවස්වල ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ආපහු එන දින වකවානු කිය කියා ඇඟිලි ගණින්නේ?  


මේ සාකච්ඡාව කියවලත් ඕනෙ නම් මට ආපහු බණීවි. ඒත් මම ඒ ගැන කතා කරනවා. තරහ තියෙනව තමයි. ඒත් මම කියන දේ ඇත්ත කියල එයා දන්නවා. ඔහු දේශපාලන බුද්ධියක් නැති පුද්ගලයෙක්. නමුත් ඔහු දක්ෂ නිලධාරියෙක් යම් යම් තනතුරුවල දී.  

?පොහොට්ටුවෙ ගොඩක් අය ගෝඨාභය රාජපක්ෂ ආපහු එනකම් බලාගෙන ඉන්නවා. සමහරු කියනවා අගමැතිකම ගන්නට තමනුත් නෑ වගේ කතා. ඔබ කියන්නේ එහෙම වුණොත් ආපහු හොඳ පරිප්පුවක් කන්න වෙනව වගේ කියලද?  


පැහැදිළිව. ඒක අනුවණ ක්‍රියාවක්. රටේ මුල් පුටුවට පත්වෙන පුද්ගලයාට තමන් අතින් අත්වැරැද්දක් වුණා කියල ඇඟ බේරගන්න බැහැ. ඒ ගන්න තීන්දු රටේ මිලියන විස්සකට බලපානවා. ඒ ජනතාවගේ එක දවසක්වත් රිපීට් කරන්න බෑ.  


?ඔබ බැසිල් රාජපක්ෂ ගැන හිතන්නෙ කොහොමද?  


 මම හිතනවා රාජපක්ෂ පවුලේ ඉන්න දේශපාලන දැනුවත් චරිතය බැසිල් රාජපක්ෂ කියලා.  


?මහින්ද රාජපක්ෂටත් වඩා....?  


මහින්ද රාපක්ෂ විශාල හදවතක් තියෙන දේශපාලන බුද්ධිය පමණක් නෙවෙයි වාසනාවත් ගොඩක් තියෙන පුද්ගලයෙක්. බැසිල් දේශපාලන තීන්දු සහ අවබෝධය මත හොඳ කළමනාකරණ හැකියාවක් සහිත කෙනෙක්. නමුත් මහින්ද රාජපක්ෂට වගේ විශාල හදවතක් තියෙන කෙනෙක් නෙවෙයි.  


?මහින්දගෙ විශාල හදවත නිසාම ද මැයි 9 වෙනිදත් ඔබ ඔහු එක්ක අරලියගහ මන්දිරේ ඔහුට තනි රැක්කේ?  


 ඔව්. මට ඊට කළින් ඉඳලම අරලියගහ මන්දිරේට යන එක සාමාන්‍ය පුරුද්දක්. යන වෙලාවට අනුව කෑම ටිකක් කාලා මහින්ද අයිය එක්ක කතාබහ කරලා වැඩිය ඉන්න හොඳ නැති වෙලාවක් නම් වැඩිය නොයිද එන එක අමුතු දෙයක් නෙවෙයි මට. මම එදා උදෙත් පුරුද්දට අරලියගහ මන්දිරේට ගියා. එහා පැත්තෙ තිබුණු රැස්වීමටත් ඔහු ළඟින්ම මම ගියා. මොකක් හරි හේතුවක් නිසා මගේ හිත කිව්වේ නෑ මහින්ද අයියව දාලා ඉක්මනින් ආපහු පිටත් වෙන්න කියලා. මහින්ද රාජපක්ෂව මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරෙන් පිට වෙනකම් ඉදපු එකම ඥාතියා මම කිව්වොත් හරි. තවත් අය ආව ගියා. ඒත් මම දිගටම ඔහු ළගින්ම හිටියා පිටවෙලා යනතුරුම.  


?එදා මහින්ද රාජපක්ෂගෙ හැසිරීම කොයි වගේද ඔබ දැක්කේ ?  


ඔහු හිතුවෙ නෑ කොච්චර සෙනඟ ආවත් ඔහුට කරදරයක් කරාවි කියලා. ඒත් සිදුවීම් එකින් එක සිදුවෙද්දී ආරක්ෂක අංශ නියෝග පිළිපදින්නෙ නැති බවත් එක්කෝ රටේ නායකයා හරි විදිහට තීන්දු දෙන්නේ නැති බවත් තේරුණා. ඔහු ටිකක් වේදනාවෙන් හිටියා. මමම කෝල් අරන් දීලා මහින්ද අයිය ලව්වා ගෝඨ අයියට. නමුත් මගේ ඒ වෙලාවෙ වැටහීම අනුව ගෝඨා අයියට ඒ ගැන එහෙම කිසිම හැඟීමක් තිබුණේ නෑ.  


?ඒ කියන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා ඒ තත්ත්වය සීරියස් ගත්තෙ නැත්තෙ හිතා මතා කියල ද?  


 ඒ දේ ඒ විදියට සිද්ධ වුණේ ආරක්ෂක අංශ නිසියාකාරව තමන්ගේ රාජකාරිය කරපු නැති නිසා. රාජකාරිය ඔවුන් ලවා කරවන්න ඕන රටේ මුල් පුටුවෙ ඉන්න නායකයා. එයා ඒක නොකළා නම් අපිට චෝදනා කරන්න වෙනවා. එදා මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරෙන් පිටවෙලා පැයකට විතර පස්සෙ තමයි මම පිට වුණේ.  


?ඔය කියන විදියට ‘ගෝඨා ගෝ හෝම්’ කියන සටන් පාඨය ඔබේ යටි හිතෙත් තිබුණ ද?  


සහෝදරයෙක් විදියට මගේ හිත ඇතුළට ඒක එන්නෙ නෑ. නමුත් යුක්රේනයේ සිදුවුණු ඇතැම් දේශපාලන පෙරළි පිළිබඳව හිතලා මම යම් අනාවැකි මගේ ෆේස්බුක් එකේ සටහන් කෙරුවා ඊට සෑහෙන කාලෙකට කලින්.


?මැයි 9 වෙනිදා සිදුවීමෙන් පස්සෙ ඔබ ෆේස්බුක් සටහනක සඳහන් කරනවා ඒ සිදුවීමට සොබාදහම වුණත් එරෙහි වෙයි වගේ කතාවක්. ඒකෙන් ඔබ ඉලක්ක කළේ ගෝඨාභය ද?  


ඔව්. ඇයි මම එහෙම කිව්වේ. මම ඒ චෝදනාව කරන්නේ මැයි 9 වෙනිදාමයි. හරියටම මාසෙකින් ගෝඨාභයට යන්න වෙනවා. මහින්ද අයිය අපේ පවුලේ හැම දෙනාම අතර බැඳීමේ ප්‍රධාන සාධකය. එහෙම පුද්ගලයෙක් ඇයි මැයි 9 වෙනිදා ඒ තරම් කැත විදියට ඉවත් කරන්නේ. ඒක වුණත් ගෞරවණීය විදියට කරන්න තිබුණා.  


?දරුණු ලෙස ආපු ජනතා විරෝධය නිසා වුණ දෙයක්නෙ ඒක.  


කාට ද ජනතා විරෝධය තිබුණේ ? මිනිස්සු යන්න කිව්වෙ කාට ද?   


?රට හොල්ලගෙන ඉඳපු රාජපක්ෂලගෙ දේශපාලනය ඉවර වෙයි ද මෙතනින් ?  


එහෙම වෙන්න නම් ප්‍රබල නායකත්වයක් අනිත් පැත්තෙ තියෙන්න ඕනෑ. ප්‍රබල කණ්ඩායමක් විපක්ෂයේ ඉන්න ඕනෑ. රාජපක්ෂලා විසිවෙන්න නම් ඊට වඩා ප්‍රබල වෙන බලවේගයක් තියෙන්න ඕනෑ. එහෙම එකක් තියෙනව ද?  


?රාජපක්ෂ පවුලෙන් තව නායකත්වයක් එයි කියල ඔබ හිතනවද?  


 රාජපක්ෂ පවුලෙන් ජාතික නායකත්වයට එන්න ඉන්නෙ දෙන්නයි දැන්. එක්කො නාමල් එක්කො බැසිල්. අද දේශපාලනයේ ඉන්න කෙනා බැසිල්. මහින්ද රාජපක්ෂ වගේ ලොකු හදවතක් නැතත් බැසිල්ට තැනක් තියෙනවා. ඔහු මේක අත ඇරියොත් රාජපක්ෂවරුන්ට බලයට එන්න තව සෑහෙන කාලයක් යනවා. ඔහු අතඇරියේ නැත්නම් රාජපක්ෂ බලය එනවා කියලත් මම විශ්වාස කරනවා. නාමල් විශ්වාස කරනවා ඔහුට ඉක්මනට එන්න පුළුවන් කියලා. නමුත් ඊළඟ සැරේ බැසිල් ඒ තනතුරට ඉල්ලනව නම් තමුන්ගේ පුතා වුණත් මහින්ද රාජපක්ෂ ඔහුව අනුමත කරනවා නාමල් වෙනුවට. හැබැයි බැසිල් රාජපක්ෂ තවදුරටත් දේශපාලනයේ ප්‍රධාන තනතුරට එන්නෙ නැත්නම් අප වෙනුවෙන් ද මේ සටන කරන්නේ කියන තැනදි ඔහු සටන් කරන්නේ නෑ නාමල් වෙනුවෙන්. මහින්ද එ් තනතුරට එන්නේ නෑ. චමල් එන්නෙත් නෑ. ගෝඨාභයට බැසිල් ඒ සටන කොහොමවත් කරන්නේ නෑ. මොකද ගෝඨාභය බැසිල්ට කරපුව මහින්ද අයියට කරපුවටත් වඩා අසාධාරණයි.

 

 

 සාකච්ඡා කළේ : 
ප්‍රියන්ත කොඩිප්පිලි