දියුණුවෙහි පදනම වියයුත්තේ පුනර්ජනනීය බලෂක්තියයි


 සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

බංගලාදේශයේ ඩකා නුවර ක්ලයිමේට් පාර්ලිමේන්තුව (Climate Parliament- Dhaka) දකුණු ආසියාවේ රටවල් සමඟ එකතු වී පරිසරය පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ජාත්‍යන්තර පාර්ලිමේන්තුවකි. පුනර්ජනනීය විදුලි බලශක්ති වැඩි කර, දකුණු ආසියාවේ ජීවත් වෙන සැමට එහි ප්‍රයෝජනය ලබන්නේ කෙසේද යන්න ආදී කරුණු පිළිබඳව නිරන්තරයෙන් කතා කෙරෙන ක්ලයිමේට් පාර්ලිමේන්තුව නියෝජනය කරන සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඉන් ලංකාව තුළ විදුලිය හා බල ශක්තිය ආනයනය සහ අපනයනය කරන්නේ කෙසේ ද සහ විදුලිය නිෂ්පාදන ආයෝජනයක් සඳහා රජය පියවර ගත යුතු බවට කරුණු ගෙන එන අතර මේ ඔහු සමග ඒ පිළිබඳව කළ කතාබහකි.   

 
"ආපදා අවදානම් සහිත රටවල් ලෙස ශ්‍රේණි ගතකර ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තියෙන්නේ 10 වෙනි තැන බව ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2018-2020 වාර්තා අනුව පෙන්වා දී තිබෙනවා. 


මේ දේශගුණික විපර්යාස වෙන්නේ හේතු දෙකක් මත.


ස්වාභාවික නියඟයක්, ජලගැල්මක්, භූමිකම්පාවක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අපි කරපු යම් ක්‍රියා නිසා නිර්මාණය වෙච්ච දේවල් වෙන්නත් පුළුවන්. ලිබියාවේ ගංගාවක් හරස් කර ඉදිකර තිබූ ‘ඩෑම්’ එකක් පසුගිය දිනවල කඩාගෙන ගිහින් වෙච්ච විනාශයෙන් විසිදාහක පමණ මිනිස් ජීවිත නැති වුණා. නගරයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. ඒත් මේ වෙනතෙක් ලංකාවට බලපාලා තියෙන්නේ ජල ගැලීම්, සුනාමි, වැනි ස්වාභාවික විපත්. නමුත් ඊට අමතරව ලිබියාවෙන් අපට ගන්න පුළුවන් පාඩම තමයි අපිත් ජලය පාලනය කරන්න විවිධ ආකරයේ විශේෂිත ‘ඩෑම්’ නිර්මාණය කරලා තියෙනවා. ඒවා ගැනත් අපි බෙහොම සෝදිසියෙන් සිටිය යුතුයි. අපටත් යම් යම් විපර්යාසයන්ට මුහුණ දෙන්න වෙන්න බැරි කමක් නැහැ. 


සුළඟ, හිරු එළිය, ජලය, එක රටකටවත් ජාතියකටවත් සීමා කරන්න බැහැ. ඒක ලෝකයේ සියළු දෙනාටම බලපානවා. කාබන් වායුව වැඩිපුරම විමෝචනය කරලා තියෙන්නෙ ආර්ථිකව දියුණු බටහිර රටවල්. නමුත් ඒවා අපටත් බලපානවා.


පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන මන්ත්‍රීවරයා  ශ්‍රී ලංකාව අධිෂ්‍ඨානශීලී ජාතික වශයෙන් දායකත්වය දක්වන කරුණු තුනක් පිළිබඳවද පැහැදිලි කළේය.


‘2030 වෙනකොට අපි  කියනවා විදුලිය නිෂ්පාදනයේදී පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක් විය යුතුයි.’
‘2050 වෙනකොට කාබන් මධ්‍යස්ථභාවයකට පැමිණිය යුතුයි.’       

    
‘ඒ වගේම අපි ගල් අඟුරු භාවිතයට තිත තැබිය යුතුයි.’


මේ තීරණවලට පක්ෂ පාටක් නැහැ. ඒත් ඒවා ඉෂ්ඨ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා. කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වැඩියෙන්ම සියයට 45 පමණ එන්නේ බල ශක්ති අංශය හරහා. සියයට 21 එන්නේ ගමනාගමනයෙන්, කර්මාන්ත වලිනුත් සියයට 21 එනවා. සියයට 10 ක් එන්නේ කර්මාන්ත වලින්. අපට ලොකුම ගැටලුව තියෙන්නේ බලශක්තියෙන්. හයිඩ්‍රොකාබන් (ගල් අඟුරු, ඩීසල්,) වසරකට රට තුළට ආනයනය කරන්න ඩොලර් බිලියන 5.1 වැඩිය වියදම් කරනවා. 


ඉහළ ගිය විදුලිය බිලට විසඳුමක් නැද්ද?


2022 අගෝස්තු ඉඳලා අද වෙනකම් සියයට 160 කින් විතර විදුලිය බිල ඉහළ ගිහින් තියෙනවා. මිනිස්සුන්ට දරා ගන්න බැහැ මිනිස්සුන්ගේ නිවෙස්වලට ලැබෙන විදුලි බිල. සමහර අයගේ නිවෙස්වල විදුලිය කපා හැරලා තියෙනවා, බිල ගෙවා ගන්න බැරුව. විදුලිය කපා හැරීම වැඩිපුරම පීඩා ගෙන දෙන්නේ ඉගෙන ගන්න දරුවන්ට. මේක ඉතා දරුණු ප්‍රශ්නයක්. 
ලංකාවේ පෞද්ගලික තාප බලාගාර ධාරිතාව තියෙනවා ගිගාවොට් 0.4ක් සහ රාජ්‍ය තාප බලාගාර ධාරිතාව තියෙනවා ගිගාවොට් 1.5 ක්. මේ දෙක එකතු කළොත් ධාරිතාව ගිගාවොට් 1.9 ක් තියෙනවා. මේ එක් පැතිකඩක්. අනිත් පැත්තේ තියෙනවා පුනර්ජනනීය රාජ්‍ය බලාගාර. එහි ධාරිතාව තියෙනවා 0.1 ක්. පෞද්ගලික පුනර්ජනනීය බලාගාර ධාරිතාව 0.7 ක් තියෙනවා. මේ දෙක එකතු කළොත් ධාරිතාව2.2 එනවා. අපි මේ වෙලාවේ කරන්න ඕනැ පුනර්ජනනීය බල ශක්තිය වැඩි කර ගැනීම. 


අපි බොහොම වාසනාවන්ත රටක්. අපිට ජලයත් තියෙනවා, සුළඟත් තියෙනවා. හැබැයි ඒවා විදුලියට හරව ගන්න ආයෝජනය අවශ්‍යයි. නමුත් අපි බංකොලොත් රටක්. රජයට ආයෝජනය කරන්න ක්‍රමවේදයක් නැහැ. එතකොට අපිට දේශීය විදේශීය පෞද්ගලික ආයෝජනය අවශ්‍යයි. පුනර්ජනනීය බලශක්ති පිළිබඳව ලංකාව ගැන කරපු පර්‌යේෂණයකින් පෙන්වනවා එක ගිගාවොට් එකක් අපි ආනයනය කළොත්, විශේෂයෙන් සුළං වලින් නිෂ්පාදනය කළ විදුලිය ගෙනාවොත් අපේ විදුලිය නිෂ්පාදන වියදම සියයට 30 කින් පහළට යනවා. ඒ වගේම එක ගිගාවොට් එකක් දකුණු ආසියාවෙන් ආනයනය කළොත් කාබන් විමෝචනයත් සියයට 21 කින් පහළට යනවා. 


මෙයින් වාසි දෙකක් වෙනවා. එකක්, විදුලි බිල පහළට යනවා. අනිත් එක, පරිසර හානිය අඩු වෙනවා. ඒසේ නම් අප සුළංබල ශක්ති වලට යායුතුයි. විදේශ ආයෝජනයට අපි විරුද්ධ නැහැ. විනිවිදභාවය තියෙන්නට ඕනැ. තරගකාරී මිලක් තියෙන්නට ඕනැ. විදුලියබල ස්වාධිනත්වය අපි ආරක්ෂා කරන්නට ඕනැ. විද්‍යාඥයෝ කියනවා අපට පුනර්ජනනීය බල ශක්ති බහුලත්වයක් තියෙනවා කියලා. සූර්යාලෝකය, සුළඟ, ජලය. ඒ නිසා ග්‍රීන් හයිඩ්‍රිජන් නිෂ්පාදනය කරන්න පුළුවන්, දේශීය පරිභෝජනයට අමතරව අපිට ඒක අපනයනය කරන්නට පුළුවන්.  


අපි "විදුලිය" ගැන කවදාවත් අපනයන ආනයන භාණ්ඩයක් හැටියට සිතුවේ නැහැ. ඒත් දැන් විදුලිය අපනයන ආනයන භාණ්ඩයක් හැටියට සිතන්න පුළුවන්. තාක්ෂණය ඒ තරමට දියුණු වෙලා. පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා ශ්‍රී ලංකාවට ගිගා වොට් 40 ක අත්වරල සුළං බලය නිෂ්පාදනය කළ හැකියි. එයින් අපි ප්‍රයෝජනයට අරන් ගිගාවොට් 35 ක් පමණ අමතරව ඉතිරි වෙනවා කියලත් ඒ පර්‌යේෂකයන් පෙන්වා දෙනවා. එය අපට විකිණීමට සහ අපනයනය කිරීමටත් හැකියාව තියෙනවා. ඒකට අපි දකුණු ආසියාවේ රටවල් එක්ක සහයෝගිකත්වයෙන් ක්‍රියා කළ යුතුයි. 


අපේ රටේ පුනර්ජනනීය විදුලිය නිපදවන්න තරම් අපට තාක්ෂණයක් තියෙනවද       


තාක්ෂණයේ ගැටලු තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ජාත්‍යන්තරය එක්ක එකතු විය යුතුමයි. වාසනාවකට, අපේ රටේ පුනර්ජනනීය විදුලිය නිපදවන්න පුළුවන්. සොබාදහමෙන්ම අපිට ඒ වාසනාව තියෙනවා. පුනර්ජනනීය බලශක්ති බහුලත්වයක් තියෙන නිසා පර්‌යේෂකයන් කියනවා ග්‍රීන් හයිඩ්‍රජන් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. එතකොට ඒක නිෂ්පාදනය කළොත් ඒක අපිට දේශීයව මෙන්ම   අපනයනයටත් ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝ රසායනික ක්‍රමවේදයක් හරහා හයිඩ්‍රජන් නිෂ්පාදනය කරලා, හයිඩ්‍රජන් සම්පීඩනය කරලා එය ද්‍රව බවට පත්කරළා ගෑස් වගේ ගබඩා කරළා ප්‍රවාහනය කරන්න පුළුවන්. මේක ලංකාවේ අති දැවැන්ත විදිහට කරන්නන පුළුවන්. තාමත් මෙහි පර්‌යේෂණ තියෙන්නේ අධ්‍යයන මට්ටමක. 2025 පස්සේ අපි හිතනවා විදුලිය නිෂ්පාදනයට යන්න සහ ජාත්‍යන්තර ජාල සමග එකතු වෙන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මේක අපිට විදෙස් රටවලට විකුණලා හොඳ ආදායමක් ලබන්නත් පුළුවන්.


විදුලිය බිල අඩු කරන්නට නම් අපි අනිවාර්‌යයෙන්ම     පුනර්ජනනීය විදුලියට යා යුතුමයි. මේකට ආයෝජනයක් අවශ්‍යයි. රජය බංකොලොත්, රජයට ආයෝජනයක් කරන්න බැහැ. ඒ නිසා පෞද්ගලික අයෝජනය හෝ විදේශිය ආයෝජනය ලැබිය  යුතුමයි. ආණ්‍ඩුව විපක්ෂය කියලා නෑ, අපි සියල්ල මේ වෙලාවේ එකට ක්‍රියා කළ යුතුයි.  


මේ වෙනකොට ඉන්දියාවේ අදානි ගෲප් එකෙන් එකඟ වෙලා තියෙනවා මුදල් ආයෝජනය කරලා මන්නාරම් ප්‍රදේශයේ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න. අපි විදේශ ආයෝජනය පිළිගන්න ඕනැ. හැබැයි විනිවිද්‍ භාවයක් තිබිය යුතුයි. ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, භූතානය ගිවිසුම් හදාගෙන දැනට ඒ අය විදුලිය හුවමාරු කරගන්නවා. ලංකාවේ රජයත් මේ වෙනකොට සාකච්ජා අරඹලා තියෙනවා ඉන්දියාව සමඟ විදුලිය බලය හුවමාරු කරගැනීම පිළිබඳව. 


ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ක්ලයිමේට් පාර්ලිමේන්තුවක් ලංකාවේදිත් පවත්වන්න.


රජයේ කෙරුවාවන් එක්ක, මේවත් ගඟට කැපූ ඉනි වගේ වේවි ද?


යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න රජයට තමයි වගකීමක් තියෙන්නේ. පාර්ලිමේන්තුවට නෙවෙයි. මේ ක්‍රියාදාමයට පක්ෂයක්, පාටක්, භේදයක් නැතුව අපි සියලු දෙනා සම්මුතියක් ඇතිකරගත යුතුයි. සියලුම දේ පිළිබඳ විනිවිද භාවයෙන් සිදු කළ යුතුයි.

 

 

සටහන
නදිශා අතුකෝරළ