දේශපාලන හිඟන්නන්ට මම උත්තර දෙන්නේ නෑ


සමගි ජනබලවේගයේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ

චමින්ද විජේසිරි

 

සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කටකාර මෙන්ම පෙරළිකාර මන්ත්‍රීවරයෙකි. ඔහු ඉකුත්දා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ ඇයි? මේ ඒ ගැන විමසමින් ඒ මහතා සමග කළ සාකච්ඡාවකි.


?ඔබ මන්ත්‍රී ධුරයෙන් අයින් වුණා. ඇත්තටම හේතුව මොකක් ද?


පිළිතුර:- මම ඒක පැහැදිළිවම පාර්ලිමේන්තුවේදී කිව්වනේ. සමාජය තුළ මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න හා මේ වෙලාවේ භූමියේ දේශපාලනයට තියෙන අප්‍රසන්න භාවය මට තදින්ම බලපෑවා. දරුවෝ තුන්දෙනෙකුගේ පියෙකු හැටියට මට දැනෙන වේදනාව තවත් බොහෝ දෙනෙකුට දැනෙනවා ඇති. එබඳු කාරණා ගණනාවක් තිබෙන නිසා හෘදය සාක්ෂියට එකඟව මම මේ තීරණය ගත්තා.


සමහර අයට අවශ්‍ය වෙලා තියෙනවා විවිධ දේවල් කියන්න. ඒ නිසා සමහර විට අප ගන්න නිවැරැදි තීරණත් ඔවුන් ඒකට පාවිච්චි කරනවා. නිදහසේ කාගෙන්වත් වචනයක් අහන්නේ නැතිව අපි දේශපාලනයෙන් සමුගන්නකොට අපි දකිනවා සමහර කුහක බල්ලෝ උඩු බුරනවා. ඒ නිසා කියන්න කැමැතියි මම මේ දේශපාලන තීන්දුව ගත්තේ සමාජයෙන් එල්ලවන පීඩනය නිසයි.


?ඔබ දේශපාලනයෙනුත් සමුගන්නවද?


පිළිතුර:- මම හොඳයි කියලා වටහාගත්ත සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා කැමැති නම් මං දේශපාලනය කරනවා. නැත්නම් මම දේශපාලනයෙන් සමුගන්නවා.


?ඔබ කාගේ හරි බලපෑමකට යටත්ව මේ තීරණය ගත්තා කියලා මම කිව්වොත්?


පිළිතුර:- මම භය මිනිහෙක් නොවෙයි. මගේ පාර්ලිමේන්තු හැසිරීම ගත්තොත් මම නිර්භීතව හැසිරිලා තියෙනවා. ප්‍රාදේශීය සභාවක් දිනලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ එදා මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ තර්ජනවලට ගර්ජනවලට මම භයවෙලා වැඩ කරපු කෙනෙක් නොවෙයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු ප්‍රාදේශීය සභා නගර සභා දිනන කොට බණ්ඩාරවෙල නගර සභාව එක්සත් ජාතික පක්ෂයට දිනවලා දුන්නේ මමයි. ඒ නිසා මම තර්ජන ගර්ජනවලට භය මිනිහෙක් නෙවෙයි. මම අවංකවම හෘදය සාක්ෂියට එකඟව වැඩ කරන මිනිහෙක්. මම තීන්දු ගන්නේ ඒ අනුවයි.


?ඔබට ඇතිවුණේ දේශපාලනය ගැන කලකිරීමක්ද? සමාජය පිළිබඳ කලකිරීමක්ද?


 පිළිතුර:- සමාජයේ තියෙන වෛරය සාධාරණයි. ඔවුන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ටත් ඔවුන්ගේ දරුවන්ටත් ශාප කරනවා. ජනතාවට තමන් කරපු වැරැද්ද තේරෙන්නේ නැහැනේ. මේ පාලකයෝ හැදුවේ කවුද? මේ තනතුරු හදන්නේ කවුද? ඉබේ බිහිවෙන්නේ නැහැනේ.


 මේ රටේ පුරවැසියා තමන්ගේ කතිරයෙන් තමන්ට හොඳයි කියන නායකයෝ හදනවා. මේ 225 ඇතුළේ ඉතාම පිරිසිදුව දේශපාලනය කරන කෙනෙක් මම. ඔබ මට කතා කරන වෙලාවෙත් මම ඉන්නේ දරුවා පාසලෙන් ඇරිලා එනකම් පෝලිමට වෙලා. මේ මාත් එක්ක මේ පෝලිමේ ඉන්න පුරවැසියා වේදනාවෙන් කියන්නේ 225 ටම හෙණ ගහපන් කියලා. ඒ කාරණයත් එක්ක මම හිතනවා බොහෝ දේ තේරුම් ගන්න ඕනෑ කියලා.


?සජිත් ප්‍රේමදාසගේ නායකත්වය සම්බන්ධයෙනුත් ඔබට ගැටලුවක් තිබුණා?


පිළිතුර:- නෑ. එතුමගේ නායකත්වය පිළිබඳ ගැටලු නෑ. එතුමාට තියෙන අභියෝග නිසා එතුමා නිර්මාණය වෙච්ච ආකාරය ගැන සතුටු වෙන්න ඕනැ. මොකද මේ රටේ දේශපාලන කණ්ඩායම් නිර්මාණය වෙන්නේ දේශපාලන ඩීල් එක්ක. ඒ වගේම දිගුකාලීන බැඳීම් එක්ක. එහෙම නොවන ඩීල් නැති බැඳීම් සම්බන්ධකම් නැති සෑම පුරවැසියකුටම සමාන ලෙස සලකන්න පුළුවන් මානසිකත්වයක් එතුමට තියෙනවා. ඒ නිසා සීයට සීයක්ම හරි කියලා මම කියන්නේ නෑ. ඒ නිසා එතුමගේ නායකත්වය සම්බන්ධයෙන් වරදක් මම දකින්නේ නෑ.


?සජිත් ප්‍රේමදාස පක්ෂය තුළ තීන්දු තීරණ ගන්නේ අත්තනෝමතික ලෙස හා උද්ධච්ච විදියට කියලා හැඟීමක් ඔබලා තුළ තිබුණා?


පිළිතුර:- ඒක බොරුවක්. එතුමා හැම තීන්දුවක්ම ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අහලා.


ඔබ කියන විදියට එතුමා තීන්දු තීරණ ගන්නවා නම් මේ පක්ෂය මේ විදියට තියෙන්නේ නෑ. ඒ නිසා ඔබ කියන දෙයක් මම දකින්නේ නෑ. හැබැයි එතුමා තීරණ ගැනීමේදී යම් කල් මැරීමක් කරනවා. ඒ කල්මැරීම හරහා සමහර වෙලාවට එතුමට එතුමගේ ජයග්‍රහණ කරා යාමේදී යම් බාධාවක් වේවි.


අපි දන්නවා මේ වෙලාවේ ජනතාව ප්‍රියකරන දේශපාලන චරිත තියෙනවා. ඒ චරිතවලට ජනතාව විශාල කැමැත්තක් දක්වනවා. ඒ පිරිස් සජබය තුළ ඉදිරියට ගේන්න ඕනැ. සමහර විට ජ්‍යෙෂ්ඨයේ නිසා තමන්ට සහයෝගය දුන්න පිරිස් නිසා ඒ ජනප්‍රිය චරිත ගැන තීන්දු ගැනීමේදී එතුමා යම් කල්මැරීමක් කරනවා.


?පොහොට්ටුවෙන් ගැලවිලා එන පිරිස් සජිත් බාරගැනීම ගැනත් ඔබට ප්‍රශ්නයක් තිබුණා?


පිළිතුර:- පොහොට්ටුවෙන් එන අය බාර ගැනීම ගැන එකඟත්වය පළකරන්නේ කොහොම ද? එදා 69 ලක්ෂයේ පුරවැසියෝ යම් දේශපාලන කුමන්ත්‍රණයකට හසුවුණා. ඒ කුමන්ත්‍රණයට හසුවුණ නිසා තමයි ඒ ජනතාවට වැරදුණේ. ඒ අය අතර ඒ වැරැද්ද නිවැරැදි කිරීමේ අවංක චේතනාවෙන් සිටින පිරිස් ඉන්නවා.


 ‘ජාතිය විනාශයි - ආගම විනාශයි’ කියමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ඒ කුමන්ත්‍රණයට හසුවුණා. ඒ නිසා මම හිතනවා පොදුජන පෙරමුණේ අය එකතු විය යුත්තෙත් එකතු කරගත යුත්තෙත් ඔවුන්ට වෙච්ච වැරැද්ද නිවැරැදි කරගන්නයි. එහෙම නැතිව තමන්ගේ දේශපාලන අරමුණු තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න සජබෙට එනවා නම් ඒ එන අය සජබෙ පිළිගන්නවා නම් ඒක සජබෙ කරන මහා අපරාධයක්. 


ඔවුන් එකතු කරගන්න ඕනා. ඒකට මම විරුද්ධ නෑ. එකතු නොවී මේ ෙද්ශපාලන කල්ලිය පරාජය කරන්න බෑ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතා පැහදිළිවම කියලා තියෙනවා. ‘මේ එන අයට  කිසිම තනතුරක් වරදානයක්, වරප්‍රසාදයක් දෙන්න මම පොරොන්දු වෙන්නේ නෑ.’ කියලා. ඒ කියන සංකල්පයෙ ඉඳන් නායකතුමා වැඩ කරනවා නම් මම සතුටුයි.


?එජාපයෙ හිටපු මහලු නායකයොම සජබෙත් බලය අල්ලාගෙන ඉන්නවා කියලා ඔබ ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් කලකිරීමෙන් හිටියේ?


පිළිතුර:- ඒක වැරැදි කතාවක්. මම හිතන්නේ ඒක ඔබට දැනිච්ච ප්‍රශ්නයක් වෙන්න ඇති. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තරුණ කණ්ඩායමට ලබාදිය යුතු ඉඩකඩ අවස්ථා ලබා දීම කරනවා. එහෙම භේදයක් නෑ.


?ඉදිරි  මැතිවරණවලදී මැතිවරණ ව්‍යාපාරයට සල්ලි වියදම් කරන අයෙකුට පාර්ලිමේන්තු ඒම සඳහා  ඔබට අස්වෙන්න කියලා ඔබට බලපෑමක් ආවද? මොකද එහෙම කතාවක් යනවා?


පිළිතුර:- ඔන්න ඔය කුණුහරුප කතාවට තමයි මගේ අප්‍රසන්න භාවය තියෙන්නේ. ඔය කතාව කියන එකා ඔයාගේ පත්තරේට හරි කමක් නෑ කියන්න කියන්න. එතකොට මට පුළුවන් නීති මාර්ගයෙන් ගතයුතු පියවර ගන්න. මම එහෙම කෙනෙක් නොවෙයි. මම හොඳ කෝටිපතියකුගේ පුතෙක්. මම මගේ දේශපාලනය හරියට හසුරුවලා තියෙනවා. මම මුදල්වලට මගේ ආත්මය මම පාවා දෙන්නේ නෑ.


 මට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම අරගෙන පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ආණ්ඩුවට සහයෝගය දෙන්න කියලා සමහරු මට කතා කළා. එහෙම නම් මම යන්න ඕනෑ එතැනට. බලයට, මුදලට, තනතුරුවලට මම තීන්දු ගන්න කෙනෙක් නොවෙයි.


?ඔබේ දේශපාලන කළණ මිතුරා හේෂා විතානගේ එක්ක ඔබ මේ ගැන කතා කළා ද?


පිළිතුර:- එතුමා සංචාරයක් සඳහා ඇල්ල නගරයට ඇවිත් හිටියා. ඒ වෙලාවෙදි මම කිව්වා ‘මචෝ ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයේදී මම තීන්දුවක් ගන්න ඉන්නේ. මම ඒ ගැන නායකතුමත් එක්ක කතා කරලා එතුමගෙන් මට පෞද්ගලිකව ගන්න පක්ෂයේ වගකීමක් තියෙනවා. ඒ වගකීම මට නොලැබෙනවා නම් මම කලකිරීමත් එක්ක මම දේශපාලන තීන්දුවක් ගන්නවා’ කියලා.


?ඔබ සජිත්ගෙන් ඉල්ලපු වගකීම මොකක් ද?


පිළිතුර:- වගකීමක් තියෙනවා. ඒක පක්ෂ නායකත්වය දන්නවා. ඒක මම තැන තැන කියන්න යන්නේ නෑ. මොකද මේ රට හදන්න පුළුවන් දක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ ඉන්නවා. ඔවුන්ට බාධාවක් වෙන්න මම යන්නේ නෑ. මේ පක්ෂය බොහොම අමාරුවෙන් නිර්මාණය කරගත්ත පක්ෂයක්. මේ පක්ෂය තමයි රටේ අනාගතය. අපේ  අනාගතයට වඩා රටේ අනාගතය ගැන අපි හිතනවා. 


නමුත් අපේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න නම් අපට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීමට සුදුස්සෙක් හැටියට මම සුදුසුකම් පුරවලා තියෙන්නේ. ඒකට අවස්ථාව නොලැබෙනවා නම් අකාර්යක්ෂමව මම එතැන ඉන්නවාට වඩා මගේ වැඩක් කරගන්න එක හොඳයි කියලා මම හිතනවා.


?ඔබ හා හේෂා විතානගේ පහුගිය කාලයේ දේශපාලන තීන්දු ගත්තේ එකට. එක මතයක හිටියේ. ඇයි මේ පාර ඔබට හේෂාගේ සහාය නොලැබුණේ?


පිළිතුර:- එතුමටත් මට වගේ දරුවෝ ලොකුයි. මගේ දරුවෝ පොඩියි. මගේ මානසිකත්වයත් සමාජ පීඩනයත් එක්ක මම එතැනට තල්ලු වුණා. ඒ හැරෙන්න එතුමගෙයි මගෙයි අතර ප්‍රශ්නයක් නෑ.


?මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘චමින්ද විජේසිරිට පාරේ බැහැලා යන්න බැරි වුණාට අපිට නම් පාරේ බැහැලා යන්න පුළුවන්’ කියලා.


 පිළිතුර:- දේශපාලන හිඟන්නෙක් ගැන කතා කරන්නත් මට අප්‍රසන්නයි. ඒ නිසා ඒ ගැන මගෙන් අහන්න එපා.

 

 

සාකච්ඡා කළේ
■ ප්‍රසන්න
සංජීව තෙන්නකෝන්